මාධ්‍යවේදී නිමලරාජන් මයිල්වාගනම් ඝාතනය කර ඔක්තෝබර් 19 දාට වසර 24ක් ගතවෙයි. 2000 ඔක්තෝබර් 19 වනදා යාපනයේ අධිආරක්ෂක කලාපයකදී නිමලරාජන් ඝාතනය කරන විට BBC සිංහල සහ දෙමළ සේවයට මෙන්ම වීරකේසරී පුවත්පතට සහ රාවය පුවත්පතට විශේෂයෙන් උතුරේ සිදුකරන ව්‍යසනයන්/ අපරාධ වාර්තා කරමින් සිටිය හ. 2000 වර්ෂයේදී චන්ද්‍රිකා බණ්ඩාරණායක ජනාධිපතිවරිය සිය පාලනය ගෙන ගිය සමයේ, අනුරුද්ධ රත්වත්තේ නියෝජ්‍ය ආරක්ෂක ඇමතිධූරය දැරූ කාලයේ නිමලරාජන් මාධ්‍යවේදීයා ඝාතනය කරනු ලබන්නේ ඇදිරි නීතිය පනවා තිබූ රැයක, අධි ආරක්ෂක කලාපයක් ලෙස නම් කර තිබූ ප්‍රදේශයක, සන්නද්ධව පැමිණි කණ්ඩායමක් විසින් ඔහුගේ නිවස තුළදීම ය. ඔහු ඉතා අමානුෂික ලෙස ඝාතනය කිරීමට හේතුව වූයේ දිගින් දිගටම නිමලරාජන් මාධ්‍යවේදියා විසින් යාපනයේ සිදුවන සිදුවීම්, සිය මාධ්‍ය ක්‍රියාවලිය ඔස්සේ ලෝකය හමුවේ හෙළි කරමින් සිටිමයි. එය ඉවසාගත නොහැකි වූ ඝාතකයින් නිමලරාජන්ව ඝාතනය කර පළා යාමට තරම් ශක්තිමත් වූයේ, එවකට ආරක්ෂක අංශවල මෙන්ම ඇතැම් දේශපාලකයින්ගේ ආශිර්වාදයත්, එම ඝාතනය පිටුපස තිබුණු බවට අදටත් රහසක් නොවේ.

කෙසේ නමුත් නිමලරාජන් මාධ්‍යවේදියා ඝාතනය කොට හමාරය. පසුගිය කාලයේ ලංකාවේ සිදු වූ මාධ්‍යවේදීන් ඝාතනය කිරීම්, පහරදීම්, පැහැරගැනීම් සහ අතුරුදහන් කිරීම්වල පරීක්ෂණයන් මෙන්, මෙම ඝාතනය පිළිබදව ද වසර 24ක් ගත වුව ද, මාධ්‍යවේදීන්ට සහ මාධ්‍ය ආයතනවලට එරෙහිව පසුගිය කාලය පුරාවට ම සිදු වූ අපරාධවලට සම්බන්ධ අපරාධකරුවන් පිළිබදව කිසිදු හෙළිදරව්වක් අනාවරණය කිරීමට තවමත් බලධාරීන්ට නොහැකි වී ඇත. එය එසේ වන්නේ ඇයි?

කෙසේ නමුත් අලුතින් බලයට පත්වූ අනුර කුමාර දිසානායක ඇතුලු අණ්ඩුව විසින් මාධ්‍යවේදී සිවරාම්, මාධ්‍යවේදී ප්‍රගීත් ඝාතනය සම්බන්ධයෙන් පරීක්ෂන සිදුකරන බව මාධ්‍ය වාර්තා කර තිබේ.

මේ කෙටි සටහන නිමලරාජන් ඝාතනයේ පරීක්ෂණ පිළිබදව සොයා බැලිමක්වත් එහි ගවේෂණයක්වත් නොවේ. නමුත්, පසුගිය කාලය පුරාම ලංකාවේ මාධ්‍යට එල්ලකරන ලද මර්දනයට වගකිවයුත්තන් නීතිය ඉදිරියට ගෙන ඒමට, පසුගිය කාලයේ බලයට පත්වූ කිසිදු ආණ්ඩුවක් ඔවුන් සතු වූ වගකීම ඔවුන් ඉටු කලේ නැත. එම බොහොමයක් ආණ්ඩු බලයට පැමිණියේ එම ‘අපරාධ’ පිළිබද ප්‍රශ්ණය ඉදිරියට දමා ගෙන බව ද අමතක කරනු ලැබූවේ නින්දිත ලෙසය.

කෙසේ නමුත් නිමළරාජන්ගේ ඝාතනයෙන් වසර 24කට පසු වුව ද එම අපරාධමය ඉතිහාසය නැවත නැවතත් සිහිකරවන්නේ ඒ යුක්තිගරුක සමාජයක් සදහා වන අපෙක්ෂාවෙන් ය. එසේම රාජ්‍ය අපරාධකාරීත්වය පිළිබද ප්‍රශ්ණයට ආමන්ත්‍රණය නොකර නෙලුම්කුලුනු දහස් ගණනක් මේ භූමියේ ඉදිකලාට ශිෂ්ට, යුක්තිගරුක සමාජයක් බිහිවන්නේ නැති බවද නිමළරාජන්ට යුක්තිය ඉල්ලීමේ 24වන වසරේදීද ලියා තැබිය යුතුය.

නිමලරාජන් මාධ්‍යවේදීයා පිළිබදව ඔහුගේ සමීපතම මිතුරෙකු වූ යාපනයේ මාධ්‍යවේදියෙකු වන තයාබරන්, පසුගිය 2012 වසරේ අගෝස්තු 11දා අපට මුණ ගැසුණේ ශ්‍රී ලංකාවේ බන්ධනාගාරයක් තුලදී මරා දැමුණූ යාපනයේ මරියදාස් ඩෙල්රුක්ෂාන්ගේ අවසන් කටයුතු සිදු කරමින් තිබූ යාපනයේ සුසාන භූමියක දීය.

එදින අප තයාබරන්ගෙන්, නිමලරාජන් පිළිබදව විමසූවෙමු. එහිදී ඔහු ප්‍රකාශ කළ කරුණු පසුගිය වසරේදීත් මාධ්‍යවේදී නිමලරාජන් සිහිකරමින්, ඔහුට යුක්තිය ඉෂ්ඨ කිරීමට බලකරමින් එම සටහන තැබු අතර අද ද එම සටහන නැවතත් තබන්නේ එහි ඇති සියුම් වැදගත්කම නිසාවෙනි.

මේ මාධ්‍යවේදී නිමලරාජන් සහ නිමලරාජන් ඝාතනය පිළිබදව, මාධ්‍යවේදී තයාබරන් සමග පැවත්වූ සාකච්ඡාවේ සටහන නැවත මෙසේ පළකරමු.

‘‘මගේ මිත්‍රයෙක් වන නිමලරාජන් තමයි මාව මාධ්‍ය ක්ෂේත්‍රයට හඳුන්වලා දුන්නෙ. නිමලරාජන් සමග මම අවුරුදු 4ක් 5ක් විතර වැඩ කරලා තියෙනවා. එයාගෙ මරණෙට පෙර අන්තිමටට දුරකථනයෙන් කතාකරපු අයගෙන් මමත් එක්කෙනක්. එයාගෙ ආරක්ෂාවට තිබුණු තර්ජන ගැන අන්තිම කාලෙදි මට කියලා තියෙනවා. රජය සමග සිටින ඊ.පී.ඞී.පී නායක ඩග්ලස් දේවානන්ද එයාගෙ මරණය පිටුපස ඉන්නවා කියන එක කවුරුත් දන්න තොරතුරක්. නිමලරාජනුත් ඒ පිරිසගෙන් තමාට මරණ තර්ජන තිබූ බව අපට කිව්වා. ඩග්ලස් දේවානන්දගේ නියෝගය මත එතුමාගේ යටතේ සේවය කළ නැපෝලියන් (දැන් ඔහු ලන්ඩනයේ දේශපාලන රැකවරණ ලබා සිටිනවා) නිමලරාජන් ඝාතනය කළේ කියලා හැමෝම දන්නවා. සුපුරුදු ලෙසම ශ්‍රී ලංකා රජය නිමලරාජන්ගේ නඩුවත් අතහැරලා තියෙනවා. නීතිපතිගේ නියෝගය තවම ලැබිලා නැහැ කියලා අවුරුදු 8ට වැඩි කාලයක් තවමත් ෆයිල් එක ඔහේ දාලා තියෙනවා.

නිමලරාජන් ලංකාවේ ජනමාධ්‍යවේදීන්ට ආදර්ශයක්. නිමලරාජන් කියන්නෙ ප්‍රවීණ ජනමාධ්‍යවේදී සිවරාම්ගේ පරපුරේ කෙනෙක්. එයාට දෙමළ, සිංහල සහ ඉංග්‍රීසි යන භාෂා තුනම හොඳින් භාවිතා කරන්න පුළුවන්. රාවය, බීබීසී සංදේශය වැනි ප්‍රධාන මාධ්‍ය වල එයා වැඩ කරලා තියෙනවා. යාපනයට නිමලරාජන්ගෙ අඩුව පුරවන්න වෙන කෙනෙක් නැහැ. නිමලරාජන්ගෙ පවුලෙ අයව අපි ආරක්ෂිතව විදේශකට යවලා තියෙනවා.

අපි දැන් නිමලරාජන් නමින් සංවිධානයක් පිහිටුවලා තියෙනවා. එම සංවිධානය ජනමාධ්‍යවේදීන්, ඒ අයගෙ පවුලෙ අය, ජනමාධ්‍ය ක්ෂේත්‍රයට සම්බන්ධ අය පිළිබඳව හඬ නගන වගේම උදව් උපකාරද ලබා දෙනවා. ඒ සමග වන්නි යුද්ධයේ හානියට පත් ජනමාධ්‍යවේදීන් සහ එම පවුල් වලටද අපි උදව් ලබා දෙනවා, ජනමාධ්‍යවේදීන් සිහි කරමින් පොත් එලි දක්වනවා. මේ අකාරයට හැම අවුරුද්දදෙම නිමලරාජන් සංවිධානය විසින් කටයුතු කරනවා. ඒ වගේම මේ කටයුතු අපි දිගින් දිගටම කරගෙන යනවා.

නිමලරාජන්, සිවරාම් ඝාතනය වූ පරිසරයම තමයි දැනටත් තියෙන්නෙ. ජනමාධ්‍ය නිදහස නැහැ. මෙහි මාධ්‍ය නිදහසක් කියලා දෙයක් නැහැ. දැනුත් අපි සාමාන්‍ය කැමරාවක්, සාමාන්‍ය රෙකෝඩරයක් ගෙනාවේ. ඒකත් ගෙනාවේ කාටවත් නොපෙනෙන විදිහට. අපිට සිදුවීමක් වෙන තැනකට වෘත්තීමය කැමරාවක් රැගෙන යන්න බැහැ. අපිව ලූහුබඳිනවා. අපේ රාජකාරිය අවසන් වෙලා ගෙදර යනකන් අපේ ආරක්ෂාව ප්‍රශ්නාර්ථයක්. ශ්‍රී ලංකා රජය දෙමළ ප්‍රදේශය වල තිබෙන ජනමාධ්‍ය මර්ධනය කිරීමෙන් ජනතාවට ඇත්ත තොරතුරු දැනගැනීමට තිබෙන අවස්ථාව වලක්වනවා.”

ලංකාවේ මෙතෙක් බලයට පත් වූ දේශපාලන ධාරාවට පිටින් දැන් අලුත් ආණ්ඩුවක් පත්ව තිබේ!!

[Re-Post]