එළැඹෙන මැතිවරණයේදී මොන හේතුවක් නිසාවත් නොකළ යුතු දේවල් දෙකක් තිබේ. එකක් වන්නේ, ‘මාලිමාව’ නොවන පක්ෂයකින් ආණ්ඩුවක් පිහිටුවීම සඳහා අවස්ථාව සැලසීමයි. දෙවැන්න, වන්නේ ‘මාලිමාවට’ තුනෙන් දෙකක බලයක් ලබාදීමයි. මේ දෙකම නොකළ යුතුය. ඒ දෙකෙන් කොයි එක සිදු වුණත්, එහි ප්‍රතිඵලයක් වශයෙන් අවුරුදු පහක් නිස්කාරණේ නාස්ති කරගත්තේ යැයි පශ්චාත්තාප වීමට අවසානයේදී අපට සිදු වනු ඇත.

ජනාධිපතිවරයා ඇතුළු පාර්ශ්වය ‘මාලිමාවෙන්’ පාර්ලිමේන්තුව පිරවීමට කතා කරති. මේ මැතිවරණය පැවැත්වෙන්නේ, ආණ්ඩුවක් පිහිටුවීම සඳහා මිස විපක්ෂයක් පත්කරගැනීම සඳහා නොවේ යැයි ඔවුන්ගේ සමහරු කියති. අනිත් පැත්තට, සමගි ජනබලවේගය වැනි ප්‍රධාන විපක්ෂය කියන්නේ, රට සංවර්ධනය කිරීමේ සෑම හැකියාවක්ම තිබෙන්නේ තමන්ගේ පක්ෂයට බැවින් ජනාධිපති අනුර කුමාර දිසානායක යටතේ ඊළඟ ආණ්ඩුව තමන් විසින් පිහිටවිය යුතු බවයි.

මුළු පාර්ලිමේන්තුවම මොනම පක්ෂයකින්වත් පිරවීම, ප්‍රජාතන්ත්‍රවාදය නොවේ. මන්ද යත්, ප්‍රජාතන්ත්‍රවාදය යනු, බහුතරයට අයත් නොවන සියලූ පිරිස් හෙවත් සුළුතරය පිටමං නොකරමින්, රාජ්‍ය ක්‍රියාවලිය තූළට ඒ සුළුතරයත් සම්බන්ධ කරගනිමින් ගෙන යන බහුතරයේ පාලනයක් වන බැවිනි. බහුතරය ජයග්‍රහණය කළ පමණින්, රාජ්‍ය පාලනයේ ඒකාධිකාරයක් එකී පක්ෂයට හිමි වීම, ලංකාව වැනි රටක ප්‍රජාතන්ත්‍රවාදයට කොහොමත් අනතුරුදායකයි. එම තත්වය, තනි පක්ෂයක් පමණක් ඇති උතුරු කොරියාව වැනි කොමියුනිස්ට් පාලන ක්‍රමයක් පවතින රටවල රාජ්‍යකරණයට බොහෝදුරට සමාන වනු ඇත. ලංකාවේ ජනතාවට එවැනි ක්‍රමයක් අවශ්‍ය නැති බව, 1971 නැඟිටීම සම්බන්ධයෙන් අද දක්වා ජන මනස තුළ තැන්පත්ව තිබෙන නිෂේධනීය ආකල්පයෙන්, එක අතකින් පෙන්නුම් කෙරේ. අනිත් පැත්තෙන්, එකී තනි පක්ෂ ක්‍රමය සහ කොමියුනිස්ට් ක්‍රමය පිළිබඳ සංකල්පීය සහ ප්‍රායෝගික වෙනස්කම් ඇති කරගන්නා තෙක්, කිසි කොමියුනිස්ට් හෝ මාක්ස්වාදී පක්ෂයක් රාජ්‍යකරණය සඳහා ඈතින්වත් සම්බන්ධ කරගැනීමට ලංකාවේ ජනතාව හැමදාමත් පසුබට වී ඇති බවත් අමතක නොකළ යුතුයි. සමසමාජ/කොමියුනිස්ට් මතවාද සහිත පක්ෂ (සමසමාජ සහ කොමියුනිස්ට් පක්ෂ) රාජ්‍ය පාලනය සඳහා ජනතාව විසින් භාරගැනුණේ (1970) එකී වෙනස්කම්, ඔවුන්ගේ අභ්‍යන්තරයෙන් ඇති කරගත් පසුවයි. තවද, 1971 තරුණ නැඟිටීමට නායකත්වය දුන් ජනතා විමුක්ති පෙරමුණ, සුළුතර පක්ෂයක සිට අද වන විට රාජ්‍ය පාලනය දක්වා ගෙන ඒමට මේ රටේ ජනතාව ඉදිරිපත් වී ඇත්තේද, රෝහණ විජේවීරගේ ජනතා විමුක්ති පෙරමුණෙන් වෙනස්ව, අනුර කුමාරගේ ‘මාලිමාව’ ධනේශ්වර ප්‍රජාතන්ත්‍රවාදී මාවතක ගමන් කරන බවට යම් සහතිකයක් ජනතාව තුළ ඇති වීමෙන් පසුව පමණයි. එහිදී පවා, ‘මාලිමාවේ’ ජනාධිපතිවරයෙකු පත්කරගැනීමට මෙරට ජනතාවගෙන් බහුතරයක් උරදුන්නේ නැත. අනුර කුමාර දිසානායක ලබාගත් සියයට 42 ඡන්ද ප්‍රමාණයෙන් එය මනාව ස්ඵුට වෙයි. ඒ නිසා, තනි පක්ෂ ක්‍රමයකට ආසන්න විය හැකි ආකාරයෙන්, ‘මාලිමාවෙන්’ පාර්ලිමේන්තුව පිරවීම වැනි තත්වයක්, ප්‍රජාතන්ත්‍රවාදය ගැන ආදරයක් ඇති කෙනෙකු අපේක්ෂා නොහොබී.

අලූත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සඳහා
තනි පක්ෂයකට තුනෙන් දෙකක් අවශ්‍ය නැත

‘මාලිමාව’ මේ කතාව කියන්නේ, අලූත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් ගෙන ඒම අරමුණු කරගෙන යැයි කියති. ඒ සම්බන්ධයෙන් මුලින්ම කිව යුතු දෙය වන්නේ, ඒ අලූත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මොන වගේදැයි රටට නොකියමින්, එවැන්නක් සඳහා අතිබහුතරයක අනුමැතියක් අපේක්ෂා කිරීම කොහෙත්ම නුසුදුසු බවයි. ජනතාව නොදන්නා දෙයක් අනුමත කරගැනීම සඳහා පාර්ලිමේන්තුවක් තනි පක්ෂයකින් පිරවීම අතිශය අමනෝඥයි.

ඊළඟ කාරණය වන්නේ, අලූත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් ඇත්තෙන්ම අවශ්‍ය වන්නේ නම්, එවැන්නක් තනි පක්ෂයක බලයෙන් පමණක් සම්මත කරගැනීමට කෙනෙකු අපේක්ෂා කිරීමම, ප්‍රජාතන්ත්‍ර-විරෝධී වන බවයි. 1972 ජනරජ ව්‍යවස්ථාව සම්මත කරගැනුණේ එවැනි තුනෙන් දෙකක බලයක් ඇති සිරිමා බණ්ඩාරනායක මැතිනියගේ ආණ්ඩුවෙනි. එදා එම ආණ්ඩුව රටේ වෙනත් පාර්ශ්ව, විශේෂයෙන් දෙමළ ප්‍රජාව නියෝජනය කරන පාර්ශ්ව බැහැර කරමින්, තමන්ගේම වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සම්මත කරගත් උඩඟු ආකාරය ගැන අපේ ඉතිහාසය දෙස් දෙයි. ඒ වන තෙක්, (සුද්දාගෙන් ලැබී තිබුණු) සෝල්බරි ව්‍යවස්ථාවෙන් සහතික කර තිබූ, ලංකාව වැනි බහු-වාර්ගික සමාජයකට අත්‍යවශ්‍ය යැයි කවුරුත් පිළිගත යුතු, සුළුතරයේ අයිතීන් ආරක්ෂා කිරීම සඳහා ම පනවා තිබූ 29 (2) වගන්තිය, ඉහත කී 1972 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් ඉවත් කෙරුණි. එපමණක් නොව, එතෙක් අපේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ නොතිබුණු, ‘බුද්ධාගමට ප්‍රමුඛත්වය දීමේ’ වගන්තියකුත් අලුතෙන් ඊට ඇතුළු කෙරුණි. ප්‍රමුඛ ස්ථානය ලැබෙන එක් ආගමක් සහ දෙවැනි ස්ථානයට තල්ලූ කෙරෙන තවත් ආගම් වශයෙන් අනවශ්‍ය වර්ගීකරණයක් අපේ සමාජ-දේශපාලන දේහයට ඇතුළත් වුණේ, තුනෙන් දෙකේ පාර්ලිමේන්තු බලයකින් 1972 දී සම්මත කරගත් එකී ජනරජ ව්‍යවස්ථාවෙනි.

එහි අදහස කුමක්ද? බහුතර බලය විසින් තීන්දු ගැනීම යන, කවුරුත් එකඟ වන සහ මතුපිටින් සාධාරණ යැයි කාටත් පෙනෙන පාලන රීතිය, ලංකාව වැනි බහු-වාර්ගික සහ බහු-ආගමික සමාජයක ප්‍රායෝගිකව ක්‍රියාත්මක වනු ඇත්තේ, ‘වාර්ගික-බහුතරයක’ හෝ ‘ආගමික-බහුතරයක’ අනිසි බලයක් වශයෙන් බවයි. ඒ හැම විටකම, යම් සුළුතරයක් -ආගමික හෝ ජාතික සුළුතරයක්- එහි වින්දිතයන් බවට පත්වෙති. නිදහසෙන් පසු අපේ ඉතිහාසය තුළ ඊට උදාහරණ රාශියක් තිබේ.

සිරිමා බණ්ඩාරනායකගෙන් පසුව, 1977 දී ජේ. ආර්. ජයවර්ධනට තුනෙන් දෙකේ සීමාවත් අභිබවා යන (හයෙන් පහේ?) බලයක් ලැබුණි. ඒ බලය පාවිච්චි කරමින් ඔහු කළ ප්‍රධාන කර්තව්‍යය, අද වන තෙක් ලංකාවේ රාජ්‍ය පාලනයට අත්කර දී ඇති ලොකුම හෙණය අපට දායාද කර තිබේ. එනම්, 1978 දී ඇති කරගත් විධායක ජනාධිපති ක්‍රමයයි. මේ වනාහී, සිරිමා බණ්ඩාරනායක 1972 දී පටන්ගත් අධිකාරීවාදී පාලන මාවතේ ඊළඟ මහා පිම්ම විය. මේ අවස්ථා දෙකම, තුනෙන් දෙකේ රාජ්‍ය පාලනයන් විසින් ඉතා උඬගු ආකාරයෙන් සමාජය වෙත පටවන ලද රෝගී තත්වයන් වශයෙන් අපට හඳුනාගත හැකි ය.

හොඳම ව්‍යවස්ථා සංශෝධන ගෙනාවෙ
අඩුම බලය ඇති පක්ෂවලිනි

මෙතෙක් කීවේ, තුනෙන් දෙකේ බලයකින් ඇති කරගත් (බ‍්‍රෑන්ඞ් නිව්) අලූත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවන් ගැන ය. එතකොට, ව්‍යවස්ථා සංශෝධනවල තත්වය සහ තුනෙන් දෙකේ බලය අතර ඇති සහසම්බන්ධය කුමක්ද? මේ දක්වා අපේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට සංශෝධන 21 ක් එක්ව තිබේ. එයින් බොහොමයක්, සීමිත කර්තව්‍යයන් පිණිස ගෙන එන ලද සිල්ලර සංශෝධනයන් ය. දේශපාලන දේහයේ සහ සංස්කෘතියේ වෙනසක් සඳහා දායක වී ඇති සංශෝධන අල්පයි. ඒවා අතරින් 13 වැනි ව්‍යවස්ථා සංශෝධනය එකකි. පළාත් සභා ක්‍රමය ඇති කෙරුණේ ඒ මගිනි. මේ ලියුම්කරුගේ අදහස වෙනස් එකක් වුණත්, අදටත් එම සංශෝධනයට දකුණේ බොහෝ දෙනා විරුද්ධ බව, ප්‍රායෝගිකව නැතත්, දේශපාලනික වාගාංලංකාර තුළින් පෙන්නුම් කර තිබේ. මෙම සංශෝධනය ගෙනෙන අවස්ථාවේද පාලක පක්ෂයට විශාල බලයක් පාර්ලිමේන්තුව තුළ තිබුණි. එහෙත් එය වැදූ මව වශයෙන් අර කියන විරුද්ධවාදීන් සලකන්නේ, ඉන්දියාවයි. එරට විසින් අපට බලහත්කාරයෙන් පැටවූ දෙයක් වශයෙන් ඔවුන් විසින් මෙය අර්ථකථනය කරනු ලැබේ. ඒ නිසා ඒ පිළිබඳ කතාව, අපි පැත්තකින් තියමු.

එහෙත්, අපේ ව්‍යවස්ථා සංශෝධන අතරේ, සමාජ ප්‍රසාදය දිනාගත්, සියලූ පාර්ශ්වවල අනුමැතිය දිනාගත්, ප්‍රගතිශීලි යැයි නිර්භයව හැඳින්විය හැකි ව්‍යවස්ථා සංශෝධන කිහිපයක් තිබේ. ඒ හැම සංශෝධනයක්ම, ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදයේ උන්නතිය සඳහා මිස, පක්ෂයක හෝ යම් කඳවුරක කෙටිකාලීන දේශපාලනික හෝ පුද්ගල බල අවශ්‍යතා සඳහා ඇති කරගත් සංශෝධන නොවේ.

ඉන් පළමුවැන්න වන්නේ, 17 වැනි ව්‍යවස්ථා සංශෝධනයයි. චන්ද්‍රිකා බණ්ඩාරනායක ජනාධිපතිනිය විසින් ගෙනෙන ලද එය, ඉන්දියාව හෝ වෙනත් විදේශ කුමන්ත්‍රණකාරී බලවේගයක් විසින් අප මත පටවන ලද සංශෝධනයක් යැයි කිසිවෙක් නොකියති. එය සම්මත කරගැනීම සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, එක්සත් ජාතික පක්ෂය සහ ජනතා විමුක්ති පෙරමුණ ඒ වෙනුවෙන් සිය ඡන්දය පාවිච්චි කරමින් ඊට උර දුන්නේය. (මේ පනත සඳහා ඡන්දය නොදුන්නේ චම්පික රණවක පමණි). විධායක ජනාධිපතිවරයාගේ අසීමිත බලතල කප්පාදු කිරීම සඳහා අප විසින් ගත් පළමු ප්‍රයත්නය එයයි. මේ සංශෝධනය ගෙනෙන අවස්ථාවේ චන්ද්‍රිකා බණ්ඩාරනායක ජනාධිපතිනියට පාර්ලිමේන්තුවේ තිබුණේ ඉතා දුර්වල සරල බහුතරයක් පමණක් බව අවධාරණය කළ යුතුය. එනම්, යාන්තම් පිරිමසාගත් බහුතරයක් පමණි.

ඊළඟට, අපේ ව්‍යවස්ථා සංශෝධන මාලාවේ වඩාත් වැදගත් සංශෝධනය වන්නේ, 2015 යහපාලන ආණ්ඩුවෙන් ගෙනා 19 වැනි ව්‍යවස්ථා සංශෝධනයයි. එය සම්මත කරගන්නා අවස්ථාවේ (සිරිසේන-වික්‍රමසිංහ) යහපාලන පාර්ශ්වයට තිබුණේ (මගේ මතකයේ හැටියට) ආසන 80 ට අඩු සංඛ්‍යාවකි. එහිදීත්, එක පුද්ගලයෙකු (සරත් වීරසේකර) හැර සෙසු සියලූ පක්ෂ සහ පුද්ගලයන් ඒ සඳහා ඡන්දය පාවිච්චි කළහ. මේවායින් පෙනී යන්නේ, හොඳ වැඩ කිරීමට කිසි ආණ්ඩු පක්ෂයකට තුනෙන් දෙකක් හෝ විශාල බහුතරයක් අවශ්‍ය නොකරන බවයි.

මෙවැනි ප්‍රගතිශීලී ව්‍යවස්ථා සංශෝධනවලට අනිත් පැත්තෙන් ඇත්තේ, අතිශය ප්‍රතිගාමී සහ ප්‍රජාතන්ත්‍රවාදයට හතුරු ව්‍යවස්ථා සංශෝධනයන් ය. ඒ අතරින්, 18 වැනි සංශෝධනය සහ 20 වැනි සංශෝධනය කැපීපෙනෙයි. ඒ දෙකම සම්මත කරගැනුණේ, පාර්ලිමේන්තුවේ විශාල බලයක් සහිත ආණ්ඩු පක්ෂයක් රජ කරන අවස්ථාවන්හිදී ය. එකක්, මහින්ද රාජපක්ෂගේ යෝධ බල කඳවුර බලයේ සිටි අවස්ථාවේදී ය. අනික, ගෝඨාභය රාජපක්ෂගේ විශාල බහුතරය බලයේ සිටි අවස්ථාවේ ය. මෙයින් අදහස් වන්නේ, අපේ ආණ්ඩුක්‍රම ඉතිහාසය තුළත්, ආණ්ඩුක්‍රම සංශෝධන ඉතිහාසය තුළත්, ප්‍රගතිශීලි සහ සමාජ හිතකාමී සංශෝධන ඇති කරගැනීම සඳහා තුනෙන් දෙකක බලයක් අවශ්‍ය කර නැති බවත්, තුනෙන් දෙකේ බලය ඇති පාලකයන් ඇති කරගෙන ඇත්තේම, ප්‍රජාතන්ත්‍ර-විරෝධී සහ අධිකාරීවාදී ව්‍යවස්ථා සංශෝධන පමණක්ම බවත් ය.

අත්හදාබැලීම හිතාමතා කඩාකප්පල් කළොත්
පාඩුව රටටයි

ඒ පැත්තේ කරුණු එසේ වූවද, අනිත් පැත්තෙන්, අනුර කුමාර දිසානායකගේ ‘මාලිමාවට’ මෙවර ප්‍රමාණවත් ආණ්ඩු බලයක් ලබා නොදීම, කිරි කළයට ගොම තැම්බක් දාගැනීමට සමාන වන බවත් ඉඳුරා කිව යුතුය. මෙහිදී අප අමතක නොකළ යුතු වැදගත් පාඩමක් තිබේ. එනම්, මේ වනාහී, සද්භාවයෙන් යම් ආකාරයක පරීක්ෂණයක් අත්හදාබලන කාලයක් වන බවයි. අවුරුදු 76 ක් තිස්සේ කෙසේ වෙතත්, ඉන් බොහෝ කාලයක් තිස්සේ බලයට පත් පාලකයන්, සොරකම, වංචාව සහ දූෂණය අපේ දේශපාලනික දේහයේ පිළිකාවක් දක්වා උත්සන්න කර ඇති බව කවුරුත් දනිති. බලය හසුරුවා ඇති පිරිසක් වශයෙන්, ඒ සියල්ලන්, අඩුවැඩි වශයෙන් ඊට වගකිව යුතුය. දූෂණය විසින් ආර්ථිකය වෙත ඇති කර තිබෙන මූල්‍යමය බලපෑම සංඛ්‍යාත්මකව ගණනය කිරීම අසීරු ය. බොහෝවිට ඒවා, අතිශයෝක්තියට සමීප වෙයි. එහෙත්, දූෂිත සංස්කෘතිය, අතිශයෝක්තියට නැඟිය නොහැකි තරමට, ජීවමානයි. මේ සංස්කෘතිය නැති කිරීමේ ආරම්භයක් ගත හැකි නම් එය කළ හැක්කේ, අනුර කුමාර දිසානායකගේ මාලිමාවට පමණි. ඔවුන් කිසිවෙකු මෙතෙක් කල් සොරකම් කර නැති බැවිනි. අනිත් පැත්තෙන්, අපේ ප්‍රජාතන්ත්‍රීය ආයතනික පද්ධතීන් (රාජ්‍ය සේවය සහ නීතිය පසිඳලීම වැනි) ගිලී ඇති දූෂිත චර්යා රටාවන්ගෙන් ගොඩගත යුතුව තිබේ. එය නැති කිරීමේ ආරම්භයක් ගත හැක්කේද, ඊට සහභාගී වී නැති පිරිසකටයි. ඒ නිසා, අලූත් සංස්කෘතියක් පිළිබඳ අත්හදාබැලීම පැවරීමට, ‘මාලිමාව’ තරම් සුදුසුකම් වෙනත් පාර්ශ්වයක් දැනට සොයාගැනීමට නැති බව පැහැදිලියි.

දෙවැනුව, අපේ රටේ පවතින විධායක ජනාධිපති ක්‍රමයේ ස්වභාවය සලකා බලන්න: ජනාධිපතිවරයාට ප්‍රතිවිරුද්ධ දේශපාලන පක්ෂ විසින් පාර්ලිමේන්තු බලය හොබවන සහ එසේ වීම රටේ සංවර්ධනයට ඉඳුරා හානියක් නොවන රටවල් තිබේ. (ප්‍රංශය, මේ මොහොතේ ඊට උදාහරණයකි). එහෙත් ලංකාවේ දේශපාලන සංස්කෘතිය තුළ එය ක්‍රියාත්මක වන්නේ, මරාගෙන මැරෙන දිසාවකට ය. යහපාලන ආණ්ඩුවේ අවසාන භාගය ඊට උදාහරණයකි. අත්හදාබැලීමක සාර්ථක අවසානයක් දැකීමේ සද්භාවයක් කෙනෙකුට ඇත්නම්, ඒ පරීක්ෂණය සඳහා අවශ්‍ය මූලික පහසුකම් සැපයීමටත් අවංක විය යුතුය. මූලික පහසුකම් නොදී, අත්හදාබැලීමේ සාර්ථකත්වයක් අපේක්ෂා කිරීම අතාත්විකයි. ලංකාවේ තත්වය අනුව, ඒ සඳහා මේ මොහොතේ අවශ්‍ය මූලික පහසුකම වන්නේ, ජනාධිපතිවරයා සහ ආණ්ඩුව එක පක්ෂයකින් සමන්විත වීමයි. මා කලින් කී උදාහරණ (චන්ද්‍රිකා විසින් 17 සම්මත කරගැනීම ආදිය), දැන් මා කියන මේ තර්කයට පටහැනි බවක් පාඨකයාට හැෙඟනවා ඇති.

මීට කලින් සඳහන් කළ අවස්ථාවන්හිදී (17 සහ 19 ව්‍යවස්ථා සංශෝධන) කැපීපෙනෙන වෙනසක් තිබුණි. එනම්, අදාළ කාරණය, දීර්ඝ කාලයක් තිස්සේ සමාජ සංවාදයට බඳුන් වූ සහ සියලූ පක්ෂ ප්‍රතිපත්තිමය වශයෙන් එකඟතා ඇති කරගත් නිමිති වශයෙන් පැවති බව ය. ඒ නිසා, ආණ්ඩු පක්ෂයට බහුතරයක් හෝ සෑහෙන බහුතරයක් නොතිබීම ප්‍රශ්නයක් නොවුණි. එහෙත්, දූෂණ-විරෝධය සහ සොරුන් ඇල්ලීම වැනි කරුණු බෙහෙවින් විවාදපන්නයි. ඒ සඳහා පුළුල් පක්ෂ පරාසයක් ඔස්සේ එකඟතා ඇති කරගැනීම අපහසුයි. රනිල් වික්‍රමසිංහ සහ රාජපක්ෂ කඳවුර දූෂණය ගැන නිකමටවත් කතා කිරීමට පවා පැකිළෙති. එක්කෝ, හොරකම් සහ දූෂණ සිදුව නැතැයි කියති. ඉතිං, එවැනි පිරිසකට පාර්ලිමේන්තුවේ බහුතරය දුන්නොත්, ‘මාලිමාවේ’ අත්හදාබැලීම කිරීමට ඔවුන් අකුල් හෙලනවා නියතයි.

දෙවැන්න වන්නේ, වර්තමාන පාලක කුලකයේ ස්වභාවය වෙනස් වීමයි. අත්දැකීම් නැති සහ ආධුනික වැනි විශේෂණ, වර්තමාන පාලකයන් සම්බන්ධයෙන් බහුලව භාවිත වෙනු අපට දැකිය හැකිය. ඒ කතාව බොරුවක් නොවේ. එහෙත් එය, රාජ්‍ය පාලනය කෙරෙහි අගතියක් වෙනු ඇත්තේ, ආධුනික වීමට අමතරව ඔවුන් බුද්ධිමත්ද නොවුණොත් ය. (ගෝඨාභය රාජපක්ෂ උදාහරණයකි). අනුර කුමාර දිසානායකගේ සිට එම කඳවුරේ ප්‍රමුඛ පෙළේ නායකයන් සම්බන්ධයෙන් එවැනි නිගමනයකට පැමිණීමට හැකියාවක් නැත. ඇත්ත ආරෝව ඇත්තේ එතැන නොව. ඔවුන් ප්‍රභූන් නොවීම ය! රනිල් සහ රාජපක්ෂ කුලකයේ දේශපාලනඥයන්ද, ඇත්ත අර්ථයෙන් ගත් විට, ප්‍රභූන් නොවේ. එහෙත්, පසුගිය දශක දෙකක පමණ කාලය තිස්සේ ඔවුන් ප්‍රභූන් බවට රූපාන්තරණය වී තිබේ. ඒ පිරිසට වාවාගත නොහැකි වී ඇත්තේ, ‘පිටස්තර’ නිර්ප්‍රභූන් පිරිසක් රාජ්‍ය බලයට පැමිණ තිබීමයි.

ඊළඟ පාර්ලිමේන්තුවේ සාමාන්‍ය බහුතරයක් (113-120) ‘මාලිමාවට’ නොලැබුණොත්, අර කී ඊනියා ප්‍රභූන් ආණ්ඩුවේ හැන්ද අතට ගනු ඇත. එතැන් සිට දිගහැරෙනු ඇත්තේ, ජනාධිපතිවරයා සහ ආණ්ඩුව අතර දිග්ගැස්සෙන යුද්ධයකි. එම තත්වය ඇති නොවන තැනට වගබලාගැනීමට ඡන්දදායකයන් පරිස්සම් විය යුතුය.

ගාමිණී වියන්ගොඩ | Gamini Viyangoda