iMage: cccu.org

2024 පාර්ලිමේන්තු මැතිවරණය එළඹෙන 14වනදා පැවැත්වෙයි. එම පාර්ලිමේන්තු මැතිවරණය සදහා දේශපාලන පක්ෂවලින් 5006ක් සහ ස්වාධීන කණ්ඩායම්වලින් 3346ක් මැතිවරණය සදහා ඉදිරිපත් වී සිටියි. ඒ අනුව සමස්ථ අපේක්ෂකයින් ගණන 8352කි. එයින් පාර්ලිමේන්තුව සදහා තෝරාපත් කර ගැනෙන්නේ පාර්ලිමේන්තු මංත්‍රීවරුන් 225කි.

පාර්ලිමේන්තුව මාලිමාවෙන් පිරවීම

ජනාධිපති අනුර කුමාර දිසානායක ඇතුළු පාර්ශ්වය ‘මාලිමාවෙන්’ පාර්ලිමේන්තුව පිරවීම සදහා කතා කරමින් සිටී. ’14 වනදා තිබෙන්නේ මහා ශ්‍රමදානයක්’ ඊයේ(09) පැවති රැස්වීමකදී ජනාධිපතිවරවයා ප්‍රකාශ කළේය. ඔහුගේ ප්‍රකාශය තුළ කරුණු 2කක් ගම්‍ය වන්නේය. එකක් නම් දූෂිතයන් පාර්ලිමේන්තුව නියෝජනය කිරීම වැලැක්වීමයි. එය ඉතා යහපත් දෙයකි. අල්ලස, දූෂනයට විරුද්ධ, අල්ලස, දුෂණය තුරන් කිරීම වෙනුවෙන් පෙනී සිටින කිසිවෙක්ට ජනාධිපතිවරයාගේ එම ප්‍රකාශය සමග එකගවනවා හැර එයට විරුද්ධ වීමට නොහැකිය.

අනෙක් කරුණ නම් ජනාධිපතිවරයා සහ මාළිමාවේ ප්‍රධාන සටන්පාඨයක් වන්නේ පාර්ලිමේන්තුව මාළිමාවෙන් පිරවීමයි. ප්‍රජාතන්ත්‍රවාදය පිළිබද කුඩා හෝ අදහසක් ඇති ඕනෑම පුරවැසියෙක් මෙමම කරුණ සිහි තබා ගැනීම ඉතාමත් වටින්නේ ය. එනම් සමස්ථ පාර්ලිමේන්තුවම එකම පක්ෂයක මංත්‍රීවරුන්ගෙන් පිරවීම ප්‍රජාතන්ත්‍රවාදය නොවන බවය. එය තවත් ලෙසකට ලියන්නේ නම්, ප්‍රජාතන්ත්‍රවාදය යනුම සංඛ්‍යාත්මක බහුතරයට අයත් නොවන සංඛ්‍යාත්මක සුළුතරය පූර්ණ දේශපාලන ක්‍රියාකාරීත්වයෙන් පිටමං නොකර පූර්ණ දේශපාලන ක්‍රියාකාරීත්වයට සහභාගී කර ගැනීමයි. ඇතුලත් කර ගැනීමයි. ඉතිහාසය විසින් ද අපට පෙන්වා දී ඇත්තේ බහුතරයේ ජයග්‍රහනය ප්‍රජාතන්ත්‍රවාදයට අනතුරුදායක බවයි. එයින් ඒකාධිකාරයක් ඇතිවීම වැළැක්විය නොහැකියි. වෙනස් මත සහ වෙනත් අදහස්වලට ඇති ඉඩ ඇහිරීම වැළැක්විය නොහැකියි. එබැවින් එය ප්‍රජාතන්ත්‍රවාදී වටිනාකම් ප්‍රවර්දනය කරන සමාජයකට අනතුරුදායක වනු ඇත.

විශේෂයෙන් ජාතීන්ගේ විවිධත්වයක් ඇති රටකට එය අනතුරුදායක වනු ඇත. එයින් සිදුවන්නේ විවිධත්වය සම්පතක් ලෙස ආමන්ත්‍රණය කරමින් පූර්ණ දේශපාලන ක්‍රියාකාරීත්වයට එය අත්‍යවශ්‍ය කලාපයක් ලෙස කියවා ගනිමින් ක්‍රියාකාරීත්වයකට පත්කර ගන්නවා වෙනුවට විවිධත්වය නොපිළිගැනීමයි. විවිධත්වය නොපිළිගන්නා, විවිධත්වය සම්පතක් ලෙස පිළිනොගන්නා දේශපාලන ක්‍රියාවලියක් ලංකාව වැනි විවිධත්වයෙන් පිරි රටකට එතරම් පොහොසත් අනාගතයක් උදා කරන්නේ නැත. අපගේ ප්‍රාර්තනය එසේ නොවී විවිධත්වය(ජාතීන් – අදහස් ආදී) සම්පතක් ලෙස පිළිගන්නා පාලනයක් 14වනදා පසු උදාකිරීමට එළඹෙන පාර්ලිමේන්තුවට හැකි වේවා යන්න ය.

බහුතරය වෙනුවට බහුත්වවාදය

බහුත්වවාදය යන්නෙන් අදහස් කරන්නේ සමාජයක් තුළ විවිධත්වය හඳුනා ගැනීම සහ අගය කිරීමයි. එයින් අදහස් කරන්නේ ජනවර්ග, සංස්කෘතීන්, ආගම් හෝ අදහස් වැනි විවිධ කණ්ඩායම්/ අදහස් පද්ධතීන් ඔවුන්ගේ අද්විතීය අනන්‍යතා පවත්වා ගනිමින් සහජීවනයෙන් හා අන්තර්ක්‍රියා(දේශපාලන) කරන බවයි. බහුත්වවාදී සමාජයන් හි, කණ්ඩායම් අතර වෙනස්කම්/ විවිධත්වයන් එම සමාජය වඩා පොහොසත් කරනු ලබන සාධකයක් ලෙස සැලකේ. එය සෑම ආකාරයෙන්ම දියණු සංස්කෘතික අගයක් හෝ ඉදිරි දර්ශනයක් නියෝජනය කරන විචිත්‍රවත්, අයිතිවාසිකම් ප්‍රවර්ධනය කරගනු ලබන ලක්ෂන සහිත උත්සවයක සිටීම වැනි ය.

එය ද්විත්වවාදයට සහ මනෝවාදයට විකල්පයක් වන අතර එහිදී බහුත්වවාදියෙකු විශ්වාස කරන්නේ මූලධර්ම වර්ග දෙකකට වඩා ඇති බවයි. බහුත්වවාදයේ දර්ශනය කැරකෙන්නේ බහු සත්‍යයන් සහ දෘෂ්ටිකෝණයන් සහජීවනයෙන් පවතින අතර පිළිගැනීම හා ගෞරවය ලැබිය යුතුය යන අදහස වටා ය. එය හුදෙක් ඉවසීමෙන් ඔබ්බට ගොස්, විවිධ අදහස්, විශ්වාසයන් සහ සංස්කෘතීන් පිළිබද ගැඹුරු මැදිහත්වීමක්/යහපැවැත්මක් සහ අනයෝන්‍යය පොහොසත් කිරීම සඳහා පෙනී සිටියි. එය චින්තනයේ හා භාවිතයේ “විවිධත්වය” සෞඛ්‍ය සම්පන්න, ගතික සමාජයක්, ප්‍රජාතන්ත්‍රීය සමාජයක් සඳහා අත්‍යවශ්‍ය බව අවධාරණය කරයි. එබැවින් ශ්‍රී ලංකාවට අවශ්‍ය කරනුයේ දේශපාලන බහුතරය වෙනුවට “දේශපාලන බහුත්වවාදය” වෙනුවෙන් පෙනී සිටින දේශපාලනයකි. බහුවිද පක්ෂ, අදහස් සහ අවශ්‍යතා නියෝජනය කරන සහ සහජීවනයෙන් කටයුතු කළ හැකි දේශපාලන ක්‍රමයක් පිළිබද ක්‍රියාකාරී අදහසකි. එය තනි පක්ෂ ක්‍රමයක් හෝ ඒකාධිපති ආණ්ඩුවක් පිළිබඳ අදහසට එරෙහිව ගැඹුරින් පෙනීසිටිමින් නැගී සිටියි. ඒ වෙනුවට, එය දේශපාලන බහුත්වවාදය ප්‍රවර්දනය කරයි.


“බහුතරය හෝ බහුතරයේ කැමැත්ත/බලය හෝ බහුතරය නමින් රූපාන්තරණය කර ගනිමින් හෝ බහුතරය හි අදහස, ක්‍රියාකාරීත්වය විසින් මේ රටට සිදුකර ඇති විනාශය අතිවිශාලය. එපමණක් නොව ඓතිහාසිකව සිදුකල බහුතර අදහස- දේශපාලන ක්‍රියාකාරීත්වය විසින් අනෙකුත් අදහස්, සංඛ්‍යාත්මක සුළුතර ජාතීන් ඇතුල් කරගැනීම වෙනුට සිදුකර ඇත්තේ පිටමං කිරීමය. එබැවින් බහුතරය වෙනුවට බහුත්වවාදී අදහස, දේශපාලන ක්‍රියාකාරීත්වය අද ද හෙට ද ලංකාවට ඉතා වැදගත් වනු ඇත”

    එළඹෙන 14 වනදා ඒ වෙනුවෙන් සිය ඡන්දය භාවිතා කිරීම මෙරට පුරවැසියන්ගේ වගකීමකි.

    එය තවදුරටත් කෙටියෙන්ම ලියන්නේ නම්, “බහුතර කැමැත්ත” හෝ බහුතර කැමැත්ත යැයි උපකල්පනය කරමින් හෝ රූපාන්තරණය කරමින් දෙමළ සමාජයටත්, මුස්ලිම් සමාජයටත් අප විසින් සිදුකර ඇති හානිය සුලුපටු නොවේ. ඉතිහාසය පිරික්සීමේදී පමණක් නොවේ අද ද ඇතැම් අවස්ථා වලින් එය පනාවට පිළිඹබු වෙයි.

    එබැවින් බහුතරය වෙනුවට, බහුත්වවාදය වෙනුවෙන් පෙළ ගැසීම 14වනදා සිය ඡන්දය භාවිතා කිරීමෙනුත් ඉන් පසුවත් ශ්‍රී ලංකාවේ පුරවැසියන්ගේ වගකීමකි. එසේ නොවුනහොත් ‘පොහොසත් රටක්’ ප්‍රතිපත්ති ප්‍රකාශනය තුළ පමණක් ඉතිරි වනු ඇත.