iMage: 30 August 2024/ Jaffna
ජාතික ජන බලවේගය පැවති පාර්ලිමේන්තු මැතිවරණයෙන් බහුතර බලයක් අත්පත් කරගෙන තිබේ. පාර්ලිමේන්තු මැතිවරණයකදී එක් පක්ෂයක් විසින් ලබාගත් වැඩිම ඡන්ද ප්‍රතිශතයක් වන 61.56% ලබා ගනිමිනි. එය ඡන්ද 6863186කි.(මීට පෙර පොදු ජන පෙරමූන විසින් ඡන්ද 6853960ක් ලබා ගත්තේ 2020 පැවති මහමැතිවරණයෙනි) එය පාර්ලිමේන්තු මැතිවරණයකදී එක් පක්ෂයක් ලබාගත් වැඩිම ආසන සංඛ්‍යාවක්ද සටහන් කරමිනි, එය ආසන 159කි. දැන් “බහුතර බලය” ඇත්තේ ජාතික ජන බලවේගයට ය.
එම මැතිවරණයේදී යාපනය දිස්ත්‍රික්කයේ ඡන්ද 9066ක් ලබා ගත්තේ ද ජාතික ජන බලවේගයයි. ඡන්ද 2582ක් ලබා ගත්තේ ඉලංගෙයි තමිල් අරුසුකච්චි විසිනි. අබිල ඉලංගෙයි තමිල් කොංග්රස් විසින් ලබාගත් ඡන්ද සංඛ්‍යාව 1612කි. ඡන්ද 1361 ලබා ගැනීමට ඊලාම් ජනතා ප්රජාතන්ත්රවාදී පක්ෂය සමත් විය. ප්රජාතන්ත්රවාදී දෙමළ ජාතික සංධානය ලබාගත් ඡන්ද සංඛ්‍යාව 1124කි. ඒ අනුව යාපනය දිස්ත්‍රික්කයේ “ජයග්‍රහණය” ජාතික ජන බලවේගය හිමිකර ගත්තේය.
මේ ඡන්ද ප්‍රතිඵල නිකුත් වූ සැණින් සමාජ මාධ්‍ය තුළ විශේෂයෙන් ෆේස්බුක් හී බොහෝ පිරිසක් සිය ‘සතුට’ ‘උද්දාමය’ ආදී දේවල්වලින් සිය ප්රොෆයල් සහ පේජයන් පුරවන්නට විය. අනෙක් දිස්ත්‍රික්කවල මෙන් නොව ඔවුන් සියලු දෙනාටම මෙය සුවිශේෂි විය. “යාපනය ආවා කියන්නේ දැන් නිදා ගත්තත් කමක් නෑ වගේ” “උතුරට මෙතෙක් තිබුණේ සිංහල නොතේරෙන ප්‍රශ්නයක් නොවේ. ඔවුන්ගේ යැයි දැනෙන මිනිසෙක් නොසිටීමේ ප්රශ්නයකි” ” ලොකුම ජයග්‍රහණය උතුරේ ප්රතිඵලයයි” වැනි අදහස් සිය ගණනක් පළ කිරීමට බොහෝ දෙනෙක් උනන්දු විය. මෙය නරක තත්ත්වයක් නොවේ. “හොද”, “අවංක ප්රවණතාවයකි” විය හැකිය.
”ලොකුම ජයග්‍රහණය යාපනය. ඒ සහෝදර සහෝදරියන් අපට දෑත් දිගු කළා. අපි ඔවුන්ව තරයේ වැළදගත යුතුයි” මේවා අවංක විය හැකිය. ත්‍යාගශීලී ද විය හැකිය. නමුත් එම තත්ත්වය ඇති කලේ දෙමළ මිනිසා විසින් මාළිමාව යාපනයේ දී ජයග්‍රහණය කරවීම නිසාය. එහි සෘජු අනෙක් අර්තය වන්නේ ඔවුන් මාළිමාව ට ඡන්දය නොදුන්නානම් ඔවුන් මෝඩයන්ය.(2024 ජනාධිපතිවරණය) ඡන්දය දුන් නිසා සහෝදරයන්ය(පාර්ලිමේන්තු මැතිවරණය 2024)
සිංහල බෞද්ධ අධිපතිවාදය තිබුණේ දකුණේ, ඒ නිසයි ජනාධිපතිවරණයේදී(2024) ඡන්දය නොදුන් නිසා ඔවුන් මෝඩ උනෙත්, දැන්, පාර්ලිමේන්තු මැතිවරණයේදී(2024) ඡන්දය ලබා දුන් නිසා සහෝදරයින් උනෙත් ඒ නිසයි. මේ දෙකේදීම දකුණේ හැසීරීම අදේශපාලනිකයි.
අනෙක් දිස්ත්‍රික්කවල ඡන්ද ප්‍රතිඵලවලට නැති, එහෙත් යාපනයට ඇති විශ්මිත තත්ත්වය කුමක්ද?
එය එක් ලෙසකින් මෙසේ දැක්විය හැකිය.
මේ ‘විනෝදය’ තුළ පිටතට නොපෙනෙන කලාපයක් තිබේ. එනම් දකුණේ “වරදකාරී හැ ඟීම යි”(ෆේස්බුක් පෝස්ට් බොහෝමයක නිරීක්ෂනයෙන්- එහීදි එම අදහස් ඉදිරිපත් කල ඇතැම් අය යුද්ධය ඇතුලු සිදුකල අපරාධවලට සෘජුවම එරෙහී වූවන් සිටි බව ද සලකන්න. ඔවුන්ගේ ඒ අවංකභාවයට ගරු කරමු.) එම වරදකාරී හැඟීම දැන හෝ නොදැන පිටතට හෙළි කිරීමේ එක් මාර්ගයක් ලෙස යාපනයේ ඡන්ද ප්‍රතිඵලය තුළින් මතු පිටට පැමිණි ඇතුලත කාලපයයි. මෙය ද නරක තත්ත්වයක් නොවේ. සමූල ඝාතනයක සිට ඉන්පසු වසර ගණනාවකට පසුව වුවත් වරදකාරී හැඟීමක් මිනිසෙක්ට වද දෙන්නේ නම්, ඉන් පසු එළඹෙන මොහොත අයහපත් නොවීමට ඉඩ තිබේ. නමුත් යාපනය පිළිබද ගොනු ගතකල සියලු අදහස් ඒ සැබෑ අර්ථයෙන් දැයි නොදනිමු.
නමුත් ඇතැම් පෝස්ට් අභ්‍යන්තරයේ ඒ හැඟීම තිබූ බව නිරීක්ෂණය කළෙමි. නමුත් එයට සුජාත බාවයක් ලැබෙන්නේ, සිදුකරන ලද්දේ සංහාරයක් බව දකුණේ මේ සමූහය විසින් පිළිගන්නේ නම් පමණි. එසේ නොවුනහොත් ඒවා හුදු “විනෝදවීම්” පමණකි.
තවත් ලෙසකින්….
පසුගිය වසර 30කට වඩා කාලයක් යාපනය දිහා බලන් දකුණේ බොහෝ දෙනෙක් විනෝද විය. දැන් යාපනයේ මිනිසුන් මාලිමාවට(දකුණේ දේශපාලන පක්ෂයකට) ඡන්දය ලබාදීම පිළිබදව විනෝද වෙමින් ඇත. මේ දෙකේම පොදු ගුණාකාරයක් තිබේ. එනම් දෙමළ මිනිසා තුලින් නැවත නැවතත් විනෝද වීමය. ඉතිහාසය පුරා දකුණ, දෙමළා මතින් විනෝද වූවා හැරෙන්නට මේ දක්වා සැළකිය යුතු කිසිවක් දේශපාලනිකව සිදුකර නැත. සිදුකර ඇත්තේ දේශපාලනයට පූර්ණ ලෙස සහභාගීවීමට ඇති අයිතිය හැකි සෑම ආකාරයකින්ම මර්දනය කිරීමට උත්සහා කිරීමයි. ඔවුන්ගේ නිදහස, ආර්ථිකය ඇතුලු බොහෝ දේවල් මර්දනය කිරීම සදහා විවිධ අන්දමේ කූඨ උපායන් භාවිතා කිරීමයි. යුද්ධාවසනයෙන් පසුවද මිලිටරිය යොදා ගනිමින් සිදු කරන, ඒ සියලු මර්දනීය දේවල්වලට රාජ්‍ය අනුග්‍රහය ලැබීමයි.
දැන් “බහුතර බලයක්”
දැන් ජාතික ජන බලවේගයට(NPP) “බහුතර බලයක්” තිබේ. එබැවින් යාපනය පිලිබද සතුටුවීමේන් ඔබ්බට ගොස් “ඇත්ත සහ විනිවිදභාවයකින් යුත් දේශපාලන ප්‍රතිසංස්කරණ” කුමක්ද සහ එහි වගකීම සමාජයට ඉදිරිපත් කිරීම එළඹෙන නව ආණ්ඩුවේ ප්රමුඛ කාර්යයක් වන්නේය. මක්නිසාද යත්, ඒ ලබා දුන් ඡන්දයෙන් ප්‍රකාශ වන්නේ සතුටු විය හැකි යාපනයක් ලබා දීමේ වගකීම දකුණට ඇති බවය. එය ලබාදීම නොව එසේ සතුටු විය හැකි යාපනයක් සදහා ඔවුන්ට ඇති අයිතිය තහවුරු කිරීමය. ඔවුන්ගේ දේශපාලන ඉල්ලීම්වලට ඇහුම්කම් දී, සාධාරණය ඉටු කිරීමය. වසර ගණනක් පුරා සිදුකළ අපරාධවලට යුක්තිය ඉටු කිරීමය. දැන් නව ජාජබ ආණ්ඩුවට එය සිදුකිරීමට පාර්ලිමේන්තුව තුළ බාධාවක් ඇති විය නොහැක.
එසේම නව ජාජබ ආණ්ඩුවට තවත් පහසුවක් ඇත. එනම් ඔවුන්ගේම නිර්මාණයක් වන “විශ්‍රාමික රණවිරු සාමූහිකය” ඒ වසර ගණනාවක් පුරා සිදුකල අපරාධ ගැන හොදින්ම දන්නා බවට කිසිදු සැකයක් නැත. ඔවුන් එම අපරාධ සියැසින් දුටුවන් විය හැකිය. දැන් එක් පැත්තකින් සාක්ෂි ඇත්තේ තමන්ගේම පොකැට් එකේය. එබැවින් ඒ පහසුවත් මාළිමාණ්ඩුවට තවත් පහසුවක් විය හැකිය. එහිදී අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයා උතුරේදී ප්‍රකාශකළ, ඉඩම් නිදහස් කිරීමත්, දේශපාලන සිරකරුවන් නිදහස් කිරීමත් පමණක් නොවේ. යුද්ධය අවසාන කාලයේ දී ශ්‍රී ලංකා ආරක්ෂක අංශවලට බාරදුන් දෙමළ පුරවැසියින්ට සිදුවූයේ කුමක්ද යන්නත්, බලහත්කාරයෙන් අතුරුදහන්කළ අයට සිදුවූයේ කුමක්ද යන්නත් ඇතුලු අපරාධවලට සම්බන්ධ, අපරාධකරුවන් නීතිය ඉදිරියට ගෙන ඒමටත්, ඒවා හෙළි කිරීමට එයම පහසුවක් වනු ඇත.
“රට එක්සේසත් වෙලා!” තවත් එවැනිම වූ ෆේස්බුක් පෝස්ටුවක සදහන් විය.
ඇත්තටම යාපනය ගැන මේ තරම් සතුටු ඇයි?
ජනාධිපතිවරණයේදීත් උතුර දේශපාලනිකයි, පාර්ලිමේන්තු මැතිවරණයේදීත් උතුර දේශපාලනිකයි. එසේ කියන්නේ ඇයි? 2024 ජනාධිපතිවරණයේදී ජාතික ජන බලවේගයේ ජනාධිපති අපේක්ෂක අනුර කුමාර දිසානායක යාපනයට ගොස් ඉතාමත් “ජාතිවාදී” අදහසක් ප්‍රකාශ කළේය. එයින් පසු දෙමළ මිනිසුන්, ජනාධිපතිවරණයේදී අනුර කුමාර දිසානායක ට සිය ඡන්දය ප්‍රකාශ කළේ නැත. (මගේ මිතුරන්ට අනුව එම ප්‍රකාශය “අනුර නොකර ඉන්න තිබුණ කතාවක්” යැයි කියයි) ජනාධිපතිවරණයේ ප්‍රතිඵලවලින් පසු “උතුරට අධ්‍යාපනය දෙන්න ඕන.” වැනි නරුම අදහස් සමාජ මාධ්‍ය තුළ සැරිසැරුවේය. ඇතැම් අයෙක් උතුරට තණකොළ යැවිය යුතු යැයි වැනි ප්‍රකාශද සිදුකළා මතකය.
දැන්, ඉන් දින 50කට පසු පාර්ලිමේන්තු මැතිවරණයේදී අනුර කුමාර ජනාධිපතිවරයා විසින් උතුරේ සිදුකළ කතාවක, ඔහු මෙසේ කියයි.(අදහස) දේශපාලන සිරකරුවන් පිළිබද ප්‍රශ්ණය, නීතිපති උපදෙස් ලබා ගෙන විසදනවා! ආරක්ෂක හේතූමත ලබා ගත් ඉඩම් නැවත ජනතාවට ලබා දෙනවා! යැයි කීවේය. එයින් පසු දෙමළ මිනිසුන් මාළිමාව ට ඡන්දය ලබා දුන්නේය. අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයා සිදුකළ එම ප්‍රකාශය සියලු පුරවැසියන්ගේ පැසසුමට ලක් විය යුතු අතර එය ඉතාමත් යහපත් ප්රවණතාවයකි. ඒ ’යහපත් ප්‍රවණතාවය’ යහපත් ලෙස ගනිමින් යාපනය මාළිමාව දිනවීමට කටයුතු කළේය.
මේ අවස්ථා දෙකේදීම හෙවත් ජනාධිපතිවරණයේදී උතුර විසින් ගත් තීරණයත්, පාර්ලිමේන්තු මැතිවරණයේදී උතුර විසින් ගත් තීරණයත් පෙන්නුම් කරන්නේ උතුර දේශපාලනික බවය.
යාපනයේ ඡන්ද ප්‍රතිඵලය, දකුණේ ප්‍රධානතම සාධකය බවට පත්කරගනිමින් සියලු ආකාරයේ සතුටුවීම්, විනෝදවීම්, විග්රහයන්, සැළසුම්, යෝජනා ආදී සියලු තත්ත්වයන්ගෙන් තව දුරටත් වඩාත් පැහැදිලි වන්නේ උතුර මගහැර දකුණේ දේශපාලනය සකස් කර ගත නොහැකි බවයි. මේ බව මාළිමාණ්ඩුවේ ජනාධිපති ඇතුලු පත්වීමට නියමිත බහුතර ආණ්ඩුව අවබෝධකර ගැනීම ලංකාවේ ප්රජාතන්ත්රවාදයේ සෞඛ්‍යට යහපතක් වන්නේය. එපමණක් ද නොවෙයි, ආර්ථිකය වර්ධනය කිරීම, දුෂණය නැති කිරීම ආදී ජීවිතයට බලපාන දේවල් පිළිබද සිදුකෙරන සාකච්ඡා සේම “රාජ්‍ය අපරාධකාරීත්වය” නම් නිදන්ගත රෝගයට ප්‍රතිකාර නොකෙරෙන්නේ නම් ආර්ථිකය කොතරම් වර්ධනය කිරීමට වෙහෙසුනත් ඵලදායක වන්නේ නම් නැති බවත් ලියා තැබිය යුතුය.
පසු සටහන – කෙසේ නමුත් ජාතිවාදය, ආගම්වාදය වපුරවමින් සිය දේශපාලන බලය චිරාත්කාලයක් තහවුරු කර ගැනීමට සිහින මැවූ අධිපතිවාදී රාජපක්ෂලා, වික්‍රමසිංහලා, තොණ්ඩලාගේ සහ බණ්ඩලාගේ රූස්ස ගස් මුලුත් සමගම ඇද වැටී තිබේ. එය ඓතිහාසික මොහොතකි.
##
Example: