iMage: englishspeaker.com

නොවැම්බර් 6 වැනි දින පැවති මාධ්‍ය හමුවේදී පළ කළ ඔන්ලයින් ආරක්ෂණ පනත (OSA) පිළිබඳ කැබිනට් ප්‍රකාශක අමාත්‍ය විජිත හේරත්ගේ ස්ථාවරය ,පනතට අදාළව අනුර කුමාර දිසානායකගේ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ සඳහන් කර තිබූ දේ නැවත තහවුරු කරයි. ප්‍රතිපත්ති ප්‍රකාශය ප්‍රථම වරට නිකුත් කළ විට OSA පිළිබඳ ජාජබ හි ස්ථාවරය කියවීමෙන් මම දැඩි කලකිරීමට පත් වී මෙසේ ලිව්වෙමි. “අනුර කුමාර දිසානායක / ජාජබ OSA අපේ ව්‍යවස්ථාපිත පොත්වල තිබීම ප්‍රයෝජනවත් බව සිතයි. එය භාෂණයේ සහ ප්‍රකාශණයේ නිදහස සුරක්ෂිත/ශක්තිමත් කිරීම සඳහා ඔවුන්ගේ 2024 ජනාධිපතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශයේ ඇති අනෙකුත් පොරොන්දුවලට පටහැණිය. OSA පුද්ගලිකත්වයේ, සමාගමයේ සහ සාමකාමී ලෙස ඒකරාශී වීමේ නිදහස ඇතුළුව මුඛ්‍ය මූලධර්ම සහ අයිතිවාසිකම්වලට සම්පූර්ණයෙන්ම ප්‍රතිවිරුද්ධය. OSA අවලංගු කිරීම ප්‍රතිපත්ති ප්‍රකාශනයේ ප්‍රධාන කරුණ වනු ඇතැයි මා බලාපොරොත්තු වූ දෙය දැන් සිදු නොවේ. පක්ෂය සහ එහි නායකයා OSA යනු කුමක්ද යන්න ගැන හිතාමතාම නොදැන සිටීම, නැත්නම්, වඩාත් නරක ලෙස, බාහිර අලංකාරික සංශෝධන සමඟ තමන්ට අවශ්‍ය පරිදි මෙම නීතිය භාවිතා කිරීමට රහසේ කැමති වීම කණගාටුවට කරුණකි.”

කෙසේ වෙතත්, හේරත්ගේ ප්‍රකාශය පිළිබඳ අද ප්‍රවෘත්ති වාර්තාව විසින් ප්‍රතිපත්ති ප්‍රකාශනයේ තිබූ දෙය තවත් විස්තරාත්මක කරයි. ඔහු සඳහන් කළ දෙයින් යෝජනා කරන්නේ නව සංශෝධන තීරණය කිරීම සඳහා කෙරෙන විමර්ශන ක්‍රියාවලියක් සඳහා රජය උනන්දු වන අතර, සම්පූර්ණයෙන්ම නව පනත් කෙටුම්පතක් සඳහාද රජය විවෘත බවයි. නැවත නැවතත් අවධාරණය කරන ලද මගේ ස්ථාවරය නම්, OSA සම්පූර්ණයෙන්ම ක්‍රියා කළ නොහැකි, පවත්වා ගෙන යා නොහැකි, ප්‍රජාතන්ත්‍ර විරෝධී සහ එබැවින් අවලංගු කළ යුතු එකක් බවයි.

අනෙක් අතට, නව රජය, මෙම ස්ථාවරය ඔවුන් සාක්ෂාත් කර ගැනීමට උනන්දුවක් දක්වන දෙයට මුරණ්ඩු ලෙස විරුද්ධ හෝ සතුරු වීමක් ලෙස දැකිය හැකි අතර, සද්භාවයෙන් එසේ සිතීම මම අගය කරමි. එසේම, ජනාධිපතිවරයා සහ ආණ්ඩුවට විරුද්ධ සමහරු, සිංහල-බෞද්ධ ස්වෝත්තමවාදීන් විසින්, 2012, 2014, 2018 මුල බොදු බල සේනා විසින්, සහ විශේෂයෙන් 2019 පාස්කු ඉරිදා ත්‍රස්තවාදයෙන් පසුව සමාජ මාධ්‍ය උපයෝගි කර ගත් ආකාරයටම, ඔන්ලයින් කටකතා සන්නද්ධ කිරීමෙන් උපායමාර්ගික, නොසන්සුන්තාවයක් ඇති කිරීමට වඩා දෙයක් නොකරන්නන් වීමද – 2014 සිට සිදු කරන බොහෝ ආචාර්ය උපාධි නිබන්ධන සහ ඔන්ලයින් හානි පිළිබඳ පර්යේෂණවලට වඩා – මම අගය කරමි. මෙම ඉතිහාසය සහ ප්‍රායෝගික දේශපාලන කරුණු සලකා බැලීම අනුව, OSA සම්පූර්ණයෙන්ම ප්‍රතික්ෂේප කිරීම සහ අවලංගු කිරීම සඳහා වන තර්කය, ගිනි අවුලුවන සාවද්‍ය තොරතුරු (disinformation) පැතිරීම නැවැත්වීම සඳහා, සීමිත යෙදුමකින් වුවද අවශ්‍ය මෙවලමක් ලෙස රජයේ ඇතැමුන් දකින නීතියක් ඉවත් කිරීම ලෙස වටහා ගත හැකිය.

මෙකුට අර්ථවත් සංශෝධන සඳහා නව රජය දක්වන උනන්දුව සහ දැන් පවතින නීතිය පිළිබඳ ප්‍රතිපත්තිමය විවේචනය සමනය කළ හැක්කේ කෙසේද?

OSA කෙටුම්පත් කිරීම, එය පාර්ලිමේන්තුවේ ශෝකී ප්‍රහසනයක් ලෙස කඩිමුඩියේ සම්මත කිරීම සහ අගෝස්තු මාසයේ කළ සංශෝධන පවා, කිසි විටෙක නිර්වචනය කිරීමට සහ ඔන්ලයින් හානි සම්බන්ධයෙන් කටයුතු කිරීමට මානව හිමිකම් පදනම් කරගත් ප්‍රවේශයක් යන්තම් හෝ ගාවා ගත්තේ නැත. OSA හි උරුම වන දෑ සහ විය හැකි අවහිරතා සැලකිල්ලට ගෙන, OSA හි නරකම දේ ආමන්ත්‍රණය කිරීමට මානව හිමිකම් රාමුවක් රජයට උපකාර කරන්නේ කෙසේදැයි සලකා බැලීමට මෙය සුදුසු කාලය බව මම විශ්වාස කරමි.

එහි ඇත්තේ කුමක්ද?

මානව හිමිකම් ප්‍රමුඛ ප්‍රවේශයක් ඇතුළත් කර ගත යුතු සහ පෙළඹවිය යුතු දේ මොනවාදැයි පැහැදිලි කිරීම සඳහා, ප්‍රකාශනයේ නිදහස සඳහා වූ හිටපු එක්සත් ජාතීන්ගේ විශේෂ වාර්තාකරු David Kaye ගේ මූලික ලිවීම් සහ අදහස් මත මම මූලිකව පදනම් වෙමි. මීට අමතරව, මම World Economic Forum (WEF) හි, බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවේ සහ Chatham House හි ප්‍රකාශනද අදාළ කරගෙන ඇත.

Kaye විසින් රචිත A New Constitution for Content Moderation සහ The Risks of Internet Regulation සමඟ Kaye සහ Jason Pielemeier විසින් රචිත The Right Way to Regulate Digital Harms මානව හිමිකම්වලට ප්‍රමුඛත්වය ලබා දෙමින් කරනු ලබන ඔන්ලයින් නියාමනය සඳහා වන ප්‍රවේශයේ මූලික රාමු වේ. Kaye 2014 සිට 2020 දක්වා විශේෂ වාර්තාකරු ලෙස කටයුතු කළේය. 2016 මැයි මාසයේදී, එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය වෙත ඔහු ඉදිරිපත් කළ වාර්තාවේ ‘ඩිජිටල් යුගයේ නියාමනය’ පිළිබඳ පූර්වගාමී අංශයක් ඇතුළත් වූ අතර එය මම මෙම ලිපිය ද භාවිතා කළෙමි.

2019 මාර්තු මාසයේදී, එක්සත් රාජධානියේ සාමි මන්ත්‍රී මණ්ඩලයෙහි සන්නිවේදන පිළිබඳ තේරීම් කාරක සභාව Regulating in a digital world ප්‍රකාශයට පත් කරන ලද අතර, එය ඔන්ලයින් අන්තර්ගත නියාමනය කිරීම යටත් විය යුතු මූලික මූලධර්ම දහයක් යෝජනා කළේය. ඒවාට සමානාත්මතාවය, වගවීම, විනිවිදභාවය, විවෘතභාවය, සදාචාරාත්මක සැලසුම්, පෞද්ගලිකත්වය, ළමාභාවය පිළිගැනීම, මානව හිමිකම්වලට ගරු කිරීම, ගුණාත්මකභාවය, අධ්‍යාපනය සහ දැනුවත් කිරීම, ප්‍රජාතන්ත්‍රවාදී වගවීම, සමානුපාතිකභාවය සහ සාක්ෂි පදනම් කරගත් ප්‍රවේශයක් ඇතුළත් විය. මෙම කරුණු බොහොමයක් David Kaye ගේ මානව හිමිකම් මූලිකාංග පිළිබඳ නැවත නැවතත් කෙරෙන අවධාරණය කිරීම්හි ඇතුළත් වේ.

2023 අගෝස්තු WEF විසින් Toolkit for Digital Safety Design Interventions and Innovations: Typology of Online Harms ප්‍රකාශයට පත් කරන ලදී. වාර්තාව “… පොදු පාරිභාෂිතයක් ගොඩනැගීමේ සහ අන්තර්ගත නිෂ්පාදනය, බෙදාහැරීම සහ පරිභෝජනය ඇතුළුව අන්තර්ජාලය තුළ පැන නගින විවිධ අවදානම් පරාස පිළිබඳ සාමූහික අවබෝධය ගොඩනැගීමේ පදනමක් ලෙස ක්‍රියා කරයි.”

මීට අමතරව, මම මෙම ලිපිය තුළ භාවිතා නොකළ ද, Asian Internet Coalition(AIC) හි ප්‍රකාශ සහ Global Network Initiative (GNI) විසින් පනත් කෙටුම්පත පිළිබඳව කළ මානව හිමිකම් පදනම් කරගත් විවේචන ද වැදගත් කියවීම් වේ.

2024 අගෝස්තු මාසයේ සිදු කරන ලද සංශෝධන උපහාසාත්මක ලෙස එහි මානයන් නරක අතට හැරවූ ආකාරය (මුල් නීතියේ සමහර ගැටලු ආමන්ත්‍රණය කරන අතරතුර) ඇතුළුව වත්මන් OSA පිළිබඳ මා විසින් කරන ලද සවිස්තරාත්මක අධ්‍යයනයක් තිබේ. ඕනෑම අනාගත සංශෝධනයක හෝ නව පනත් කෙටුම්පතක පදනම මානව හිමිකම් විය යුතුය යන මෙම ලිපියේ අවධාරණය විසින්, මෙම නීතිය පිළිබඳ මගේ කලින් විවේචනයේ සටහන් කර ඇති දේවල් නිශේධ නොකරයි. පරමාදර්ශී ලෝකයක OSA අහෝසි කළ යුතු බව නැවත අවධාරණය කරමි. නමුත් පවත්නා තත්වය අනුව එය සංශෝධනය කරන්නේ නම් රජය සලකා බැලිය යුත්තේ මොනවාද?

Kate සහ Chatham House විසින් අවධාරණය කරන ලද මානව හිමිකම් මූලධර්ම අන්තර්ගත කර ගැනීම

මූලික අයිතිවාසිකම් රාමුව: ඕනෑම සංශෝධනයක් අන්තර්ගතයන් සීමා කිරීම කෙරෙහි පමණක් අවධානය යොමු කරනවාට වඩා, එහි මූලික රාමුව ලෙස ජාත්‍යන්තර මානුෂවාදී නීතිය පැහැදිලිව ඇතුළත් කළ යුතුය. 2024 අගෝස්තු මාසයේදී සම්මත කරන ලද සංශෝධන, මුල් නීතියේ (ආගමික කෝපය වැනි) සමහර ගැටලුකාරී වගන්ති ඉවත් කිරීමෙන් මෙම ක්‍රියාවලිය ආරම්භ කළ නමුත් ක්‍රියාත්මක කිරීම සඳහා මාර්ගෝපදේශී මූලධර්ම ලෙස ප්‍රකාශනයේ නිදහස, පෞද්ගලිකත්වය සහ සමාගමයේ නිදහස තහවුරු කරමින් ඉදිරියට යා යුතුය.

අවශ්‍යතාවය සහ සමානුපාතික බව පිළිබඳ පරීක්ෂණ:
සංශෝධන සහ නව පනත් කෙටුම්පත David Kaye විසින් නැවත නැවතත් අවධාරණය කරන ලද “tri-partite test” (තල තුනකින් යුත් පරීක්ෂණය) උපයෝගී කර ගත යුතුය: ඔන්ලයින් ප්‍රකාශනය සඳහා වන ඕනෑම සීමාවක් නීත්‍යානුකූලභාවය, සුජාතභාවය සහ අවශ්‍යතාවය/සමානුපාතිකභාවය යන නිර්ණායක සපුරාලිය යුතුය. ඕනෑම අන්තර්ගතයක් ඉවත් කිරීමේ නියෝග හෝ වෙනත් සීමා කිරීම් නීතියෙන් පැහැදිලිව නියම කර ඇති බවත්, ඒවා නීත්‍යානුකූල අරමුණු ඉටු කර ගැනීම සඳහා වන බවත්, ඒවා එම අරමුණු සාක්ෂාත් කර ගැනීම සඳහා අවශ්‍ය සහ සමානුපාතික බවත් නිරූපණය කිරීමට සංශෝධන තුළින් ඔන්ලයින් ආරක්ෂණ කොමිසම (OSC) සඳහා නිශ්චිත අවශ්‍යතා ඇතුළත් කළ යුතුය.

ක්‍රියා පටිපාටි ආරක්ෂණ: Chatham House හි නිර්දේශ අනුගමනය කරමින් OSA විසින් පහත පරිදි ක්‍රියා පටිපාටි ආරක්ෂණ ශක්තිමත් කළ යුතුය:

● අන්තර්ගතය ඉවත් කිරීමට පෙර අධිකරණ අධීක්‍ෂණයට යටත් කිරීම (හදිසි අවස්ථාවන්හිදී හැර, නමුත් ඒවාද පසුව කාලානුරූපී පශ්චාත් බලාත්මක සමාලෝචනයට ( post- enactment review) යටත් විය යුතුය )
● පැහැදිලි අභියාචනා යාන්ත්‍රණ ස්ථාපිත කිරීම
● තීරණ ගැනීමේ ක්‍රියාවලි තුළ විනිවිදභාවය අනිවාර්ය කිරීම
● ස්වාධීන අධීක්ෂණ යාන්ත්‍රණ නිර්මාණය කිරීම. සමහර ක්‍රියාමාර්ග සඳහා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ අනුමැතිය අවශ්‍ය බව දැක්වීමෙන් අගෝස්තු මස කළ සංශෝධන මෙය තරමක් දුරට වැඩිදියුණු කළ නමුත් තවත් ඉදිරියට යා යුතුය. හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් OSA, අත්තනෝමතිකත්වය වැඩි කිරීමට යොදා ගැනීමේ අවදානමට ලක් කරමින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව විධායක ජනාධිපති ධූරයට යටත් වන බවට සැලකූ බැවින් මෙය විශේෂයෙන් වැදගත් වේ.

අර්ථ දැක්වීම්හි නිරවද්‍යතාවය: නව පනත් කෙටුම්පතක් හෝ යෝජිත ඕනෑම සංශෝධනයක් පීඩනයට යටත් වූ, පක්ෂග්‍රාහී, පටු සහ උපාය මාර්ගික අධිකරණ අර්ථ නිරූපණය ඇතුළුව වාරණය සක්‍රීය කරන අන්දමේ නොපැහැදිලි පාරිභාෂිතයක් භාවිතා කිරීමෙන් වැළකිය යුතුය. අගෝස්තු මාසයේ කළ සංශෝධන සමහර නොපැහැදිලි, ගැටළු සහගත නිර්වචන (“ව්‍යාජ ප්‍රකාශ” වැනි) සම්බන්ධයෙන් දියුණුවක් පෙන්වන නමුත් අනෙකුත් යෙදුම් තවමත් වැරදි අර්ථ නිරූපණ සහිතව පවතී. සංශෝධන උපායික, අත්තනෝමතික, ආත්මීය හෝ පක්ෂග්‍රාහී නිර්ණායක මත නොව, මානව හිමිකම් ප්‍රමිතීන්ට අනුකූලව ‘තහනම් අන්තර්ගතය’ යනු කුමක්ද යන්න නිශ්චිතව සහ සීමාකාරී ලෙස නිර්වචනය කළ යුතුය.

බහු පාර්ශ්වකාර පාලනය: Kaye සහ Chatham House යන දෙකම අවධාරණය කරන පරිදි, ඔන්ලයින් ආරක්ෂණ රෙගුලාසි සැලසුම් කිරීම, සමාලෝචනය සහ ක්‍රියාවේ යෙදවීම සඳහා විවිධත්වයෙන් යුත්, බහු පාර්ශවකරුවන් සම්බන්ධ විය යුතුය. සංශෝධන සිවිල් සමාජය, විෂය/domain විශේෂඥයන්, පර්යේෂකයන්, අවකාශ (platform) / අතරමැදි නියෝජිතයන්, පරිශීලක උපදේශක කණ්ඩායම් සහ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ විශේෂ ක්‍රියා පටිපාටි මත සහ ඒවා සමඟ වන විධිමත් උපදේශන යාන්ත්‍රණ මත පදනම් විය යුතුය.

අවකාශ වගවීමට ලක් කිරීමේ රාමුව: අත්තනෝමතිකව අන්තර්ගත ඉවත් කිරීම කෙරෙහි පමණක් අවධානය යොමු කරනවා වෙනුවට, සංශෝධන මගින් පහත සඳහන් පරිදි අවකාශ වගවීමට ලක් කිරීම සඳහා රාමුවක් ස්ථාපිත කළ යුතුය:

● නිතිපතා මානව හිමිකම් බලපෑම් තක්සේරු කිරීම්
● විනිවිදභාවයෙන් යුතුව වාර්තා කිරීමේ අවශ්‍යතාවය
● නිසි උනන්දු සහගත වගකීම්
● එක් එක් අන්තර්ගතයට විශේෂිත නියාමනයට අදාළ පද්ධතිමය ප්‍රවේශය පිළිබඳ Kayeගේ අවධාරණයට අනුකූල පරිශීලක ප්‍රතිකර්ම ක්‍රියාවලීන් (User remediation processes)

වරප්‍රසාදිත සහ පුද්ගලික සන්නිවේදන ආරක්ෂා කිරීම: Chatham House හි පුද්ගලිකත්වය පිළිබඳ අවධානයට ලක් කරන කරුණු අනුගමනය කරමින්, සංශෝධන මගින් encrypted සන්නිවේදන සහ පුද්ගලික පණිවිඩ පැහැදිලිව ආරක්ෂා කළ යුතුය. සංශෝධන මගින් සමහර සුපරික්ෂාවට ලක් කිරීමේ බලතල සීමා කිරීමෙන් මෙය විසඳීම ආරම්භ කර ඇති නමුත් මෙම නීතියේ පවතින පෙර නොවූ විරූ සහ සැලකිය යුතු ගැටළු සැලකිල්ලට ගෙන පුද්ගලිකත්වය ආරක්ෂා කිරීම තවදුරටත් ශක්තිමත් කළ හැකිය.

බැඳීම්: සංශෝධන තුළට සීමා කිරීම් පමණක් නොව, ඔන්ලයින් අවකාශ තුළ භාෂණයේ සහ ප්‍රකාශණයේ නිදහස ප්‍රවර්ධනය කිරීම සඳහා වන බැඳීම්ද ඇතුළත් විය යුතුය. මේවාට ඩිජිටල් සාක්ෂරතා වැඩසටහන්, විවිධත්වයෙන් යුත් හා දේශීය භාෂා අන්තර්ගත සඳහා සහාය, මාධ්‍යවේදීන්ගේ ආරක්ෂාව හා මානව හිමිකම් ආරක්‍ෂක සන්නිවේදනය සහ අවකාශවල විවිධත්වය සහ තරගකාරීත්වය ප්‍රවර්ධනය කිරීම ඇතුළත් විය හැකිය.

අයිතිවාසිකම්වලට ගරු කරන බලාත්මක කිරීමක්:
සංශෝධන මගින් බලාත්මක කිරීමේ යාන්ත්‍රණ පහත පරිදි මානව හිමිකම්වලට ගරු කරන බව සහතික කළ යුතුය:

● පැහැදිලිවම නීති විරෝධී අන්තර්ගතවලට අතරමැදි වගකීම් පැනවීම සීමා කිරීම
● අනවශ්‍ය ලෙස කරන කිරීම්වලින් ආරක්ෂා කිරීම
● සන්දර්භය සහ මහජන අවශ්‍යතා සලකා බැලීම
● සමානුපාතික දඬුවම් ස්ථාපිත කිරීම

අනාගතයට ඔරොත්තු දෙන සුළු බව (Future-proofing): කිසිවකුට නිවැරදිව අනාවැකි කිව නොහැකි ආකාරවලින් (Generative AI හොඳ උදාහරණයකි) තාක්ෂණය වේගයෙන් වෙනස් වේ. Kaye සහ Chatham House යන දෙදෙනාම කරන වේගවත්, නැවත නැවත සිදුවන තාක්ෂණික වෙනස්කම් පිළිබඳ අවධාරණය අනුව, ඕනෑම සංශෝධනයක් කළ යුත්තේ පහත පරිදිය:

● තාක්ෂණයට අදාළව මධ්‍යස්ථ භාෂාවක් (technology-neutral language) අනුගමනය කිරීම
● නව අභියෝගවලට අනුවර්තනය විය හැකි නම්‍යශීලී රාමු සැකසීම
● නිශ්චිත තාක්ෂණයකට වඩා මූලධර්ම කෙරෙහි අවධානය යොමු කිරීම
● නිතිපතා සිදු කරන සමාලෝචන යාන්ත්‍රණ ඇතුළත් කිරීම
● රට තුළ දැනටමත් පවතින AI වැනි නැගී එන තාක්ෂණයන් පිළිබඳ ප්‍රතිපත්ති සහ රාමු පිළිබිඹු කිරීම

එක්සත් රාජධානියේ සාමි මන්ත්‍රී මණ්ඩලයෙහි වාර්තාවේ සඳහන් මූලික මූලධර්ම දහයෙහි අදාළත්වය

1.සමානාත්මතා මූලධර්මය: “සමානාත්මතා මූලධර්මය” වඩාත් ස්ථාවර ලෙස යෙදීමෙන්, ඔන්ලයින් සහ ඔන්ලයින් නොවන අවකාශයේ සමාන ප්‍රතිඵල සහතික කරමින් වත්මන් නීතිය වැඩිදියුණු කළ හැක. OSA පුළුල් පරාසයක සහ පැහැදිලිතාවයකින් තොරව ඔන්ලයින් හානි ආමන්ත්‍රණය කරයි. එය ඔන්ලයින් නොවන අවකාශවල පවතින සමානකම් හා සමානව පෙළගැස්වීම හරහා එය ශක්තිමත් කළ හැකිය. අගෝස්තු මාසයේදී සම්මත කරන ලද සංශෝධන මගින් ඔන්ලයින් නොවන අවකාශයේ අයිතිවාසිකම් තුළ වඩා හොඳ සමානාත්මතාවයක් ළඟා කර ගැනීම සඳහා ආගමික කෝපය සහ කැරලි සම්බන්ධ කොටස් ඉවත් කරන ලදී. කෙසේ වෙතත්, ඔන්ලයින් සහ ඔන්ලයින් නොවන අවකාශවලට වෙනස් ක්‍රියාවට නැංවීමේ ප්‍රවේශ අවශ්‍ය බව හඳුනා ගනිමින්, බලාත්මක කිරීමේ යාන්ත්‍රණ, සර්වසම යාන්ත්‍රණ වනවාට වඩා සමාන ප්‍රතිඵල සෙවිය යුතු ඒවා බව නීතියට වඩාත් පැහැදිලිව ප්‍රකාශ කළ හැකිය.

2.වගවීම: OSA විසින් තවමත් ස්ථාපිත කර නොමැති සහ ඉතා ගැටළු සහගත ඔන්ලයින් ආරක්ෂණ කොමිසම (OSC) හරහා වගවීම ස්ථාපිත කරයි. නමුත් වඩාත් ප්‍රවේශ විය හැකි, කාර්යය සඳහා සුදුසු සහන (fit-for-purpose redress) සහ ප්‍රතිකර්ම යාන්ත්‍රණ එකතු කිරීමෙන් එය නැවත අර්ථ දැක්විය යුතුය. පනත මගින් අධිකරණ කටයුතු සඳහා විධිවිධාන සැලසුවද, අධිකරණය අවශ්‍ය නොවන යාන්ත්‍රණ ඇතුළුව ඉක්මන්, වියදම් අඩු ආරවුල් විසඳීමේ පද්ධති සඳහා ප්‍රතිපාදන සම්පුර්ණයෙන්ම වෙන් කර නොමැත. OSC සභාපතිවරයා රැස්වීම් කැඳවීම ප්‍රතික්ෂේප කරන විට ඊට ලිඛිතව හේතු දැන්විය යුතු බවට දැක්වීමෙන් සංශෝධන විසින් වගවීම වැඩි දියුණු කරයි. නමුත් බලාත්මක කිරීමේ ක්‍රියා සහ ඒවායේ ප්‍රතිඵල පිළිබඳව ප්‍රසිද්ධ වාර්තා නිකුත් කිරීම අනිවාර්ය කිරීමෙන් මෙය තවත් ඉදිරියට ගෙන යා හැක. විනිවිදභාවය වඩා හොඳ ප්‍රතිඵල ලබා දෙන අතර එමඟින් නීතිය කෙරෙහි මහජන විශ්වාසය තහවුරු වේ.

3.විනිවිදභාවය: පෙර කරුණ හා අදාළව, විශේෂයෙන් තීරණ ගැනීම සම්බන්ධයෙන් OSA හට වඩාත් ශක්තිමත් විනිවිදභාවයක් තිබීමේ අවශ්‍යතාවය ඇති කිරීමෙන් ප්‍රතිලාභ ලබා ගත හැකිය. යම් අන්දමේ තොරතුරු හෙළි කිරීමක් කළ යුතු වුවද, එහි ඇල්ගොරිතම තුළ විනිවිදභාවය පිළිබඳ නිශ්චිත විධිවිධාන හෝ අන්තර්ගත නියාමනය කිරීම පිළිබඳ නිශ්චිත පැහැදිලි කිරීම් නොමැත. සංශෝධනවල අවධාරණය කරන ව්‍යවහාර විධි සංග්‍රහය (මුළුමනින්ම වාගේ නවසීලන්තයෙන් ගත්) හරහා විනිවිදභාවයට අදාලව සපුරාලිය යුතු අවශ්‍යතා පැනවිය හැකි නමුත් මේවා මූලික නීති සම්පාදනය තුළ වඩාත් පැහැදිලිව අනිවාර්ය කළ හැක.

4.විවෘතභාවය: OSA හට විවෘතභාවය ආරක්ෂාව සමඟ වඩා හොඳින් සමතුලිත කළ හැකිය. හානිවලින් ආරක්ෂා වීම අරමුණ කරගනිමින්ම, එයට වඩාත් පැහැදිලිව භාෂණයේ නිදහස ආරක්ෂා කළ හැකිය. සංශෝධන මගින් සමහර සීමාකාරී විධිවිධාන ඉවත් කිරීමෙන් මෙය වැඩි දියුණු කරන නමුත් පළමු මූලධර්ම ආරක්ෂා කිරීමට වගකීම් සහ අර්ථවත් ආරක්ෂක පියවර සමඟ අන්තර්ජාල විවෘතභාවය නීතිය තුළට ඇතුළත් කළ හැකිය.

5.සදාචාරාත්මක සැලසුම්කරණය: මෙම මූලධර්මය OSA තුළ කිසිම අන්දමකින් අදාළ කරගෙන නැත. පනත හානිකර අන්තර්ගත ආමන්ත්‍රණය කළද, විශේෂයෙන් භාෂාවට අදාළව සහ හානි සිදුවීම හා පැතිර යාම වැළැක්විය හැකි නිෂ්පාදන ප්‍රාදේශීයකරණය කිරීම ආදී නිර්මාණ ප්‍රමිතීන් කෙරෙහි එය අවධානය යොමු නොකරයි. විශේෂයෙන්ම ශ්‍රී ලංකාවේ සමාජ මාධ්‍ය සන්නද්ධ කිරීමේ ඛේදනීය අත්දැකීම සැලකිල්ලට ගෙන , නිෂ්පාදන සංවර්ධනයේදී “නිර්මාණ සැලසුම හරහා ආරක්ෂාව” (safety by design) මූලධර්මය ඇතුළත් වන පරිදි සහ නව විශේෂාංග හෝ සේවාවල සදාචාරාත්මක බලපෑම් තක්සේරු කිරීම අනිවාර්ය වන පරිදි නීති සම්පාදනය කළ යුතුය.

6.පෞද්ගලිකත්වය: පුද්ගලික දත්ත ආරක්ෂණ පනත (PDPA) සමඟ අනුකූල වීම සඳහා OSA හි ඇති පෞද්ගලිකත්වය සම්බන්ධයෙන් වන ප්‍රතිපාදන සැලකිය යුතු ලෙස ශක්තිමත් කළ යුතුය. එතුළ පුද්ගලික තොරතුරු හෙළිදරව් කිරීම ඇතුළත් වන අතර, දත්ත අවම කිරීම සහ අරමුණු සීමා කිරීම පිළිබඳ ශක්තිමත් විධිවිධාන ඇතුළත් කරමින් එය PDPA හි රාමු සමඟ වඩා හොඳින් ඒකාබද්ධ කළ හැකිය. සංශෝධන හරහා කැමැත්තෙන් තොර සංවේදී අන්තර්ගත (Non-consensual intimate (NCII)) බෙදා ගැනීමට එරෙහිව ආරක්ෂාවන් සැපයීම යහපත් වන නමුත්, එය පෞද්ගලිකත්වය සම්බන්ධ වඩා පුළුල් රාමුවක කොටසක් විය යුතුය.

7.ළමාභාවය පිළිගැනීම: OSA හි ළමයින්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් ශක්තිමත් විධිවිධාන ඇතුළත් වුවද, එයට දරුවන්ගේ ඔන්ලයින් අයිතිවාසිකම් වඩාත් හොඳින් ඇතුළත් කරගත හැකිය. මෙම පනත ළමයින්ව හානිවලින් ආරක්ෂා කිරීම (හිටපු ආණ්ඩුවේ මන්ත්‍රීවරු පනත් කෙටුම්පත මහජනයා ඉදිරියේ සාධාරණීකරණය කිරීම සඳහා භාවිතා කළේ එම තර්කයයි) කෙරෙහි මූලික වශයෙන් අවධානය යොමු කරන නමුත් එතුළ මෙය සාක්ෂාත් කර ගන්නේ කෙසේද යන්න පිළිබඳ සාරවත් අන්තර්ගතයක් නොමැත. වඩා හොඳ පනතක්, හෝ අනාගත සංශෝධන විසින් දරුවන්ට ප්‍රයෝජනවත් වන ඔන්ලයින් මූලාශ්‍ර වෙත ප්‍රවේශය සහ ඔවුන්ගේ අවශ්‍යතා මනසේ තබාගෙන නිර්මාණය කරන ලද සේවා ප්‍රවර්ධනය කළ යුතුය.

8.මානව හිමිකම්වලට සහ සමානාත්මතාවයට ගරු කිරීම:
මෙම ලිපියට කේන්ද්‍ර වන කරුණ වන සහ එක්සත් රාජධානියේ පාර්ලිමේන්තු වාර්තාවෙන්ද පිළිබිඹු වන පරිදි, OSA තුළට වඩාත් පැහැදිලිව මානව හිමිකම් ප්‍රමිතීන් ඇතුළත් කළ යුතුය. යම් ආරක්ෂාවක් සැපයුවද, එය ජාත්‍යන්තර මානව හිමිකම් රාමු වඩාත් හොඳින් අදාළ කර ගත යුතු අතර, අවදානමට ලක්විය හැකි කණ්ඩායම් ආරක්ෂා කිරීම සහ ප්‍රවේශය සහතික කිරීම සඳහා නිශ්චිත විධිවිධාන ඇතුළත් කළ යුතුය. සංශෝධන විසින් බලාත්මක කිරීමේ යාන්ත්‍රණ වැඩි දියුණු කිරීම මගින් මෙය තරමක් වර්ධනය කර ඇති නමුත් වඩාත් පැහැදිලි මානව හිමිකම් ආරක්ෂණ එකතු කළ යුතුය.

9.අධ්‍යාපනය ලබා දීම සහ දැනුවත් කිරීම්: OSA තුළ ඩිජිටල් සාක්ෂරතාවය සහ දැනුවත් කිරීම් පිළිබඳ ශක්තිමත් විධිවිධාන නොමැත. යම් තරමකට පොදු අධ්‍යාපනයට ඉඩ සැලසුවද, එය වඩාත් පුළුල් වැඩසටහන් අනිවාර්ය කළ යුතු අතර, රටේ අංකුර ඩිජිටල් සාක්ෂරතා උත්සාහයන් සඳහා දායක වීමට සේවා සපයන්නන් මෙන්ම අතරමැදියන් ද අවශ්‍ය වේ. අගෝස්තු මාසයේදී හඳුන්වා දුන් සංශෝධන වැඩි බරක් තබා ඇති ව්‍යවහාර විධි සංග්‍රහය, අධ්‍යාපන අවශ්‍යතා නිර්දේශ කරන අතර ඒවා අනාගත සංශෝධනවලදී වඩාත් පැහැදිලිව සඳහන් කළ යුතුය.

10.ප්‍රජාතන්ත්‍රවාදී වගවීම, සමානුපාතිකත්වය සහ සාක්ෂි මත පදනම් වූ ප්‍රවේශය: OSA හි සංශෝධන මගින් ව්‍යවහාර විධි සංග්‍රහ සහ පාර්ලිමේන්තු අධීක්‍ෂණය පිළිබඳ මහජන උපදෙස් අවශ්‍ය බවට දැක්වීමෙන් මෙම අංගය වැඩිදියුණු කර තිබේ. නමුත් නීතියේ පවතින සැලකිය යුතු ගැටළු සමග සළකා බැලූ විට, මේවා OSA හි අනෙකුත් වගන්ති මගින් ඇති කරන තත්ව ආමන්ත්‍රණය කිරීමට ප්‍රමාණවත් පියවර නොවේ. සංශෝධන හෝ නව පනත් කෙටුම්පතක් ස්ථාවර, සාක්ෂි මත පදනම් වූ තීරණ ගැනීමේ අවශ්‍යතාවය සහ නියාමන ක්‍රියාමාර්ග නිතිපතා සමාලෝචනය කිරීමේ අවශ්‍යතාවය විශේෂයෙන් අවධාරණය කළ යුතුය. එතුළ ප්‍රධාන නියාමන තීරණ සම්බන්ධයෙන් බලපෑම් තක්සේරු කිරීම ද අනිවාර්ය කළ හැකිය.

Online හානි පිළිබඳ WEF හි වර්ග අධ්‍යනවේදයෙහි (Typology) යෙදීම

1.හානි වර්ගීකරණය: පුද්ගලික සහ සමාජ ආරක්ෂාවට තර්ජන, සෞඛ්‍යයට සහ යහපැවැත්මට හානි, වෛරය සහ වෙනස් කොට සැලකීම, ගරුත්වය කෙළසීම, පෞද්ගලිකත්වය ආක්‍රමණය කිරීම, සහ රැවටීම සහ අයථා ලෙස හැසිරවීම යන WEF හි පැහැදිලි වර්ගීකරණය අනුගමනය කිරීමෙන් ඔන්ලයින් හානි පැහැදිලිව වර්ගීකරණය කර ගැනීමෙන් OSA හට ප්‍රතිලාභ ලැබිය හැකිය. පනත මෙම ක්ෂේත්‍රවලින් සමහරක් ආමන්ත්‍රණය කළද, එහි ව්‍යුහය මෙම ප්‍රවර්ග වටා ප්‍රතිසංවිධානය කිරීමෙන් එය වඩාත් විස්තීර්ණ, ඒකාබද්ධ සහ සුසංයෝගී එකක් බවට පත් කළ හැක.

2.අන්තර්ගතය, සම්බන්ධතා සහ මෙහෙයවීමේ රාමුව: WEF හි අන්තර්ගත, සම්බන්ධතා සහ මෙහෙයවීමේ අවදානම් යන ත්‍රිමාන රාමුව නිශ්චිතව අනුගමනය කිරීමෙන් නීතිය ශක්තිමත් කළ යුතුය. දැනට, OSA අන්තර්ගතය මත පදනම් වූ හානි කෙරෙහි දැඩි ලෙස අවධානය යොමු කරන නමුත් සම්බන්ධතා අවදානම් (grooming වැනි) සහ අවදානම් මෙහෙයවීම් (තාක්ෂණය භාවිතයෙන් කරන අපයෝජනය වැනි) වඩා හොඳින් ආමන්ත්‍රණය කළ හැකිය. මෙය ඔන්ලයින් ආරක්ෂණ නියාමනය සඳහා වඩාත් පරිපූර්ණ ප්‍රවේශයක් සපයනු ඇත.

3.හානි නිෂ්පාදනය, බෙදාහැරීම සහ පරිභෝජනය: රෙගුලාසිවලට WEF හි දක්වන නිෂ්පාදනය, බෙදා හැරීම සහ අන්තර්ගතය පරිභෝජනය ලෙස අදියර තුනකින් සිදුවන හානිය පිළිබඳව ඇතුළත් කළ යුතුය. OSA බෙදාහැරීම සහ පරිභෝජනයේ සමහර අංග ආමන්ත්‍රණය කළද, එයට විවිධ ආකාරයේ හානි එක් එක් අදියරේදී ප්‍රකාශයට පත් වන ආකාරය වඩාත් හොඳින් දැක්විය හැකිය. මෙය වඩාත් ඉලක්කගත මැදිහත්වීම් සහ බලාත්මක කිරීමේ යාන්ත්‍රණ නිර්මාණය කිරීමට උපකාරී වනු ඇත.

4.තාක්ෂණය භාවිතයෙන් කරන අපයෝජනය: WEF වර්ග අධ්‍යනවේදයෙහි නිර්වචනය කර ඇති පරිදි තාක්ෂණය භාවිතයෙන් කරන අපයෝජනය (technology-facilitated abuse) සහ තාක්ෂණය භාවිතයෙන් කරන සමාජභාවය මත පදනම් වූ ප්‍රචණ්ඩත්වය (technology-facilitated gender-based violence) සම්බන්ධයෙන් වඩාත් නිශ්චිත විධිවිධාන ඇතුළත් කිරීමෙන් නීතිය වැඩි දියුණු කළ යුතුය. මේ සම්බන්ධයෙන් It’s Everyone’s Problem: Mainstreaming Responses to Technology-Facilitated Gender-Based Violence නම් මෑත කාලීන වාර්තාව කියවීම අත්‍යවශ්‍ය වේ. OSA හිංසනය සහ පෞද්ගලිකත්වය උල්ලංඝනය කිරීම් ආමන්ත්‍රණය කළද, එය තාක්ෂණයට විවිධ ආකාරයේ අපයෝජන, විශේෂයෙන්ම සමාජභාවය මත පදනම් වූ ප්‍රචණ්ඩත්වය සක්‍රීය කිරීමට, ඊට සහාය වීමට හෝ එය වැඩි කිරීමට හැකි ආකාරය වඩාත් පැහැදිලිව ආමන්ත්‍රණය කළ හැකිය. ළමයින්ට සිදුවන හිරිහැර මෙන්ම, ‘කාන්තාවන් ආරක්ෂා කිරීම’ හිටපු ආණ්ඩුවේ මන්ත්‍රීවරුන් විසින් පුන පුනා සඳහන් කරන ලද කරුණක් වුවද, නීතිය තුළ ඒ සම්බන්ධයෙන් කිසිදු හරවත් යමක් ප්‍රකාශ කර නොමැත.

5.සංවර්ධනයට අදාළ සලකා බැලීම්: එක්සත් රාජධානියේ සාමි මණ්ඩල වාර්තාවේ කර ඇති අවධාරණය, සංවර්ධනයට අදාළව නුසුදුසු අන්තර්ගත සහ ළමාභාවය හඳුනා ගැනීම සම්බන්ධයෙන් වන WEF අවධාරණය කිරීම, ළමා ආරක්ෂාව සම්බන්ධයෙන් OSA හි ප්‍රතිපාදන ශක්තිමත් කිරීමට උපකාරී වේ. පනත තුළ ළමයින්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් පියවර කිහිපයක් දක්වා ඇතත්, එයට විවිධ වයසට නුසුදුසු අන්තර්ගත සහ සංවර්ධනය කෙරෙහි ඒවායින් ඇති විය හැකි බලපෑම වඩාත් හොඳින් ආමන්ත්‍රණය කළ හැකිය.
6.ඇල්ගොරිතම හා සම්බන්ධ හානි: WEF වර්ග අධ්‍යනවේදයෙහි දක්වා ඇති නමුත් වර්තමාන පනතේ පැහැදිලිවම ආවරණය නොවන (සහසම්බන්ධිත අසත්‍ය හානි (Coordinated Inauthentic Harms) පිළිබඳ ව්‍යාකූල සඳහනක් තිබුණද) ඇල්ගොරිතම වෙනස්කම් කිරීම සහ ස්වයංක්‍රීය තීරණ ගැනීම ආමන්ත්‍රණය කරන ප්‍රතිපාදන OSA තුළට ඇතුළත් කළ හැකිය. කෘත්‍රිම බුද්ධිය සහ ස්වයංක්‍රීය පද්ධති, දැනටමත් පවතින ජාතික රාමුව තුළ වඩාත් ප්‍රචලිතව ඇති බැවින් මෙය විශේෂයෙන් වැදගත් වේ.

7.සෞඛ්‍යය සහ යහපැවැත්ම කෙරෙහි අවධානය යොමු කිරීම: අනාගත සංශෝධනවලට සහ නව පනත් කෙටුම්පතකට විශේෂයෙන් සියදිවි නසාගැනීම්, ස්වයං-හානි කරගැනීම සහ අක්‍රමවත් ආහාර රටා ප්‍රවර්ධනය කරන අන්තර්ගත සම්බන්ධයෙන් සෞඛ්‍ය සහ යහපැවැත්ම පිළිබඳ WEF හි සවිස්තරාත්මක ප්‍රවේශය අනුගමනය කිරීමෙන් ප්‍රතිලාභ ලබිය හැක. OSA හානිකර අන්තර්ගත සම්බන්ධ සමහර අංශ ආමන්ත්‍රණය කළද, සෞඛ්‍යයට අදාළ මෙම හානි සම්බන්ධයෙන් එතුළ වඩාත් නිශ්චිත ප්‍රතිපාදන ඇතුළත් විය යුතුය.

8.රැවටීම සහ නොමනාව හැසිරවීම: OSA හි ‘අසත්‍ය’ ප්‍රකාශ සම්බන්ධයෙන් වන අතිශයින්ම ගැටළු සහගත තත්වය, සහ රැවටිලිකාර කෘතිම මාධ්‍ය අතර පැහැදිලි වෙනස්කම් අවධාරණය කරන, රැවටීම සහ අයථා හැසිරවීම පිළිබඳ WEF හි සූක්ෂම ප්‍රවේශය අනුගමනය කිරීමෙන් ආමන්ත්‍රණය කළ හැක. මෙය විවිධ ආකාරයේ අසත්‍ය හෝ නොමඟ යවන අන්තර්ගත ඉලක්ක කරගත් ප්‍රතිචාර නිර්මාණය කිරීමට උපකාරී වනු ඇත.

9.අයිතිවාසිකම් මත පදනම් වූ රාමුව:
මූලික අයිතිවාසිකම් සමඟ ආරක්‍ෂාව තුලනය කරමින් සකස් කරන සංශෝධන හෝ නව පනත් කෙටුම්පතක්, WEF හි පදනම සකසන ජාත්‍යන්තර මානව හිමිකම් රාමු අනුගමනය කිරීම අනිවාර්ය වේ. මෙය ආරක්ෂාව සම්බන්ධයෙන් ගනු ලබන පියවර විසින් නීත්‍යානුකූල භාෂණය සහ ඔන්ලයින් සහභාගීත්වය අනවශ්‍ය ලෙස සීමා නොකරන බව සහතික කිරීමට උපකාරී වනු ඇත.

10.අනාගත තාක්‍ෂණ පිළිබඳ සලකා බැලීම්: WEF හි වර්ග අධ්‍යනවේදය එය metaverse හෝ Web3 වැනි නැගී එන තාක්‍ෂණයන්ට විශේෂයෙන් ආමන්ත්‍රණය නොකරන බව පිළිගන්නා නමුත් එමඟින් හානි අවබෝධ කර ගැනීම සඳහා රාමුවක් සපයයි. එය නව තාක්‍ෂණයන් මතු වන විට සහ පවතින තාක්‍ෂණයන් ශීඝ්‍රයෙන් පරිණාමය වන විට ඒවාට අදාළව OSA හි අදාළත්වය රඳවා ගැනීමට උපකාරී වේ. සංශෝධන හෝ නව පනත් කෙටුම්පතක් අනාගත තාක්‍ෂණික වර්ධනයන් ආමන්ත්‍රණය කිරීම සඳහා මේ හා සමාන නම්‍යශීලීභාවයක් පවත්වා ගෙන යෑමෙන් ප්‍රතිලාභ ලබනු ඇත.

සමාප්ති අදහස

විජිත හේරත් සඳහන් කළ දේ විශ්වාස කළ යුතු නම්, OSA හි සංශෝධන සහ ඔන්ලයින් හානි සඳහා මානව හිමිකම් මූලධර්ම මත පදනම් වූ නව නියාමන රාමුවක් කෙටුම්පත් කිරීම සඳහා නව රජයට සහය දැක්වීමට සීමිත නමුත් අර්ථවත් අවස්ථාවක් උදා වී තිබේ.

අනිවාර්යෙන්ම මෙය ශ්‍රී ලංකාවේ මින් පෙර කිසි දිනෙක සිදු නොවූ, වඩාත් පුළුල් ලෙස ඩිජිටල් අයිතිවාසිකම් සඳහා මූලික වන සාකච්ඡාවක් වේ. කිසිම රටක මෙය පරිපූර්ණව සිදුව නැති නමුත් සමකාලීන නීති සම්පාදනය සහ ඔන්ලයින් හානි පිළිබඳ ප්‍රතිපත්ති සම්පාදනය ශ්‍රී ලංකාව තුළ කළ යුතු සහ නොකළ යුතු දේ සම්බන්ධව ඕනෑ තරම් උදාහරණ සහ රාමු සපයයි. දිසානායක, අමරසූරිය, හේරත් වැනි අය සහ ආණ්ඩුවේ සිටින අනෙකුත් අය මෙය ග්‍රහණය කරගෙන අපේ ප්‍රජාතන්ත්‍රවාදී විභවය වඩාත් හොඳින් අවබෝධ කර ගැනීමට උපකාර කරනු ඇතැයි මම බලාපොරොත්තු වෙමි.

ආචාර්ය සංජන හත්තොටුව | Dr. Sanjana Hattotuwa