උතුරේ කැට්කෝවලම් ප්‍රදේශයේ හමුදා කදවුරක් ඉවත් කර නැවත එම ඉඩම මුල් අයිතිකරුවන්ට ලබා දීමට තීරණය කර ඇතැයි පසුගිය දා වාර්තා විය. බලයට පත් වූ ජාතික ජන බලවේගයේ ආණ්ඩුව ඒ සම්බන්ධයෙන් ගත් තීරණය ප්‍රශංසනීය බව සටහන් කළ යුතුය. යුද්ධාවසානයෙන් වසර 15කට වඩා ගෙවෙමින් ඇති මොහොතක උතුරු-නැගෙණහිර ජනතාවට අයිති ඉඩම් විශාල ප්‍රමාණයක් හමුදාව සහ පොලීසිය විසින් ඔවුන්ගේ විවිධ ක්‍රියාකාරීත්වයන් සදහා භාවිතා කරමින් සිටින බව කවුරුත් දන්නා රහසකි! ඇතැම් ඒවා මිලිටරියේ ආදායම් උත්පාදනය කර ගැනීම සදහා වන කෘෂි ෆාම් සදහාය. ඇතැම් ඒවා වෙළදසැල් සදහාය. ඇතැම් ස්ථාවනල බ්ලොග්ගල් බිස්නස් කරන බව ඔබ දන්නේද? මේවා නැවත ජනතාව වෙත පවරා දීම අනිවාර්යය තත්ත්වයකි. එසේම එය ජනතාවගේ අයිතියකි. ඒ අයිතිය වෙනුවෙන් ක්‍රියාත්මක වීම රාජ්‍යක වගකීමය. එසේ නොකර තවදුරටත් දෙමළ ජනතාව පීඩාවට පක්කරමින් ඔවුන්ගේ ඉඩම් මිලිටරිය විසින් භාවිතා කරන්නේ නම් එහි තිබෙන ආසාධාරණත්වය පිළිබද වැල්වටාරම් ලිවීම අවශ්‍ය වන්නේ නැත.

දේශපාලනික ලෙස සමතලා වූ රාජපක්ෂලාගේ ජාතිවාදය නැවත අවුළුවාලීමට උත්සහයක්ද?

ලංකාවේ ජාතිවාදයේත්, ආගම්වාදයේත් ඇතුලු අශීලාචාර තත්ත්වයන්ගේ එක් ප්‍රධාන නිර්මාපකයන් වන රාජපක්ෂලාගේ (අ)දේශපාලනය දැන් සම්පූර්ණයෙන්ම කුජීත වී හමාරය. නමුත් ඒ සමතලා වූ ඔවුන්ගේ (අ)දේශපාලන ජාතිවාදී භූමියට නැවත පණ දීම සදහා නාමල් රාජපක්ෂ නම් ශරීරය නැවතත් කැසකවමින් තිබෙන බවට ඔහු විසින් ට්විටර් හී(X) පළකල අදහසින් පෙන්නුම් කරයි.


ඔහු මෙසේ කියයි. “වාර්තාවලට අනුව, උතුරේ තිබූ යුධ හමුදා කඳවුරක් ඉවත් කර, එම ඉඩම් පුද්ගලයන්ට බෙදාදීමට වර්තමාන ආණ්ඩුව කටයුතු කර තිබේ. ඒ අයුරින්ම තවත් යුධ හමුදා කඳවුරු විශාල ප්‍රමාණයක් ඉදිරි මාසවලදී ඉවත් කිරීමටද ආණ්ඩුව සැලසුම් කර ඇත.

හමුදා කඳවුරු ඉවත්කර ඉඩම් මුදාහැරීම ආරක්ෂක අංශ සමඟ සාකච්ඡා කර සමාලෝචනයකින් පසුව වගකීම් සහගතව සිදුකළ යුත්තකි. ජාතික ආරක්ෂාවට කිසියම් හෝ හානියක් මෙමඟින් සිදුනොවිය යුතු බවට අප තරයේ විශ්වාස කරමු.

ශ්‍රී ලංකාව අවුරුදු 30ක ත්‍රස්තවාදය පරාජය කළ අතර, අද සියලුම ජනතාවට නිදහසේ ජීවත් විය හැකිය. උතුරේ හෝ දකුණේ වුවද, ජාතික ආරක්ෂාව තහවුරු කර පවත්වාගැනීම අතිශය වැදගත් බවට ආණ්ඩුව සහ ආණ්ඩුවේ නායකයින් අමතක නොකළ යුතුය.”

මෙ “නාමල් බබා” නොදන්නා ලෙස පෙන්වීමට උත්සහ කළත්, සත්‍ය නම් හමුදා කදවුර ගොඩනගා තිබුණේ උතුරේ දෙමළ මිනිසෙක්ට අයිති භුමියකයි. එබැවින් ඒ භූමිය අයිති ඒ දෙමළ මිනිසාට බව අමුතුවෙන් කිව යුතු දෙයක් නොවේ. (තම භූමිය තුළ බලහත්කාරයෙන් හමුදා කදවුරක් ගොඩනගා ගනිමින්, යුද්ධාවසානයෙන් වසර 15ක් ගිය පසුත් ඒ භූමිය ඒ මිනිසාට ලබා නොදෙන්නේ නම් එහි ඇති ජාතික ආරක්ෂාවක් නැති බව මේ බබා නොදන්නේය) දැන් නැවතත් අර අදින්නේ වසර ගණනාවක් ගොඩනගමින්, හදාවඩා ගනිමින් සිටි “ජාතික ආරක්ෂාව” නම් ඊනියා අදහස ඉදිරියට දමා ගෙන නැවතත් දෙමළ මිනිසාගේ අයිතීන් යටපත් කිරීමයි. ඔවුන් පීඩාවට පත්කිරීමටයි. දෙමළ මිනිසාගේ අයිතීන් ඊනියා ජාතික ආරක්ෂාව නම් තක්කඩි සළුවෙන් වැසීමයි.

එපමණක් ද නොවේ, ජාතික ආරක්ෂාව නම් ඊනියා අදහස පිළිබදව නැවතත් දකුණේ මිනිසුන් අතර බිල්ලෙක් මවා කුජීත වී ගිය (අ)දේශපාලන බලය නැවතත් කෙසේ හෝ ඩැහැ ගැනීමේ කූඨ වුවමනාවයි. ඒ සදහා කිසි සේත් ඉඩ නොතැබීමට ලංකාවේ මානව හිමිකම් සහ ප්‍රජාතන්ත්‍රවදය ආරක්ෂාකරන, ඒ සදහා වැඩ කරන සියලු පුරවැසියන්ගේ වගකීමකි. එසේම, උතුරේ මිනිසුන්ගේ අයිතීන් පිළිබද, නරුම අදහස් මවමින් නැවත වරක් උතුරේ මිනිසුන්ගේ අයිතීන් යටපත්කරන සිංහල බෞද්ධ ස්වෝත්තමවාදී අදහස ද පරාජය කිරීම අතිශයින් වැදගත් වනු ඇත. එබැවින් දැන් “මුට්ටිය දමමින්” ඇති නාමල් රාජපක්ෂ වැනි ශරීරවලට කුඩා හෝ වලංගුතාවයක් ඇත් නම් එය පරාජය කිරීම ද ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදයට හිතකර වන්නේය. ඒ සදහා නව ආණ්ඩුවේ කැපවීම, ක්‍රියාත්මක තලයෙන්, අදින් ඇරඹි නව පාර්ලිමේන්තු සභාවාරයෙන් පසුව සමාජයට නිරාවරණය වීම ද ඉතාමත් වැදගත් වනු ඇත.

රාජපක්ෂලාගේ ජාතිවාදය උපන්ගෙයිම වළදැමිය යුතුය.

සම්පත් සමරකෝන් | Sampath Samarakoon