ඉතිහාසය නැවත නැවතත් යාවත්කාලීන වෙමින් තිබේ. ඒ කලා ඔය ජාතික උද්‍යානය ආශ්‍රිතව දිවි ගෙවූ විශාලතම දළ යුගල හිමි ඇතා වන “දීඝදන්තු” පසුගිය 27 වැනිදා රාත්‍රියේ විදුලිසැර වද්දවා අමානුෂික ලෙස ඝාතනය කිරීමෙනි. ඒ මින් පෙර මෙම ප්‍රදේශයේ දිවි ගෙවූ බරන, රේවත සහ වළගම්බා වැනි විශාල දළ ඇතුන්ට අත්වූ ඉරණමේම දිගුවක් වශයෙන් විනා අහඹුවක් ලෙස නොවේ. මෙරට වනගත හස්ති ගහනයේ විශාල දළ සහිත ඇතුන් වැඩි වශයෙන් හමුවූ ප්‍රදේශය වන්නේ කලාඔය ජාතික උද්‍යානය ආශ්‍රිත වනාන්තර කලාපයයි. එහි දිවි ගෙවන බවට වාර්තාවී ඇති එවැනි විශාලතම දළ යුගල හිමි අවසන් හස්තියා ලෙස නම් දරා සිටියේ මෙම දීඝ ය. එම වටිනා සම්පත් දැන් අප රටට අහිමිවී අවසන්ය. නමුත් මෙසේ විදුලි සැර වද්දවා මරා දැමූ දීඝ හඬගා කියන පණිවුඩය අප මේ මොහොතේවත් තේරුම් ගැනීමට උත්සාහ කළහොත් එය අනාගතයේදී හෝ දීඝ ගේ පරම්පරාවට යහපත පිණිස වනු ඇත.
කලාවැව ජාතික උද්‍යානයක් ලෙස ප්‍රකාශයට පත්කර කලා-බළලු වැව් ආශ්‍රිත වනාන්තර කලාපය සංරක්ෂණය කිරීමට හේතු වූයේ බරන, රේවත, වළගම්බා සහ දීඝ වැනි විශාල දළ සහිත ඇතුන් මෙම ප්‍රදේශයේ සුලභ වීමය. ඇත්තෙන්ම ශ්‍රී ලංකාවේ සමස්ත අලි ගහනයේ දළ සහිත සතුන්ගේ ප්‍රතිශතයට වඩා වැඩි ප්‍රතිශතයක් මෙම කලාපයේ දළ ඇතුන් වාර්තාවේ. නමුත් ජාතික උද්‍යානය බෝඩ් ලෑලි වලට පමණක් සීමා කරමින් මෙම අලි ඇතුන් සමූහය ඉතා පටු බිම් තීරුවකට කොටු කෙරුණේ ජල විදුලි බල ව්‍යාපෘතියක් සඳහා අවශ්‍ය ජලය ලබා ගැනීමට වසර පුරාම මෙම කලාවැව පුරවා තබාගැනීමට කටයුතු කිරීම හේතුවෙනි. මොරගහකන්ද වාරි ව්‍යාපෘතිය මගින් කලාවැවට ජලය ලැබීම නිසා තත්ත්වය තවත් දරුණු අතට හැරුණි. එමගින් වසරේ එක් කාල සීමාවකදී නිරාවරණය වන වැව් පිටියේ මතුවන තෘණ මගින් කුස පුරවා ගැනීමට ඔවුන්ට තිබූ ඉඩ ඇහිරී ගියේය. තවද ආක්‍රමණශීලී ශාඛ ව්‍යාප්තිය ද, හීලෑ ගව රංචු උද්‍යානයට ඇතුළු කිරීමද අලි ඇතුන් දරුණු ආහාර හිඟයකට මුහුණ දීමට හේතු වී තිබේ. එබැවින් දීඝ ලාට ගම් වැදී තමන්ගේ සාගිනි නිවා ගැනීම හැර වෙනත් විකල්පයක් නැති තත්ත්වයට පත් කළේය. සංවර්ධන ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමට පෙර සිදුකරන ඊනියා පරිසර බලපෑම් තක්සේරු වලදී මෙවැනි කරනු කෙරෙහි අවධානය යොමු නොකිරීමේ ප්‍රතිපලය දීඝලා මෙසේ අකාලයේ අවසන් ගමන් යාමය.
එසේම මෙරට අලි ඇතුන් මරණයට පත්වන ප්‍රධාන ක්‍රම තුන වන්නේ වෙඩි තැබීම, විදුලිසැර වැද්දවීම සහ හක්ක පටස්ය. මෙරට මිය යන අලින්ගෙන් සියයට 60ක් පමණ මරණයට පත්වන්නේ එමගිනි. මෙම තත්ත්වය වැලැක්වීමට අවශ්‍ය දැනුවත් කිරීම්, නීතිය ක්‍රියාත්මක කිරීම් සහ අනාරක්ෂිත විදුලි රැහැන් වැටලීම් වැනි කටයුතු සඳහා වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව, ලංකා විදුලිබල මණ්ඩලය සහ පොලීසිය ඇතුළු රජයේ ආයතන කිසිඳු සාධනීය, සාමූහික වැඩපිළිවෙලක් මෙතෙක් ක්‍රියාවට නගා නැත. ඉතා කෙටි කාලසීමාවක් තුළ දැවැන්ත හස්තීන් සිව් දෙනෙකුම මෙම කලාපයේ විදුලිසැර වද්දවා ඝාතනය කිරීම මගින් එය මොනවට පැහැදිළි වේ.
එසේම ශ්‍රී ලංකාවේ මේ වනවිට පවතින දැවැන්තම සමාජාර්ථික, පාරිසරික හා දේශපාලන ගැටළුවක් වන අලි-මිනිස් ගැටුම අවම කිරීම සඳහා වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවෙන් ඔබ්බට ගිය කිසිඳු සාධනීය, සමෝධානිත වැඩපිළිවෙලක් මේ දක්වා ක්‍රියාවට නැගීමට කිසිඳු රජයක් අපොහොසත්වී ඇත. එවැනි සමෝධානිත විද්‍යාත්මක ප්‍රවේශයක් යෝජනා කෙරෙන ශ්‍රී ලංකාවේ අලි-මිනිස් ගැටුම අවම කිරීමේ ජාතික ක්‍රියාකාරී සැලැස්ම සිව් වසරක් තිස්සේ තවමත් ඇත්තේ හමස් පෙට්ටියේය. ඒ 2020 වසරේ දෙසැම්බර් මාසයේ සිට මේ දක්වා කිසිදු ආණ්ඩුවක් එම ක්‍රියාකාරී සැලැස්ම ක්‍රියාවට නැගීම සඳහා ජනාධිපති කාර්යසාධක බලකායක් පත්කර නොමැති බැවිණි. දීඝලාගේ පරපුරේ සාමාජිකයින් ගතව සෑම දිනකටම එක්කෙනා දෙන්නා වශයෙන් රටට අහිමි වන්නේ එහි ප්‍රතිපලයක් වශයෙනි.
මෙම ගැටුමේ අනෙක් පාර්ශවකරුවන් වන මිනිසුන් සම්බන්ධ තත්ත්වයද එසේම ඛේදවාචකයකි. පසුගිය වසර පහ තුළ වාර්ෂිකව සාමාන්‍ය වශයෙන් අලි ඇතුන් 405 ක් මරණයට පත්වෙද්දී මිනිස් ජීවිත 138 ක් මෙම ගැටුමට බිලිවී ඇත. ගැටුම් හේතුවෙන් ආබාධිත තත්ත්වයට පත්වූවන්, අහිමි වූ දේපොළ සහ බව-බෝග පිළිබඳ නිවැරදි ඇස්තමේන්තු නොමැත. ගැටුම් ව්‍යාප්තව ඇති ප්‍රදේශවල ඇතිවී ඇති සමාජීය ප්‍රශ්න සහ මානසික සෞඛ්‍ය ගැටළු පිළිබඳව කිසිඳු පාලකයෙකු මේ දක්වා සිතන්නටවත් පෙළඹී නැතිවාට සැක නැත. විදුලි සැර වද්දවා මරා දැමූ දීඝ හඬගා කියන පණිවුඩය එයයි.
2018 වසරේදී (අප්‍රේල් 21 ප්‍රහාරය සහ කොරෝන වසංගතය මගින් සංචාරක කර්මාන්තයට බලපෑම් එල්ලවීමට පෙර) මෙරටට පැමිණි සියලුම සංචාරකයින්ගෙන් 47% ශ්‍රී ලංකාවේ ජාතික වනෝද්‍යාන නැරඹීමට ගොස් තිබේ. 2024 වසරේ මුල් කාර්තුව තුළ පමණක් මෙරට ජාතික උද්‍යාන මගින් රජයට උපයා දී ඇති අදායම රුපියල් මිලියන 2000කි (මුලාශ්‍ර වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව). අලි ඇතුන් යනු එම සංචාරකයින්ගේ ප්‍රධාන ආකර්ශකයයි. සංචාරක ක්ෂේත්‍රයේ විශේෂඥයෙකු වන ශ්‍රීලාල් මිත්තපාල මහතාගේ අධ්‍යයන අනුව මෙරට සෑම හස්තියෙකුම සංචාරක කර්මාන්තයට රුපියල් මිලියන හතරක් බැගින් වටී. මෙසේ කිසිඳු වග විභාගයකින් තොරව මරා දැමෙන්නේ එතරම් වටිනා සතුන්ය.
මෙරට වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවට දීඝ යනු තවත් එක් හස්තියෙකු පමණක් වුවද විදෙස් රටවල නම් එසේ නොවේ. උදාහරණයක් වශයෙන් කෙන්යාවේ ජීවත් වූ අසමසම දළ යුගලක් හිමිව තිබූ අහමඩ් හස්තියා දිවා රාත්‍රී නිරීක්ෂණය කරමින් ආරක්ෂා කරගැනීමට එරට රජය රැකවලුන් යොදා තිබුණි. නමුත් කලාඔය ජාතික උද්‍යානය ආශ්‍රිත වනාන්තර කලාපයේ දිවි ගෙවන බවට වාර්තාවී ඇති එවැනි විශාලතම දළ යුගල හිමි අවසන් හස්තියා වූ දීඝ අකාලයේ මෙසේ මරණයට පත්වූයේ කිසිවෙකුගේ අවධානයකට ලක් නොවෙමිනි.
මෙරට මුළු භූමි ප්‍රමාණයෙන් සියයට පහළොවකට (15%) වඩා පරිපාලනය කරන වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවට සිටින්නේ වන සත්ව හා වෘක්ෂලතා ආරක්ෂක පනත බලාත්මක කළ හැකි නිලධාරීන් 882 ක් පමණි. කොහෙත්ම ප්‍රමාණවත් නොවන 1591 ක් වන අනුමත සේවක සංඛ්‍යාවෙන්ද සියයට හතළිස් පහක් පුරප්පාඩුව පවතී (45%). එවැනි පසුබිමක් තුළ දීඝලාගේ පරපුර මෙන්ම මෙරට සමස්ත වනජීවී සංරක්ෂණය සම්බන්ධයෙන් මීට වඩා දෙයක් බලාපොරොත්තු විය නොහැකි බව ඇත්තය. එබැවින් වර්තමාන ආණ්ඩුව යටතේ හෝ මෙම අවාසනාවන්ත ඉරණම වෙනස් කිරීම සඳහා කඩිනම් ප්‍රවේශයක් ලබාගැනීමට දීඝගේ මරණය හෝ පාදක කරගත හැකිනම් යහපත්ය.
සුපුන් ළහිරු ප්‍රකාශ් | Supun Lahiru Prakash
ඡායාරූප: සාරංග දේව ද අල්විස්