iMage: DM

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත, “1978 අංක 48 දරණ ත්‍රස්තවාදය වැළැක්වීමේ(තාවකාලික විධිවිධාන) පනත” පිළිබද නැවතත් උණුසුම් සාකච්ඡාවක් මතුව තිබේ. එයට ආසන්නම හේතුව ලෙස වාර්තා වන්නේ, සෑම වර්ෂයකම, නොවැම්බරයේ උතුරේ සිදුකරන, යුද්ධයෙන් මරා දැමුණු මිනිසුන් සිහිකිරීම හෙවත් මහවිරු සැමරුම ට අදාළව ඡායාරූප, වීඩියෝ ඇතුලු අන්තර්ගතයන් ෆේස්බුක් සමාජ ජාලය තුළ පළ කිරීමයි.

පොළීසිය මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් පවසා සිටියේ, “මහජන විරුද්ධත්වය ඇවිස්සීම හා ඇවිස්සීමට තැත් කිරීම සහ තහනම් සංවිධානයක ක්‍රියාකාරකම් ප්‍රවර්දනය වන පරිදි අසත්‍ය දැන්වීම් හා වීඩියෝ දර්ශන අන්තර්ජාලයේ ෆේස්බුක් මගින් ප්‍රචාරණය කිරීම යන හේතුමත දණ්ඩ නීති සංග්‍රහයේ 120 සහ 1978 අංක 48 දරණ ත්‍රස්තවාදය වැළැක්වීමේ තාවකාලික විධිවිධාන පනතේ 27වන වගන්තිය ප්‍රකාරව අත්අඩංගුවට ගෙන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සහ ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය මගින් වැඩිදුර විමර්ශන කරනු ලබයි” – පොලිස් මාධ්‍ය කොට්ඨාශය

මෙම නිවේදනයට අනුව මරදාන, චුන්නාකම් හා බද්දේගම ප්‍රදේවල පදිංචිකරුවන් තිදෙනෙක් අත්අඩංගුවට ගත් බව පැවසෙයි.(මාධ්‍ය වාර්වලට අනුව අත්අඩංගුවට ගත් පිරිස සිව් දෙනෙකි. https://www.sinhala.adaderana.lk/news/203969 )

කෙසේ නමුත් මේ සටහන ලියන මොහොත වන විට අත්අඩංගුවට ගත් සැකකරවන් අතරින් දෙදෙනෙක් ඇප මත මුදා හැරීමට අධිකරණය විසින් කටයුතු කර ඇති බවත් වාර්තා වෙයි.

ත්‍රස්තවාදය වැළැක්විමේ පනත භාවිතා කිරීම පිළිබද දැඩි විරෝධයක්

අතිශය මර්දනීය පනතක් වන ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යොදා ගනිමින් සිදුකරන ලද අත්අඩංගුවට ගැනීම් සම්බන්ධයෙන් විශේෂයෙන් සමාජ මාධ්‍ය අවකාශය තුළ දැඩි විරෝධයක් මතු වී තිබේ. උග්‍ර ජාතිවාදීන් මෙන්ම පසුගිය කාලය පුරාම ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත වෙනුවෙන් මෙන්ම ඒ හරහා දෙමළ සහ මුස්ලිම් ප්‍රජාව පීඩාවට පත්කිරීම සුජාතකරනය කළ අය එම පනතින්ම අත්අඩංගුවට ගැනීම නිවැරදි තීරණයක් ලෙස ඇතැම් අය විසින් දුටුවේය. අදාළ ෆේස්බුක් අන්තර්ගතයන් සම්බන්ධයෙන් ක්‍රියාකිරීමට සාමාන්‍ය නීතිය අනුව ක්‍රියා නොකර ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත භාවිතා කිරීම ඉතාමත් බියකරු තත්ත්වයක් බවත් මාළිමා ආණ්ඩුව ‘ඇනගෙන’ ඇති බවත් ඇතැම් පිරීසක් කීවේය.( එම කුලකයට මාළිමා ආණ්ඩුව බලයට පත්කිරීම සදහා වෙහෙසුනු අයද සිටියේය). ඇතැම් අයෙක් මෙම තත්ත්වය ආණ්ඩුවේ පරිණතභාවය පිළිබද ප්‍රශ්ණයක් ලෙසත් දුටුවේය. කෙසේ නමුත් බොහෝ පිරිසකගේ අදහස වූයේ එවැනි තත්ත්වයකදී අතිශය මර්දනීය පනතක් වන ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත භාවිතා කිරීම නුසුදුසු මෙන්ම ආණ්ඩුව ගමන් කරමින් සිටින්නේ වැරදි පාරක බවය.

එපමණක් ද නොවේ. ෆේස්බුක් ඇතුලු සමාජ මාධ්‍ය අවකාශයේ සිය අදහස් පළ කරමින් බොහෝ පිරිසක් පවසා සිටියේ ආණ්ඩුව විසින් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත වහාම අහෝසි කිරීමට වහාම පියවර ගත යුතු බවය. එය ඉතා හොද ප්‍රවණතාවයකි. විශාල ජනවරමකින් බලයට පත් වූ ජාතික ජන බලවේගයේ ආණ්ඩුව ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත භාවිතා කළ දෙවන අවස්ථාව මෙය වන අතර පළමු අවස්ථාව වන්නේ ‘ආරුගම්බේ’ ප්‍රදේශයේ ඇතිවිය හැකි යැයි සැකකරන ලද තත්ත්වය ට ආදාළව පුද්ගලයන් අත්අඩංගුවට ගැනීමේදී ද භාවිතා කළේ මෙම ත්‍රස්තවාදය වැළැක්වීමේ පනතයි‍.

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත(Prevention Terrorism Act) සහ ‘ප්‍රති-ත්‍රස්ත පනත'(Anti-Terrorism Bill)

ෆෙස්බුක් ඇතුලු සමාජ මාධ්‍ය තුළ සිය අදහස් පළ කල සැලකිය යුතු පිරිසක් ‘ප්‍රති-ත්‍රස්ත පනත’ යනුවෙන් ආදාළ සිදුවීම පාදක කරගනිමින් සිය අදහස් ප්‍රකාශ කිරීමක් ද දක්නට ලැබිණි. පළමුවෙන්ම කිව යුත්තේ ‘ප්‍රති-ත්‍රස්ත පනතක’ කියා දෙයක් ශ්‍රී ලංකාව තුළ නැති බවය. නමත් අනුප්‍රාප්තික ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අහෝසිකිරීමට යැයි පවසමින්, ත්‍රස්තවාදය වැළැක්වීමේ පනතට වඩා බියකරු ‘ප්‍රති-ත්‍රස්ත පනත් කෙටුම්පතක්'(Anti-Terrorism Bill) ගෙන ආවේය. නමුත් දේශීයව සහ ජාත්‍යන්තර ප්‍රජාවගේ දැඩි විරෝධය මත එය නීතියක් බවට සම්මත කර ගැනීමට වික්‍රමසිංහ ආණ්ඩුවට නොහැකි විය. එබැවින් දැනට නීතියක් ලෙස ක්‍රියාත්මක වන්නේ ත්‍රස්තවාදය වැළැක්වීමේ පනතයි. ‘ප්‍රති-ත්‍රස්ත පනත’ පනත් කෙටුම්පතක් ලෙස තිබේ. එය ලංකාව තුළ නීතියක් නොවේ. (https://www.cpalanka.org/cpa-challenges-the-anti-terrorism-bill-sc-sd-04-2024/)

ATA – PTA සහ මාළිමා ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශනය

පවතින සංවාදය තුළ ජාතික ජන බලවේගයේ ආණ්ඩුව ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අහෝසි කරන බවට ඔවුන්ගේ “පොහොසත් රටක් – ලස්සන ජීවිතයක්” නම් ප්‍රතිපත්ති ප්‍රකාශනය තුළ දක්වා ඇති බවට එම ප්‍රකාශනය උපුටා දක්වමින් සැලකිය යුතු පිරිසක් විසින් අදහසක් මතු කරමින් ඇත. නමුත් එම ප්‍රතිපත්ති ප්‍රකාශනයේ කිසිදු තැනක ‘ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අහෝසි කරනවා’ යැයි කිසිදු සදහනක් නැත. එම ප්‍රතිපත්ති ප්‍රකාශනය තුළ තිබෙන්නේ මෙසේය. උපුටා ගැනීම – “ප්‍රතිත්‍රස්ත පනත ඇතුලු සියලු මර්දනකාරී අණපනත් අහෝසිකර සියලු ජනතාවගේ නිදහස සහතික කිරීම” එහි දැක්වෙන කොටස එයයි.

සියලු මර්දනකාරී පනත් අහෝසි කරනවා යැයි කියු සැණින් ‘ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත’ ත් ‘සියලු මර්දනකාරී පනත්’ යන කුලකයට ඇතුලත් වනු ඇති බවට ඕනෑම පුරවැසියෙක්ට තර්ක කිරීමට හැකියාවක් තිබේ. එය පිළිගත හැකි කරුණකි. නමුත් ජාතික ජන බලවේගයේ ප්‍රතිපත්ති ප්‍රකාශනය සකස් කරන ලද්දේ ඒ ඒ විෂයන්ට ප්‍රාමාණික දැනුමක් සහ අත්දැකීමක් ඇති ප්‍රභල කණ්ඩායම් මගින් බව ඔවුන් වේදිකාවල ප්‍රකාශ කර තිබිණි. එවැනි තත්ත්වයක් තුළ මෙවැනි බරපතල පනතක් මගහැරීම පුදුමයට කරුණක් නොවේද? නමුත් ලංකාව තුළ දැනට “සක්‍රීය නොමැති පනතක්”(ප්‍රතිත්‍රස්ත පනත) නමින්ම සදහන් කරමින් අහෝසි කරනවා යැයි කීම තුළත්, විශේෂයෙන් අතිශය මර්දනකාරී පනතක් වන ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත, ‘නමින්ම’ සදහන් නොවීම/ නොකීරීම අප තේරුම්ගත යුත්තේ කෙසේද? එහි සුවිශේෂීම කරුණ වන්නේ ලංකාවේ, දකුණේ දී මෙම පනත භාවිතා කරමින් ලංකාවේ ආණ්ඩු විසින් අතිශය කෲර අන්දමින් මර්දනයට ලක්කළ දේශපාලන ව්‍යාපාරයක(ජනතා විමුක්ති පෙරමුණ) පදනමින් සැකසුණු ප්‍රතිපත්ති ප්‍රකාශනයක් තුළ, තම දේශපාලන ව්‍යාපාරය ඉතිහාසයේදී මර්දනය කිරීමට යොදාගත් එම මර්දනීය පනත නමින්ම සදහන් කිරීමට නොහැකි වූයේ කෙසේද? එය අමතක වීමක් ද? අමතක කිරීමක් ද ? දැන් අවශ්‍ය නම් ආණ්ඩුවේ ඕනෑම අයෙක්ට ප්‍රතිපත්ති ප්‍රකාශනයේ ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අහෝසි කරනවා යැයි “නමින්ම” ලියා නොමැති පනතක් අහෝසි කිරීමට “අපට ජනවරමක් නැත” යනුවෙන් කිව හැකිය. මක් නිසා ද යත් ජාතික ජන බලවේගයේ ප්‍රතිපත්ති ප්‍රකාශනය යනුවෙන් ඔවුන් හදුන්වන්නේ ආණ්ඩුවේ ඉහළම ක්‍රියාකාරී සැළැස්මත්, ජනවරම ලබා දී ඇත්තේ එම ප්‍රතිපත්ති ප්‍රකාශනය මූලික කර ගෙන බවත් ය යනුවෙන් ප්‍රකාශ කිරීමට හැකියාවක් ඇත. එය සත්‍යකි. කෙසේ නමුත්, ත්‍රස්තවාදය වැළැක්වීමේ පනතින් කෘර ලෙස මර්දනයට ලක්කළ පක්ෂයක ජනාධිපතිවරයෙක් ඇතුලු බහුතර පාර්ලිමේන්තු බලයක් ඇති ආණ්ඩුව දැන් එම කුරිරු පනත අහෝසි කරනවා යැයි ‘ප්‍රකාශ නිකුත් කිරීමෙන්’ නොනැවතී එය ක්‍රියාවෙන් පෙන්වීම තුළ අතපසු වූ දේවල් යළි සකස් කරගැනීමට අවස්ථාවක් හිමිව තිබේ. එයත් අතපසු කරමින් කාලය ගතකළහොත් අමතක වීමක් ද? අමතක කිරීමක් ද? යන්න නොව හිතාමතාම අමතක කිරීමක් යන දුෂ්ට තත්ත්වය මහජනයාට අවබෝධ වනු ඇත.

සම්පත් සමරකෝන් | Sampath Samarakoon