“වේලාව රෑ අටට පමණ විය. ඒ වෙලාවේ මුද්‍රණය වී තිබූ පත්‍ර ගොඩෙන් එකක් අතට ගත්තා පමණි. මුද්‍රණ යන්ත්‍රාගාරයේ අඩවන් කර තිබූ දොර දෙබෑ කරගෙන එකවර ම එහි කඩා වැදුණේ අපට කවදත් හුරුපුරුදු පොලිස් කණ්ඩායමකි. මහා යුද්ධයකට සැරසුණු විලාසයක් ඔවුන් කෙරෙන් දක්නට ලැබිණි. තිදෙනෙකු අත උණ්ඩ පිරවූ රයිපල් ය. එකෙකු අත ඉන බැඳි කොපුවෙන් එළියට ඇඳගත් රිවෝල්වරයකි. කණ්ඩායමේ පෙරමුණ ගෙන සිටියේ සහකාර පොලිස් අධිකාරිවරයෙකු වන රාජා වීරකෝන් මහතා ය. සහකාර පොලිස් අධිකාරී සී. නවරත්නම් මහතා සිවිල් ඇඳුමින් සැරසී ඔහුගේ පසෙකින් විය.”

මෙය 1982 නොවැම්බර් 02 වෙනිදා ඇත්ත පත්‍රයට සීල් තැබූ අවස්ථාව පිළිබඳ එවකට ඇත්ත උප කර්තෘ සුනිල් සී. ද සිල්වා විසින් තහනම ඉවත් කළ පසු ඇත්තට තැබූ සටහනකි.

1964 දෙසැම්බර් 14 වන දින වාමාංශික දේශපාලන මතවාදය නියෝජනය කළ එවකට ලංකා කොමියුනිස්ට් පක්ෂය ලෙස හැඳින් වූ ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂය විසින් දිනපතා පුවත්පතක් ලෙස ඇත්ත පුවත්පත ආරම්භ කරන ලදී. ඇත්ත පුවත්පත පෙන්වා දෙන පරිදි, 1960 ගණන්වල පුවත්පත් කර්මාන්තය එක් සමාජ පන්තියකට එනම් ප්‍රභූ පන්තියට අයත් වූ අතර එය එක් දේශපාලන මතවාදයක් එනම් දක්ෂිණාංශික දේශපාලන මතවාදය නියෝජනය කරන ලදී. එබැවින්, ලංකා කොමියුනිස්ට් පක්ෂය විසින් ඇත්ත පත්‍රය හඳුන්වා දෙන්නේ කම්කරු පන්තිය වෙනුවෙන් පෙනී සිටීමේ අරමුණ ඇතිව ය. ඇත්ත පුවත්පතේ මංගල කලාපයේ කතුවැකියේ සඳහන් වන පරිදි එය කොමියුනිස්ට් පක්ෂයේ මෙහෙයවීමෙන් බිහි වුව ද සමගි පෙරමුණට කැප වූ පත්‍රයකි. ඇත්ත ආරම්භ කර ඇත්තේ මූලික වශයෙන් 1965 මැතිවරණය වෙනුවෙනි. එහෙත්, සමගි පෙරමුණේ මැතිවරණ පරාජයෙන් පසු එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරමින් බලයට පත් ඩඩ්ලි සේනානායක ප්‍රමුඛ හත්හවුලේ ජනතා ද්‍රෝහී ක්‍රියා හෙළි කිරීම අරමුණු කරගෙන තවදුරටත් පුවත්පත කරගෙන යාමට ලංකා කොමියුනිස්ට් පක්ෂය තීරණය කළ බව පෙනේ. එසේ වාමාංශික දේශපාලන පසුබිමක් තුළ බිහි වුව ද, ඇත්ත පුවත්පත නිරන්තරයෙන් පෙන්වා දෙන්නේ එය කොමියුනිස්ට් පක්ෂයේ සහ සමගි පෙරමුණේ දේශපාලන දර්ශනයෙන් නිදහස්, ස්වාධීන ප්‍රවේශයක් අනුගමනය කළ බව ය.

මෙවන් පසුබිමක් තුළ බිහි වන ඇත්ත පුවත්පතට, එහි ආරම්භයේ සිට දේශපාලනික වශයෙන් බොහෝ අභියෝග එල්ල විය. 1960 දශකයේ සිට බලයට පත් වූ සියලු ආණ්ඩු අදහස් ප්‍රකාශ කිරීමේ අයිතියට අභියෝග කරමින් ‘ඇත්ත’ මෙල්ල කිරීමට නොයෙකුත් උපක්‍රම යෙදී ය. එහි උප කර්තෘවරයෙකු වූ සුනිල් සී. ද සිල්වා ඇත්ත පුවත්පත තුළ එම මුද්‍රණාලයයට සීල් තබා වසා දැමිමේ අවස්ථාවන් ‘ඇත්තේ ලාකඩ ඉතිහාසය’ ලෙස හඳුන්වා තිබුණි.

1965 බලයට පත් ඩඩ්ලි සේනානායක ප්‍රමුඛ යූ. එන්. පී. – ෆෙඩරල් හත් හවුල් ආණ්ඩුවෙන් සහ ඔවුන්ගේ දාමරිකයන්ගෙන් ඇත්ත ට නොයෙකුත් බලපෑම් එල්ල විය. 1968 දෙසැම්බර් 14 වන දින නිමල් ගුණරත්න විසින් ඇත්ත පුවත්පතට රචිත ලිපියකට අනුව, එම ආණ්ඩුව බලයට පත් වී ‘ඇත්ත’ මර්දනයට උපක්‍රමයක් වශයෙන් ඊට ලබා දුන් කඩදාසි ප්‍රමාණය සීමා කළේ ය. එබැවින්, ඇත්තේ කාර්යයමණ්ඩලයට අධික මිලට කඩදාසි මිලදී ගැනීමට සිදු විය. එසේ ම, ඇතැම් අවස්ථාවල ආණ්ඩුවේ දාමරිකයන්ගේ අණට අවනත නොවූ පුවත්පත් අලෙවිකරුවන්ගේ සහ පුවත්පත් වාර්තාකරුවන්ගේ නිවෙස් ගිනි තැබූ බවත්, ලංකා ගමනාගමන මණ්ඩලයට අයත් බස් රථවලින් ඇත්ත ප්‍රවාහනය කිරීම තහනම් කළ බවත් ඔහු සඳහන් කරයි.

මෙම අභියෝග මධ්‍යයේ ප්‍රකාශයට පත් වූ ඇත්ත පුවත්පතට, 1966 ජනවාරි මස 09 වන දින ප්‍රථමවරට මුද්‍රා තබන ලදී. දෙමළ භාෂා විශේෂ විධිවිධාන පනත රට බෙදීමේ ආණ්ඩුවේ උත්සාහයක් ලෙස අදහස් දක්වමින්, ආණ්ඩුව විවේචනය කිරීම ඊට හේතු වූ බව ඇත්ත පුවත්පත සඳහන් කරයි. හත් හවුල විවේචනය නොකරනවා නම්, විශේෂයෙන් ම ජේ. ආර්. ජයවර්ධනට පහර නොගසනවා නම්, පැන වූ තහනම ඉවත් කරන බවට ආණ්ඩුව පොරොන්දු වූ බව ඇත්ත පුවත්පත පසුකලෙක කියා සිටියේ ය. එහෙත්, ඇත්තේ කාර්යයමණ්ඩලය ඊට එකඟ නොවී ය. ඔවුහු මෙම පත්තර මුකවාඩමට සෘජු ව තම විරෝධය ප්‍රකාශ කළෝ ය. උදාහරණයක් ලෙස, 1966 සමගි පෙරමුණේ මැයි දින පෙළපාලියට ඔවුන් සහභාගි වූයේ මුකවාඩම් පැළඳගෙන ය. 1966 මැයි 22 වනදායින් පසු නැවත පුවත්පත මුද්‍රණයට අවසර ලබා දුන්න ද යම් යම් සීමාවන්ට යටත්වන්නට කාර්යය මණ්ඩලයට සිදු විය. රජයේ පුවත්පත් බලධාරියෙකුගේ අධීක්ෂණය යටතේ පුවත්පත ප්‍රකාශයට පත් විය. මෙවර ඇත්ත කාර්යයමණ්ඩලයේ විරෝධය පුවත්පත් බලධාරියා විසින් කපා හරින ලද හිස් පුවත්පත් ලිපි තීරු තුළ සටහන් විය. ඒ “පුවත බල්ලෝ කෑවා, මීළඟ ඡේද දෙක බල්ලෝ කෑවා සහ බල්ලෝ ඔලුව ම කෑවා” වැනි හාස්‍යජනක එහෙත් අපහාසාත්මක වැකි ලෙසිනි.

1970 සමගි පෙරමුණ ආණ්ඩුව බලයට ගෙන ඒමට කොමියුනිස්ට් පක්ෂය සමඟ ඇත්ත විශේෂ කාර්යයභාරයක් සිදු කළ ද එම ආණ්ඩුව බලයට පත් වූ පසු සිදු කරන ජනතා විරෝධී ක්‍රියාවන්ට විරුද්ධ ව ඇත්ත පෙනී සිටියේ ය. ඇත්ත පුවත්පතේ මාධ්‍යවේදියෙකු වූ ගුණසිරි සිල්වා සිල්වා විසින් පිහාටු පෑන කෘතියේ සඳහන් කරන පරිදි, සමගි පෙරමුණ ආණ්ඩුව විසින් කොමියුනිස්ට් පක්ෂය නියෝජනය කරමින් ආණ්ඩුවේ අමාත්‍යධූර දැරූ පීටර් කෙනමන් සහ බී. වයි. තුඩාව මාර්ගයෙන් පුවත්පත පාලනය කරන්නට උත්සාහ දැරී ය. 1971 කැරැල්ලෙන් පසු සමගි පෙරමුණ ආණ්ඩුව විසින් සියලු ම පුවත්පත් සඳහා වාරණයක් ක්‍රියාත්මක කළේ ය. එම වාරණය ඇත්ත පුවත්පතේ කතුවැකියට ද පැනවිණි. ඇතැම් අවස්ථාවල ඇත්තෙහි යම් යම් පුවත් ද කපා හරින ලදී. 1971 ජූලි මස සිට 1972 මැයි මස පමණ වන තෙක් මෙම වාරණය ක්‍රියාත්මක විය. ඉන්පසු ව, ඇත්ත පුවත්පතට වෙළඳ දැන්වීම් ලබා දීම නවතා දමමින් ඇත්ත මර්දනයට ආණ්ඩුව උත්සාහ දැරී ය. ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂයේ නියෝජ්‍ය ලේකම් එස්. සුදසිංහ පවසන්නේ ඇත්ත පුවත්පත විසින් ආණ්ඩුවේ වැරදි, අඩුපාඩු සහ වංචා දූෂණ ආදිය හෙළිදරව් කරන බැවින් දේශපාලන පළිගැනීමක් වශයෙන් වෙළඳ දැන්වීම් ලබා නොදුන් බව යි. එම ආණ්ඩුව ඇත්ත මර්දනයට ගෙන ගිය මෙම ක්‍රියාකලාපයෙන් ඇත්ත පුවත්පතක් වශයෙන් ස්වාධීන වූ බව පෙනී යයි.

1977 මහ මැතිවරණයෙන් පසු දේශපාලන පළිගැනීම් වශයෙන් එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුවෙන් ඇත්ත පුවත්පතට බලපෑම් සිදු විය. එහි ප්‍රතිඵලයක් වශයෙන්, 1977 ජූලි 22 සිට ජූලි 25 දක්වාත්, ජූලි 27 සිට අගෝස්තු 18 දක්වාත් ඇත්ත පත්‍රය පළ නොවුණි. පුවත්පත සඳහන් කරන පරිදි, 1977 මහ මැතිවරණයෙන් පසු උද්ගත වී තිබූ තත්ත්වය යටතේ ඔවුන්ට පත්‍රය බෙදාහැරීමේ දී ප්‍රවාහන පහසුම්කම් සම්බන්ධයෙන් නොයෙකුත් දුෂ්කරතාවන්ට මුහුණ දීමට සිදු විය. ජූලි 26 දින ඇත්ත‍ෙහි පුවතකට අනුව, එක්සත් ජාතික පක්ෂයේ ජයග්‍රහණයෙන් උද්දාමයට පත් එම පක්ෂයේ මැරයන් විවිධ ප්‍රචණ්ඩ ක්‍රියා සිදු කර ඇත. එබැවින් ආණ්ඩුවට ප්‍රදේශ කිහිපයක ඇඳිරි නීතිය පැනවීමට ද සිදු විය. මහ මැතිවරණයෙන් එක්සත් ජාතික පක්ෂය හයෙන් පහක බලයක් සමඟ ජයග්‍රණය කරයි. කිසිම වාමාංශික පක්ෂයකට එක ම ආසනයක් හිමි නොවී ය. එය පැහැදිලි කරමින් සුදසිංහ සඳහන් කළේ, එම ජයග්‍රහණයෙන් පසු උද්ගත වූ තත්ත්වය ඇත්තේ බෙදා හැරීම් කටයුතුවලට බාධා කළ බව යි.

එහෙත්, ජේ. ආර්. ජයවර්ධන ප්‍රමුඛ එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුවේ දේශපාලන දූෂණ සහ ජනතා විරෝධී ක්‍රියා ඇත්ත හෙළා දැකී ය. එබැවින් එම ආණ්ඩුව තවදුරටත් ඇත්ත මර්දනයට කටයුතු කළේ ය. 1980 ජූලි මාසයේ වැඩ වර්ජන සහ විරෝධතා මාලාවක් සිදු විය. අඩු වැටුප්, උද්ධමනය සහ පිරිහෙන ජීවන තත්ත්වයන් වැනි ආර්ථික ගැටලු සහ ඒ හා සම්බන්ධ රජයේ ප්‍රතිපත්තිවලට ප්‍රතිචාර වශයෙන් විවිධ අංශවල වෘත්තීය සමිති සහ කම්කරුවන් විසින් මෙම වැඩවර්ජන මූලික වශයෙන් මෙහෙයවන ලදී. වැඩ වර්ජකයින් මර්දනය කිරීමට ආණ්ඩුව සිදු කරන ක්‍රියා කලාපය හෙළා දකිමින් වැඩ වර්ජකයින්ට සහය ලබා දුන් ඇත්ත, එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුවට තර්ජනයක් විය. ඇත්ත පුවත්පතේ සමකාලීන පුවත් සහ ලිපි දෙස බැලීමේ දී පෙනී යන්නේ ජනතාව තුළ සාමූහික සවිඥානයක් ගොඩනැඟීමට වර්තමාන සමජ මාධ්‍ය තුළින් සිදු වන කර්යයභාරය එම අවධියේ ඇත්ත පුවත්පතෙන් සිදු වූ බව යි. ඒ හේතුවෙන්, හදිසි නීති රෙගුලාසි යටතේ 1980 ජූලි 19 සිට මාසයක් පමණ යළිත් පුවත්පත වාරණය කරන ලදී. එහි දී, බොහෝ පුවත්පත්වල ලිපි කිහිපයක් ඉතිරිවන්නට ඉතිරි සියලු පුවත් සහ තීරු ලිපි කපා දැමුණි.

1982 ඔක්තෝම්බර් මාසයේදී නව වසර හයක ධුර කාලයක් සඳහා ජනාධිපති ලෙස තේරී පත් වූ ජේ. ආර්. ජයවර්ධන විසින් 1983 ට පෙර පැවැත්වීමට නියමිතව තිබූ මහ මැතිවරණය අවලංගු කරමින් පාර්ලිමේන්තුවේ ආයු කාලය තවත් වසර 6 කින් දීර්ඝ කිරීමට 1982 දෙසැම්බර් 22 වන දා ජාතික ජනමත විචාරණයක් පවත්වන ලදී. පුවත්පතේ සඳහන් පරිදි, ඇත්ත ගන්නා ස්ථාවරය පිළිබඳ මනා වැටහීමක් පැවති එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුව විසින් මෙම ජනමතවිචාරණයට පෙර නැවතත් 1982 නොවැම්බර් 03 වන දා සිට 1983 මාර්තු 01 වන දා දක්වා පුවත්පත පළ කිරීම තහනම් කෙරිණි.

1983 ජූලි මාසයේ දී ශ්‍රී ලංකාවේ දෙමළ විරෝධී සංහාරයක් සිදු විය. කළු ජූලිය ලෙස පසුව හඳුනා ගැනෙන මෙය සැලකිය යුතු සිංහල ප්‍රජාවකගේ සහභාගීත්වයෙන් දෙමළ ජනයා ඝාතනය කරමින් ප්‍රචණ්ඩත්වයක් දක්වා වර්ධනය විය. මෙම ‘කෝලාහලවලට’ වගකිව යුතු ය යි චෝදනා කරමින් ආණ්ඩුව විසින් කොමියුනිස්ට් පක්ෂය ඇතුළු දේශපාලන පක්ෂ තුනක් තහනම් කෙරිණ. ඇත්ත පුවත්පත සඳහන් කරන්නේ ඊට සමගාමී ව රටේ සාමයට ඇත්ත බාධාවක් වේ යැ යි පුවත්පත් බලධාරියා වූ ඩග්ලස් ලියනගේ විසින් යළිත් පුවත්පත තහනමට ලක් කළ බව යි. 1983 ජූලි 25 සිට 1983 නොවැම්බර් 01 වනදා දක්වා මෙම තහනම ක්‍රියාත්මක විය. එහෙත් ඇත්ත තම කාර්යයභාරය කොමියුනිස්ට් පක්ෂයේ එවකට නිල පුවත්පත වූ මව්බිම තුළින් ආරම්භ කරන ලදී. පිහාටු පෑන කෘතියේ දක්වන පරිදි ඇත්තේ මාධ්‍යවේදීන් ඇත්තට ලියූ තම අන්වර්ථ නාම පමණක් වෙනස් කර ගනිමින් මව්බිමට ලිවීම ආරම්භ කර ඇත.

මෙවන් දේශපාලන අභියෝගයන් රැසක් මැද සහ වරින් වර සිදු කළ වාරණ සහ සීමා කිරිම් යටතේ වුව ද ඇත්ත පුවත්පතක් වශයෙන් නොබියව තම මාධ්‍ය කටයුතු සිදු කළේ ය. කෙසේ නමුත්, 1990 පමණ වන විට ඇත්තේ අභ්‍යන්තර අර්බුද මෙන් ම මෙම බාහිර දේශපාලන අභියෝග ද හේතුවෙන් එහි පරිහානිය ක්‍රමයෙන් ආරම්භ විය.

(1964-1992 දක්වා වූ ඇත්ත පුවත්පත දැන් විවෘත ප්‍රවේශය සහිතව ඩිජිටල්කරණය කර ඇත.)

කසුනි ගමගේ | Kasuni Gamage