පුරවැසි මාධ්‍යවේදියකුගේ සටහන් – සුනන්ද දේශප්‍රිය
නිව්යෝක් ගමන ගැන කතා
මෙවර ජනාධිපති රාජපක්ෂ සමඟ නිව්යෝක් නගරයේ පැවැති එක්සත් ජාතීන්ගේ 65 වන සමුළුවාරයට සහභාගිවීමට ගුවන් ගත වූ ශ්‍රී ලාංකික නියෝජිත පිරිස (මෙම නියෝජිත පිරිස කව්රුන්දැයි නිල නිවේදනයක් නැත) සම්බන්ධයෙන් සන්ඩේ ලීඩර් පුවත්පත මෙම විස්තරය ඉදිරිපත් කළේ ය:
“සහභාගි වූ පිරිස 110ක් යැයි කියැවේ.
ඔවුන් නැවැතී සිටින වලඩ්ඕප් ඇස්ටෝරියා හෝටලයේ තනි කාමරයක එක් දිනක අවම මිල ඩොලර් 319ක් හෙවත් රුපියල් 38,918කි. එහි ජනාධිපතිවරයා නැවැතී සිටි කාමරයේ දිනක මිල ඩොලර් 1000ක් හෙවත් රුපියල් 120,000කි. මෙම හෝටලයේ කාමර 70ක් දිනකට ඩොලර් 472( රු. 52846 ) බැගින් දින පහක් සඳහා ශ්‍රී ලංකා නියෝජිත පිරිස වෙනුවෙන් වෙන්කර ගන්නා ලදී. එම මුළු මුදල ඩොලර් 165,000කි (රුපියල් 18,480,000 කි).
දිනකට ඩොලර් 500 බැගින් ගෙවා සුඛෝපභෝගී කාර් 40ක් දින පහකට වෙන් කර ගන්නා ලදී. එම මුළු මුදල ඩොලර් 100,000කි (රුපියල් 11,200,000 කි).
නිව්යෝක් නුවර සීගිරි ආපන ශාලාවෙන් දිනපතා සිය දෙනෙකුට ආහාර ඇනවුම් කරන ලද්දේ රාත්‍රි සහ දිවා එක් කෑමවේලකට ඩොලර් 25 බැගිනි. මුළු මුදල ඩොලර් 25,000කි (රු.305,000).
110 දෙනෙකුට දිනක අමතර දීමනා ඩොලර් 90 බැගිනි. මුළු මුදල ඩොලර් 49,000කි (රු. 5,488,000).
පහලොස් දෙනෙකු නිව්යෝක් කරා ගමන් කළේ පළමු පන්තියේ ය. එමිරේට්ස් ගුවන් සේවයේ එම ටිකට් එකක මිල රුපියල් 604,900කි. මුළු මුදල රුපියල් 9,700,000කි.
තිස් දෙනෙකු ගමන් කලේ ටිකට් පතක් රු. 425,200ක් වූ ව්‍යාපාරික පන්තියේ ය. එම මුළු මුදල රුපියල් 12,700,000කි.
සාමන්‍ය පන්තියේ ටිකට් පත් 70කි. එක් ටිකට් පතක මිල රුපියල් 136,000කි. මුළු මුදල රුපියල් 9,500.000කි.’’
මේ සා මුදලක් වැය කිරීම මගින් ශ්‍රී ලංකාණ්ඩුව ලොවට පෙන්වා ඇත්තේ යුද්ධය අවසන් වී වසරක් යත්ම මෙරට කොතරම් ශ්‍රී විභූතියක් අත් කරගෙන ඇත්තේ ද යන්න ය. එතරම් මහ සෙනඟක් නිව්යෝක් නුවරට ගියේ කුමණ අවශ්‍යතාවයක් නිසාද කියා හෝ එළෙස රැගෙන යන අයගේ නිපුණතා සහ උපයෝගීතාවය කුමක් ද කියා හෝ අප නොඇසිය යුතු ය. මන්ද යත් එළෙස ප්‍රශ්ණ කරන්නන් ද්‍රෝහීන් බවට එක් සැණින්ම පත් විය හැකි නිසා ය. ජෙනරල් සරත් ෆොන්සේකා දඩු කදේ ගසමින් සිටින්නේ ද්‍රෝහියකුට අත්විය හැකි ඉරණම ජීවමානවම පෙන්නුම් කැරෙන පරිදි ය. අනෙක් සිංහල පුවත්පත් කියවන රේඩියෝ සවන් දෙන හෝ රූපවාහිනී පුවත් නරඹන ජනයා හෝ මේ සම්බන්ධයෙන් මුනිවත රකින්නේ එනිසා ය.
නිව්යෝක්හි එක්සත් ජාතීන්ගේ සැසිවාරය අමතා ශ්‍රී ලංකා ජනාධිපති කල කතාව අසා සිටීමට යෑමටවත් මෙම නියෝජිත පිරිසේ බහුතරයට අවස්ථාව ලැබුණේ නැත. මන්ද යත් එතරම් අවසර පත්‍ර නොලැබෙන නිසා ය. සමුළුව අමතා කතා කළ ජනාධිපති රාජපක්ෂ අන්තර් ජාතික මානුෂීය නීති කළට ඔබින පරිදි වෙනස් කළ යුතු යැයි කීවේ එම නීති සකස් කරන ලද්දේ රටවල් අතර ඇති වූ යුද්ධ පසුබිම් කරගෙන බවට තර්ක කරමිනි. රටවල් අතර යුද්ධවලදී මෙන් නොව රටතුළ කැරලිකාර කණ්ඩායම් සමඟ කැරෙන යුද්ධයන්හි දී එම නීති එලෙසම බල නොපැවැත්විය යුතු බව ජනාධිපතිවරයාගේ අදහස විය. එමෙන්ම ශ්‍රී ලංකාවේ ව්‍යවස්ථාව සංශෝධනය කරන ලද්දේ ජනතාවගේ සිතුම් පැතුම් අනුව බව ද ජනාධිපතිවරයා කියා සිටියේ ය.
ආණ්ඩුවේ සන්ඩේ ඔබ්සොවර් පත්‍රය ශ්‍රී ලංකාවෙහි රාජ්‍ය මාධ්‍ය භාවිතය මොනවට පෙන්නුම් කරමින් මෙසේ සිය කතුවැකියෙහි මෙසේ ලීවේ ය:
“ජනාධිපති රාජපක්ෂ එජා සම්මේලනයේ 65වන සැසිවාරය අමතමින් කිසිදු සැකයකට ඉඩක් නොතබා සිය ආදර්ශමත් විශාරද දේශපාලන ඥානයත්, රාජ්‍යතාන්ත්‍රික බාවයත් සිය දූර දර්ශි දැක්මත් සනාථ කළෝය.”
“ ඔහුගේ උද්‍යෝගිකර කතාව ඔහුගේ ලෝක මට්ටමේ විශාරද බව එනම් දේශපාලන මුහුකුරා ගිය බව, පාරදෘශ්‍යභාවය, වගවීම, සුපැහැදිලි දැක්ම, අරමුණු සාක්ෂාත්කර ගැනීමේ ලා වන අභිලාශය සහ අසමසම දේශපාලන අධිශ්ඨානය ඉස්මතු කර පෙන්වීය.”
“ බිය හෝ අගතියකින් තොරව සිය අදහස් දැක් වූ ජනාධිපති රාජපක්ෂ ජාතියේ උසස්ම අපේක්ෂාවන් අවධාරණය කරමින් අන්තර් ජාතික ප්‍රජාව වසඟකර තබා ගත්තේ ය. ඔහු අන්තර් ජාතික රීති අකුරටම පිළිපදිමින් ඉහළම තලයේ රාජ්‍ය තාන්ත්‍රාක බවක් පෙන්නුම් කළෝ ය.” (මෙවැනි ස්ත්‍රෝත්‍ර ගායනා ඇසෙන්නේ ඒකාධිපතියන් වෙනුවෙන් පමණි).
අනෙක් අතට සති අන්ත සන්ඩේ ටයිම්ස් පුවත්පතෙහි තීරු ලිපි රචිකාවියක වන කිෂාලි පින්ටෝ ජයවර්ධන ජනාධිපතිවරයාගේ කතාව ගැන මෙසේ ලියුවේ ය:
“හරයාත්මක කරුණු දෙස අප බලන්නේ නම් (ජනාධිපතිවරයාගේ) කතාවෙහි කැපී පෙනෙන ලෙස නැතිම නැති වචන නම් ‛පශ්චාත් යුද්ධ සමයේ නීතියේ පාලනය’ යන්න ය. එසේ නැත්තේ ඇයි”
“ අප ජනතාවගේ අභිලාෂයන් නිරූපනය කරන ව්‍යවස්ථා වෙනස්කම් අදාළ සියළු පාර්ශවයන්ගේ සමුපූර්ණ සහභාගිත්වය ඇතිව ගොඩ නැගෙනු ඇත යන කියමන ටිකක් උඩඟු කතාවක් නොවන්නේ ද? මෙම ප්‍රකාශය පෙනෙන අරුතින් තේරුම් ගන්නේ නම් වත්මන් ජනාධිපතිවරයාට යළි යළි තරඟ කළ හැකි පරිදි ධුරකාල දෙක වෙනස් කරන ලද්දේ ‛අදාළ සියළු දෙනාගේ සම්පූර්ණ සහභාගිත්වයෙනි’ යැයි අප විශ්වාස කළ යුතු නොවේ ද? ”
ජනාධිපතිවරයා ‛උගත් පාඩම් සහ ප්‍රතිසංධාන ජනාධිපති’ කොමිසම ගැන සහ හදිසි නීති රෙගුලාසි ආපසු හැරවීම ගැනත් කතා කළේ ය. ආණ්ඩුවේ ප්‍රචාරක ප්‍රහාරය නිරීක්ෂනය කරන අය කියා සිටිනු ඇත්තේ දැන් රාජ්‍යයේ වගවීම රාජ්‍ය නොවන කාරකයින්ගේ වගවීම විසින් විස්ථාපනය කර ඇති බව යි.
එබැවින් යුද්ධයේ නීති රට අභ්‍යන්තර ගැටුම්වලට සරිලන පරිදි වෙනස් විය යුතු බවට ජනාධිපතාවරයා කළ ආයාචනය පුදුමයක් ඇති නොකරයි. එසේ නමුත් රාජ්‍ය නායකයා වශයෙන් ජනාධිපතිවරයා රාජ්‍ය නොවන කාරකයින්ගේ වගවීම ගැන කතා කරන්නට පෙර රාජ්‍යයේ වගවීම අවධාරණය කර සහතික කළ යුතු ය.”
එමෙන්ම කිෂාලි පින්ටෝ කියා සිටියේ එකාධිපතිවාදයකට එරෙහිව ව්‍යවස්ථාවේ ඉතිරුව තිබූ සුරැකිතාවයන් ඉවත් කරන අතර හදිසි නීතියේ කොටස් ඉවත් කිරීම ගැන කතා කිරීම වැඩක් නැති බව යි.
මේ අතර ඇමෙරිකානු ජනාධිපති ඔබාමා එක්සත් ජාතීන්ගේ සමුළුව අමතා මෙසේ කීය.:
“ආර්ථික අසහනයන් ඇති කාලයන්හි දී මානව හිමිකම් අරභයා ද සැක සංකා ඇතිවිය හැකි ය. අද ද ආර්ථික පසුබෑම් ඇති වූ අතීත කාලපරිච්ජේදයන්හි දී මෙන් අයෙක් මානව හිමිකම් මැඩලීම මගින් ආර්ථික සමෘද්ධිය ලබා ගත හැකිය යන මිත්‍යාවෙහි ගැලී කෙටි කාලීන ස්ථාවරබවක් සඳහා මානව හිමිකම් අතහැර දමති. ජන නායකයින් ධුර කාල ඉවත් කරනු අපට පෙනේ. සිවිල් සමාජය මර්දනය කරනු අපට පෙනේ. දූෂණය විසින් ව්‍යවසායකත්වයේ සහ යහ පාලනයේ හුස්ම හිර කරනු අපට පෙනේ. ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රතිසංස්කරණ දින නියමයක් නොමැතිව කල් දමනු අපට පෙනේ.”
“මර්දනයේ යකඩ සපත්තුවට පෑගී සිටින ජනයාගේ මානවහිමිකම් ගැන හඬ නැගීමට අපට ඔබේ හඬ අවදි කිරීම අවශ්‍ය ය. පසුගිය ශතවර්ශයේ දෙවන භාගයේ දී අඥාදායකයින් පෙරළා දමා ලොව දිරිමත්කළ දේශයන් වෙත මම විශේෂයෙන් අයාචනා කරමි. වෙනත් තැනෙක විරුද්ධවාදීන් සිරගත කර විරෝධතාකරුවන්ට පහර දෙන විට පැත්තකට වී නොසිටින්න. නිහඬව නොසිටින්න. ඔබේ ඉතිහාසය මතකයට ගන්න. මන්ද යත් අපේ නිදහසේ වටිනාකමෙහි කොටසක් වන්නේ අනෙකාගේ නිදහස වෙනුවෙන් නැගී සිටීම නිසා ය.”
ඒ වචන ගැලපෙන්නේ කුමණ රටවලටදැයි සිතා ගැනීම අමාරු නැත.
Pic by – DailyNews