iMage:JVP / DM

වගා හානි කරන වන සතුන්ට පෞද්ගලික වගා බිමක දී ඕනෑ ම ක්‍රියාමාර්ගයක් ගැනීමට කිසිදු නෛතික බාධාවක් නැති බවට කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් හා වාරිමාර්ග අමාත්‍ය කේ. ඩී. ලාල් කාන්ත පාර්ලිමේන්තුවේ දී සිදුකළ නීති විරෝධී ප්‍රකාශයත් සමඟ සමාජය තුළ වගා හානි කරන වන සතුන් පිළිබඳ ව විශාල ආන්දෝලනයක් ඇති විය. ඒ අතරතුර මහජන ආරක්ෂක හා පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ආනන්ද විජේපාල සඳහන් කරන්නේ කුරුණෑගල දිස්ත්‍රික්කයේ සිටින සියලූ ම අලි – ඇතුන් හමුදා මෙහෙයුමකින් විල්පත්තුව ජාතික වනෝද්‍යානයට ගෙන ගොස් ගාල් කරන බව ය. ඒ සඳහා වන සැලැසුම් මේ වන විට සකස් කරමින් පවතී.

මේ සියලු කරුණු දෙස බැලූ වීට පෙනී යන්නේ වත්මන් ආණ්ඩුව විද්‍යාත්මක, පුළුල් ප්‍රතිපත්තිමය හා තිරසර, ප්‍රායෝගික විසදුම් ලබා දිය යුතු ඉතා ම සංවේදී ගැටළුවලට අවිද්‍යාත්මක හා අමනෝඥ විසදුම් ලබා දීමට ක්‍රියා කරමින් සිටින බව ය.

වන සතුන් ගෙන් සිදු වන වගා හානි පාලනය කිරීම, වන සතුන් බහුල ව වගා බිම්වලට පිවිසීමට බලපෑ හේතු සාධකවලට පිළියම් සෙවීම පමණක් නොව සමස්ත කෘෂිකර්ම අර්බුදයට ම විසදුම් සෙවිය යුතු බව අප දනිමු. මේ නිසා පසුගිය ඉතිහාසය පුරා ම අප මේ පිළිබඳ ව අඛණ්ඩ ව අරගල කළෙමු. පසුගිය කාලය තුළ බලයට පත් වූ ආණ්ඩු විසින් සිදු කරන ලද වැරදි සංවර්ධන ව්‍යාපෘති, වැරදි ආයෝජන ක්‍රියාවලීන් සහ ඒ සඳහා වන වැරදි ප්‍රතිපත්ති හා අනපණත් සංශෝධනය කිරීම ඇතුළු බෝහෝ හානි කර ක්‍රියා සඳහා අප ගොවි ජනතාව සමඟ එක් ව ඊට එරෙහිව නැගී සිටියේ මේ සියල්ලේ ම අවසාන ප්‍රතිඵලය ගොවිතැන හා ගොවියා අර්බුදයකට මුහුණ දීම බව ඉතා ම හොඳින් දන්නා නිසා ය. නමුත් වගකීම් විරහිත ව හා ගැටළු ව නිවැරදිව තේරුම් නොගැනීම මත ව්‍යවස්ථාදායකය තුළ මෙවන් ප්‍රකාශ නිකුත් කිරීමෙන් හා අමාත්‍යවරු සතු බලය වැරදි ලෙස භාවිත කිරීමෙන් පෙනී යන්නේ වත්මන් ආණ්ඩුව ජනතාව සමඟ සම්මුති ගත වූ “පොහොසත් රටක් ලස්සන ජීවිතයක්” ප්‍රතිපත්ති ප්‍රකාශනයේ සඳහන් වන ශිෂ්ඨසම්පන්න පුරවැසියෙක්, දියුණු මානව සම්පතක් මෙන් ම නීතියේ ආධිපත්‍යය සුරකින සමාජයක් ගොඩනැගීමේ පරමාදර්ශය ආණ්ඩුවේ අමාත්‍යවරුන් විසින් ම බිඳ දමන බව ය. මීට ප්‍රථම බලයට පත් වූ ජාවාරම්කාරී, ඒකාධිපති ආණ්ඩු පරාජය කර ප්‍රගතිශීලී ආණ්ඩුවක් ගොඩනැගීමට ජනතාව සතු ව්‍යවස්ථාදායක බලය බහුතර ජනතාවක් වත්මන් ආණ්ඩුවට ලබා දුන්නේ ජනතාව සමඟ ඇති කර ගන්නා සම්මුති කෙටි කලකින් බිඳ දමන ආණ්ඩුවක් ගොඩනැගීමට නොව රටේ පවතින ගැටළු සඳහා ජනතාව සමඟ සාකච්ඡා කර, විද්‍යාත්මක පදනමක් මත, සැබෑ තිරසර විසදුම් ලබා දෙන පාලන ව්‍යුහයක් ගොඩනැගීමට ය.

වන සතුන් වගා බිම්වලට පැමිණීමට හේතු

වන සතුන් වගා හානි කරන තත්ත්වයට පරිවර්ථනය වූයේ අප ගේ වැරදි ක්‍රියා මාර්ග හේතුවෙන් බව අප පිළිගත යුතු ය. ස්වාභාවික පරිසර පද්ධති විනාශය හා ඒවා ඛණ්ඩනය කරමින් ජනාවාස, වාණිජ වගා බිම් හා සංවර්ධන ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම, වන සතුන් ගේ වාසස්ථාන හෝ ආහාර නොවන ඇකේසියා, පයිනස්, යුකැලිප්ටස්, තේක්ක වැනි වන වගාවන් ඇති කිරීම මෙන් ම ඒක භෝග වාණිජ වගාවන් ලෙස තේ, රබර්, කටුපොල්, උක් හා බඩඉරිගු වැනි වගාවන් ව්‍යාප්ත කිරීම සහ වන සතුන් ගේ වාසස්ථාන තුළ එම සතුන්ට වාසස්ථාන හා ආහාර නොවන ආක්‍රමණික ශාක ලෙස යෝධ නිදිකුම්බා, ගඳපාන, ගිනිතණ, කටුපතොක්, කහදියපර, කලපු අන්දර, කටු උණ වැනි ශාක ව්‍යාප්ත වීම වැනි තත්ත්වයන් රිලවුන්, දඩුලේනන්, ඉත්තෑවන්, වල් ඌරන් හා මොනරුන් ගේ වාසස්ථාන හා ගොදුරු බිම් අහිමි වී වගා බිම්වලට පැමිණ වගා හානි සිදු කරන තත්ත්වයට පත් වීමට හේතු සාදක වී ඇත. මීට අමතර ව ස්වාභාවික වාසස්ථාන සීමා වීම හා ඛණ්ඩනය වීම නිසා මෙම සතුන් ගේ ස්වාභාවික විලෝපිකයන් සීමා වීමෙන් මෙම සතුන් ගේ ගහනයන් වර්ධනය වීම ද සිදු වේ. එපමණක් නොව වන සතුන් ගේ වාසස්ථාන ආශ්‍රිත ව කසළ රැඳවීම මෙන් ම සංචාරක හා ආගමික වන්දනා ක්‍රියාවලීන්වල දී ස්වාභාවික පරිසරයේ ජීවත් වන, වන සතුන්ට බාහිරින් ආහාර ලබා දීම ඇතුළු ක්‍රියා නිසා ස්වාභාවික පරිසරයෙන් පිටතට පැමිණෙන මෙම සතුන් වගා බිම්වලට පිවිසීම වර්ධනය වීම සිදු වී ඇත. මෙම සාදක සියල්ල ම වගා හානි කරන වන සතුන් ඇති වීමට හා ගොවි බිම්වල ඵලදායීතාව බිඳ වැටීමට හේතු වී තිබේ. එබැවින් විසදුම් සෙවිය යුත්තේ මේ සියල්ලට ම ය.

වන විනාශය හා සංවර්ධන ව්‍යාපෘති හේතුවෙන් වන සතුන් වගා බිම්වලට පැමිණීම වර්ධනය වීම

ලිඛිත සාධකවලට අනුව යටත්විජිත යුගයේ වර්ෂ 1881 වන විට මෙරට වනාන්තර ආවරණය මුළු භූමි ප්‍රමාණයෙන් සියයට 84 ක් විය. වර්ෂ 1900 දී එය සියයට 70 දක්වා පහළ වැටී තිබුණි. ඊට හේතුව කෝපි හා තේ වගාවන් ව්‍යාප්ත කිරීම සඳහා ශීඝ්‍රයෙන් තෙත් කලාපයේ වනාන්තර එළි කිරීමයි.

ශ්‍රී ලංකාවට නිදහස ලැබීමෙන් පසුව වනාන්තර පිළිබඳ ව පුළුල් සමීක්ෂණයක් සිදු කෙරුනේ 1956 – 1961 වසර වල ය. එහි දී වන ආවරණය සියයට 44.2 ක් නැතහොත් හෙක්ටයාර 28,98,842 ක් බව හඳුනා ගැනින. වනාන්තර මහ සැලැස්ම සැකසීම සඳහා 1982 – 1985 වසර වල ලෝක ආහාර හා කෘෂිකර්ම සංවිධානය මගින් නිදහසින් පසුව සිදු කරන ලද දෙවන වනාන්තර සමීක්ෂණයට අනුව ලංකාවේ වන ආවරණය සියයට 37.5 ක් නැතහොත් හෙක්ටයාර 24,58,250 ක් බව අනාවරණය විය. ලෙග් හා ජුවෙල් විසින් සකස් කරන ලද සිතියම් අනුසාරයෙන් වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවෙන් සකස් කළ පරිපාලන වාර්තාවලට අනුව වර්ෂ 1992 වන විට ලංකාවේ වන ආවරණය සියයට 31.2 ක් නැතහොත් හෙක්ටයාර 20,46,599 ක් වන බව හඳුනා ගැනින. වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ 1996 වසරේ වාර්තා වලට අනුව වන ආවරණය සියයට 29.6 ක් නැතහොත් හෙක්ටයාර 19,42,219 ක් බව සඳහන් වේ. 2010 වසරේ දී අවසන් වරට සිදු කළ වන ආවරණය පිළිබඳ වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යයන වාර්තාවලට අනුව ලංකාවේ වන ආවරණය සියයට 29.7 ක් නැතහොත් හෙක්ටයාර 19,51,472 ක් බව සඳහන් වේ. 1960 සිට 2010 වසර දක්වා ගෙවුණු වසර පනහ තුළ දී ලංකාවේ වනාන්තර හෙක්ටයාර 9,47,370 ක් එළිපෙහෙලි කර තිබේ.

ඉන් පසු ව ගෙවී ගිය අද දක්වා වසර 14 ක කාල සීමාව තුළ දී එළිපෙහෙලි කර ඇති වනාන්තර ප්‍රමාණය ඉතා විශාල ය. ඒ සඳහා ප්‍රධාන පදනම සකස් වී ඇත්තේ ජාතික භෞතික සැලැසුම මත ය. මෙම සැලැසුම ක්‍රියාත්මක කරන මේ කාලය තුළ සංවර්ධන ව්‍යාපෘති ලෙස ක්‍රියාත්මක කළ යාන් ඔය වාරි ව්‍යාපෘතිය සඳහා අක්කර 15000 ක වනාන්තර, මොරගහකන්ද හා කළු ගඟ බහුකාර්ය වාරි ව්‍යාපෘති සඳහා අක්කර 25000 ක වනාන්තර, දකුණු පළාතේ හම්බන්තොට දිස්ත්‍රික්කයේ ක්‍රියාත්මක කළ මාගම්පුර වරාය, මත්තල ගුවන්තොටුපොළ, දකුණු අධිවේගී මාර්ගය පුළුල් කිරීම, ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාව, ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රිඩාංගනය ඇතුළු භෞතික සංවර්ධන ව්‍යාපෘති සඳහා වනාන්තර අක්කර 25000 කට වැඩි ප්‍රමාණයක් එළිපෙහෙළි කර තිබේ. මීට අමතර ව 2010 වසරේ උතුරු – නැගෙනහිර පැවති යුද්ධය අවසන් වීමෙන් අනතුරු ව නැවත පදිංචි කිරීමේ කටයුතු නිසි පරිදි ක්‍රියාත්මක නොකිරීම හා ජනතාව භාවිත කළ ඉඩම් වෙනත් සංවර්ධන භාවිතයන්, සංචාරක ව්‍යාපෘති හා දැඩි ආරක්ෂක කලාප පවත්වාගෙන යාම සඳහා භාවිත කිරීම හේතුවෙන් අලුතින් ජනාවාස ව්‍යාප්ත කිරීම සඳහා වනාන්තර අක්කර 17800 ක් පමණ එළි පෙහෙළි කිරීම සිදු විය. මීට අමතර ව අද වන විට ක්‍රියාත්මක කරන පහළ මල්වතු ඔය වාරි ව්‍යාපෘතිය සඳහා අක්කර 10000 ක වනාන්තර එළිපෙහෙලි කරමින් තිබේ.

මීට අමතර ව මහවැලි අධිකාරිය හා ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාව යටතේ පාලනය වන වනාන්තර මහ පරිමාණ සමාගම් හා ව්‍යාපාරිකයන්ට පැවරීම සහ ඒවා නිරන්තරයෙන් එළිපෙහෙළි කිරීම යන මේ සියල්ල ම වන සතුන් ගේ වාසස්ථාන අහිමි වීමෙන් එම සතුන් අවතැන් වී වගා බිම්වලට පිවිසීමට ප්‍රධාන වශයෙන් බලපා තිබේ.

මහ පරිමාණ වාණිජ වගාවන් හේතුවෙන් සුළු ගොවීන් ගේ වගා බිම් වන සතුන්ට ගොදුරු වීම

අප රට දේශීය නොවන වාණිජ වගාවන් ගේ ස්ථාපිත කිරීම ආරම්භ වන්නේ බි්‍රතාන්‍ය යටත්විජිත යුගයේ ය. පළමු ව මෙය කෝපි වගාවෙන් ආරම්භ විය. නමුත් කෝපි පළමු ව වගා කරන්නේ බි්‍රතාන්‍යයන් නොව 1740 දී ලන්දේසීන් ය. එතැන් සිට ලන්දේසීන් විසින් මෙරට කෝපි වගාව ක්‍රමානුකූල ව වගා කිරීම අත්හදා බලා ඇති අතර 1833 දී බි්‍රතාන්‍යයන් විසින් කෝල්බෲක්-කැමරන් ප්‍රතිසංස්කරණ කොමිෂම ගෙන ඒමෙන් පසුව මහ පරිමාණ වාණිජ වගාවක් ලෙස මෙම වගාව ස්ථාපිත කෙරින. ඒ සඳහා කඳුකරයේ වනාන්තර ශීඝ්‍රයෙන් එළි කර කෝපි වගාව ස්ථාපිත කර තිබේ. 1860 වනවිට ලංකාවේ කෝපි නිෂ්පාදනය කරන ප්‍රධාන රටවල් අතරට එක් වූ අතර 1870 වනවිට මෙරට කෝපි වගාව අක්කර 275,000 ක් දක්වා පැතිර තිබේ. ඒ අතර තුර කෝපි වගාවට දිලීර රෝගයක් පැතිරීම හේතුවෙන් ශීඝ්‍රයෙන් මෙම වගා බිම් විනාශ වීම ආරම්භ විය.

මේ අතරතුර 1867 දී ජේම්ස් ටේලර් විසින් නුවර, ලූල්කඳුර ප්‍රදේශයේ හෙක්ටයාර 8 ක භූමි ප්‍රදේශයක පළමු ව තේ වගාව ආරම්භ කෙරින. ඉන් පසුව 1872 දී පළමු තේ කර්මාන්තශාලාව ස්ථාපිත කළ ජේම්ස් ටේලර් පළමු ව තේ අපනයනය කළේ 1873 වසරේ දී ය. එසේ ආරම්භ කළ තේ වගාව අද වන විට කඳුකරයේ හා පහතරට තෙත් කලාපයේ හෙක්ටයාර 221,969 ක් පුරා පැතිර තිබේ. 1867 වසරේ දී හෙක්ටයාර 8 කින් ආරම්භ වූ තේ වගාව අද වන විට මෙතරම් භූමි ප්‍රමාණයක් දක්වා ව්‍යාප්ත කිරීමට නොයිඳුල් කඳුකර වනාන්තර හා පහතරට තෙත් කලාපීය වනාන්තර සම්පූර්ණයෙන් ම එළිපෙහෙළි කර තිබේ. අද වන විට තවදුරටත් කඳුකර වනාන්තර හා පහතරට තෙත් වනාන්තර එළිපෙහෙළි කරමින් අඛණ්ඩ ව තේ වගාව ව්‍යාප්ත කරමින් පැවතීමට ප්‍රධාන හේතුව ඒ සඳහා පවතින වෙළෙඳපොළ ඉල්ලුම ය. ඒ හේතුවෙන් මේ වන විට රක්ෂිත වනාන්තර පවා නීති වීරෝධී ව එළිපෙහෙළි කරමින් තේ වගාව ව්‍යාප්ත කෙරේ.

ලංකාවේ තේ වගාව ව්‍යාප්ත කිරීමට සමගාමී ව තෙත් හා අතරමැදි කලාපයේ වනාන්තර එළිපෙහෙළි කරමින් රබර් වගාව ව්‍යාප්ත කෙරින. 1876 දී ගම්පහ, හෙනරත්ගොඩ උද්භීද උද්‍යානයේ පළමු රබර් ශාකය රෝපනය කරමින් ආරම්භ කළ රබර් වගාව අද වන විට හෙක්ටයාර 133,668 ක් පුරා ව්‍යාප්ත ව පවතී. ජාත්‍යන්තර වෙළෙඳපොලේ රබර් මිල ගණන් වර්ධනය වීම හා පහළ බැසීම අනුව රබර් වගාව ව්‍යාප්ත කිරීම හා රබර් වගා බිම් වෙනත් භාවිතයන් සඳහා යොදා ගැනීම තීන්දු වේ.

යටත්විජිත යුගයේ දී බි්‍රතාන්‍යයන් විසින් ලංකාවේ ස්ථාපිත කළ හැකි වාණිජ බෝග පිළිබඳ ව පර්යේෂණ සිදු කිරීමේ දී උක් වගාව පිළිබඳ ව ද ඔවුන් ගේ අවධානයට ලක් ව තිබේ. උක් වගාව පිළිබඳ ව පළමු පර්යේෂණ සිදු කර ඇත්තේ ගාල්ල ප්‍රදේශයේ ය. නමුත් එම කාල වකවානුවේ දී වාණිජ වගාවක් ලෙස උක් වගාව ව්‍යාප්ත කර නොතිබුණි. 1948 දී නිදහස ලැබීමෙන් පසුව වාණිජ වශයෙන් උක් වගාව ව්‍යාප්ත කිරීම ඇරැඹිනි. 1956 වන විට වියළි කලාපයේ වාණිජ වගාවක් වශයෙන් උක් වගාව ව්‍යාප්ත කර තිබේ. 1973 හා 1994 වසරවල දී වියළි කලාපයේ වනාන්තර විශාල වශයෙන් එළිපෙහෙළි කර උක් වගාව මහ පරිමාණයෙන් ව්‍යාප්ත කෙරින. මේ වනවිට පැල්වත්ත, හිඟුරාන, සෙවණගල, කන්තලේ, මොණරාගල හා අම්පාර යන ප්‍රදේශවල හෙක්ටයාර 30,530 ක භූමි ප්‍රමාණයක උක් වගා බිම් ව්‍යාප්ත කර තිබේ. මෙම වගාව ව්‍යාප්ත කිරීමේ දී වසර කිහිපයක් තුළ පස නිසරු වීමත් සමඟ ඵලදායිතාවය බිඳ වැටෙන අවස්ථා වල දී සමාගම් උත්සාහ දරන්නේ අලුතින් වගා බිම් ස්ථාපිත කර ඵලදායීතාව වැඩි කර ගැනීමට ය.

අද වන විට වාණිජ වගාවක් ලෙස බඩඉරිඟු වගා බිම් වියළි කලාපය ආක්‍රමණය කරමින් තිබේ. මිශ්‍ර බෝග වගා කළ හේන් වගා බිම්වල අද වන විට වගා කෙරෙන්නේ බඩඉරිඟු පමණි. 1961 වන විට හෙක්ටයාර 12,957 ක් ව පැවති බඩඉරිඟු වගා බිම් ප්‍රමාණය අද වන විට හෙක්ටයාර 72,390 ක් දක්වා වර්ධනය වී තිබේ. මිනිසුන්ට දෛනික පරිභෝජනය සඳහා වැදගත් වන බෝග නිපද වූ හා යල කන්නයේ දී වන සතුන් ගේ ආහාර බිම් වන හේන් වගා බිම්වල අද වන විට සත්ත්ව ආහාරයක් ලෙස ඒක බෝග වගාවක් ලෙස බඩඉරිඟු වගා කෙරේ. මේ සඳහා පවතින ඉල්ලුම හා මිල ඉහළ අගයක පැවතීම නිසා ශීඝ්‍රයෙන් බඩඉරිඟු වගාවට ගොවීන් ප්‍රවිෂ්ඨ වෙමින් සිටී.

මෙරට පළමු වරට වාණිජ බෝගයක් වන කටුපොල් වගාව ආරම්භ කළේ යුරෝපීය වැවිලිකරුවකු වන ජෙරී වොලස් විසිනි. 1968 දී වටවල වැවිලි සමාගමට අයත් නාකියාදෙනිය වතු යායේ හෙක්ටයාර 0.5 ක භූමියක කටුපොල් ගස් 68 ක් සිටුවා පළමු වගා බිම ආරම්භ කරන ලදී. වර්තමානය වන විට හෙක්ටයාර 8781 ක පමණ කටුපොල් වගා බිම් ස්ථාපිත කර තිබේ.

මේ වන විට වාණිජ වගාවක් ලෙස ඩෝල් සමාගම අපනයනය කිරීම සඳහා කැවැන්ඩිස් කෙසෙල් ප්‍රභේදය වියළි කලාපයේ ප්‍රදේශ ගණනාවක වගා කර තිබේ. කන්තලේ, කුඩා ඔය, දෙමෝදර, බුත්තල ආදී ප්‍රදේශ ගණනාවක අක්කර 7000 ක් පමණ මේ වන විට කැවැන්ඩිස් කෙසෙල් වගාව සඳහා යොදා ගෙන ඇත. මෙම වාණිජ වගා බිම් සියල්ල ම වන සතුන්ට අහිමි වූ එම සතුන් ගේ වාසස්ථාන වෙති.

ගොවිතැනේ සැබෑ අභියෝග වන සතුන් පෙන්වා මඟහැරීම

පසුගිය කාලය පුරා ම සුළු පරිමාණ ගොවි ජනතාව වගා බිම්වලින් සූක්ෂම ව ඉවත් කර මහ පරිමාණ වාණිජ වගාවන් ස්ථාපිත කිරීමට උත්සාහ ගැනින. මේ නිසා ගොවීන්ට වගා කටයුතුවල දී ප්‍රධාන අභියෝග ගණානවකට මුහුණ දීමට සිදු විය. එම අභියෝග අතර කෘෂි රසායනික හා බීජ නිෂ්පාදන සමාගම්වල ග්‍රහණයට නතු වීම, ජල අර්බුද, ගොවියා වගා බිම්වලින් ඉවත් කරන ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීම, ගොවි බිම් මහ පරිමාණ ඒක බෝග වාණිජ වගාවන් සඳහා සමාගම්වලට හා මහ පරිමාණ ව්‍යාපාරිකයන්ට ලබා දීම, ගොවි බිම් වෙනත් ආයෝජන හා සංවර්ධන ව්‍යාපෘති සඳහා යොදා ගැනීම, මහවැලි ව්‍යාපෘතිය ඇතුළු වාරි ව්‍යාපෘති මගින් ජලය සපයන වගා බිම් සමාගම්වලට හා මහ පරිමාණ ව්‍යාපාරිකයන්ට ලබා දීම, පසු අස්වනු විනාශය, අස්වැන්න අලෙවි කර ගැනීමේ අභියෝග, අස්වැන්නේ මිල තීන්දු කිරීමේ දී වෙළෙදපොළ මාෆියාවට ගොදුරු වීම, අනවශ්‍ය පරිදි ආහාර ආනයනය කර ගොවීන් අතර වෙළෙදපොළ තරගයක් ඇති කිරීම මෙන් ම වන සතුන් ගෙන් සිදු වන වගා හානි යන සියල්ල ම පවතින බව අප දනිමු. මේ සියල්ල අවබෝධ කර නොගතහොත් සමස්ත ගොවිතැනට ඇති සැබෑ අභියෝග සියල්ලට පිළියම් සෙවීම වෙනුවට වන සතුන් පාලනය කිරීමෙන් පමණක් ගොවිතැනේ අභියෝගවලට පිළියම් සෙවිය හැකි වන බව බොහෝ දෙනෙකු විශ්වාස කරනු ඇත. එමගින් බොහෝ දෑ මඟහැරී යනු ඇත. මේ නිසා ගොවිතැන ගොඩනැගීමට හා ගොවියා ගේ පැවැත්ම සුරක්ෂිත කර වගා බිම්වල හා වගා අස්වැන්නේ සුරක්ෂිතතාව ඇති කිරීමට පළමු ව කළ යුතු වන්නේ වගා හානි සිදු කරන වන සතුන් විනාශ කිරීම නොවන බව අපි පිළිගනිමු. එපමණක් නොව මෙම වන සතුන් පරිසර පද්ධතියේ තුළිත පැවැත්ම පවත්වාගෙන යාමට දායකත්වයන් බොහොමයක් ලබා දෙන බව ද අප තේරුම් ගත යුතු ය. මේ නිසා අප ගොවිතැන දෙස බැලිය යුත්තේ මානව කේන්ද්‍රීයව නොව ජෛව කේන්ද්‍රීයව ය.

වනජීවී ආඥාපනත උල්ලංඝනය කිරීම

භූමියේ මෙම යතාර්ථයන් සියල්ල පවතින අතර තුර ගොවීන් ගේ හා වන සතුන් ගේ රැකවරණය වෙනුවෙන් නීති සම්පාදනය කර තිබේ. 2022 අංක 07 දරන පනතින් අවසන්වරට සංශෝධිත 1937 අංක 02 දරන වන සත්ත්ව හා වෘක්ෂලතා ආරක්ෂක ආඥා පනතේ 53අ උප වගන්තියට අනුව වන සතෙකු මැරීම හෝ මත් කිරීම සඳහා වස හෝ පුපුරණ ද්‍රව්‍ය හෝ මත් කිරීමේ ද්‍රව්‍ය භාවිත කිරීම නීති විරෝධී වේ. පනතේ 52 වගන්තියට අනුව කෘත්‍රිම ආලෝකය භාවිත කර වන සතෙකු ගේ පෙනීම මුලා කිරීමෙන් හෝ සතා ඇද ගැනීමට සැලැස්වීමෙන් හෝ අල්ලා ගැනීමට පහසු කිරීම සඳහා ක්‍රියා කිරීම ද නීති විරෝධී වෙයි. එපමණක් නොව පනතේ 52ආ උප වගන්තියට අනුව සතෙකු අල්ලා ගැනීම සඳහා පෙළැඹවීම හා ආකර්ෂණය කර ගැනීමට ආහාර වර්ග, සුවඳ වර්ග, වර්ණයන් හෝ වෙනත් ද්‍රව්‍යක් හෝ උපකරණයක් භාවිතා කිරීම ද නීති විරෝධී ක්‍රියාවකි. පනතේ 53ආ උප වගන්තියට අනුව වස හෝ පුපුරණ ද්‍රව්‍ය හෝ මත් කිරීමේ ද්‍රව්‍ය මගින් මරණු ලැබූ හෝ අල්ලාගනු ලැබූ සතෙකු සන්තකයේ තබා ගැනීම ද තහනම් වේ. මෙවන් නීති විරෝධී ක්‍රියාවකට වරදකරුවකු වන අයෙකු පනතේ 58 වගන්තියට අනුව රුපියල් 15,000 ත් 30,000 ත් අතර දඩයකට හෝ වසර 1 ත් 2 ත් අතර බන්ධනාගාර ගත කිරීමකට හෝ මේ දඩුවම් දෙකට ම යටත් කළ හැකි ය. මීට අමතර ව විශේෂිත කරුණක් වන්නේ පනතේ 59 වන වගන්තියට අනුව මෙවන් නීති විරෝධී ක්‍රියාවක් සිදු කිරීමට තැත් කරන හෝ වරදක් සිදු කිරීමට අනුබල දෙන ඕනෑ ම තැනැත්තෙකු ඒ වරද ම සිදු කරන අතර එම දඩුවමට ම ලක් කළ හැකි වීම ය.

ඒ අනුව ලාල්කාන්ත අමාත්‍යවරයා සඳහන් කරන පරිදි පෞද්ගලික වගා බිමකට පැමිණෙන වන සතුන් ව වෙනත් වගා පළිබෝධකයන් පාලනය කරන ආකාරයෙන් ම පාලනය කිරීමට ක්‍රියාමාර්ග ගතහොත් හෝ එසේ මරණ ලද හෝ අල්ලා ගනු ලැබූ සතෙකු සන්තකයේ තබා ගත හොත් සිදු වන්නේ වන සත්ත්ව හා වෘක්ෂලතා ආරක්ෂක ආඥාපනතට අනුව දඩුවම් ලැබීමට ය. මේ නිසා මෙම අමාත්‍යවරයා ගොවීන් නීති විරෝධී ක්‍රියාවලට පෙළැඹවීම ද සිදු කර ඇත. මේ නිසා වන සත්ත්ව හා වෘත්ෂලතා ආරක්ෂක ආඥාපනතේ 59 වන වගන්තියට අනුව ලාල්කාන්ත අමාත්‍යවරයාට එරෙහි ව නීතිය ක්‍රියාත්මක කළ හැකි ය. නීතිය නොදැන සිටීම සමාවට කරුණක් නොවන බවට ඇති නීතියේ ආප්ත ලාල්කාන්ත අමාත්‍යවරයාට ද අදාළ බව අවධාරණය කළ යුතු ය. එපමණක් නොව අමාත්‍යවරයා ගොවීන්ට වැරදි මඟ පෙන්වීම තුළින් සිදු කර ඇත්තේ විශාල අසාධාරණයකි.

ආරක්ෂිත නොවන වන සතුන්

වගා හානි ඇති කරන වන සතුන් ගෙන් වගා බිම් ආරක්ෂා කර ගැනීමට වන සත්ත්ව හා වෘක්ෂලතා ආරක්ෂක ආඥා පනතේ 30 වන වගන්තියට අනුව පළමු වන උප ලේඛනයේ සහ 31 වන වගන්තියට අනුව තුන් වන උප ලේඛනය යටතේ ආරක්ෂිත නොවන ක්ෂීරපායී සතුන් හා ආරක්ෂිත නොවන පක්ෂීන් නම් කර ඇත. පළමු උප ලේඛණය යටතේ ක්ෂීරපායී සතුන් පස්දෙනෙකු ආරක්ෂිත නොවන සතුන් ලෙස නම් කර ඇත. ඊට හේතු ව මෙම සතුන් වගා හානි කරන සතුන් ලෙස සැලැකීම ය. රිලවා, අළු වදුරා, වල් ඌරා, ඉත්තෑවා, හාවා ආරක්ෂිත නොවන ක්ෂිරපායී සතුන් වේ. තුන්වන උප ලේඛණයට අනුව ආරක්ෂිත නොවන පක්ෂීන් වන්නේ රෑන ගිරවා, කොළඹ කපුටා, ගං කපුටා, තිත් වී කුරුල්ලා සහ පිට සුදු වී කුරුල්ලා ය.

මෙම ආරක්ෂිත නොවන සතුන් අනාරක්ෂිත වන්නේ පෞද්ගලික වගා බිමක දී පමණි. නමුත් එම සතුන් වෙනත් වගා පළිබෝධකයන් පාලනය කරන ආකාරයෙන් කිසිදු උපකරණයක් හෝ රසායනික හෝ විදුලි සැර යොදා හෝ මදු තැබීමෙන් හෝ පාලනය කළ නොහැකි ය. නීතියට අනුව එම සතුන් පාලනය කළ හැකි වන්නේ බලපත්‍ර සහිත ගිනි අවියකින් පමණි.

වන සත්ත්ව හා වෘක්ෂලතා ආරක්ෂක ආඥා පනත ඉදිරියේ දී සංශෝධනය කර ආරක්ෂිත නොවන ක්ෂීරපායී ලේඛණයේ ඇතුළත් වගා හානි සිදු කිරීමට වැඩි දායකත්වයක් ලබා නොදෙන අළු වදුරා හා හාවා ඉවත් කර ඒ වෙනුවට දඩුලේනා සහ අනාරක්ෂිත පක්ෂි ලේඛණයේ කොළඹ කපුටා, ගං කපුටා හා පිට සුදු වී කුරුල්ලා ඉවත් කර ඒ වෙනුවට මොණරා ඇතුළත් කිරීමට පියවර ගත යුතු වන්නේ වගා හානි සිදු කිරීමට දායක වන සතුන් පමණක් එම ලේඛණවලට ඇතුළත් වීම ප්‍රමාණවත් වන නිසා ය.

පොහොසත් රටක් ලස්සන ජීවිතයක් අහිමි නොකිරීමට නම්,

වත්මන් ආණ්ඩුවේ “පොහොසත් රටක් ලස්සන ජීවිතයක්” ප්‍රතිපත්ති ප්‍රකාශනයේ තිරසර ජෛව ලෝකයක්, සදාහරිත ජීවිතයක් කොටසෙහි සඳහන් කර ඇත්තේ සියලූ ම ජීවීන් ගේ පැවැත්ම තහවුරු කෙරෙන තිරසර පරිසරයක් දැක්ම කොට ගෙන ජාතික ජන බලවේගය ක්‍රියාත්මක වන බව ය. එපමණක් නොව මෙම ප්‍රතිපත්ති ප්‍රකාශනයේ මෙන් ම ජාතික ජන බලවේගය ජනතාව සමඟ සම්මුති ගත වූ “මිහිකත, ඔබ, අප, මතු පරපුරේ ද උරුමය වෙනුවෙන්” වන පරිසර ප්‍රතිපත්ති ප්‍රකාශනයේ ද සඳහන් කර ඇත්තේ පාරිසරික යුක්තිය හා සාධාරණත්වය, පරිසර පද්ධතික ප්‍රවේශය, පාරිසරික යහපාලනය යන මූලධර්ම මත ක්‍රියාත්මක වන බව ය. ඒ අනුව ඒකාබද්ධ කළ හැකි වනජීවී හා වන සංරක්ෂණ කලාප හඳුනාගෙන මංකඩවල් ස්ථාපිත කිරීම, සියලු වන සතුන් ගේ ආහාර හා ජල අවශ්‍යතාව සැපිරීමට අදාළ පාරිසරික පද්ධති සුපෝෂණය කිරීම, ආක්‍රමණික ශාක ඉවත් කිරීම, අලි – මිනිස් ගැටුම පාලනය කිරීමට වන අලි ගහනය, සංචරණ රටා හා වාසස්ථාන පිළිබඳ ව අධ්‍යයනය කර ජීව විද්‍යාත්මක හා නව තාක්ෂණය භාවිත කරමින් ජන සහභාගීත්ව වැඩසටහන් ක්‍රියාත්මක කිරීම, මොනරුන්, රිලවුන්, දඩුලේනන් වැනි වගාවන්ට හානි පමුණුවන වන සතුන් ගේ වර්ධනය පිළිබඳ ව නිවැරදි අධ්‍යයනයක් සිදු කර ජීව විද්‍යාත්මක ක්‍රමවේදයක් මගින් ගහනය පාලනය කිරීමට පියවර ගන්නා බව ය. නමුත් ලාල්කාන්ත හා විජේපාල අමාත්‍යවරුන් ගේ ප්‍රකාශ සමඟ මෙම ප්‍රතිපත්ති ප්‍රකාශන මීට ප්‍රථම පැවති ආණ්ඩුවල ප්‍රතිපත්තිවලට සිදු වූ ආකාරයෙන් ම ලේඛණවලට පමණක් සීමා වන බව පෙනෙන්නට තිබේ. එය පෙර පැවති ආණ්ඩු මෙන් ම වත්මන් ආණ්ඩුව ද බලය ලබා ගත් පසු ව ජනවරමට පිටතින් කටයුතු කිරීමකි. එවන් තත්ත්වයක් ඇති වුවහොත් සිදු වන්නේ “පොහොසත් රටක් ලස්සන ජීවිතයක්” බලාපොරොත්තු වූ බහුතර ජනතාවට එය අහිමි වීම ය.

මේ නිසා වගා බිම් වන සතුන් ගෙන් ආරක්ෂා කිරීමට හා අලි – මිනිස් ගැටුම පාලනය කිරීමට කළ යුතු ක්‍රියාමාර්ග බොහොමයක් වේ. ඒ අතර ප්‍රධාන වන්නේ වන සතුන් ගේ වාසස්ථාන සුරක්ෂිත කිරීම හා ඒවා ජාල ගත කිරීම ය. වන සතුන් ගේ වාසස්ථාන වන මහවැලි අධිකාරිය යටතේ පවතින වනාන්තර හා ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාව යටතේ පාලනය වන වනාන්තර සියල්ල ආරක්ෂිත තත්ත්වයට පත් කළ යුතු ය. වන වගාවන් තුළ වන සතුන් ගේ ආහාර වන දේශීය ශාක වර්ධනය වීමට අවස්ථාව ඇති කළ යුතු ය. ඒක බෝග වාණිජ වගා බිම් වෙනුවට ශාක ස්ථර ලෙස සකස් වූ බහු බෝග වගා බිම් ඇති කළ යුතු වේ. එපමණක් නොව ආක්‍රමණික ශාක ව්‍යාප්ත වී ඇති ප්‍රදේශවල එම ශාක ක්‍රමාණුකූල ව ඉවත් කර ස්වාභාවික පද්ධති ඇති වීමට අවස්ථාව ලබා දිය යුතු ය. වනජීවී වාසස්ථාන ආශ්‍රිත සියලූ ම කසළ රැඳවුම් ඉවත් කර ඒ වෙනුවට රට තුළ කසළ කළමනාකරණ ව්‍යුහයක් ඇති කළ යුතු ය. වනජීවී වාසස්ථාන තුළ පිහිටි සියලූ ම සංචාරක හා ආගම්ක ස්ථානවල මිනිසුන් පරිභෝජනය කරන ආහාර රැඳවීම සම්පූර්ණයෙන් ම පාලනය කළ යුතු ය. ඒ අතරතුර වගා බිම්වලට වන සතුන් පැමිණීම වැළැක්වීමේ උපායමාර්ග සඳහා ගොවීන්ට පහසුකම් ලබා දිය යුතු වේ. එය සමාගම්වලට වාසිදායක තත්ත්වයට පරිවර්තනය කිරීම ද වැළැක්විය යුතු ය. එසේ නොමැති වුවහොත් සිදු වන්නේ නැවත වරක් ගොවීන් වන සතුන් පාලනයට ද සමාගම්වල ග්‍රහණයට නතු වීම ය. මේ සියල්ල අතරතුර ජනතාව ගේ අදහස් මත ඉඩම් පරිහරණ ප්‍රතිපත්තියක් සහ තිරසර සංවර්ධන ප්‍රවේශයක් ඇති කර දැනට ක්‍රියාත්මක කරන වැරදි ජාතික භෞතික සැලැසුම ද සම්පූර්ණයෙන් ම ඉවත් කළ යුතු ය. එසේ නොවුනහොත් ගොවියා, ගොවිතැන හා පොදු ජනතාව මුහුණදෙන කිසිදු ගැටළුවකට විසදුම් සෙවීමට නොහැකි වනු ඇත.

සජීව චාමිකර | Sajeewa Chamikara
ඉඩම් හා කෘෂිකර්ම ප්‍රතිසංස්කරණ ව්‍යාපාරය