iMage: LankaPuwath

අනුර කුමාර දිසානායක ප්‍රමුඛ ‘මාලිමා’ ආණ්ඩුව, තමන් විසින් කතානායක ධුරය සඳහා තෝරා පත්කරගත් අසෝක රන්වල පිළිබඳ සිද්ධියේදී කටයුතු කළ ආකාරය රටට වැදගත් පාඩමක් කියාදෙයි. ‘ආචාර්ය’ අසෝක රන්වල වශයෙන් එතෙක් පෙනී සිටි පුද්ගලයාට ආචාර්ය උපාධියක් නැති බවත්, තමාට තිබෙනවා යැයි ඔහු කියා සිටි මොරටුව විශ්ව විද්‍යාලයේ ඉංජිනේරු ප්‍රථම උපාධිය පවා ඔහුට නැති බවත් සාධාරණ සාක්ෂි සහිතව පෙන්නුම් කෙරෙන අවස්ථාවේදී, තවදුරටත් ඔහු කතානායක ධුරයේ තබාගැනීම නොමනා බව ජනාධිපතිවරයා තීරණය කළ බව පෙනෙන්ට තිබේ. මෙය, ඇත්තෙන්ම අසෝක රන්වල ස්වේච්ඡාවෙන් ඉල්ලා අස්වීමක් නොව, ඔහුව ඉල්ලා අස්කරවන තැනට ජනාධිපතිවරයා වගබලාගත් අවස්ථාවකි.

මෙය, මීට වසරකට පමණ කලින් ලංකාවේ තත්වය සමග සසඳන්න: ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්ධු තෙන්නකොන්ව පොලිස්පති වශයෙන් පත් කළ යුතු බවට ජනාධිපති රනිල් වික්‍රමසිංහ තීරණය කර තිබුණි. එහෙත් ‘ව්‍යවස්ථා සභාව’ ඒ තීරණය අනුමත කෙළේ නැත. මේ ‘ව්‍යවස්ථා සභාවේ’ සභාපතිවරයා වන්නේ කතානායකවරයා ය. ඔහු, ඒ පත්වීම සඳහා ‘ව්‍යවස්ථා සභාවේ’ අනුමැතිය නොලැබුණු බව ජනාධිපතිවරයාට කෙළින් නොකියා, කතාවට කියන විදිහට ‘කොළේ වසා’ වාර්තා කෙළේය. රනිල් වික්‍රමසිංහත් පොඩි බබෙකු නොවේ. එම පත්වීම අනුමත කරමින් ‘ව්‍යවස්ථා සභාව’ තුළ ලබා ඇති ඡන්ද ගණන එහි බහුතර සාමාජික සංඛ්‍යාවට වඩා අඩු බව, පහේ ඉලක්කම දක්වා ගණන් කිරීමට දන්නා රනිල් වික්‍රමසිංහ දැන සිටියේය. එසේ තිබියදීත්, ජනාධිපති රනිල් වික්‍රමසිංහ අර පුද්ගලයාව පොලිස්පති වශයෙන් පත්කෙළේය. අවසානයේ ඒ පත්වීමට, ‘ව්‍යවස්ථා සභාවේ’ සභාපති වශයෙන් කතානායක මහින්ද යාපා අබේවර්ධන අත්සන් කෙළේය.

අනතුරුව, කතානායකවරයාගේ මේ දුෂ්චර්යාවට එරෙහිව විපක්ෂය විසින් විශ්වාසභංගයක් ගෙනෙන ලදි. විය හැකි පරිද්දෙන්ම, ආණ්ඩුව සිය සංඛ්‍යාත්ම බලය යොදවා ඒ විශ්වාසභංගය පරාජය කෙළේය. එසේ කොට, ජනාධිපති රනිල් වික්‍රමසිංහත්, කතානායක මහින්ද යාපා අබේවර්ධනත් යම් කාලයක් යෙහෙන් වැජඹුණි.

අනුර කුමාර දිසානායකට සහ අසෝක රන්වලට හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ සහ හිටපු කතානායක මහින්ද යාපා අබේවර්ධනගේ උද්ධච්ච සහ දූෂිත පූර්වාදර්ශය අනුව කටයුතු කිරීමේ සෑම හැකියාවක්ම තිබුණි. ප්‍රධාන විපක්ෂය විසින් රන්වලට එරෙහි විශ්වාසභංග යෝජනාවක් ගෙන ඒමට තැත් කරන විට, අනුර කුමාර දිසානායකත් එසේ කරාවිදෝ යන බය මගේ හිතේ ඇති විය. විපක්ෂයක් විසින් විශ්වාසභංග ගෙන එන්නේම, බොහෝවිට ආණ්ඩුවක් අපහසුතාවට පත්කිරීමටත්, විපක්ෂයක් වශයෙන් තමන්ද යම් ‘රාජකාරියක්’ කරන බව රටට පෙන්වීමටත් මිස, එකී විශ්වාසභංගය ජයගත හැකිය යන අබමල් රේණුවක හෝ විශ්වාසයකින් නොවන නිසා, විශ්වාසභංග යනු අපේ භාවිතය තුළ බොහෝ අවස්ථාවල සරුවපිත්තල සැරසිල්ලක් පමණක් වන බව අප අත්දැක තිබේ.

එහිදී සිදුවන්නේ, විපක්ෂය සහ ආණ්ඩුව, ව්‍යාජ පොර පිටියකට පිවිසීමයි. කල්තියා කෙටී ඇති පරාජය විපක්ෂය පැත්තෙනුත්, කල්තියා කෙටී ඇති ජයග්‍රහණය ආණ්ඩුව පැත්තෙනුත් තිබුණද, එක්තරා ක්‍රීඩාමය ස්වරූපයක් (චූන් එකක්) මේ විශ්වාසභංග අභ්‍යාසයට ආරෝපණය වෙයි. අවසානයේදී ආණ්ඩුව විසින් විපක්ෂයේ විශ්වාසභංගය පරාජය කිරීමෙන් ක්‍රීඩාව කූටප්‍රාප්ත වෙයි. හිටපු කතානායක මහින්ද යාපා අබේවර්ධනට එරෙහි විශ්වාසභංගය ආණ්ඩුව ජයගැනීම ගැන පාලකයන් එදා උදම්ඇනූ සැටි අපට මතකයි. එම ආණ්ඩුවම කෙහෙලිය රඹුක්වැල්ලට එරෙහි විශ්වාසභංගය පරාජය කළ පසු උදම්ඇනූ සැටිත් අපට මතකයි. සංඛ්‍යාත්මක බලය ඇතොත් ආණ්ඩුවකට ඕනෑම දෙයක් කිරීමේ ලයිසමක් ඇතැයි ගැනීම, එදා පාලකයන් තුළ පැවති මනෝභාවයයි.

ජනාධිපතිවරණයට සහ පාර්ලිමේන්තු මැතිවරණයට කලින් අනුර කුමාර දිසානායක රටට පොරොන්දු වූ පරිදිම, පරණ ආණ්ඩුකරණ මාදිලිය ඔහු ප්‍රතික්ෂේප කෙළේය. අසෝක රන්වල ඉල්ලා අස්වුණේ, තමන් ගෙන ඒමට නියමිතව තිබූ විශ්වාසභංගය නිසා යැයි විපක්ෂයේ ඇතමුන් කියූ මොන්ටිසෝරි කතාවලට රට්ටු සිනාසුණා මිස කිසිවෙකු එය බරසාරව ගත් බවක් පෙනෙන්ට නොවුණි. එසේම, තමන්ගේ ප්‍රථම කතානායකවරයාට මෙසේ ඉතා කෙටි කාලයකින් ඉල්ලා අස්වෙන්නට සිද්ධ වීම ලැජ්ජාවට කාරණයක් වශයෙන් ආණ්ඩුව සැලකූ බවක්ද පෙනෙන්ට නොවුණි. එවැනි තත්වයක් ලැජ්ජාවට හේතුවක් වන්නේ ආණ්ඩුවක් බලයෙන් හිස උදුම්මාගෙන සිටියොත් පමණි.

‘මාලිමා’ ආණ්ඩුවට මෙවැනි ප්‍රශ්නවලට ඉදිරියටත් මුහුණදීමට සිදු වනු ඇත. එය අස්වාභාවික දෙයක් නොවේ. ජනතා විමුක්ති පෙරමුණ වැනි විනයගත කුඩා පක්ෂයක ආරයට වඩා, ‘මාලිමාව’ වැනි ලිහිල් සහ පුළුල් එකතුවක් තුළ එවැනි ප්‍රශ්න මතු නොවුණොත් තමයි පුදුමය! කෙසේ වෙතත්, අසෝක රන්වල යනු ජනතා විමුක්ති පෙරමුණේ ක්‍රියාධරයෙකු මිස ‘මාලිමාවෙන්’ දේශපාලනයට පැමිණි කෙනෙකු නොවේ. එසේ නම් ප්‍රශ්නය වන්නේ, දීර්ඝ කාලයක් තිස්සේ එවැනි පක්ෂයක් මෙවැනි බොරුවකින් රවටා තබාගැනීමට අසෝක රන්වල සමත් වුණේ කෙසේද යන්නයි. මේ සඳහා මට දිය හැකි පිළිතුර, මින් මත්තට ‘මාලිමා’ ආණ්ඩුව මුහුණදීමට නියමිත තවත් බොහෝ ප්‍රශ්නවලට දිය හැකි පිළිතුරමයි. එනම්, නඩත්තු කළ නොහැකි සදාචාරයක් මත ප්‍රායෝගික දේශපාලනය පදනම් කළ හැකිය යන පුහුදුන් විශ්වාසය හිසින් ගෙන කටයුතු කිරීම, යම් අවස්ථාවකදී කොහොමත් ප්‍රශ්නකාරී වන බවයි.

දීර්ඝ කතාවක් කෙටියෙන් කිව යුතු නිසා උදාහරණයක් ගමු: දූෂණ-විරෝධය, ‘මාලිමාවේ’ එක් සදාචාර කුලූනකි. එසේම, කාර්යක්ෂම ආණ්ඩුකරණයක් සඳහා උගතුන් සහ බුද්ධිමතුන්ගෙන් පිරුණු පාර්ලිමේන්තුවක අවශ්‍යතාව දීර්ඝ කාලයක් තිස්සේ ඔවුන් අවධාරණය කළ තවත් කාරණයකි. උගතා සහ බුද්ධිමතා යන බැවහැර යෙදුම සමග කාර්යක්ෂමතාව සහ අවංකබව අනිවාර්ය කුසලතාවන්/ගුණාංගයන් නොවන බව මෙහිදී අමතක කෙරේ. එසේම, උගතුන් සහ බුද්ධිමතුන් බිහි කරන අධ්‍යාපන යාන්ත්‍රණයන් පවා දූෂිත විය හැකි බවත් අමතක කෙරේ. (විවිධ විශ්වවිද්‍යාල මගින් පටු දේශපාලනික අවශ්‍යතා පෙරදැරිව විවිධ පුද්ගලයන්ට ආචාර්ය උපාධි පිරිනමන අවස්ථා එමටයි). ඒ සියල්ලට අමතරව, තනි තනි පුද්ගලයන් වශයෙන්, තමන්ට නැති උපාධි ඇතැයි ඉතා පහසුවෙන් මවා පෙන්විය හැකි පරිසරයකුත් මේ සමාජය තුළ සරුවට වගාදිගා වී තිබේ. මෙයින් පෙනී යන්නේ, බරසාර දේශපාලන ව්‍යපාරයක්, ‘උගත්’ සහ ‘බුද්ධිමත්’ යන යෙදුම්, ජනප්‍රිය අර්ථයෙන් භාරගත යුතු නැති බවයි. එහෙත් ‘මාලිමාව’, එක දිගටම ‘ආචාර්ය’, ‘මහාචාර්ය’ ‘ඉංජිනේරු’, ‘නීතිඥ’, ‘ගණකාධිකාරි’ ‘විද්‍යාඥ’ ආදී වදන්වලට අනවශ්‍ය වැදගත්කමක් ආරෝපණය කෙළේය. ඒ කුමක් සඳහාද? අනිත් පක්ෂවලට වඩා රාජ්‍ය බලය හෙබවීම සඳහා තමන් සුදුසු බවක් ප්‍රදර්ශනය කිරීම සඳහා ය. අනිත් හැම කෙනෙකුගේම දූෂිත සහ වංචනික ක්‍රියා ගැන හොඳින් දන්නා ජනතා විමුක්ති පෙරමුණ, තමන්ගේ දීර්ඝකාලීන ‘ඉංජිනේරු’ සගයා මොරටුව විශ්ව විද්‍යාලයේ උපාධිධරයෙකු නොවන බව නොදැන සිටියේ එබැවිනි.

මේ වනාහී අපේ සමාජය අරක්ගෙන ඇති එක්තරා බොල් වටිනාකමක්, දේශපාලන ව්‍යාපාරයක් විසින් අනවශ්‍ය පරිදි කරේ දාගැනීමකි. මේ සිද්ධිය තුළින් ඔවුන්ගේ අතීත භාවිතයේ එක්තරා විකෘතියකුත් එළිදැක්වුණි. අසෝක රන්වල පෞද්ගලික උසස් අධ්‍යාපන ආයතන ක්‍රමයට විරුද්ධව පෙනී සිටි වෘත්තිය සමිති නායකයෙකි. පෞද්ගලික වෛද්‍ය විද්‍යාලවලට විරුද්ධ රජයේ වෛද්‍ය විද්‍යාල සිසුසිසුවියන්ගේ දෙමාපිය සංවිධානයේ සභාපති වුණේ ඔහු ය. ඒ පෞද්ගලික උසස් අධ්‍යාපන ආයතන ඔහු හැඳින්වූයේ ‘උපාධි කඩ’ වශයෙනි. දැන් එවැනි ‘උපාධි කඩයකටවත්’ ගොඩ නොවී, මොරටුව විශ්ව විද්‍යාලයෙන් ඉංජිනේරු උපාධියකුත්, ජපානයේ විශ්ව විද්‍යාලයකට අනුබද්ධිත පෞද්ගලික කොලීජියකින් ‘ආචාර්ය’ උපාධියකුත් හිමි කරගන්නා ක්‍රමය ඔහු අපට පෙන්වා දී තිබේ! මේ ආකාරයෙන්, උපාධිධාරීන් සහ ‘ආචාර්ය’ වරුන් විය හැකි නම්, පෞද්ගලික විශ්ව විද්‍යාල පමණක් නොව, රජයේ විශ්ව විද්‍යාල පවා වසා දැම්මාට කමක් නැත.

අපේ පාසල් කාලයේ බොහෝ ශාස්ත්‍රීය වාර සඟරා තිබුණි. එවැනි සඟරාවලත්, ඒ කාලයේ ජාතික පුවත්පත්වලත්, ලිපි සම්පාදකයන්ගේ නම්වලට ඉදිරියෙන් ‘පාඨශාලාචාර්ය’ යනුවෙන් සඳහන් වුණු සැටි අපට මතකයි. තවත් ලේඛකයන්ගේ නමට මුලින් ‘ශාස්ත්‍රවේදී’ සහ ‘ශාස්ත්‍රපති’ යනුවෙන් හෝ නමට පසුව වරහන් තුළ (බී. ඒ.) හෝ (එම්. ඒ.) ආදී වශයෙන් සඳහන් විය. ඒ නම්වලට එදා විශාල සමාජ වටිනාකමක් තිබුණි. එහෙත් කාලයක් යන විට මේ භාවිතය අභාවයට ගියේය. මේ විදිහටම, ‘ශාස්ත්‍රශූරී’ හෙවත් ‘ආචාර්ය’ කෑල්ල හිස් සමාජ විලාසිතාවක් වීමට කලින් එය ඉතා වැදගත් බරක් ඇති හැඳින්වීමක් විය. ආචාර්ය ඊ. ඩබ්. අදිකාරම් යැයි කියන විට ඒ පුද්ගලයා කෙරෙහි රටේ තිබුණු ගෞරවය සහ පිළිගැනීම අපට තවමත් මතකයි. මෙවැනි පුද්ගලයන් ලියන කියන දේවල්වලින් ‘ආචාර්ය’ භාවය මොනවට දිස් විය. එහෙත්, මර්වින් සිල්වාට ‘ආචාර්ය’ උපාධියක් පිරිනැමීමෙන් ඒ සමාජ වටිනාකම් කුඩුපට්ටම් වී ගිය පසුවත්, එවැනි පට්ටම් කරේ දාගැනීම නතර වුණේ නැත. වැඩියත්ම, ‘ආචාර්ය’ පට්ටමක් නැතිව නිසඟයෙන් බැබළුණු අයත් එය කරේ එල්ලාගත් විට මැවෙන චිත්‍රය අමු විකාරයක් විය. ආචාර්ය අමරදේව, ආචාර්ය වික්ටර් රත්නායක, ආචාර්ය නන්දා මාලිනී වැනි යෙදුම් මොන තරම් බොළදද, මොන තරම් බොල්ද! අමරදේව, වික්ටර් රත්නායක සහ නන්දා මාලිනී වැනි නම්වල අනායාසයෙන් අන්තර්ගත බර, මේ ආචාර්ය කෑල්ලෙන් හෑල්ලූ වීම හැර, මොන විදිහකින්වත් ඒ නම්වලට ඒවා සැරසිල්ලක් විය හැකිද? මේ බොළඳ සෙල්ලම ගැන මනා වැටහීමක් ඇති අජිත් තිලකසේන පසුගිය දා තමන්ට පිරිනැමුණු ‘ආචාර්ය’ පට්ටම ප්‍රතික්ෂේප කර තිබුණි.

සමාජයක රැකියා වෙළෙඳපොළ සහ අධ්‍යාපනය එකිනෙකට ගැටගැසෙන විට සහ අධ්‍යාපනික අවස්ථා සීමා වන විට, උපාධියක ආර්ථික සහ සමාජ වටිනාකම ඉහළ අගයක් ගැනීම ස්වභාවිකයි. පෞද්ගලික අධ්‍යාපන වෙළෙඳපොළක් බිහි වන්නේ එවැනි සමාජ අවශ්‍යතාවක් පවතින විටයි. විවිධ හේතු නිසා, මෙවැනි නීතිගත පෞද්ගලික අධ්‍යාපන වෙළෙඳපොළත් යම් අවස්ථාවකදී ප්‍රමාණවත් නොවෙයි. ලංකාව උදාහරණයට ගත්තොත්, අධිකතර තරඟකාරීත්වය නිසාම රජයේ විශ්ව විද්‍යාලයකට ඇතුළු වීමට අසමත් වන කෙනෙකු, අනිත් පැත්තෙන්, පෞද්ගලික උසස් අධ්‍යාපන ආයතනයක උගෙනීමට තරම් වත්පොහොසත්කම් නැති අයෙකුත් විය හැකිය. සමාජ චල්‍යතාව වශයෙන් අප හඳුන්වන, සමාජයේ පහළ සිට ඉහළට ගමන් කිරීමේ මාවත් එවැන්නෙකුට නිතැතින් ඇහිරෙයි. බොහෝ දෙනා ඊට හිත හදාගනිති. එහෙත් තවත් පිරිසක් එයින් ගොඩ එන මොකක් හෝ මඟක් සොයති. එවැනි ඉල්ලූම්කරුවන් ඉලක්ක කරගනිමින්, යම් මුදලකට උසස් අධ්‍යාපනික සහතික පිරිනැමෙන ආයතන ජාලයක් මේ වන විට ලෝකය පුරා බිහි වී තිබේ. කිසි විභාගයකට වාඩි නොවී, ප්‍රථම උපාධියක් සේම පශ්චාත් උපාධිද හිමි කරගැනීමේ අවස්ථාව මේ ආයතන මගින් සපයාදෙනු ලැබේ. ඒ අනුව, ඩොලර් 100-200 ක් වැනි සුළු මුදලකට ප්‍රථම උපාධියක්ද, ඩොලර් 1000-2000 ක් වැනි මුදලකට ‘ආචාර්ය’ උපාධියක්ද මේ ආයතනවලින් හිමි කරගත හැකිය. එයින් ඇතැම් ආයතන, ආචාර්ය උපාධිය සඳහා අවශ්‍ය කරන නිබන්ධනයත් ලියා දෙනු ලැබේ. ඇත්ත වශයෙන්ම, ‘උපාධි කඩ’ වශයෙන් හැඳින්විය යුත්තේ ඒවාය ය.

අසෝක රන්වල සිද්ධිය මංගල්‍යයක් වශයෙන් සලකමින් ලකුණු දමාගැනීමට තැත් කළ විපක්ෂයේ ඇතැමුන්ගේ පැටිකිරියත් මේ වෙලාවේ කලඑළියට පැමිණීම, මේ සිද්ධිය තුළින් පෑයූ අලූත් ආලෝකයකි. සජබ මන්ත්‍රී අජිත් පෙරේරා තමාගේ ප්‍රචාරක කටයුතු සඳහා ‘අධිනීතිඥ’ යනුවෙන් පාවිච්චි කර තිබීම, අසෝක රන්වලව විවේචනය කරද්දී ඔහුට අමතකව තිබුණි. තමා එසේ පාවිච්චි කිරීම යුක්තිසහගත කිරීමට ඔහු ඊයේ පාවිච්චි කළ තර්ක ඊටත් වඩා හාස්‍යජනකයි. ඔහු මෙන්ම ‘අධිනීතිඥ’ කෑල්ල ඡුන්ද ප්‍රචාරණ කටයුතු සඳහා පාවිච්චි කළ කිරිඇල්ල මහත්මිය කියා ඇති හේතුපාඨ ඊට වඩා තාර්කිකයි. (එනම්, තමා සමත්ව ඇත්තේ එංගලන්තයේ අධිනීතිඥ විභාගය බව). එසේම, විපක්ෂ නායකවරයා තමන්ගේ අධ්‍යාපන සුදුසුකම් පිළිබඳ සහතික පත් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමත් ප්‍රශංසනීයයි.

මේ ගැන කතා කරමින්, අධ්‍යාපනික සුදුසුකම් සම්බන්ධ අසත්‍ය තොරතුරු ඉදිරිපත් කර ඇති අන් සියල්ලන්ද පරීක්ෂාවට ලක් කළ යුතු බව නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා පෙන්වා දී තිබුණි. එහෙත්, ඔහු නීති විද්‍යාලයේ අවසාන විභාගයට ලියූ ආකාරය පිළිබඳ කුප්‍රකට ඉතිහාසයක් තිබේ. රන්වල මෙන් නොව, තමා නීතිඥ විභාගයෙන් සමත්ව ඇති බව ‘ඔප්පු’ කළ හැකි යැයි ඔහු කියන්නට පිළිවන. එහෙත්, යම්කිසි විභාගයකදී කොපි කර අහුවුණොත් ඒ විභාගයෙන් අදාළ පුද්ගලයාව අසමත් කරනවා පමණක් නොව, ඒ ගැන දඬුවමක්ද පැනවෙන්නේය. නාමල් රාජපක්ෂට නීති විද්‍යාලයේ අනිත් සියලූ සිසුන්ගෙන් වෙනස්ව, වෙනම කාමරයක විභාගයට ලියන්නට නීති විද්‍යාල බලධාරීන් විසින් ඉඩප්‍රස්ථාව සලසා දී තිබීම, ‘කොපි කිරීමට’ හැම අතකින්ම සමානයි. තමා එසේ කළ බව ඔප්පු කරන්නැයි ඊයේ (18) පාර්ලිමේන්තුවේදී අභියෝග කළ ඔහු, ඒ චෝදනාව ඔහුට නොව, නීති විද්‍යාලයේ නාමයට කරන ලද අපහාසයක් බවත් කීවේය. එය ඇත්තයි. ඒ නිසා, ඔහු පිළිබඳ පරීක්ෂණය, එවැනි ආයතනවල අතීත චර්යාව පිළිබඳ පරීක්ෂණයක්ද වනු ඇත. එය, තවත් හොඳයි.

දැන් බලන්න, අසෝක රන්වල නිමිති කරගෙන මොන තරම් දිසාවන් වෙත, මොන තරම් දොරටු අප ඉදිරියේ විවරව ඇත්ද!

ගාමිණී වියන්ගොඩ | Gamini Viyangoda