iMage: Create by GenAI
විශාල ජන වරමක් සහිතව බලයට පැමිණි වත්මන් ආණ්ඩුවේ ප්‍රතිපත්ති පිළිබඳව ජනතාව තුළ විශාල බලාපොරොත්තු ගොන්නක් තිබේ. ශ්‍රී ලංකාවේ දැනට පවතින විශාලතම සමාජ, ආර්ථික හා පාරිසරික අභියෝගය වන අලි-මිනිස් ගැටුම සම්බන්ධයෙන් රජයේ ප්‍රතිපත්තිය ලෙස දක්වා ඇත්තේ ‘ගැටුම පාලනය කිරීමට වන අලි ගහනය, සංචරණ රටා හා වාසස්ථාන පිළිබඳ නිසි අධ්‍යයනයක් සිදුකර, ජීව විද්‍යාත්මක හා නව තාක්ෂණික ක්‍රමවේද භාවිත කරමින් ජන සහභාගීත්ව වැඩසටහනක් ක්‍රියාත්මක කරන බවය. නමුත් බලයට පැමිණ මසක් යන්නටත් ප්‍රථම එම ප්‍රතිපත්තිය අවිද්‍යාත්මක, අත්තනෝමතික හා අමනෝඥ ආකාරයෙන් වෙනස්වීම දෛවයේ සරදමක් වැනිය. දිවයිනේ වනජීවී රක්ෂිත වලින් බැහැරව වාසභූමි පවත්වාගෙන යන අලි ඇතුන් රංචු ඉතා දුර බැහැර පිහිටි වනජීවී රක්ෂිත වලට පලවාහැරීම ඊට කදිම නිදසුනකි.
මෙරට වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව බිහිවූ දා සිට මේ දක්වාම අලි ඇතුන් සංරක්ෂණයේ හා අලි-මිනිස් ගැටුම කළමනාකරණයේ පදනම වූයේ එම දෙපාර්තමේන්තුව විසින් පරිපාලනය වන වනජීවී රක්ෂිත ප්‍රදේශ වලට අලි ඇතුන් සීමා කිරීමය. නමුත් වසර 60 කට අධික කාලයක් තිස්සේ දැරූ එම උත්සාහයන්ගෙන් පසුව, අද වන විටත් වන අලි වාසභූමි වලින් 70% ක්ම ව්‍යාප්තවී ඇත්තේ සාමාන්‍ය ජනතාව නේවාසික ප්‍රදේශවලය. එමගින් එය සම්පූර්ණයෙන්ම අසාර්ථක ප්‍රවේශයක් බව පෙන්නුම් කෙරෙන අතර සමහර අවස්ථාවලදී වනජීවී නිලධාරීන්ට තම ජීවිත පවා අහිමි කරමින් වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව දශක ගණනාවක් තිස්සේ ඉමහත් පරිශ්‍රමයක් දැරුවද අලි ඇතුන් රක්ෂිත ප්‍රදේශවලට සීමා කිරීමට අපොහොසත් වීමට හේතුවී ඇත්තේ අලි ඇතුන්ගේ හැසිරීම් රටාව සහ ඉසිළුම් ධාරිතාවය සම්බන්ධ ගැටළු ඇතුළු ජීව විද්‍යාත්මක සහ පරිසර විද්‍යාත්මක කරුණු ගණනාවකි.
මෙසේ වනජීවී රක්‍ෂිත තුළට ගාල් කෙරෙන අලි ඇතුන් ඒ තුළ රඳවාගත නොහැකිව යළිත් තමන්ගේ වාස භූමි වෙත පැමිණීම හෝ එසේ සිදුකර ගත නොහැකි අවස්‌ථාවලදී ඉතා අවාසනාවන්ත ලෙස කුසගින්නේ මිය යාම නොවැලැක්විය හැකි බව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව සතු පර්යේෂණ දත්ත වලින් පවා අවධාරණයකර තිබේ. එබැවින් අලි-මිනිස් ගැටුමට පිළියමක් ලෙස එම ක්‍රමෝපායම යොදාගැනීමට වත්මන් රජයද කටයුතු කිරීම රෑ වැටුණු වලේ මහා දවාලේද ඇද වැටීමට උත්සාහ කිරීමක් බව අප අවධාරණය කරමු. තමන්ගේ නිජබිම් වලින්, වාසභූමි වලින් පන්නා පිටුවහල්කර පිටස්තර වනජීවී රක්ෂිත වලට ගාල් කරන අලි රංචු වල සිටින අහිංසක ගැහැණු සතුන්ට හා පැටවුන්ට ආගන්තුක පරිසරය තුලින් ඔවුන්ගේ එදිනෙදා අවශ්‍යතාවයන් සපුරා ගැනීමට නොහැකි වේ. එවැනි අවස්ථාවල එම සතුන් විදුලි වැටෙන් කොටුවූ ප්‍රදේශය තුල සිර වී ආහාර හිඟයකට මුහුණ දෙති. එමගින් ඇතිවන පෝෂණ දුර්වලතා නිසා, විශේෂයෙන් කුඩා අලි පැටවුන් ඉතා අවාසනාවන්ත ලෙස දුක් විඳ බඩගින්නේ මිය යාම සිදුවේ.
වර්ෂ 2006 වියළි කාලයේදී වළව වම් ඉවුර ව්‍යාපෘතිය මගින් තම පාරම්පරික නිජ බිම් උදුරා ගන්නා ලදුව අලි ඇතුන් හාරසියයක් පමණ ලුණුගම්වෙහෙර ජාතික උද්‍යානයට ගාල් කෙරුණි. අලි පළවා හැරීමේ ඉතා අවාසනාවන්ත ඉරණම සපත කරමින් මෙසේ ලුණුගම්වෙහෙරට ගාල් කෙරුණු අලි ඇතුන් පෝෂණ දුර්වලතා හා ඒ ඔස්‌සේ ඇතිවූ රෝගාබාධ මගින් මරණයට පත්වූ බව පරිසර ක්‍ෂේත්‍රයේ දැඩි කතා බහට ලක්‌වූ කාරණයකි.
එසේම වයඹ පළාත පුරා විසිරී සිටින අලි රංචු ද කහල්ල- පල්ලෙකැලේ සහ තබ්බෝව යන අභයභූමි වලටත් විල්පත්තු ජාතික උද්‍යානයටත් පලවාහැර මෙම ප්‍රදේශයේ අලි-මිනිස් ගැටුම් කළමනාකරණය කිරීමට දැරූ උත්සාහයන් අසාර්ථක වුනේ වරක් දෙවරක් නොවේ. එසේම යාල ජාතික උද්‍යානය ආශ්‍රිතව දිවිගෙවූ අලි රංචු උද්‍යානය තුළට ගාල්කර ඉදිකළ විදුලි වැට හේතුවෙන් හඳපානාගල ප්‍රදේශයේ ජීවත්වූ අලි පරපුර වඳවී යාමද යාල කලාප අංක එක කොටසට ඒ අවටින් පන්නා සිර කල අලි ගැහැනු සතුන් හා පැටවුන් විශාල ප්‍රමාණයක් ආහාර නොමැතිව මිය යමින් සිටීම සැඟවිය නොහැකි සත්‍යකි. අද දක්වාම එම වනජීවී රක්‍ෂිතවල වසරක් පාසා සෑම වියළි කාලයකම අලි පැටවුන් මියයෑම එම වනජීවී රක්‍ෂිතවල අලි ගහනයන්ගේ ඉදිරි පැවැත්මට ඉතා අහිතකර අන්දමින් බලපා ඇති බව අවධාරණය කළ යුතුය.
වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා සංරක්ෂණ පර්යේෂණ ආයතනය එක්ව ඉකුත් වසර ගණනාවක් පුරා වන අලින්ට චන්ද්‍රිකා තාක්ෂණ කරපටි පළඳවා ලබාගත් දත්ත මගින් සිදුකෙරුණු පර්යේෂණ මගින්ද අනාවරණය වන්නේ කොතරම් අලි පලවාහරීම් සිදුකළද අලි-මිනිස් ගැටුමට දායකවන තනි අලින් එම සතුන්ගේ වාසභූමි තුළම රැඳී සිටීමට දැඩි උත්සාහයක් දරන බවය. කෙසේ හෝ එම සතුන් තම වාසභූමියෙන් ඉවත් කලද ඉතා කෙටි කලකින් නැවතත් තම වාසභූමියට එම සතුන් පෙරලා පැමිණෙන බවය. ඒ අනුව වනජීවී රක්ෂිත වලින් පරිබාහිරව තම වාසභූමි පවත්වාගෙන යන අලි ඇතුන් ඔවුන්ගේ පාරම්පරික වාසභූමි වලින් පිටමං කර වනජීවී රක්ෂිත තුලට ගාල් කිරීමට දරන උත්සාහයන් සියල්ල අසාර්ථක බව විද්‍යාත්මකව ඔප්පුවී ඇත.
සාමාන්‍යයෙන් මෙවැනි පළවා හැරීම් මගින් සිදුවන්නේ අලි ගැහැනු සතුන් හා පැටවුන් පමණක් තම වාස භූමි වලින් ඉවත් කිරීමය. එහෙත් ඉහත සඳහන් කල පරිදි අලි-මිනිස් ගැටුමට හේතු වන්නේ තරුණ පිරිමි අලින් බව ප්‍රකට කාරණයකි. මෙවැනි පසුබිමක් තුළ අලි රංචු පළවා හැරීම මගින් අලි-මිනිස් ගැටුම විසඳීමට නොලැබෙන බව යළි යළිත් සඳහන් කළ යුතු නැත. මෙවැනි අවස්ථාවල තනි අලින් බොහෝවිට සිදු කරන්නේ අලි පලවා හැරීම් මඟ හැර වෙනත් ප්‍රදේශ වලට සංක්‍රමණය වී මෙහෙයුම අවසන් වූ පසු යළිත් තමන්ගේ පුරුදු වාස භූමියට පැමිණීමය. මේ ආකාරයෙන් අලි පලවා හැරීම් අවසන් කළ වහා එම ප්‍රදේශය හා තදාසන්නව, පැන්නීමෙන් කුපිතවූ පිරිමි වන අලින් සැරිසැරීම හා ඔවුන් මිනිස් ජනාවාසවලට පැමිණ භව භෝග හා අනෙකුත් යටිතල පහසුකම් විනාශ කරමින් මිනිස් ජීවිතවලටද තර්ජන ඇති කිරීම සුලභව දක්නට ලැබේ.
තවද අලි ඇතුන් රක්ෂිත ප්‍රදේශ වලට ගාල්කිරීම සඳහා නිතර නිතර අසාර්ථක අලි පැන්නීම් සිදුකිරීම මගින් සිදුවන්නේ ගැහැනු සතුන් හා පැටවුන් සහිත අලි රංචු පවා මිනිසුන් කෙරෙහි දක්‌වන බිය පහවීම හා මිනිස් ප්‍රතිරෝධයට අනුවර්ථනය වීම බව අවධාරණය කල යුතුය. සාමාන්‍යයෙන් අලි රංචු ගම්වැදීමට දක්වන ප්‍රවණතාවය ඉතා අඩු නමුත් මිනිසුන්ගේ අඩංතේට්‌ටම් හා අලි පළවා හැරීම්වලට නිරතුරුව භාජනය වන අලි රංචු අද වනවිට ගම් වැදීමට පවා නැඹුරු වන තත්ත්වයක් තුළ ඒ රංචුවලට බිහිවන පිරිමි සතුන් වැඩි දෙනෙක් අතිඋග්‍ර අලි-මිනිස් ගැටුමකට මුල පිරීම නොවැළැක්‌විය හැකිවීම විමතියට කරුණක්‌ද?
එසේම නිතර නිතර අලි ඇතුන් පලවා හැරීමේ මෙහෙයුම් සිදුකිරීමෙන් හා ඒවාට විශාල වශයෙන් අලි වෙඩි භාවිතා කිරීමෙන් සහ අලි ඇතුන්ට පතොරම් තුවක්කු වලින් පවා වෙඩි තැබීමෙන් අලින්ගේ ප්‍රචණ්ඩත්වය වර්ධනය වේ. මිනිසුන් කෙරේ වෛරයක් ඇතිවේ. අලි රංචු වල සිටින කුඩා අලි පැටවුන් මිනිසුන්ගේ අලි වෙඩි, ශබ්ධ නැගීම් හා ගින්දර වැනි අලි ඇතුන් සාමාන්‍යයෙන් බිය දක්වන සාධක වලට නිතර මුහුණදීම සිදුවේ. එමගින් ඒවාට ඇති බිය ඉවත්වී යයි. මෙලෙස දිගින් දිගටම මිනිසුන් අලින් සමග ගැටීමෙන් එම ගැටුම තව තවත් වර්ධනය වනවා මිස ගැටුම සංසිඳීමක් සිදු නොවේ. එය ඉදිරියේදී තව තවත් බරපතල අලි-මිනිස් ගැටුම් ඇතිවීමට හේතුවේ.
චන්ද්‍රිකා තාක්ෂණ කරපටි වලින් ලබා ගන්නා දත්ත හා ක්‍ෂේත්‍ර අධ්‍යයන මගින් මනාව පැහැදිලි වන කාරණය වන්නේ අලි රංචු පරිභෝජනය කරන ප්‍රදේශ සීමිත හා විශේෂයෙන් වෙන් කර ගත හැකි බවය. මහ කැළෑ, ලඳු කැළෑ අත්හරින ලද පෞද්ගලික ඉඩම්, වගා කන්නයෙන් පසු අත් හරිනු ලැබූ කුඹුරු (ඉපනැලි) හා හේන් බිම් මෙසේ අලි රංචු විසින් පරිභෝජනයට ගනු ලබන කොටසට අයත් වන අතර එම කොටස්‌වලට සැලසුම් සහගතව අලි ඇතුන් සීමා කිරීම මගින් ඉන් පිටත ඇති ප්‍රදේශ ප්‍රමාණිත සංවර්ධන සැලැස්‌මකට ලක්‌කර මිනිස් පරිභෝජනයට ගැනීමට හැකියාව පවතී. ඉනික්‌බිති අලි ඇතුන්ගේ භූමි පරිභෝජන රටාවට අනුකූලව ඔවුන් මිනිස් වාසස්‌ථානවලට හා වගා බිම් වලට ඇතුළුවීම වැළැක්‌වීමට අලි ඇතුන් භාවිත ප්‍රදේශ හා මිනිස් භාවිත ප්‍රදේශ අතර ස්‌ථිර හා තාවකාලික අලි බාධක යෙදීම මගින් දීර්ඝ කාලීන සැලසුම් සහගත වැඩපිළිවෙළකට අනුකූලව මෙම අලි-මිනිස් ගැටුමට තිරසාර විසඳුමක් ලබාගත හැකිය.
එසේ තිබියදී වර්තමාන රජයද අලි-මිනිස් ගැටුම් කළමනාකරණයේ නාමයෙන් අතීතයේ සිදුකළ වැරදි නැවත නැවතත් සිදුකිරීමට පෙළඹීම පුනරුද යුගයේ පරිසර සංරක්ෂණය සම්බන්ධයෙන් බලාපොරොත්තු දල්වාගෙන සිටි පරිසර සංරක්ෂණවේදීන්ට ගැසූ අතුල් පහරක් වැනිය. මින් පෙර හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ “ගම සමග පිළිසඳර” වැඩසටහනේදී ද ඒ ආකාරයෙන් වයඹ පළාතේ කරුවලගස්වැව ප්‍රදේශයේ අලි-මිනිස් ගැටුම අවමකිරීම සඳහා එම ප්‍රදේශයේ සිටින අලි ඇතුන් විල්පත්තු ජාතික උද්‍යානයට පලවා හැරීමට යෝජනා විය. එහිදීද ලියුම්කරු එමගින් සිදුවන ඉහත සඳහන් ව්‍යසනය පිළිබඳව මේ ආකාරයෙන්ම කරුණු දැක්වීය. නමුත් පුනරුද යුගයේ සිදුකරණ බව කී ‘අලි ගහනය, සංචරණ රටා හා වාසස්ථාන පිළිබඳ නිසි අධ්‍යයනයක් සිදුකර, ජීව විද්‍යාත්මක හා නව තාක්ෂණික ක්‍රමවේද භාවිත කරමින් ජන සහභාගීත්ව වැඩසටහන’ ද එම ව්‍යසනයම වීම ජුගුප්සාජනකය.
ශ්‍රී ලංකාවේ අලි-මිනිස් ගැටුම අවමකිරීමේ වැඩපිළිවෙලේ සාධනීය ඉදිරි පියවරක් ලෙස 2020 වසරේ සකස් කෙරුණු ‘අලි-මිනිස් ගැටුම අවමකිරීම සඳහා ජාතික ක්‍රියාකාරී සැළැස්ම’ විවිධ බාධක මධ්‍යයේ පවා ක්‍රියාවට නැංවීමෙන් යම්කිසි ප්‍රගතියක් අත්කරගෙන ඇති බව 2024 වසරේ අලි-මිනිස් ගැටුමේ වින්දිතයින්ගේ මරණ සංඛ්‍යාව පහළ වැටීමෙන් පැහැදිළිවේ. එබැවින් වර්තමාන රජය සිදුකළ යුත්තේ තව දුරටත් අඳුරේ අතපත ගාමින් කල් මැරීම නොව, ජනාධිපති කාර්යසාධක බලකායක් පත්කර අදාළ ක්‍රියාකාරී සැළැස්ම මගින් අවධාරණය කෙරෙන වන අලි ඇතුන් ඔවුන්ගේ පාරම්පරික වාසභූමි තුළම සංරක්ෂණය කරමින් වඩාත් විද්‍යාත්මක හා තිරසාර ප්‍රවේශයක් ඔස්සේ මුළු දිවයිනේම අලි-මිනිස් ගැටුමට විසඳුම් සෙවීම සඳහා නායකත්වය ගැනීමය.
සුපුන් ළහිරු ප්‍රකාශ් | Supun Lahiru Prakash