iMage:vivara news

නූතන දේශපාලන අර්ථයෙන් ජාතියක් යනු යම් ජාතික රාජ්‍යක සමාජිකත්වය දරණ මහජනතාවයි. නමුත් ඓතිහාසික වශයෙන් ලාංකේය දේශපාලන සංස්කෘතිය තුළ ශ්‍රී ලාංකික ජාතියට වඩා සිංහල – බෞද්ධ ජාතියට හිමිවූයේ සුවිශේෂ ස්ථානයකි. එසේත් නැතිනම් ජාතික රාජ්‍යයේ ජාතිකවාදයට වඩා වාර්ගික බහුතර ජාතිකවාදයට හිමිවූයේ සුවිශේෂ ස්ථානයකි.

එබැවින් 1950 මැද භාගයේ සිට ලංකාව තුළ ආණ්ඩු බලය හෝ ප්‍රධාන විපක්ෂ බලය හොබවන ලද්දේ සිංහල – බෞද්ධ ජාතිකවාදය නියෝජනය කරන ලද ධාරාවන් විසිනි. බණ්ඩාරනායක රෙජීමයේ සිට රාජපක්ෂ රෙජීමය දක්වා වාර්ගික ජාතිකවාදයේ උන්නතිකාමීත්වය වර්ධනය වූයේ එවන් සන්දර්භයක් තුළ ය.

කෙසේ වුව ද මේ වන විට සිංහල – බෞද්ධ ජාතිකවාදයේ පැහැදිලි පසුබෑමක් අප සියලු දෙනාට දෘශ්‍යමාන වේ. 2024 ජනාධිපතිවරණ සහ මහ මැතිවරණ ප්‍රතිඵල මගින් ද ඒ බව තවදුරටත් ප්‍රත්‍යක්ෂ කරගත හැක. විශේෂයෙන් ජාතිකවාදය තුළින් සිය දේශපාලන අනන්‍යතාව ගොඩනගත් විමල් වීරවංශ, උදය ගම්මන්පිල, පාඨලී චම්පික වැනි බොහෝ දේශපාලනඥයන් මෙවර මැතිවරණ තරඟයෙන් ඉවත් වූ අතර තරග කළ ජාතිකවාදී දේශපාලනඥයන්ට ද හිමිවූයේ දැවැන්ත පරාජයකි. ශ්‍රී ලංකාව තුළ දීර්ඝ කාලයක් ආධිපත්‍යය දරන ලද සිංහල – බෞද්ධ ජාතිකවාදයේ මෙම දැවැන්ත පසුබෑම පිටුපස බරපතල සමාජ, ආර්ථික අර්බුද ගණනාවක් පවතියි.

ලොකු ම හේතුව ආර්ථික අර්බුදය ද?

“ආර්ථික අර්බුදය” සිංහල – බෞද්ධ ජාතිකවාදයේ පසුබෑම පිටුපස ඇති ප්‍රධානතම සාධකය වුව ද එය එක ම සාධකය නොවන බව කිව යුතුය. විශේෂයෙන් 2000 වසරෙන් පසු විවිධ අවස්ථාවල දී සිංහල – බෞද්ධ ජාතිකවාදී දේශපාලන ධාරාවේ විකණ්ඩනයන් සිදු විය. 2010 වසරේ දී ජනතා විමුක්ති පෙරමුණ සාම්ප්‍රදායික සිංහල – බෞද්ධ ජාතිකවාදයෙන් විතැන් වීම, 2015 පමණ විට ජාතික හෙළ උරුමය සාම්ප්‍රදායික සිංහල – බෞද්ධ ජාතිකවාදී ධාරාවෙන් විතැන්ව නව ජාතිකවාදී ධාරවක් ලෙස මතු වීම ආදිය සමඟ 2020 පමණ වන විට සාම්ප්‍රදායික සිංහල – බෞද්ධ ජාතිකවාදය නියෝජනය කරන ලද්දේ පොදුජන පෙරමුණ ප්‍රමුඛ ධාරාවන් කිහිපයක් පමණි.

කාලාන්තරයක් මුළුල්ලේ වර්ධනය වෙමින් පැවැති ආර්ථික ගැටලු කොරෝනා වසංගතය සමඟ උත්සන්න වීමත්, ජාතිකවාදී පාලකයන් එම උත්සන්න වෙමින් පැවැති ගැටලුවලට මැනවින් ආමන්ත්‍රණය නොකිරීමත් හේතුවෙන් 2022 වසරේ දී පුපුරා ගිය ආර්ථික අර්බුදය හමුවේ මෙතෙක් ශ්‍රී ලංකාවේ ජාතික ගැටලුව බවට පත්ව තිබූ ජාතිකවාදී ගැටලුව වෙනුවට ආර්ථික ගැටලු කරළියට පැමිණෙන්නට විය. ඒත් සමඟ සිදු වූයේ මෙතෙක් කලක් බලය හොබවන ලද කිසිදු ජාතිකවාදී නායකයෙකුට හෝ කිසිදු ජාතිකවාදී ධාරාවකට ආර්ථික ගැටලුවලට පිළිතුරු ලබාදිය නොහැකි බවට ජනතාව තුළ මතයක් නිර්මාණය වීම සහ ඒ තුළ ඔවුන් ජාතිකවාදී ධාරාවන්ට එරෙහිව නැගී සිටීමයි.

සමාජ පීඩනය තුළින් නව දේශපාලන සංස්කෘතියක්

ආර්ථික අර්බුදය සමඟ පුපුරා ගිය 2022 ‘මහජන අරගලය’ තුළින් ආර්ථික පීඩනය පමණක් නොව දැවැන්ත සමාජ, දේශපාලන පීඩනයක් ද ප්‍රකාශයට පත් විය. විශේෂයෙන් දීර්ඝ කාලයක් බලය හොබවන ලද ජාතිකවාදී පාලන තන්ත්‍රයන්ගේ දූෂණ වංචා පිළිබඳ මහජන විරෝධය ඒ තුළින් ප්‍රකාශයට පත්විය. ඒ හා සමඟ ජාතිකවාදී පාලන තන්ත්‍රයන් කෙරෙහි ජනතා විශ්වාසය හීන වූ අතර නව පිරිසිදු දේශපාලන සංස්කෘතියක අවශ්‍යතාවය සමාජය තුළ නිර්මාණය විය. එම අවශ්‍යතාවය ජාතිකවාදය තවදුරටත් පැවතීමේ අවශ්‍යතාවයට වඩා ප්‍රබල වූ බැව් පසුගිය සමය තුළ වූ සමජ භාවිතාවන්ගෙන් මනාවට පැහැදිලි වේ.

ජාතිකවාදී අර්බුදයේ වාසිය වාම ජාතිකවාදයට

නිර්පාක්ෂික අරගලයේ අපේක්ෂාවන් නියෝජනය කරන දේශපාලන බලවේගය බවට පත් වූයේ ජනතා විමුක්ති පෙරමුණ ප්‍රමුඛ ජාතික ජන බලවේගය බව බොහෝ දෙනාගේ අදහසයි. සාම්ප්‍රදායික සිංහල – බෞද්ධ ජාතිකවාදයෙන් විතැන් වුව ද ඓතිහාසික වශයෙන් ජනතා විමුක්ති පෙරමුණ ජාතිකවාදී භාවිතාවන් සහිත විය. එය වාම ජාතිකවාදයකි. සැබෑ ලෙස ම එය මෘදු වාම ජාතිකවාදයෙකි.

ජාතිකවාදී භාවිතාව හේතුවෙන් ජවිපෙ ප්‍රමුඛ ජාතික ජන බලවේගයට මෙවර මැතිවරණවලදී ජාතිකවාදීන්ගේ ඡන්ද පදනම තමා සතු කර ගැනීම පහසු විය. වෙනත් ආකාරයකින් කිවහොත් පොදු ජන පෙරමුණේ ඡන්දදායකයින්ගේ කැමැත්ත එක්සත් ජාතික පක්ෂය හෝ සමගි ජන බලවේගය වෙනුවට ජාතික ජන බලවේගය වෙත නැඹුරු වීමෙහිලා ජනතා විමුක්ති පෙරමුණ ප්‍රමුඛ ජාතික ජන බලවේගයේ මෘදු ජාතිකවාදය ද යම් ආකාරයකට වාසිදායක කරුණක් බවට පත්විය.

සිංහල – බෞද්ධ ජාතිකවාදය ස්වයං විනාශයක් කරා?

අද සිංහල – බෞද්ධ ජාතිකවාදය ස්වයං විනාශය කරා ගමන් කර තිබේ. දැන් ප්‍රසිද්ධියේ කවුරුන් හෝ “සිංහලේ” උත්තරීතරත්වය හඬ ගාන්නේ නැත. බොහෝ තැන්වල බොහෝ දෙනා ජාතිවාදී ක්‍රියා මෙන්ම කතා ද ප්‍රතික්ෂේප කරති. නමුත් සිංහල – බෞද්ධ ජාතිකවාදයෙන් තොර නව සුසමාදර්ශයක් නිර්මාණය වී ඇති බව කිව හැක්කේ කාටද?

එසේත් නොමැති නම් සිංහල – බෞද්ධ ජාතිකවාදය බිඳවැටී ඇති බවත්, එය ජාතික රාජ්‍යයේ ජාතිකවාදය (ශ්‍රී ලාංකික ජාතිකවාදය) නිර්මාණය වීමක් බවත් කිව හැකිද? පිළිතුර “නැත” යන්නයි.

සිංහල – බෞද්ධ ජාතිකවාදයේ එම අවධිය නිමා වී ඇති බව සියලු දෙනාම පිළිගන්නා සත්‍යයකි. එසේම ආර්ථික අර්බුදය සහ සමාජ, දේශපාලන පීඩනය හේතුවෙන් සිංහල – බෞද්ධ ජාතිකවාදය පසෙකට තල්ලු වූවා මිස එය මුළුමනින්ම අහෝසි වී නොමැති බව ද අප සියලූ දෙනා පිළිගත යුතුය.

Gallner (1983) දක්වන පරිදි ජාතිකවාදය යනු පැරණි යට ගොස් තිබුණු චිරන්තන බලවේගයක් යළිත් අවදි වීමක් නොවෙයි. එනම් මනුෂ්‍යයන් ගැඹුරට ම අන්තර්ග්‍රහණය කරගෙන ඇති රාජ්‍ය විසින් රැකවරණය ලබාදෙන උච්ච සංස්කෘතියක් මත පදනම් වූ නව ආකාරයේ සමාජ සංවිධානයක ඵල විපාකයකි. එය ඕනෑම මොහොතක ආධිපත්‍යධාරීව කරළියට පැමිණිය හැක.

හිමායා ද සිල්වා | Himaya de Silva