iMage: Facebook/AnuraKumaraDisanayaka
වාමාංශික පක්ෂයක් ලංකාවේ පූර්ණ රාජ්‍ය බලය අත්පත් කරගත් වසර වශයෙන් 2024 ඉතිහාසගත වෙනු ඇත. අපේ වාමාංශික ව්‍යාපාරය රාජ්‍ය බලය ලබාගැනීමට ගත් උත්සාහයේ ඉතිහාසය වසර සියයකට ආසන්න කාලයක් දක්වා දිව යයි. 1930 ගණන්වල පිහිට වූ සමසමාජ පක්ෂ දේශපාලනය, ලංකාවට නිදහස ලබන මොහොත වන විට, රාජ්‍ය බලය අත්පත් කරගැනීමේ ආසන්නයට පැමිණ තිබුණි. 1947 ප්‍රථම පාර්ලිමේන්තු මැතිවරණයෙන් ප්‍රධාන විපක්ෂය බවට පත්වීමට එදා එම ව්‍යාපාරය සමත් විය. ඉන්පසු 1953 දී ඇති වූ හර්තාලය එහි උච්ච ස්ථානය වශයෙන් සැලකිය හැකිය. එහෙත් ඉන් පසු සිදු වුණේ එම වාමාංශික ව්‍යාපාරය කෙමෙන් පරාභවයට යාමයි.
රාජ්‍ය බලය ලබාගැනීමේ එකී සිහිනය වෙනත් ආකාරයකින් සැබෑවක් කරගැනීමට රෝහණ විජේවීර ගත් ප්‍රයත්නයටත් දැන් අර්ධ ශතකයක් ඉක්ම ගොස් ඇත. රෝහණ විජේවීර ප්‍රචණ්ඩ ආකාරයකින් අත්පත් කරගැනීමට උත්සාහ කොට අසාර්ථක වූ ඒ නිෂ්ටාව අනුර කුමාර දිසානායක වෙනත් මාර්ගයක් හරහා දැන් අත්පත් කරගෙන ඇත.
රෝහණ විජේවීරගේ ව්‍යායාමය එදා සාර්ථක වී නම් ලංකාව ළඟා විය හැකිව තිබූ ස්ථානය සහ අනුර කුමාර දිසානායක අද ළඟාව ඇති ස්ථානය අතර විශාල වෙනසක් ඇත. සිදු නොවූ දෙයක් පිළිබඳ නිශ්චිත නිගමනයකට පැමිණිය නොහැකි මුත්, රෝහණ විජේවීරගේ ලංකාව මර්දනකාරී සහ දැඩි අධිකාරීවාදී ලංකාවක් වීමට හැම අතකින්ම ඉඩ තිබුණි. කොටින්ම, ලංකාව කියුබාවක් හෝ උතුරු කොරියාවක් විය හැකිව තිබුණි. ඒ වනාහී, ඔහුගේ දේශපාලනික සහ දෘෂ්ටිවාදීමය ආස්ථානයන් නිසා සේම එදා ලෝකය බෙදී පැවති ධනවාදී-සමාජවාදී දෙබෙදුම නිසාත් කෙටී තිබූ මාවතකි. එකී උගුලට හසු නොවන්නට තරම් අනුර කුමාර දිසානායකගේ දේශපාලනික චින්තනය සමත්ව ඇත්තේ, විශාල විපර්යාසයකට ලක්ව ඇති ලෝක තත්වය පිළිබඳ යථාවත් අවබෝධයක් ඇතිව ඔහුගේ ව්‍යාපාරය කටයුතු කළ නිසා ය.
ජනවාර්ගික යුද්ධය ආරම්භ වීමත් සමග, ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රවාහයට අවශෝෂණය කරගත නොහැකිව සිටි උතුර, අඩු වශයෙන් සංකේතීය වශයෙන්වත්, දකුණේ දේශපාලනික නායකත්වයක් යටතේ ඒකරාශී කරගැනීමට සමත් වූ වසරත් 2024 යි. යුද්ධයෙන් ඇති වූ තුවාල තවම සුව වී නැත. එහෙත්, සිංහල නායකයෙකු කෙරෙහි විශ්වාසය තැබීමට උතුරේ මෙන්ම නැගෙනහිරත් එම ප්‍රජාවන් මේ වසරේදී තීරණය කළහ. ඇත්ත වශයෙන්ම, බිහිසුණු යුද බිමක නග්න හමුදාමය බලයෙන් ‘එකසේසත්’ කළ ලංකාවක්, ප්‍රජාතන්ත්‍රීය ධජයක් යටතේ, සර්වජන ඡන්ද බලයෙන් ඒකරාශී කෙරුණු වසරත් එයයි. එකී ජනතාව, ඔහු සහ ඔහුගේ ව්‍යාපාරය කෙරෙහි තැබූ විශ්වාසය ඒ දෙපළාතෙන්ම ඔහුගේ ජයග්‍රහණය පැහැදිලිව සනිටුහන් කැරැවීම මාර්ගයෙන් ඔවුන් අපට පෙන්වා දී ඇත.
අලුත් ආණ්ඩුවට බලය පවරා ඇති ඉදිරි අවුරුදු පහකට ආසන්න කාලය සමග සසඳන විට ගත වූ දින 100 යනු, කිසිවක් පිළිබඳ සාධාරණ විනිශ්චයක් ඇති කරගැනීමට නොහැකි තරම් සොච්චම් කාලයකි. මේ ආණ්ඩුව දැනටමත් ‘ඇනගෙන’ ඇතැයි කියන පිරිස් සේම, ආණ්ඩුවේ ඕනෑම අතපසුවීමක් හිටපු පාලකයන්ගේ ගොඩට දමා ගොඩඒමට බලන පිරිස්ද බොහෝ ය. ඒ දෙපිරිසම අවංක නැත.
අපේක්ෂාව විශාල වන තරමට එම අපේක්ෂාව සාක්ෂාත් කරගැනීම පිළිබඳ අපේක්ෂාභංගත්වයන් ඇති වීමට ඇති ඉඩකඩත් බොහෝ ය. ‘මාලිමාවේ’ වර්තමාන ජයග්‍රහණය, අපේ ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලන ඉතිහාසය තුළ වඩාත් කිට්ටු වන්නේ 2015 ජයග්‍රහණයටයි. එහෙත් එදා ජයග්‍රහණයෙන් වර්තමාන ජයග්‍රහණය වෙනස් වන වැදගත් කාරණයක් තිබේ. එනම්, එදා මෙන් නොව, මෙදා බලයට පත්ව ඇත්තේ කුළුඳුල් සහ නොඉඳුල් පක්ෂයක් වශයෙන් ජනතා සිත්සතන් කුල්මත් කළ පක්ෂයක් වීමයි. කුළුඳුල් වීම නිසා නොයෙක් වැරදි සහ අතපසුවීම් සිදු විය හැකිය. පසුගිය කෙටි කාලය තුළ මේ ආණ්ඩුව සිදු කළ ඇතැම් පත්වීම් ඊට සාක්ෂි දරයි. ඉදිරි කාලයේ ලබන පළපුරුද්ද සහ අත්දැකීම් සමග එවැනි අතපසුවීම් ලෙහෙසියෙන් පිළිසකර කරගත හැකිය. එහෙත්, නොඉඳුල් පක්ෂයක් වීම නිසා මේ ආණ්ඩුව මත පැටවෙන බර ඊට වඩා බරපතළයි. හිටපු කතානායක රන්වලගේ සිද්ධිය ඒ කාරණය පරීක්ෂාවට ලක්කෙරුණු අවස්ථාවකි. එම කතානායකවරයාට ඉල්ලා අස්වීමට සැලැස්වීම මගින් එම පරීක්ෂණයෙන් ආණ්ඩුව ඉහළින්ම සමත් විය.
නොඉඳුල් බවක් පිළිබඳ අදහස ජනතා සිත්සතන් තුළ නාමකරණය වන විට, එම අදහස එක්තරා ඉඳුල් අතීතයක් පවිත්‍ර කිරීමේ කර්තව්‍යයක් භාර දීමේ දිසාවට නිතැතින් යොමු වීම ස්වභාවිකයි. අඩුම වශයෙන් ගත වූ වසර 50ක කාලය තුළ අපේ දේශපාලන දේහය අරක්ගෙන තිබුණු සමස්ත සංස්කෘතිය වෙනස් කිරීමේ අභියෝගය එහි හරිමැද්දේ තිබේ. මහපරිමාණ සොරුන් සහ දූෂිතයන් නීතිය ඉදිරියට පැමිණවීම සහ රට කැළඹූ අපරාධ නඩු කිහිපයක්වත් යුක්තිධාර්මික අවසානයක් කරා ගෙනයාම, එම ක්ෂේත්‍රය තුළ ජනතාව අපේක්ෂා කරන වඩාත් ආශ්වාදනීය කර්තව්‍යයන් ය. එහෙත් දේශපාලන සංස්කෘතියක් වෙනස් කිරීම යනු ඉන් බොහෝ ඈතට දිවෙන, අතිශය සංකීර්ණ ක්‍රියාවලියකි. නව වසරේ දියත් කෙරුණු ‘ක්ලීන් ශ්‍රී ලංකා’ සමහරවිට ඒ මාවතේ යතැයි විශ්වාස කළ හැකි ව්‍යාපෘතියකි. කෙසේ වෙතත්, ඒ අංශයෙන් මොන තරම් සාර්ථකත්වයක් අත්කරගැනීමට ආණ්ඩුව සමත් වෙයිද යන්න පුරෝකථනය කිරීමට තරම් දැන් වේලාසන වැඩියි.
කෙසේ වෙතත්, ඒ මාර්ගයට අවතීර්ණ වීමේ ආයාසයන් වැළැක්වීම ඉලක්ක කරගත් බලවේග දැනටමත් මතු වෙමින් තිබේ. මේ මොහොතේ එහි වේදිකාව වශයෙන් ඔවුන් පාවිච්චියට ගන්නේ, වර්තමාන පාලකයන්ව ඔවුන්ගේ අතීතයට අභිමුඛ කැරැවීමයි. මෙය, ඉතා පහසුවෙන් කළ හැකි ජනප්‍රිය සෙල්ලමකි. එයින් විරුද්ධවාදීන් අපේක්ෂා කරන්නේ, ආණ්ඩුව ලජ්ජාවට සහ අපහසුතාවට පත්කොට, ආපසු අතීත චර්යාව වෙතටම ඔවුන්ව දැක්කිය හැකිද යන්න සොයා බැලීමටයි. උදාහරණයක් වශයෙන්, අනුර කුමාර දිසානායක, වසන්ත සමරසිංහ, සුනිල් හඳුන්නෙත්ති වැනි නායකයන් අතීතයේ කළ ප්‍රකාශ ඔවුන්ගේ වර්තමානය සමග හප්පනු ලැබේ. එසේ කරන්නේ, වර්තමානයේ ඔවුන් ගනිමින් සිටිතියි පෙනෙන නිවැරදි මාවතේ ඔවුන්ව රඳවාගැනීමට නොව, ඒ මාර්ගයේ යාමෙන් ඔවුන්ව අධෛර්යමත් කිරීමටයි. මේ උගුලට ආණ්ඩුව හසු විය යුතු නැත. අඩ සියවසකට වැඩි දේශපාලන ඉතිහාසයක් ඇති කිසි පක්ෂයක් පරස්පරතාවන්ගෙන් නිදහස් නොවෙයි. එසේම, රාජ්‍ය බලය රහිත අවකාශය තුළ කරන ලද දේශපාලනය දෝෂ සහිත බව, රාජ්‍ය බලය ලැබුණු පසු අවබෝධ කරගැනීම ලැජ්ජාවට කාරණයක් විය යුතුද නැත. ලෙනින්ට පවා, බලය ලබාගැනීමෙන් පසුව, ආර්ථික ප්‍රතිපත්ති ගැන යළි සලකා බැලීමට සිදු විය. මාවෝ සේතුංගේ දේශපාලනය සහ ආර්ථික චින්තනය එකදිගට පැවතියේ නම් චීනය අද තිබෙන තත්වයේ ආර්ථික බලවතෙකු බවට පත්වන්නේ නැත.
දැනුවත්වම සහ හිතාමතාම, ඇතැම් ප්‍රායෝගික නොවන දේශපාලනික ක්‍රියාමාර්ග කෙරෙහි, රාජ්‍ය බලයෙන් පිටස්තර දේශපාලන භූමිකාවකදී යම් පක්ෂයක් ඇත්තෙන්ම යෙදී සිටියා විය හැකිය. එහිදී පවා, ඔවුන්ගේ වර්තමාන චර්යාව තුළ ඒ වැරදි නිවැරදි කරගන්නේ නම්, රට වෙනුවෙන් සහ අනාගතය වෙනුවෙන් අප සිටගත යුත්තේ ඔවුන්ගේ ඒ නිවැරදි වර්තමාන ආයාසය සමග ය. ඒ, මහජනතාව වශයෙන් අපේ පැත්තෙනි. අනික් අතට, ආණ්ඩුව පැත්තෙන් එසේ නිවැරදි තැනක මේ මොහොතේ සිටගැනීම, තමන්ගේම අතීත චර්යාවන් නිසා, තරමක් දුෂ්කර විය හැකිය. එහෙත් ඒ දුෂ්කරතාවට ආණ්ඩුව නොබියව මුහුණදිය යුතුය. මේ පිළිබඳ මනා උදාහරණයක් ගිය සතියේ මාධ්‍ය වාර්තා තුළ දක්නට ලැබුණි. ඒ මෙසේ ය:
වර්තමාන රජයේ ඇමතිවරයෙකු වන වසන්ත සමරසිංහ විපක්ෂයේ වෘත්තීය සමිති දේශපාලනය කරන කාලයේදී රජයේ සේවකයන්ට රු. 25000 ක වැටුප් වැඩි වීමක් ඉල්ලා අරගල කෙළේය. රනිල් වික්‍රමසිංහගේ රජය එම මුදලෙන් රු. 10000 ක් රජයේ සේවකයන්ට දුනි. (ඇත්තෙන්ම රුපියල් 5000 ක් මුලින්ද, මේ ජනවාරියේ ඊළඟ රු. 5000 දීමේ පොරොන්දුවක් වශයෙනි.) දැන්, වසන්ත සමරසිංහගේම ගෝල වෘත්තීය සමිති නායකයෙකු වන, රාජ්‍ය නිලධාරීන්ගේ වෘත්තීය සමිති සම්මේලනයේ ජාතික සංවිධායක බී. ඒ. පී. බස්නායක මෙසේ කියයි: ‘‘මේ රජය බලයට පත්කිරීම සඳහා රාජ්‍ය සේවකයන්ගෙන් සියයට 90 ට වැඩි ප්‍රතිශතයක් ඡන්දය පාවිච්චි කළා. වෘත්තීය සමිති සාමාජිකයන් මේ ආණ්ඩු පක්ෂයේ අරමුදලට මුදල් බැර කළා. එබැවින් රාජ්‍ය සේවකයන් රැකබලාගැනීමට වගකීමක් මේ රජයට ඇත.’’
රාජ්‍ය සේවකයන් රැකබලාගැනීමේ වගකීමක් තමන්ට ඇතැයි යන්න, එකී රාජ්‍ය සේවකයන් පසුගිය මැතිවරණ දෙකේදී ඔවුන්ට ඡන්දය දුන් නිසා පමණක්ම නොව, ඔවුන්, එනම් ජනතා විමුක්ති පෙරමුණ කාලාන්තරයක් තිස්සේ දැරූ දෘෂ්ටිවාදී ආස්ථානයක් නිසාද ගත් කල, ඔවුන්ගේ මුඛ්‍ය සටන්පාඨයක් වූ බව නොරහසකි. එසේ හෙයින් ඒ වෘත්තීය සමිති නායකයා ඊළඟට මෙසේ කියයි:
‘‘අපි ඔවුන්ට (ආණ්ඩුවට) මේ කාරණය මතක් කර දිය යුතුයි. එනම්, අපේ ඉල්ලීම් ඉටු නොකළොත්, වෙනත් ආණ්ඩුවලට විරුද්ධව අතීතයේදී ඔවුන් (වසන්ත සමරසිංහ වැන්නන්) අනුගමනය කළ ක්‍රියාමාර්ගයම මේ ආණ්ඩුවට විරුද්ධව අපිට පාවිච්චි කිරීමට සිදුවන බවයි.’’
විපක්ෂ දේශපාලනයක්, ආණ්ඩු පක්ෂ දේශපාලනයක් බවට පරිණාමය වීමේදී මේ ප්‍රශ්නය මතු වෙයි. මෙහිදී ගත හැකි ක්‍රියාමාර්ග දෙකක් තිබේ. එකක්, තමන්ගේ අතීත දෘෂ්ටිවාදයට ‘අවංක’ වෙමින් රුපියල් 25000 ක වැටුප් වැඩි වීමක් රාජ්‍ය සේවකයන්ට ලබාදීමයි. එය, සමස්ත ආර්ථීකයේ සුගතියට නොව, හැම අතකින්ම එහි විනාශයට හේතු වෙනවා නොඅනුමානයි. දැන් මතු වන ප්‍රශ්නය වන්නේ, ඊට වෙනස්ව, රාජ්‍ය බලය සහිත දේශපාලනික යථාර්ථයට ආණ්ඩුවක් වශයෙන් මුහුණදෙමින්, ආර්ථිකයේ වෙනත් අංශයන් කෙරෙහි විනාශකාරී බලපෑමක් ඇති නොකෙරෙන අවම වැටුප් වැඩිවීමකට හිත හදාගන්නා ලෙස, වෘත්තීය සමිති ව්‍යාපාරයෙන් ඉල්ලා සිටීමයි. ඒ වෙනුවෙන් තදින් සිටගැනීමේ ධෛර්යයක් ආණ්ඩුවට තිබිය යුතුයි.
ඉදිරි කාලය, මෙවැනි උභතෝකෝටික ගණනාවකට ආණ්ඩුවට මුහුණදීමට සිදුවන කාලයකි. පසුගිය මාස තුන ගතවුණේ, ආණ්ඩුවට ඉතා පහසුවෙන් සාධනය කළ හැකි කර්තව්‍යයන් කෙරෙහි ය. ජනාධිපති අනුර කුමාර දිසානායක නිල වාහනයේ ඉදිරිපස අසුනේ වාඩි වී ගමන් කිරීම, රාජ්‍ය උත්සව සඳහා කෙරෙන සම්ප්‍රාදායික නාස්තිය අවම කරගැනීම, හිටපු ජනාධිපතිවරුන්ට සහ ඔවුන්ගේ වැන්දඹුවන්ට සැපයූ ආරක්ෂාව සහ වරප්‍රසාද කපාහැරීම ආදී ආශ්වාදජනක ‘අංගරාග’ වෙනස්කම්වලින් පමණක් සෑහීමකට පත්විය නොහැකි කාලයක් ඉදිරියේ එළැඹෙනු ඇත. හෙවත්, මධුසමය අවසන් වනු ඇත. ජාත්‍යන්තර ස්වෛරී ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ අවසාන අදියර සාර්ථක කරගැනීමටත්, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ මූලික ආකෘතිය තුළ නොසැලී රැඳී සිටීමටත්, උද්ධමනය පාලනය කරගනිමින් සහ විදේශ විනිමය සංචිත තවදුරටත් ශක්තිමත් කරගනිමින් ගමන් කිරීමටත් ආණ්ඩුව මේ දක්වා සමත්ව තිබේ. එහිදීත්, ඔවුන් ඉස්සර කළ කී කතා සමග ඔවුන්ව අභිමුඛ කරවීමට සහ ඒ මගින් ඔවුන්ව අපහසුතාවට පත්කරවීමට සතුරු බලවේග හැම උත්සාහයක්ම ගනිමින් සිටී. ඒ කිසිවකින් ආණ්ඩුව අධෛර්යමත් විය යුතු නැත. ලැබුවා වූ අලූත් වසර තුළත්, ඒ ආකාරයෙන්ම, පොදු යහපත තකා නිවැරදි තීරණ මත පමණක් සිටගැනීමට (අතීතයේ ඒවා සම්බන්ධයෙන් තමන් කුමක් කියා ඇතත්) ආණ්ඩුවට ශක්තිය තිබුණොත් සහ දෘෂ්ටිවාදී අතීත යකඩ කෝව තුළ සිරකරුවන් නොවීමට වගබලාගත්තොත්, ආණ්ඩුවට පමණක් නොව, රටටත් දීර්ඝකාලීන සුගතියක්ම අත්වනු නොඅනුමානයි.
ඒ ශක්තිය සහ අනුබලය, හැකි තන්හිදී සහ හැකි සෑම අයුරකින්ම සැපයීම, සිවිල් සමාජ වගකීමකි. එසේ නොවුණොත් සිදුවිය හැකි දෙය ගැනත් පුරෝකථනයක් කළ හැකිය. ඕනෑම ප්‍රගතිශීලි ආණ්ඩුවක්, සැලසුම්සහගතව අසාර්ථක කරවීමේ චේතනාන්විත මෙහෙයුම් යම් හෙයකින් සාර්ථක වුවහොත් ඒවා අවසාන වී ඇත්තේ, ඊට වඩා හොඳ ආණ්ඩුවක් රටට ලැබීමෙන් නොව, කිසිසේත් බලාපොරොත්තු නොවූ විනාශයක් රටට අත්කරදීමෙනි. හොඳම උදාහරණය: 2015-2019 යහපාලන ආණ්ඩුව අසාර්ථක කරවීම/වීම අවසානයේදී රට නතර වුණේ ගෝඨාභය රාජපක්ෂ කෙනෙකු බලයට පත්කරවීමෙනි. එකම වරද නැවත කරන ඕනෑම අවස්ථාවකදී ඉතිහාසය අනුගමනය කරන ප්‍රතිපත්තියක් තිබේ. එනම්, පුනරීක්ෂණ පංතිය වෙනුවෙන්, දැරිය නොහැකි මිලක් අය කිරීමයි!
ගාමිණී වියන්ගොඩ | Gamini Viyangoda