පහුවුනු ඔක්තෝබර් 01 වෙනිදා. ශ්‍රී ලංකාවේ ළමා දිනය සමරන දා. දරුවන් මල් මෙන් වටින බව, දරුවන් අපේ රටේ සම්පත බව, දරුවන් රැක ගත යුතු බව කටපාඩමින් කියවෙන දවස. ජනාධිපති තුමාගේ ඉඳන් හැමෝම ළමයින් ගැන පණිවුඩ නිකුත් කරන දවස.
මොන තරම් ලස්සන වචනවලින් කතා කළත් අපි පිළිගත යුතු යථාර්ථයක් තියෙනවා. ඒ තමයි, ශ්‍රී ලංකාව ලෝකයේ ඇති දරුවන්ට ජීවත් වීමට අනාරක්ෂිත රටවල් අතුරෙන් ප්‍රධානම එකක් බවත්, ලංකාවේ මිනිස්සුන්ට දරුවන් එපා වී ඇති බවත්ය. දිනපතාම පාහේ අපේ පත්තරවල දරුවන්ට වැඩිහිටියන් විසින් කල අහස පොළොව නුහුලන අපරාධ ගැන පුවත් දෙක තුනක් පළ වේ. සැප්තැම්බර් 30 පත්තරේක, අවුරුදු 14 ක දැරියකට දරුවෙක් ලැබීම ගැනත්, තාත්තා විසින් වයස අවුරුදු හතක දැරියක් මරා දමා ඇති බවත් ප්‍රවෘත්ති ලෙස පළ වී තිබුණා. අලුත උපන් දරුවන් විසි කර දමන, මරා දමන පුවත් දැන් හොඳටම සාමාන්‍ය වෙලාය. දරිද්‍රතාව දරාගත නොහැකිව අසරණ අම්මලා දෙදෙනෙකුට තම කුසින් වැදූ දරු පැටවු ගඟවල් වලට ට විසි කරන්නට සිදු වූ පුවත් දෙකක් පසුගිය සමයේ බෙහෙවින් කතා බහට ලක්වුණා. ඇතැම් බිළිඳුන් ලිංගික අතවරවලට ලක්වූ මව්වරුන්ට උපදින දරුවන්. තවත් විටෙක අවිවාහක කාන්තාවන් අනාරක්ෂිත ලිංගික සම්බන්ධතාවලින් පස්සෙ ගැබ් ගන්නවා. විවාහ වූ අයට වුණත් ඒ වෙලාවේ දරුවෙක් අවශ්‍ය නොවනවා වෙන්නට පුළුවන්. පසුගිය කාලය පුරා අතහැර දමන ලද, මරා දමන ලද, විකුණන ලද දරුවන් ගැන සමීක්ෂණයක් කළොත්, වැඩිහිටියන්ට අවශ්‍ය නැති, නැතිනම් නඩත්තු කළ නොහැකි දරුවන් බිහි වීම විශාල වශයෙන් සිදු වන බවත්, පැහැදිලි වේවි.
ජීව විද්‍යාත්මක යථාර්ථය නම් කාන්තාවක් පිරිමියෙකු සමග ලිංගික සම්බන්ධතා පැවැත්වීමෙන් ඇය ගැබ් ගැනීමට හැකි බවයි. ගැහැණුන් මිනිසුන් ලිංගික සම්බන්ධතා පැවැත්වීම ජීව විද්‍යාත්මක අවශ්‍යතාවක් බැවින් එය නැවැත්වීමට හැක්කක් නොවේ. ගැබ් ගැනීම වැළැක්වීමට උපත් පාලන ක්‍රම පාවිච්චි කළ හැකිය. නමුත් උපත් පාලනය ගැන ලංකාවේ කාන්තාවන්ට කතා කළ හැක්කේ හෝ දැනගත හැක්කේ විවාහක නම් පමණි. මොනතරම් දියුණු වුවත් අපේ රටේ ලිංගික දැනුවත්භාවය අතින් තරුණ තරුණියන් විතරක් නෙමෙයි දරුවන් කිහිපදෙනෙකු වැදූ තලත්තෑනි ගැහැණුන් පවා ඉන්නේ හුඟක්ම පිටිපස්සේ. කොණ්ඩම් භාවිතය කියන්නේ තාමත් අහනකොටත් තරුණ තරුණියන් අපහසුතාවට ලක්වෙන මාතෘකාවක්. කොහොම හරි, කැමැත්තෙන් හෝ බලහත්කාරයෙන් හෝ සිදුවන ලිංගික සම්බන්ධතාවකින් පස්සෙ කාන්තාවක් ගැබ් ගත්තොත්, දරුවෙකු ප්‍රසූත කිරීමට ඒ කාන්තාවට කිසිදු අවශ්‍යතාවක් නැතිනම්, දරු ගැබ ආරක්ෂිතව ඉවත් කරගැනීමට ක්‍රමයක් අපේ රටේ නැහැ. ගබ්සා කිරීම ගැන යාළුවෙක් මිත්‍රයෙක්ගෙන් හරි අහන්නටවත් බැරි තරම් අපරාධයක් විදියටයි අපේ රටේ සැලකෙන්නේ. මෙහි අවසාන ප්‍රතිඵලය වන්නේ ප්‍රාර්ථනා නොකළ, වැඩිහිටියන්ට අවශ්‍ය නොවූ දරුවන් වෙන කරන්නට දෙයක් නැති කමට ලෝකයට බිහි කිරීමයි. අවසානයේ එයින් ඇති වන්නේ අතිශයින් භයානක ප්‍රතිඵලයි.
දූෂණයට ලක් වූ කාන්තාවකට පවා එයින් අති වන දරු ගැබක් නැති කර ගැනීමට අපේ රටේ ඉඩක් නැහැ. දූෂණය අපරාධයක් වෙනවා සේම, දරු ගැබක් විනාශ කිරීමද අපරාධයක් ලෙස අපේ නීතිය ඉදිරියේ සැලකෙන බැවිනි. (ඇත්තෙන්ම බැලුවොත් කාන්තාවකට තමන්ගේම ශරීරය ගැනවත් තීරණයක් ගන්නට අවස්ථාවක් නැහැ- මෙය මානව හිමිකම් ප්‍රශ්නයක් නෙමෙයිද?) හදිසියේ ඇතිවෙන අනාරක්ෂිත ලිංගික සම්බන්ධතාවකින් පසු ගැබ් ගැනීම වළක්වා ලීමට පාවිච්චි කළ හැකි බෙහෙත් පෙති ඕනෑම ෆාමසියකින් ලබා ගත හැකි වුවත් ඒවා ගැන දන්නා අය සිටින්නේ අතලොස්සකි.
දරුවන්ට ලොවට බිහි වූ පසු ඔවුන් අති මහත් සෙනෙහසින් රැක බලා ගෙන පෝෂණය කළ යුතු වෙයි. ඒ සඳහා ඔවුන්ගේ දෙමාපියන්ට අවශ්‍ය පහසුකම් සහ මානසික සුවය තිබිය යුතුයි. වැඩිහිටියන්ට අවශ්‍ය නැති දරුවන් ලොවට ඉපදීම වැළැක්විය යුත්තේ, මේ රැකවරණය, සෙනෙහස සහ පෝෂණය නොලබා හැදෙන දරුවන් පසුකලෙක දුංඛිත ඉරණම් වලට ගොදුරු වන බැවිනි.
දරුවන් යනු උපන් ගමන් කළලයක් නොවේ. ඔවුන්ට විකසිත වන්නට තව බොහෝ දේ ඕනෑය. වැඩිහිටියන්ට ඒවා සපයන්නට බැරි තත්ත්වයන් හමුවේ දරුවන් මෙලොවට බිහි නොවන බවට සමාජයක් පියවර ගත යුතුය. කළ යුත්තේ, දරුවන් විසි කරන අන්ත අසරණ අම්මලාට බැණ අඬ ගසා, ඔවුන් හිරේ දැමීම නොවේ.
දරුවන් දුක් වේදනා වලට ගොදුරු වෙනවා දරා ගන්නට බැරි සෑම අයෙකුම පෙනී සිටිය යුතු කාරණය වන්නේ, අනවශ්‍ය දරු උපත් වළක්වා ගැනීමයි. ඒ සඳහා සමාජය ආකල්පමය වශයෙන් සන්නද්ධ කොට දැනුවත් කිරීමයි.
අපේ කුහක කම් සහ බොරු සදාචාරයන් ඉවත් කොට දෑස් පිසදා බැලූ විට, දරුවන්ගේ යහපත සදාලන්නේ කෙසේදැයි කතා කරන්නට වෙන්වුණු මෙවැනි දවසක, අපේ වැනි රටක වැඩිහිටියෙකුට දිය හැකි හොඳම පණිවුඩය, ‛‛වැඩිහිටියන් විසින් ප්‍රාර්ථනා කොට උපදින දරුවන් පමණක් මෙලොවට බිහිවේවා’’ යන්න නොවේද?
-ජයලලිතා-