Main iMage: Create by GenAI
දණ්ඩමුක්තිය යන්නෙන් එක් ලෙසකින් අදහස් වන්නේ නීති හෝ මානව හිමිකම් උල්ලංඝනය කරන ක්‍රියා සඳහා දඬුවම්, වගවීම, හෝ නීතිමය ප්‍රතිවිපාක වලින් නිදහස් වීම හෝ මුක්තිය යන්නයි. පුද්ගලයින්, කණ්ඩායම්, හෝ ආයතන අපරාධ සිදු කරන, බලය අවභාවිතා කරන, හෝ ප්‍රතිවිපාකවලට මුහුණ නොදී වැරදි හැසිරීම්වල යෙදෙන විට, ඔවුන් දණ්ඩ මුක්තිය සහිතව ක්‍රියා කරති. බරපතල අපරාධවලට වගකිව යුත්තන් පවා එම ක්‍රියාවන් සඳහා දඬුවම් ලැබීමෙන් නිදහස් වීම හෝ වගවීමෙන් ගැලවී යාමයි. එය නීතියේ ආධිපත්‍යය දුර්වල කරන, අසාධාරණ චක්‍රයන් පවත්වාගෙන යන සහ ආයතන කෙරෙහි විශ්වාසය ඛාදනය කරන බරපතල ගැටලුවකි. දේශපාලන දූෂණය, මානව හිමිකම් උල්ලංඝනය කිරීම් සහ පාලනයේ පද්ධතිගත අසාර්ථකත්වයන් වැනි සන්දර්භයන්හි දණ්ඩමුක්තිය නිතර මතුවේ. දණ්ඩ මුක්තිය අවසන් කිරීම යනු යුක්තිය සහතික කිරීම, විශ්වාසය යළි ගොඩනැගීම සහ ලෝකය පුරා සමාජවල තිරසාර සංවර්ධනය සහ සාමය ප්‍රවර්ධනය කිරීම සඳහා ඉතා වැදගත් වේ.
දණ්ඩමුක්තියේ මූලයන්
දණ්ඩමුක්තිය බොහෝ විට පැන නගින්නේ දුර්වල නීති පද්ධති, දේශපාලන අභිලාෂයන් නොමැතිකම සහ දූෂණය නිසාය. බොහෝ අවස්ථාවලදී, බලයේ සිටින අය වගවීමෙන් වැළකී සිටීමට නීති හසුරුවන්නේ, විරෝධතා මර්දනය කරන්නේ, හෝ වින්දිතයින් සහ සාක්ෂිකරුවන් නිහඬ කරන්නේය. උදාහරණයක් ලෙස, ඒකාධිපති පාලන හෝ ගැටුම්වලින් පීඩාවට පත් රටවල, බලහත්කාර අතුරුදහන් කිරීම්, නීති විරෝධී ඝාතන සහ දූෂණ වැනි අපරාධවලට වගකිවයුත්තන් බොහෝ විට දඬුවම් නොලබා සමාජය තුළ යහතින් කල්ගෙවති. දණ්ඩමුක්තිය, වරදකරුවන්ට හෝ අපරාධකරුවන්ට පමණක් නොව, ප්‍රතිවිපාක/ දඩුවම් නොමැතිව මානව හිමිකම් උල්ලංඝනයන්/නීතිවිරෝධී ඝාතන සිදු කළ හැකි බව අන් අයට සංඥා කරමින් නීති විරෝධී, අශිෂ්ට සංස්කෘතියක් නිර්මාණය කරයි. මෙය ප්‍රජාතන්ත්‍රවාදී සමාජයකට ඉතාමත් නරක අන්දමින් බලපානු ලබයි.
එක් පැහැදිලි උදාහරණයක් වන්නේ ගැටුම් කලාපවල යුද අපරාධ හෝ මානව හිමිකම් උල්ලංඝනය කිරීම් සඳහා වගවීමක් නොමැති වීමයි. අනෙක් උදාහරණයක් වන්නේ රාජ්‍යයේ පූර්ණ ආරක්ෂාව යටතේ නිළ බන්ධනාගාර තුළ රදවා සිටින රැදවියන් ඝාතනය කිරිමයි. ඝාතනය කර නිදහසේ සමාජය තුළ සැරිසැරීමයි. එපමණක්ද නොව ඔවුන් පාලකයන්ගේ සම්මානයටද පාත්‍රවීමයි. වීරයන් බවට රූපාන්තරණය කිරීමයි. ලංකාවේ වැළිකඩ සහ මිරුසවිල් උදාහරණ දෙකක් පමණි.
එසේම අධිකරණ යාන්ත්‍රණ අසාර්ථක වන විට හෝ ජාත්‍යන්තර පීඩනය නොමැති විට, වින්දිතයින් පිළියම් නොමැතිව අතරමං වන අතර, වරදකරුවන් කිසිදු බාධාවකින් තොරව තම ක්‍රියා සුපුරුදු ලෙස දිගටම කරගෙන යයි. ඒ හා සමානව, දූෂණ සිද්ධීන් හී දණ්ඩමුක්තිය අවසන් නොකර පවත්වාගෙන යන රටවල සම්පත් සහ සංවර්ධන අවස්ථා සොරාකෑමකට ලක් කරමින්, අවදානමට ලක්විය හැකි ජන කොටස් තවදුරටත් ආන්තීකරණයට ලක් කරයි.
දණ්ඩමුක්තියේ බලපෑම
දණ්ඩමුක්තියේ ප්‍රතිවිපාක දුර දිග යන්නකි. වින්දිතයන් සඳහා, එය දිගු කාලීන පීඩාවට, අවසන් විසඳුමක් නොමැති වීමට සහ යුක්ති පද්ධති කෙරෙහි විශ්වාසය බිඳ වැටීමට හේතු වේ. සමාජයන් තුළ, එය අසමානතාවය වර්ධනය කරන, ප්‍රජාතන්ත්‍රවාදී ආයතන දුර්වල කරන අතර ප්‍රචණ්ඩත්වයේ, අසාධාරණත්වයේ සහ අයුක්තියේ චක්‍රය දිගටම පවත්වාගෙන යයි. දණ්ඩමුක්තිය ප්‍රජාවන්හි සදාචාරාත්මක පදනම ඛාදනය කරමින්, පුරවැසියන් අතර අසරණභාවයක් ඇති කරන අතර වරදකරුවන් යැයි චෝදනා ලැබූවන්/ සමාජය ඉදිරියේ චෝදනා ලැබූවන් තවදුරටත් ධෛර්යමත් කරයි.
ගෝලීය සන්දර්භයන්හි, අතීත ඝාතනවල නොවිසඳුණු දුක්ගැනවිලි දිගටම පවතින ගැටුම්වලට මුල් වන ප්‍රදේශවල දක්නට ලැබෙන පරිදි, දණ්ඩමුක්තිය පුළුල් අස්ථාවරත්වයකට තුඩු දිය හැකිය. එය ජාත්‍යන්තර තලයේදී රටවල කීර්තිනාමයට කැළලක් ඇති කරන අතර, සංවර්ධනය සහ ස්ථාවරත්වය සඳහා අත්‍යවශ්‍ය විදේශ ආයෝජන සහ හවුල්කාරීත්වයන් අධෛර්යමත් කරයි.
දණ්ඩමුක්තිය අවසන් කිරීම: යුක්තිය කරා යන මාවත්
දණ්ඩමුක්තිය අවසන් කිරීමට වගවීම ට සහ යුක්තිය ට ප්‍රමුඛතාවය දෙන ශක්තිමත් නීතිමය, දේශපාලනික සහ සමාජයීය රාමු අවශ්‍ය වේ. අධිකරණ පද්ධති ශක්තිමත් කිරීම සහ ඒවායේ ස්වාධීනත්වය සහතික කිරීම තීරණාත්මක පියවරකි. විනිවිදභාවයෙන් යුත් විමර්ශන, සාධාරණ නඩු විභාග සහ වරදකරුවන්ට සුදුසු දඬුවම් ලබා දීම තුළින් කිසිවෙකුත් නීතියට ඉහළින් නොමැති බවට පැහැදිලි පණිවිඩයක් සමාජයට යවනු ලබයි. දැනුවත්ව හෝ නොදැනුවත්වම හෝ සම්මාන ප්‍රධාන උත්සවවලට සහභාගී වී සම්මාන දීමෙන් එසේ වන්නේ නැත.
දේශීය පද්ධති අසාර්ථක වන විට රාජ්‍යයන් සහ පුද්ගලයන් වගවීමට ලක් කිරීමේදී ජාත්‍යන්තර යාන්ත්‍රණයන්ද තීරණාත්මක කාර්යභාරයක් ඉටු කරයි. ජාත්‍යන්තර අපරාධ අධිකරණය (ICC) වැනි ආයතන මානව වර්ගයාට එරෙහි අපරාධ, යුද අපරාධ සහ ජන සංහාරවලට නඩු පැවරීමට වේදිකා සපයයි. ගැටුම්වලින් පසු සමාජයන්හි සංක්‍රාන්ති යුක්තිය සඳහා එක්සත් ජාතීන්ගේ උපදේශනය වැනි ගෝලීය මුලපිරීම් දණ්ඩ මුක්තිය සමස්තයක් ලෙස සැලකීමට සත්‍ය සෙවීම, වන්දි ගෙවීම් සහ ප්‍රතිසන්ධානය අවධාරණය කරයි.
සිවිල් සමාජය ට සහ ජනමාධ්‍යය ට ද දණ්ඩමුක්තිය අවසන් කිරීමේ තීරණාත්මක කාර්යභාරයක් ඇත. උද්දේශන ව්‍යාපාර, ගවේශණාත්මක මාධ්‍ය ක්‍රියාවලීන් සහ මහජන දැනුවත් කිරීමේ මුලපිරීම් අසාධාරණකම්, අයුක්ති සහගත අදුරු තත්ත්වයන්ට, යම් එළියක් වන අතර, ආණ්ඩු සහ රාජ්‍ය ආයතන යුක්තිය වෙනුවෙන්, සාධාරණත්වය වෙනුවෙන්, සත්‍ය වෙනුවෙන් ක්‍රියා කිරීම සදහා පීඩනය යොදයි. මෙම ක්‍රියාවලියේදී වින්දිතයන් සවිබල ගැන්වීම සහ ඔවුන්ගේ හඬ ඇසෙන බව ට සහතික කිරීම ද ඉතාමත් වැදගත් බව අමතක නොකළ යුතුය.
දණ්ඩමුක්තිය අවසන් කිරීම: අනාගතය සඳහා දැක්මක්
දණ්ඩමුක්තිය අවසන් කිරීම නියෝජනය කරන්නේ යුක්තිය ජයගන්නා, මානව හිමිකම් ආරක්ෂා කරන, ප්‍රජාතන්ත්‍රීය වටිනාකම් ප්‍රවර්දනය කරන සහ වගවීම ශක්තිමත් ශිෂ්ට සමාජයකි. මෙම දැක්ම සාක්ෂාත් කර ගැනීමට රජයන්, ජාත්‍යන්තර සංවිධාන, සිවිල් සමාජය සහ පුරවැසියන්ගේ සාමූහික උත්සාහය අත්‍යවශ්‍ය වේ. ගෝලීය වශයෙන් දණ්ඩමුක්තිය සම්බන්ධයෙන් ප්‍රගතියක් ලබා ඇති නමුත්, සැලකිය යුතු අභියෝග තවමත් පවතී. දණ්ඩමුක්තියට ඉඩ සලසන පද්ධති කඩා බිඳ දැමීමට නිරන්තරව උද්දේශනය, ධාරිතාවර්ධනය සහ සහයෝගීතාව අත්‍යවශ්‍ය වේ. කිසිදු අපරාධයක් දඬුවම් නොලබා නොයන බවත්, කිසිදු වින්දිතයකුගේ හඬ නොඇසී නොයන බවත් සහතික කිරීමෙන්, සමාජයන්ට විශ්වාසය ගොඩනගා, සුවය ප්‍රවර්ධනය කර, වඩාත් සාධාරණ හා කල්පවත්නා සාමය සහිත, යුක්ති සහගත තත්ත්වයක් සඳහා මග පෑදිය හැකිය.
එසේම දණ්ඩ මුක්තිය අවසන් කිරීම යනු හුදෙක් යුක්තිය පිළිබඳ කාරණයක් නොවේ; එය සාධාරණත්වය, අභිමානය සහ නීතියේ ආධිපත්‍යය සඳහා මානව වර්ගයාගේ කැපවීම, රාජ්‍යන්ගේ, ආණ්ඩුවල කැපවීම පෙන්නුම් කරන අතිශය වැදගත් කලාපයකි. එම කලාපය මග හරිමින්, හිතාමතාම මගහරිමින්, ‘පොහොසත් රටක්’ හෝ ‘ලස්සන ජීවිතයක්’ ගොඩනැගීමට නොහැකිය.
මේ මොහොතේ කියවීම සහ දණ්ඩමුක්තිය
2012 වසරේ නොවැම්බර් 9 දින වැලිකඩ බන්ධනාගාරය තුළ සිදුකරන ලද සෝදිසි මෙහෙයුමක් අතර, එහිදී ඇති වූ ගැටුම්වලින් රැදවියන් 7 දෙනෙක් ඝාතන කිරීමේ චෝදනාවලට වරදකරු කෙරුණු හිටපු බන්ධනාගාර කොමසාරිස් එමිල් රංජන් ළමාහේවාට කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ලක් විසින් ලබාදුන් මරණීය දණ්ඩනයෙන් නිදොස් කොට නිදහස් කරන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය 2024 අගෝස්තු 08 වැනිදා නියෝග කළ බව දැන් බොහෝ දෙනෙක් නැවතත් දන්නේය.(නමුත්, 2024 අගෝස්තු 08 වනදා තවත් දෙයක් එකතු විය. එය නම් ඝාතකයෙක් නැති ලංකාවේ ඝාතක ලැයිස්තුවට තවත් ඝාතකයෙක් නැති ඝාතනයක් එකතු වීමය.)
ඒ අන් කිසිදු විශේෂ දෙයක් නිසා නොවේ. එසේ මහාධිකරණයකින් චෝදනා ලැබූ කුප්‍රකට පුද්ගලයෙක්ට මාළිමා ආණ්ඩුවේ අධිකරණ අමාත්‍යවරයා වන හර්ෂණ නානායක්කාර විසින්, ඔහුගේ සේවය අගයමින් සම්මානයක් ලබා දීම පිළිබද ඇති වූ ප්‍රභල සාකච්ඡාවක් හේතුවෙනි. එම සාකච්ඡාව විශේෂයෙන් මේ වන විට ලංකාවේ සමාජ මාධ්‍ය වේදිකා තුළ දැවැන්ත සංවාදයක් මතු කරමින් තිබේ.
මේ සිදුවීමෙන් ‘අලුත් මාළිමා ආණ්ඩුවත්’ අපට වැදගත් සංඥාවක් ලබා දී තිබේ. එනම් තවදුරටත් ඝාතකයෙක් නැති ඝාතන පිළිබද තම ආණ්ඩුව සංවේදී නොවන බවයි.
එනම්, ඉහතින් සාකච්ඡා කළ පරිදි, ශ්‍රී ලංකාව පාලනය කල සෑම ආණ්ඩුවක් සේම මාළිමා ආණ්ඩුවත් දණ්ඩමුක්තිය අවසන් කිරීමට කිසිදු දේශාපාලන වුවමනාවක් නොමැති බව පෙන්නුම් කරමින් තිබිමයි.
එසේ වන විට වසර ගණනාවක් මේ කළු ජනවාරියේදී මාධ්‍යවේදීන්ට සහ මාධ්‍ය ආයතනවලට එල්ල කරන ලද අපරාධවලටත් සම්බන්ධ අපරාධකරුවන් නීතිය හමුවට ගෙන එනු ඇතැයි අපට විශ්වාස කළ හැකිද?
එපමණක් නොවේ, යුද්ධය අවසානයේදී ශ්‍රී ලංකා හමුදාවට බාර දුන් සිය දරුවන් ඇතුලු සමීපතමයින් පිළිබද සත්‍ය දැනගැනීමටත්, ඒ හා සබැදි සිය සමීපතමයින් අතුරුදහන් කිරීම පිළිබද සත්‍ය දැනගැනීම සදහාත් උතුරු-නැගෙණහිර ඇතුලු ප්‍රදේශවල යුද පීඩිත දෙමළ ජනයා වසර ගණනාවක සිට සාමකාමී ලෙස ඉල්ලා සිටින යුක්ති සගතත ඉල්ලීමට සංවේදී වේ යැයි අපිට සිතිය හැකිද? කෙටියෙන් කිවහොත් ඒ මානව හිමිකම් උල්ලංඝනය කිරීම් ඇතුලු අපරාධවලට යුක්තිය ලගා කර දීමට මාළිමා ආණ්ඩුවට අවංක වුවමනාවක් ඇතැයි අපට විශ්වාස කළ හැකිද?
එබැවින් අතීත ආණ්ඩු මෙන්, දණ්ඩමුක්තිය අවසන් කිරීමටත්, අපරාධවලට යුක්තිය ලගා කර දීමටත් මාළිමා ආණ්ඩුවට දේශපාලන වුවමනාවක් නොමැති බව හර්ෂන නානායක්කාර සිදුවීමෙන් අපට පැහැදිලි නොවන්නේද?
මෙය අනෙක් අතින් හෘදය සාක්ෂිය පිළිබද ප්‍රශ්ණයකි.
සම්පත් සමරකෝන් | Sampath Samarakoon