iMage: Generate by GenAI

“Injustice anywhere is a threat to justice” – Martin Luther King

“අධිකරණ ක්‍රියාවළියෙන් පිටත සිදුකරන ඝාතන” (extra-judicial killings), මෑත වසරවලදී බරපතල සමාජ කතිකාවක් බවට පත්ව තිබූ අතර පසුගිය දා නැවතත් එවැනි ආකාරයේ ඝාතනය කිරීම් වාර්තා වීමෙන් පසු නැවතත් එය කරළියට පැමිණියේ ය. මෙම සියලු ඝාතනවලට ප්‍රදාන චෝදනාව එල්ල වූයේ ශ්‍රී ලංකා පොලීසියටයි. එසේම එවැනි ඝාතන පිළිබද පොලීසියට ඇත්තේ හොද ඉතිහාසයක් නොවන බව නොරහසකි. කෙසේ නමුත් මෙම ඝාතන මානව හිමිකම් උල්ලංඝනයේ එක් ආකාරයක් ලෙස සැලකෙන අතර, එවැනි සිදුවීම් හේතුවෙන් රට තුළ නීතියේ ආධිපත්‍යය පිළිබඳවත්, පොලිස් බලතලවල සීමාවන් පිළිබඳවත් ප්‍රශ්න මතු වීම වැළැක්විය නොහැකියි. මෙම ලිපියෙන් උත්සාහ කරන්නේ මේ ගැටලුවේ ස්වභාවය, එහි බලපෑම්, සිවිල් සහ දේශපාලන සමාජයේ බලපෑම, මෙවැනි අපරාධ මර්දනය කළ ජාත්‍යන්තර උදාහරණ, සමාජ මාධ්‍ය පරිශීලකයන්ගේ කාර්යභාරය, සහ විසඳුම් ගැන සාකච්ඡා කිරීමයි.

ගැටලුවේ ස්වභාවය

අධිකරණයෙන් පිටත සිදුකරන ඝාතන(extra-judicial killings) යනු පොලිසිය විසින් සැකකරුවන් අත්අඩංගුවේ සිටියදී හෝ යම් මුහුණුවරක් යටතේ ඔවුන්ව ඝාතනය කිරීමයි. බොහෝ විට මෙවැනි සිදුවීම් “පලා යෑමට උත්සාහ කිරීමේදී” “ආයුධ පෙන්වීමට සැකකරුවන් රැගෙන යාමේදී” හෝ “වෙඩි හුවමාරුවකදී” සිදු වූවා යැයි වාර්තා වීම එහි ස්වාභාවයයි. නමුත් මෙවැනි බොහෝ සිදුවීම්වලදී ස්වාධීන විමර්ශනයක් සිදු නොවීම නිසා, මේවා සැබෑ තත්ත්වයන්ද නැත්නම් සැලසුම් සහගත ඝාතනද යන්න ගැන සැකයක් ඇති වීමත් වැළැක්විය නොහැකියි. ශ්‍රී ලංකාවේ අතීතයේ සිටම, විශේෂයෙන් යුද්ධ සමයේදී සහ ඉන් පසුවත්, මෙවැනි චෝදනා පොලිසිය ඇතුලු ආරක්ෂක අංශවලට එල්ල විය.

UNHRC හි 2023 සැප්තැම්බර් වාර්තාවකින් කියැවෙනවා, ශ්‍රී ලංකාවේ මානව හිමිකම් උල්ලංඝනයන්, විශේෂයෙන් පොලිස් භාරයේදී සිදුවන මරණ, තවමත් විසඳී නැති බවය. (https://www.ohchr.org/en/countries/sri-lanka) 2023 ජනවාරි 10දා A.G. Samantha Preethi Kumara නම් තරුණයෙක් පොලිස් භාරයේදී මිය ගිය සිද්ධිය ගැනත් එම වාර්තාවේ සදහන් වෙයි. පොලිසිය පවසන ලද්දේ ඔහු විමර්ශනයකදී නිලධාරියෙකුට තුවාල කළ බවත්, “අභ්‍යන්තර රුධිර වහනයකින්” මිය ගිය බවත් ය. නමුත් මේ සිද්ධිය පිළිබදව ස්වාධීන විමර්ශනයක් සිදු වුණේ නැත. එවැනි සිදුවීම්වලට නිසි විමර්ශන හෝ දඬුවම් ලබාදීම් ඉතාමත් සීමිතයි.

බලපෑම්

මෙම ඝාතනවලින් සමාජයට ඇති වන බලපෑම ඉතා බරපතල බව අමුතුවෙන් කිව යුතු නොවේ. එක අතකින්, මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් හෝ පාතාල කල්ලි සාමාජිකයන් වැනි “අපරාධකරුවන්” ඉවත් කිරීමට මෙය යම් පිරිසකට සාධාරණීකරණයක් විදිහට පෙනුනත්, අනෙක් අතට එය නීතියේ ආධිපත්‍යයට එරෙහි තර්ජනයක් වීම වැළැක්විය නොහැකියි. සෑම පුද්ගලයෙකුටම අධිකරණය ඉදිරියේ සාධාරණ නඩු විභාගයකට අයිතියක් ඇති බව බොහෝ දෙනෙක්ට අවබෝධයක් ඇති නමුත් මෙවැනි ඝාතන හරහා ඒ අයිතිය උල්ලංඝනය වන බව සමාජයක් ලෙස ඉතාමත් ගැඹුරින් තේරුම් ගත යුතුය. එසේම, ලංකාවේ දී පොලිසියට අසීමිත බලයක් ආරෝපණය කරගෙන සිටින නිසා, ඒ බලය, බල මානසිකත්වය අනිසි ලෙස භාවිතා වීමේ දැඩි අවදානමත් පවතී. ශ්‍රී ලංකාවේ දඬුවම් නොලැබීමේ සංස්කෘතිය (culture of impunity) මේ ගැටලුව තවත් උග්‍ර කරන බව UNHRC හි 2021 වාර්තාවකින් පෙන්වා දෙනු ලබයි. (here)


සිවිල් සමාජයේ බලපෑම

මානව හිමිකම් සංවිධාන, බුද්ධිමතුන්, සහ ජනමාධ්‍ය ඇතුලු සිවිල් සමාජය මෙම ගැටලුවට එරෙහිව ප්‍රබල බලපෑමක් ඇති කළ යුතුයි. ශ්‍රී ලංකාවේ සිවිල් සමාජ සංවිධානයක් වන “Centre for Policy Alternatives” (CPA) වැනි ආයතන මෙවැනි ඝාතන ගැන විවේචන එල්ල කර ඇති අතර, ඒවා විමර්ශනයට ලක්කිරීමට බලපෑම් කරමින් සිටින අතර පවතින තත්ත්වය තුළ එවැනි ක්‍රියාකාරකම් වඩා වැඩි වශයෙන් සිදුකළ යුතුයි. ජනමාධ්‍ය හරහා මේ පිළිබදව මහජනතාව දැනුවත් කිරීමත්, විරෝධතා සහ සම්මන්ත්‍රණ හරහා රජයට බලපෑම් කිරීමත් සිවිල් සමාජයට කළ හැකියි. මෙම බලපෑම් සකස් විය යුත්තේ, මහජන මතය ගොඩනැගීමෙන්, රජයට විනිවිදභාවයෙන් යුතු ප්‍රතිපත්ති අනුගමනය කිරීමට බලකරමින්, සහ ජාත්‍යන්තර සංවිධානවල සහය ලබා ගනිමින්ය.

දේශපාලන සමාජයේ බලපෑම

දේශපාලන සමාජය, එනම් පාර්ලිමේන්තුව, දේශපාලන පක්ෂ, සහ රජය, මෙම ගැටලුවට විසඳුම් සැපයීමේ ප්‍රධාන වගකීම දරණ අතර එය අත්හළ නොහැකි වගකීමකි. නමුත් ශ්‍රී ලංකාවේ දේශපාලන සමාජය බොහෝ විට මෙවැනි ඝාතන සාධාරණීකරණය කිරීමට හෝ ඒ පිළිබදව නිහඬව සිටීමට උත්සාහ කිරීම පිළිකුල් සහගතය. එය ප්‍රජාතන්ත්‍රීය වටිනාකම් වේගයෙන් ඛාදනයට ලක් කිරීමට හේතු වනු ඇත. උදාහරණයක් ලෙස, මත්ද්‍රව්‍ය විරෝධී මෙහෙයුම්වලදී සිදු වූ ඝාතන ගැන රජය “අපරාධ මර්දනය” ලෙස ඉදිරිපත් රූපාන්තරණය කිරීම ගතහැකිය.(here) කෙසේ වෙතත් මෙවැනි ඝාතන අවසන් කිරීම සදහා, නීති සම්පාදනය හරහා පොලිස් බලතල පිළිබඳ පැහැදිලි මාර්ගෝපදේශනයන්(ක්‍රියාකාරී සැළැස්මක් සමග) හඳුන්වා දීමත්, ස්වාධීන විමර්ශන ආයතන පිහිටුවීමට පනත් සම්මත කිරීමත් සහ දේශපාලකයන් විසින් මෙම ගැටලුව පිළිබදව විවෘතව, විනිවිදභාවයකින් යුතු සාකච්ඡා කිරීමත් ඇතුලු කරුණුවලට ප්‍රමුඛස්ථානය දීම වැදගත්ය. එසේම දේශපාලන උවමනාවක් නොමැතිව මෙම ගැඹුරු ගැටලුව විසඳීම දුෂ්කර බව විශේෂයෙන් සදහන් කළ යුතුමය.

මෙවැනි අපරාධ මර්දනය කළ ආකාරය පිළිබඳ ජාත්‍යන්තර උදාහරණ

ලෝකයේ විවිධ රටවල් මෙවැනි නීත්‍යානූකූල නොවන ඝාතන අවසන් කිරීමට ගත් පියවර ශ්‍රී ලංකාවට යම් ආදර්ශයක් විය හැකිය. (1) කොලොම්බියාව: 1990 දශකයේදී මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට එරෙහිව පොලිස් ඝාතන බහුලව සිදු වුණත්, 2000න් පසු ස්වාධීන “Inspector General” ආයතනයක් පිහිටුවීමෙන් සහ ජාත්‍යන්තර මානව හිමිකම් සංවිධානවල සහයෙන් එවැනි ඝාතන අඩු කිරීම ගත හැකිය. (here) (2) දකුණු අප්‍රිකාව: ආපාර්තයිඩ්(Apartheid) සමයේ රාජ්‍ය ඝාතනවලට එරෙහිව 1995දී “Truth and Reconciliation Commission” පිහිටුවා, විමර්ශන හරහා වගකිව යුත්තන්ට දඬුවම් දීමත්, සමාජ විශ්වාසය යළි ගොඩනැගීමත් සිදු විය. (here) (3) එංගලන්තය: ජීන් චාල්ස් ඩි මෙනෙසස් නම් බ්‍රසීලියානු පුද්ගලයෙකු, 2005 ජූලි 22 වන දින දී ලන්ඩන් පොලිස්ය විසින් වැරදීමකින් ඝාතනය කිරීමෙන් පසු, “Independent Police Complaints Commission” හරහා විමර්ශනයක් සිදුකර, පොලිසිය සදහා පුහුණුවීම් වැඩිදියුණු කිරීමෙන් එවැනි සිදුවීම් අවම තත්ත්වයකට ගෙන ඒම තවත් උදාහරණයක් ලෙස ගත හැකිය. (here)


සමාජ මාධ්‍ය පරිශීලකයන්ට කළ හැකි කාර්යභාරය

සමාජ මාධ්‍ය පරිශීලකයන්ට මෙවැනි ඝාතන අවසන් කිරීමට සෘජුව බලපෑම් කළ හැකියි. ඔවුන්ට මෙම සිදුවීම් ගැන තොරතුරු හුවමාරු කිරීමෙන්(විමර්ශනවලට අගතියක්,බාධාවක් නොවන ලෙස), මහජනතාව දැනුවත් කිරීමෙන්, සහ රජයට බලපෑම් කිරීමට ව්‍යාපාර ගොඩනැගීමෙන් මේ ගැටලුවට අවසන් කිරීමට සහයවීමට කටයුතු කිරීම කළ හැකියි. ඒ සදහා උදාහරණ 2කක් විමසීම වැදගත් වනු ඇත. (1) අරාබි වසන්තය (2011): ටියුනීසියාවේ සහ ඊජිප්තුවේ සමාජ මාධ්‍ය (Twitter, Facebook) හරහා මානව හිමිකම් උල්ලංඝන ගැන තොරතුරු හුවමාරු කිරීමෙන් සහ මහජනයා සංවිධානය වීමෙන්, එවක පාලනයට විරුද්ධව මහජන විරෝධතා ඇති වූ අතර, එය දේශපාලන වෙනස්කම් සිදුකිරීම දක්වා ගමන් කළේය. (here).

(2) #BlackLivesMatter) (2013): ඇමරිකා එක්සත් ජනපදයේ පොලිස් ඝාතනවලට එරෙහිව ට්විටර් හරහා ආරම්භ වූ මෙම ව්‍යාපාරය, ජෝර්ජ් ෆ්ලොයිඩ්ගේ 2020 මරණයෙන් පසු ගෝලීය වශයෙන් පැතිරී ගිය අතර එය පොලිසිය ප්‍රතිසංස්කරණ කිරීම් සඳහා බලපෑමක් ඇති කරන ලදි. (here) ශ්‍රී ලංකාවේත්, සමාජ මාධ්‍ය හරහා #EndExtrajudicialKillings වැනි යෙදවුමක් සමඟ ව්‍යාපාරයක් ගොඩනගා, මේ පිළිබදව සමාජය දැනුවත් කිරීමත්, රජයට බලපෑම් කිරීමත් කළ හැකිය. එවැනි සමාජ ව්‍යාපාරයක අත්‍යවශ්‍යතාවය පසුගිය දින කිහිපය තුළ ලංකාවේ ඇති කරන ලද තත්වයන් නිසා තවත් තියුණුව මතු පිටට පැමිණ තිබේ.

විසඳුම්

මේ ගැටලුවට පිළියමක් ලෙස, පළමුවෙන්ම ස්වාධීන විමර්ශන යාන්ත්‍රණයක් පිහිටුවීම මූළික කාර්යයකි. පොලිසිය තුළම පවතින විමර්ශන ක්‍රමවේදයන් වෙනුවට, බාහිර, විනිවිදභාවයෙන් යුත් පරීක්ෂණ පැවැත්විය යුතුයි. UNHRC 2015දී යෝජනා කළ, දකුණු අප්‍රිකාවේ “Truth and Reconciliation Commission” මෙන් ස්වාධීන යාන්ත්‍රණයක් හඳුන්වා දීමය. (here) දෙවනුව, මෙවැනි සිදුවීම්වලට වගකිව යුතු නිලධාරීන්ට එරෙහිව නීතිමය පියවර ගත යුතුයි. ඒ හරහා දඬුවම් නොලැබීමේ සංස්කෘතිය අවසන් කිරීමට මූලික පියවර තැබිය හැකිය. තුන්වනුව, පොලිස් නිලධාරීන්ට මානව හිමිකම් පිළිබඳ නිසි පුහුණුවක් ලබාදීමත්, ඔවුන්ගේ බලතල පිළිබඳව පැහැදිලි මාර්ගෝපදේශනයන් ලබාදීමත් වැදගත් වනු ඇත. Amnesty International යෝජනා කළපරිදි, “Convention Against Torture” වැනි ජාත්‍යන්තර ගිවිසුම්වලට අනුකූලව ක්‍රියා කිරීමට රජය බැඳී සිටින බව පෙන්වා දීමත් අනෙක් වැදගත් කොටසයි. (here) මේ සියල්ලටම ආණ්ඩුවේ දේශපාලන උවමනාව සහ මහජන සහයෝගය අත්‍යවශ්‍යයි වනු ඇත.

අභියෝගය ජයගත යුතුමය.

අධිකරණ ක්‍රියාවළියෙන් පිටත සිදුකරන ඝාතන ශ්‍රී ලංකාවට දිගුකාලීනව හානිකරනු ඇත. එය මානව හිමිකම්වලට පමණක් නොව, සමාජ විශ්වාසයටත් තර්ජනයකි. ජාත්‍යන්තර වාර්තාවලින් පෙන්වා දෙන ආකාරයට, මෙය ශ්‍රී ලංකාවට පමණක් සීමා වූ ගැටලුවක් නොවේ, එය ගෝලීය මට්ටමේ අභියෝගයකි. සිවිල් සමාජයේ, දේශපාලන සමාජයේ, සහ මාධ්‍ය, සමාජ මාධ්‍ය පරිශීලකයන්ගේ සක්‍රීය බලපෑම තුළින්, ජාත්‍යන්තර උදාහරණවලින් පාඩම් ඉගෙන ගනිමින්, මේ ඝාතන අවසන් කිරීම සදහා විධිමත් විසඳුමක් සොයා ගැනීම දුෂ්කර නැත. ඒ සඳහා විවෘත, විනිවිදභාවයෙන් යුතු සංවාදයක් සහ ඉදිරිපත්කරන විසඳුම් පිළිබද එකඟතාවකට පැමිණිය යුතුයි. එසේ නොවුනහොත් නීතියේ ආධිපත්‍යය පිළිබද ‘කතා’ කිරීම ‘වචනවලට’ පමණක් සීමා වී සියලු සමාජ වටිනාකම් ඛාදනයට ලක් වනු ඇත.

[මෙම ලිපිය මුල්වරට මාර්තු 2වනදා ‘අනිද්දා’ පුවත්පතේ පළවිය.]


සම්පත් සමරකෝන්
| Sampath Samarakoon