iMage: Vikalpa.org/Sampath Samarakoon
කිළිනොච්චියේ කන්දසාමි කෝවිල අසල වයෝවෘද්ධ දෙමළ මව්වරුන් සහ පියවරුන් ඇතුලු විශාල පිරිසක් එක්රැස්වෙමින් තිබිණි. වන්නියේ සංහාරයන් සිදුකිරීමට සහය වූ තවත් එක් යුද කදවුරක් කන්දසාමි කෝවිල අසල තවමත් බලා සිටී. වන්නියේ මිනිස් ජීවිත ලක්ෂ ගණනක් ඒ වන්නි මහපොළවට යටකර දැමූ සන්නද්ධ සේනාවෝ තවමත් වන්නි බිමේ වාඩිලා ගෙන සිටින ඒ පොළවේ, තවමත් යුක්තිය ඉල්ලා යාදින වියපත් මව්වරුන්, පියවරුන් අතුරුදන්කළ සිය දරුවන්ගේ සුවද තුරුලුකරන් කදුළු වගුරුවති.
ඒ 2025 පෙබරවාරි 20 වනදාය.
උතුරු-නැගෙණහිර දී අතුරුදහන් කරන ලද මෙන්ම, යුද්ධාවසානයේදී ශ්‍රී ලංකා ආණ්ඩුවේ ආරක්ෂක අංශ වෙත බාර දුන් සිය සමීපතමයින්ට සත්‍ය සහ යුක්තිය ඉල්ලා, කිළිනොච්චිය මූලික කර ගිනිමින් 2017 පෙබරවාරි 20වන දින, උතුරු – නැගෙණහිර බලහත්කාරයෙන් අතුරුදහන් කිරීමට ලක් වූවන්ගේ ඥාතීන් විසින් ආරම්භකරන ලද අරගලය ට පෙබරවාරි 20 වන දිනට වසර 8ක් ගත විය. එය ‘සත්‍ය සහ යුක්තිය’ සදහා වන ශ්‍රී ලංකාවේ දීර්ඝතම අරගලයයි. 2017න් පසු කිලිනොච්චිය ඇතුලු උතුරු සහ නැගෙණහිර ප්‍රදේශවල අතුරුදහන්වූවන්ට සත්‍ය සහ යුක්තිය ඉල්ලා මෙම අරගලය දියත් වූ අතර, විවිධ තර්ජන, බාධක මැද අද දක්වාම මෙම අරගලය ඉදිරියට රැගෙනයාමට අතුරුදහන්කළවූන්ගේ සමීපතමයින් සමත්ව තිබේ. ඒ අන් කිසිදු වරප්‍රසාදයක් නිසා නොවෙයි. ඔවුන්ගේ එකම බලාපොරොත්තුව වන සත්‍ය සහ යුක්තිය ම නිසාය.
කිසිදු තොරතුරුක් නැතිව… මව්පියන් 250කට වඩා මියගොස්ය.
2017 පෙබරවාරි 20 වන සිට අද දක්වා වසර 8+ක කාලය තුළ අතුරුදහන් කළ ඔවුන්ගේ සමීපතමයින් පිළිබද කිසිදු තොරතුරක් ලබා දීමට ශ්‍රී ලංකාවේ මෙතෙක් බලයට පත් වූ කිසිදු පාලනයකට නොහැකිවී තිබේ. එපමණක් ද නොවේ. මේ වසර 8 පුරාවටම 250කට අධික වියපත් මව්පියන් අතුරුදහන් කළ සිය දරුවන් පිළිබද කිසිදු තොරතුරක් නොළබාම මෙළොව හැර ගොස් ඇත. තවත් බොහෝ පිරිසක් රෝගාතුරව කල් ගෙවයි. ශ්‍රී ලංකාවේ උතුරු දිග එම ඛේදවාචකය එසේ පැවතුනත්, ඒ සම්බන්ධයෙන් දකුණේ බොහෝ මිනිසුන් හිරි වැටී ඇති සේයකි. බොහෝ අවස්ථාවල මෙන් දකුණේ ජනමාධ්‍ය කිහිපයක් හැරෙන්නට, අනෙකුත් සෑම ජනමාධ්‍යක්ම ඒ බරපතල ඛේදවාචකය ඔවුන්ගේ අන්තර්ගතයන්ට ඇතුලු කරගන්නේ නැත.
නව මාළිමා ආණ්ඩුවේ ස්ථාවරය
ශ්‍රී ලංකාවේ 26 වසරක සිවිල් යුද්ධයේදී මානව හිමිකම් කඩකිරීම් සහ යුද අපරාධ සම්බන්ධයෙන් චෝදනා ලැබූ කිසිවකුට දඬුවම් කිරීමට තම පරිපාලනය උත්සාහ නොකරන බවට, ජනතා විමුක්ති පෙරමුණේ හි වත්මන් නායක, ජාතික ජන බලවේගයේ ජනාධිපති අපේක්ෂක අනුර කුමාර දිසානායක ඇසෝෂියේටඩ් ප්‍රෙස් පුවත් සේවයට පවසා සිටියේ 2024 අගෝස්තු 27 දා ය. මෙසේ පවසා ඇත්තේ, 1971 සහ 1988/89 වසරවල රාජ්‍ය බලය අල්ලා ගැනීමේ අරමුණෙන් සන්නද්ධ ව්‍යාපාර දෙකකට නායකත්වය දුන් ජනතා විමුක්ති පෙරමුණේ වත්මන් නායකයාය. කෙසේ නමුත් ජනතා විමුක්ති පෙරමුණේ සමාජිකයන් අතිවිශාල පිරිසක් රාජ්‍ය සන්නද්ධ අංශ විසින්, අතුරුදහන් කළ බවත්, ඝාතනයට ලක් වූ බවත්, එහි නායක රෝහණ විජේවීර අත්අඩංගුවෙහි සිටියදීම ඝාතනය වූ බවත් ලෝකයම දන්නා කරුණකි. එය එසේ වුවත්, යුද්ධයේ දී සහ යුද්ධයේ අවසාන කාලයේදී බලහත්කාරයෙන් අතුරුදහන් කළ මෙන්ම යුද්ධාවසානයේදී රජයේ ආරක්ෂක අංශවලට බාරදුන් දෙමළ ජනයා ට සත්‍ය සහ යුක්තිය ඉල්ලා සිටින විට ආණ්ඩුවේ ප්‍රතිපත්තිය එය වීම කොතරම් ඛේදවාචකයක්ද?
නව මාළිමා ආණ්ඩුවේ එම එම අමානුෂික දෘඩ ප්‍රත්පත්තිය තිසිදු අයුරකින් වෙනස් වී නැති බවට පසුගිය දා ජීනිවා හි පැවති 58 වන සැසිවාරයේදී ආණ්ඩුවේ නියෝජිතයන්ගේ ප්‍රකාශවලින් නැවතත් පැහැදිලි විය. ජිනීවාහි, එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ සැසිවාරය අමතමින්, ශ්‍රී ලංකා ආණ්ඩුවේ නියෝජිතයන් විසින් යුද අපරාධ සහ මානව හිමිකම් උල්ලංඝනය කිරීම සදහා වන ජාත්‍යන්තර විමර්ශන යාන්ත්‍රණ සමඟ සම්බන්ධ වීම ප්‍රතික්ෂේප කළේය.
ඒත් සමගම මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් කාර්යාලය යටතේ බරපතල මානව හිමිකම් උල්ලංඝනයන් පිළිබඳ බාහිර සාක්ෂි රැස් කිරීමේ යාන්ත්‍රණයක් සම්බන්ධයෙන් වන 46/1, 51/1 සහ 57/1 යෝජනාවලට ශ්‍රී ලංකාවේ ආණ්ඩු විසින් දිගින් දිගටම එල්ලකරන ලද විරෝධය, ජාතික ජන බලවේගයේ ආණ්ඩුවත් එසේම ම පවත්වාගෙන යාමට තීරණය කරන ලදි.(එය පුදුමයට කරුණක් ද නොවේ) එය තවත් ලෙසකට පැවසුවහොත් ජිනීවාහි, එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් වන යෝජනා පිළිබද ජාතික ජන බලවේගයේ ආණ්ඩුවත් ගමන් කරන්නේ මහින්ද රාජපක්ෂ ඇතුලු පිරිස් යමින් සිටි මාර්ගයේම මිස යුක්තිසහගත මාවතක් ඔස්සේ නෙවන බවය.
කෙසේ නමුත් ජාතික ජන බලවේගයේ ආණ්ඩුව විසින් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ යෝජනා ප්‍රතික්ෂේප කරනු ලබන්නේ ශ්‍රී ලංකාව තුළ ස්ථාපිත කර ඇති කිසිදු දේශීය යාන්ත්‍රණයක් කිසිදු අන්දමක සාර්ථකත්වයක් හෝ ඒ සදහා වන විවෘත, විනිවිදබාවයකින් යුතු කිසිදු ක්‍රියාවලියක් පෙන්නුම් නොකරන පසුබිමකයි.
“ඔබේ හමුදාව විශ්වාස කරලා බාර දුන්න දරුවන් අතුරුදහන් වූයේ කෙසේද” උතුරු-නැගෙනහිර බලහත්කාරයෙන් අතුරුදහන් කළ අයගේ ඥාතීන් මේ වසර ගණනාව පුරාම අසන්නේය. අද ද අසන්නේය. නමුත් රාජ්‍ය නිහඩය.
අතුරුදහන් වූවන්ගේ ප්‍රශ්ණය මෙන්ම යුද වින්දිතයන්ගේ ප්‍රශ්ණය මේ රටේ ‘අභ්‍යන්තර යුක්තිය’ පිළිබද ප්‍රශ්ණයකි. එම ප්‍රශ්ණය යුක්ති සහගත අයුරින් විසදීමට ශ්‍රී ලංකා රාජ්‍ය දැඩි දේශපාලන අභිලාශයකින් යුතුව මැදිහත් නොවන්නේ නම්, පවතින ආණ්ඩුව හෝ ඉදිරියට පත්කරවන ආණ්ඩු විසින් ‘කතා කරන’ මානව හිමිකම්, ප්‍රජාතන්ත්‍රවාදය වැනි අගයන් පසුගිය වසර ගණනාවේ මෙන්ම ‘හිස් වචන’ පමණක් වීම වැළැක්විය නොහැකිය.
“අපි වැදුවේ ගල්ද?”
අතුරුදහන් කරන ලද සිය ආදරණීය යා සොයා යන, අයි. සිවපාලන්(යාපනය) මව ගේ අදහස් ‘අතුරුදහන් වූ තැනැත්තන් පිළිබද කාර්යාලයට’ හෝ ‘ආණ්ඩුවට’ තවදුරටත් මගහැර යා නොහැකි තත්ත්වයක් උදාකර දී ඇත්තේ නොවේද? ඇය මෙසේ පැවසුවාය.
“ඇයි අපි OMP එක ප්‍රතික්ෂේප කරන්නේ කිව්වොත්, අපි මෙච්චර කාලයකට නොගිය තැනක් නැහැ. සංහිඳියා කොමිසම, ජනාධිපති කොමිසම, ICRC, මානව හිමිකම් කොමිසම ඇතුළුව හැම තානාපති කාර්යාලයකට ම ගිහින් තියෙනවා.
අවසානයේ දී OMP ආවා. ඒ වෙලාවේ අපි කිව්වා, අපිට ඔයාලාව විශ්වාස නැහැ. ඒ නිසා අපි මහ පාරේ අරගල කරනවා. එහෙම කළොත් අපිට ප්‍රතිඵලයක් ලැබෙයි නේ කියලා. නැහැ, ඔයාලා මේ විදිහට කරන්න කියලා අපිට OMP එකේ අය උපදෙස් දුන්නා. අපි පස් දෙනෙකුගේ විස්තර දෙන්නම්, ඔයාලා එයාලාව හොයලා දෙන්න ඊට පස්සේ අපි අනිත් අයගේ විස්තර දෙන්නම් කියලා කිව්වා. අද වෙනකම් ඒ පස් දෙනා ගැන විස්තරයක් නැහැ. එයාලා ගැන දුන්න ලියවිලි කිසිවක් අපිට නැවත දුන්නෙත් නැහැ. ඉතිං අපි මොනවා කරන්න ද.?
මෙහෙම කරන ඔයාලාව අපිට කොහොමත් අවශ්‍ය වෙන්නේ නැහැ. මෙයාලා අපි මානසිකව පීඩා විඳිනවා කියලා උපදේශන දෙන්න ඕනේ කියනවා. රාජ්‍ය බලය තහවුරු කරගන්න OMP කියලා රඟපෑමක් කරනවා. මේ රටේ දී අපිට යුක්තිය ඉටු වෙන්නේ නැහැ. මොකද කිව්වොත් අපි සුළුතර මිනිසුන් නේ. දැනුත් එහෙමයි කියන්නේ. කලිනුත් එහෙමයි කිව්වේ. ඒ නිසා අපිට යුක්තියක් ලැබෙන්නේ නැහැ. ඕනෑම ආණ්ඩුවක් තවත් ආණ්ඩුවකට උදව් කරනවා මිස අපි වෙනුවෙන් පෙනී ඉන්න එකක් නැහැ. ඔයාලා සත්‍ය හෙළිදරව් කළේ නැති නිසා නේ අපි ප්‍රතික්ෂේප කරන්නේ. අපේ දරුවන් ව නම්, ගම් ලියලයි ඔයාලාට භාර දුන්නේ. ෆ්‍රැන්සිස් පියතුමා හිටියොත් එයා ඇත්ත කියයි කියලා ඔයාලා එයාවත් අතුරුදන් කළා. අපේ දරුවන්ගේ ආරක්ෂාව වෙනුවෙන් තමා එයා ගියේ. ඇයි මෙහෙම කළේ කියන එකට අදටත් අපිට පිළිතුරක් නැහැ.
භාර වෙනවා කියන්නේ, සමාවක් ඉල්ලනවා කියන එකයි. අවුරුදු 5 ක් හෝ 10ක් තියාගෙන ඉඳලා එවන්න ඕනේ. නමුත් දැනට අවුරුදු 14ක් වෙනවා. අපි පාරේ සටන් කරන නිසා ගෙවල්වලට රහස් පොලිසියෙන් එනවා. බුද්ධි අංශයෙන් ඇවිත් බය කරලා යනවා. පින්තූර අරන් යනවා. අපිවත් මරන්න ද හදන්නේ. අපේ දරුවන්ව දකිනකම් මැරෙන්න නැහැ. මැරෙනකම් අපි සටන් කරනවා. මගේ දරුවන් කොහෙද ඉන්නේ කියලා පෙන්වලා දෙන්න කියලා මම දෙවියන්ගෙන් ඉල්ලනවා. තමන්ගේ මුණුබුරාව වඩාගත්තාම ඇඟේ හිරිගඩු පිපෙනවා කියලා ගෝඨාභය කිව්වා. අපි වැදුවේ ගල් ද.?”
බලාපොරොත්තුව
ඒ යුක්තියේ බලාපොරොත්තුව කිසි දිනක අත්නොහරින ඒ දෙමළ මිනිසුන් සහ ගැහැණුන් සියගණනක්, පසුගිය පෙබරවාරි 20 වනදාත්, සිය සමීපතමයින්ගේ ‘යුක්තිය’ වෙනුවෙන් කිලිනොච්චියේ වීදි පුරා යමින් සත්‍ය සහ යුක්තිය වෙනුවෙන් වූ සිය නොසිදෙන බලාපොරොත්තුව ලොවට කීවේය. ‘අපට අවශ්‍ය යුක්තිය යි. අපේ දරුවන්ට මොකද උනේ කියලා ඇත්ත දැනගන්නයි. ඒ වෙනුවෙන් අපි අපේ ජීවිතය තියනකන් සටන් කරනවා’ ඒ ඔවුන්ගේ සාමුහික හෘදසාක්ෂියේ හඩයි.
නමුත් දකුණේ බොහෝ හදවත් හිරිවැටී ඇති සේයකි!
දකුණු අප්‍රිකාවේ සිවිල් අයිතිවාසිකම් පිළිබද, ලොව ප්‍රකට ක්‍රියාකාරී නායකයෙක් වූ ස්ටීව් බිකෝ (1946-1977) මෙසේ පවසා තිබිණි.
“අපි කෝපයට පත්වී සිටින බව ඇත්ත. කෝපයට පත්වීමට හේතූන් මෙන්ම අයිතියක් ද අපට තියනව. ඒත් එක් දෙයක් මතක තබා ගත යුතුයි. අපි මේ අරගලය කරගෙන යන්නේ කිසිවකුත් මරන්න නොවෙයි. එක වර්ගයක මිනිහෙක් තවත් වර්ගයක මිනිහෙකුට වඩා උසස් යන විශිෂ්ටයි කියන අදහස මරා දැමීමටයි මේ අරගලය”
(මෙම ලිපිය 2025 මාර්තු 16 වනදා ‘අනිද්දා’ පුවත් පතේ මුල්වරට පළවිය.)
සම්පත් සමරකෝන් | Sampath Samarakoon