‘මා අත ඇති සැරයටිය මට ඕනෑ ලෙස ඕනෑම දිශාවකට මට ඕනෑ ආකාරයට හැරවිය හැකියි. නමුත් එසේ වැනීම අනෙකාගේ නාසය ළඟින් අවසන් වේ.’
මෙය සාමාන්‍ය මහජනයාට වාගේම ජනමාධ්‍යකරණයේ යෙදෙන සියලූ දෙනාටත් අදාළයි. රටක් ප්‍රජාතන්ත්‍රවාදී ආකාරයට ගමන් කරන බවට මඟපෙන්වන එක් කුළුනක් තමයි නිදහස් ජනමාධ්‍ය. ප්‍රජාතන්ත්‍රවාදයේ සෞඛ්‍ය ආරක්ෂාවට නිදහස් ජනමාධ්‍යයක් පැවතීම ඉතාමත් වැදගත් වන්නේ ඒ නිසාය. ජනමාධ්‍ය සම්බන්ධයෙන් අවදානම් දෙකක් තිබෙනවා. ‘එකක් ඒවායින් ලබාදෙන තොරතුරු පිළිබඳ අසීමිත විශ්වාසයක් තිබීම. අනෙක එම තොරතුරු සම්බන්ධයෙන් අසීමිත අවිශ්වාසයක් තිබීම.’

ඉහත සඳහන් ප්‍රකාශය කරන ලද්දේ ජාතික ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී නිලන්ති කොට්ටච්චි විසින් සෞඛ්‍ය හා ජනමාධ්‍ය වැය ශීර්ෂය පිළිබඳ කාරක සභා අවස්ථා විවාදයේදීය. එය කියවූ විට හැෙඟන්නේ නිදහස් ජනමාධ්‍යයක් සම්බන්ධයෙන් වන මාලිමා ආණ්ඩුවේ කැපවීමක් පිළිබඳවයි.

එහෙත් එම කතාවේ අගදී ඇය කියන්නේ ජනමාධ්‍යවේදීන් තමන්ගේ වෘත්තිය කරගෙන යන්නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් ලබාදී ඇති ප්‍රතිපාදන යටතේ බවත්, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේම ජනමාධ්‍යවේදීන් සිය වෘත්තිය කරගෙන යෑමේ සීමා මොනවාද යන්න කියා ඇති බවත්ය. එය වැඩිදුරටත් පැහැදිලි කරමින් මන්ත්‍රීවරිය කියන්නේ මහජන ආරක්ෂාව, ජාතික සංහිඳියාව, අන් සියලූ දෙනාගේ නිදහස හා අයිතිවාසිකම්, මහජන සෞඛ්‍ය, පාර්ලිමේන්තු වරප්‍රසාද හා අධිකරණයට අපහාස කිරීම එම සීමා කිරීම් බවය.

එම පැහැදිලි කිරීම තවදුරටත් ඉදිරියට ගෙන යමින් ඇය කියන්නේ ලංකාවේ පුවත්පත් ආරම්භ කර 1981 වර්ෂයට අවුරුදු 100ක් සම්පූර්ණ වූ බවත්, පුවත්පත් කර්තෘවරුන් 21ක් එකතුවී ආචාරධර්ම පද්ධතියක් හදන්නේ ඉන්පසුව බවත්ය. එමෙන්ම එම ආචාර ධර්ම යාවත්කාලීන වී නැති බවත්, එය යාවත්කාලීන කිරීම පිළිබඳව ආණ්ඩුව අවධානය යොමුකර ඇති බවත් ඇය කියයි.

ආණ්ඩුව ජනමාධ්‍ය නියාමනයකට ලක්කළ යුතු බවට තීරණය කර ඇති බව ද, වෙබ් අඩවි ලියාපදිංචි කිරීමට විශේෂ අවධානයක් යොමු කර ඇති බවද ඇය වැඩිදුරටත් කියයි.

මන්ත්‍රීවරිය ප්‍රකාශ කරන ආකාරයට ජනමාධ්‍යකරණයේ නියැලීම සඳහා විශේෂ ප්‍රතිපාදනයක් රටේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් සලසා දී නැත. එහෙත් අදහස් පළ කිරීමේ නිදහස, නීත්‍යනුකූල වෘත්තියක නියැලීමේ අයිතිවාසිකම ආදී මූලික අයිතිවාසිකම් යටතේ ජනමාධ්‍ය සිය කටයුතු සිදුකරන බවට ශ්‍රේෂ්ඨාධිකරණය කළ පැහැදිලි කිරීම් තිබේ.

පාර්ලිමේන්තු වරප්‍රසාද යන්න ප්‍රකාශ කිරීමෙන් හැඟවෙන්නේ එය මෙම ආණ්ඩුව යටතේත් අවභාවිතයට ගැනීමට නියමිත බවකි.

මන්ත්‍රීවරිය ප්‍රකාශ කරන කර්තෘ සංසදයේ ආචාරධර්ම යනු රජයේ විසින් සාදා ක්‍රියාත්මක කරන එකක් නොවන අතර එය යාවත්කාලීන කිරීමේ අයිතිය ඇත්තේ ශ්‍රී ලංකා කර්තෘ සංසදයට පමණය. කර්තෘ සංසදය රාජ්‍ය ආයතනයක් නොවන අතර එය මේ රටේ පුවත්පත් කර්තෘවරුන්ගේ එකතුවකි. මන්ත්‍රීවරියගේ ප්‍රකාශය අනුව පෙනෙන්නේ කර්තෘ සංසදයේ ආචාරධර්ම නියාමනය කිරීම සඳහා ශ්‍රී ලංකාවේ ජනමාධ්‍ය ක්ෂේත්‍රය පවත්වාගෙන යන ස්වයං නියාමන ක්‍රමවේදයටත් බලහත්කාරය යෙදවීමේ අදහසක් මෙම ආණ්ඩුවට ඇති බවයි. එය ශ්‍රී ලංකා කර්තෘ සංසදය සිය පාර්ශ්වකරුවන් සමඟ බැරැරුම්ව සැලකිල්ලට ගත යුත්තකි. මන්ද මෙතෙක් බලයේ සිටි කිසිම ආණ්ඩුවක් ජනමාධ්‍ය සම්බන්ධයෙන් නීති රීති ගෙන ආවද, රජයෙන් බැහැර කර්මාන්තයේ මෙම යාන්ත්‍රණයට අත නොතැබූ හෙයිනි.

කෙසේ වෙතත් එම පාර්ලිමේන්තු විවාදයේදී එම මන්ත්‍රීවරිය මෙන්ම සෞඛ්‍ය හා ජනමාධ්‍ය ඇමති වෛද්‍ය නලින්ද ජයතිස්ස හා ආණ්ඩුවේ අනෙක් නියෝජිතයින් ජනමාධ්‍ය සම්බන්ධයෙන් කී ප්‍රධානම කරුණු කිහිපයක් විය. එකක් ඉහතින් සඳහන් කළ ආකාරයටම ජනමාධ්‍ය නියාමනය කිරීමේ ඔවුන්ගේ අවශ්‍යතාවයි. තවත් එකක් වූයේ ‘ජාතික මාධ්‍ය ප්‍රතිපත්තියක්’ ගෙන ඒමයි. ජනමාධ්‍යවේදීන් සඳහා වරලත් ආයතනයක් පිහිටුවීම තවත් කරුණකි. වෙබ් අඩවි ලියාපදිංචිය ද ඒ සමඟ ප්‍රකාශ වූ දෙයකි.

ආණ්ඩුව වෙනුවෙන් ප්‍රකාශ වූ මෙම කරුණු ගැන අවධානය යොමු කිරීමේදී පැන නඟින ප්‍රශ්නය වන්නේ ජනාධිපතිවරයා තේරී පත් වී මාස පහක පමණ කාලයේදීත්, පාර්ලිමේන්තුවේ බලය ලබාගෙන මාස තුනක පමණ කාලයේදීත් ජනමාධ්‍ය සම්බන්ධයෙන් වන එවැනි අවශ්‍යතාවක් පිළිබඳ කිසිවක්ම ආණ්ඩුව පාර්ශ්වයෙන් නොකියූ බවයි. එම කරුණු සම්බන්ධයෙන් ජනමාධ්‍ය සමාජයෙන් අදහස් විමසීමක් ද ආණ්ඩුව කළේ නැත. එමෙන්ම එම කටයුතු සිදුකිරීම සඳහා යම් කමිටු පත් කිරීමක්ද ආණ්ඩුව කළේ නැත.

ආණ්ඩුව බලයට පත්වීමට පෙර හා ඉන්පසුත් ජනතාවට නැවත නැවතත් පොරොන්දු වූ මේ වනවිට කමිටු පත්කර වාර්තා පවා ලබාගෙන ඇති, මන්ත්‍රීවරුන්ගේ සහ හිටපු ජනාධිපතිවරුන්ගේ වරප්‍රසාද අහෝසි කිරීමේ නීති ප්‍රතිසංස්කරණ නම් තවම හමස් පේට්ටියේය. බලයට පත්වීමට පෙර මෙන්ම බලයට පත්වීමෙන් පසු ද සිය ප්‍රමුඛ කාරණයක් බව ආණ්ඩුව ඒ ගැන කීවේය. දැන් ඊට වඩා මාධ්‍ය ඔවුන්ට ප්‍රමුඛ වී තිබේ.

මේ වනවිට කැබිනට් මණ්ඩලයද අනුමත කර ඇති ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශය වන ‘පොහොසත් රටක් ලස්සන ජීවිතයක්’ යන ප්‍රතිපත්ති ප්‍රකාශයේ ජනමාධ්‍ය සම්බන්ධයෙන් ඇති ‘නිදහස් ජනමාධ්‍ය කර්මාන්තයක් සමබර තොරතුරු සමාජයක්’ යන කොටසේද මූලධර්ම යටතේ සඳහන් කරන්නේ, ජනතාවට සත්‍ය හා නිවැරදි තොරතුරු දැන ගැනීමේ අයිතිය, මානවවාදී වගකීම් සහගත මාධ්‍ය කර්මාන්තයක්, ජනමාධ්‍ය නිදහස සහ ස්වාධීනත්වය හා ජනමාධ්‍ය අවකාශය පොදු මහජන දේපලක් බවට පත්කරන බවයි.

එහෙත් පොදු මහජන දේපලක් වන රජයේ මාධ්‍ය දේශපාලන ග්‍රහණයෙන් මුදා ඒවායේ ස්වාධීන පැවැත්ම තහවුරු කිරීම සම්බන්ධයෙන් පැවති ආණ්ඩු වාගේම මෙම ආණ්ඩුවද කිසිවක් කියන්නේ නැත. ලේක්හවුස් ආයතනයේ සිළුමිණ හා දිනමිණ පුවත්පත් සඳහා කර්තෘවරුන් පත් කිරීම සඳහා ප්‍රසිද්ධ දැන්වීම් පළකර ආණ්ඩුව කළ විගඩම එයට හොඳ උදාහරණයකි. අවසානයේ ඒවායේ කර්තෘවරුන් ලෙස පත්කළේ ජවිපෙ ඉහළම තනතුරු දැරූවෙකු හා ජවිපෙ උග්‍ර ක්‍රියාකාරිකයෙකි. ඔවුන් එම තනතුරු සඳහා තෝරා ගත්තේ කුමන පදනමකින්ද යන්න පැහැදිලි කළේ නැත.

ආණ්ඩුව රාජ්‍ය මාධ්‍ය දියුණු කිරීමට යැයි කියා ද්වි පාර්ශ්වික ගිවිසුම් අත්සන් කරන්නේද, ජනමාධ්‍ය නිදහස මෙන්ම පුද්ගල නිදහසද වළ දමා ඇති චීනයේ ජනමාධ්‍ය ආයතන සමගය. එම ගිවිසුම්වල අඩංගු වන්නේ කුමක්ද කියාද ආණ්ඩුව රටට කීවේ නැත.

ඉහත සඳහන් කළ ජනමාධ්‍ය වැය ශීර්ෂයේදී ආණ්ඩුව පාර්ශ්වයෙන් ප්‍රකාශයට පත්කළ මාධ්‍යයට අදාළ ප්‍රතිසංස්කරණ මෙම ආණ්ඩුව සකස් කළ ඒවා නොවේ. ඒවා බොහොමයක් යහපාලන ආණ්ඩුව කාලයේ සිටම රනිල් වික්‍රමසිංහ මහතා විසින් ඔහුගේ හෙංචයියන් ලවා ඒක පාර්ශ්වීයව කෙටුම්පත් කරන ලද ඒවාය. එම කෙටුම්පත් තිබුණේ ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලිපිගොනු තුළය. මෙම ආණ්ඩුව ඔවුන්ගේ ලෙස ක්‍රියාත්මක කරන්නට යන්නේ ජනමාධ්‍ය සමාජයේ විරෝධයට හේතු වූ එම ප්‍රතිසංස්කරණය. දැන ගන්නට ලැබී ඇති ආකාරයට ඒ සම්බන්ධයෙන් මෙම ආණ්ඩුවේ උපදේශකයන් වී සිටින්නේද රනිල් වික්‍රමසිංහ වෙනුවෙන් සේවය කළ එම පිරිසමය. රනිල් වික්‍රමසිංහගේ ආණ්ඩුවක් නොවන තත්වයකදී ඔවුන්ට තවත් අරමුණක් තිබේ. ඒ මාධ්‍ය ප්‍රතිසංස්කරණ වෙනුවෙන් ජාත්‍යන්තරයෙන් ඔවුන්ගේ ආයතනවලට ලබා ගන්නා මුදල් වෙනුවෙන් ඊට අදාළ කටයුතු කර පෙන්නීමය. ජනමාධ්‍ය අමාත්‍යාංශයේ නිලධාරීන්ට වෙනත් පාර්ශ්වයක් මුදල් වැයකර සාදා දෙන මෙවැනි අවස්ථා ඔවුන්ගේ ජාම බේරා ගැනීම සඳහා උපකාරි වේ. වත්මන් ආණ්ඩුවේ කටයුතු ලෙස මේ සිදුවෙමින් පවතින්නේ එයයි.

අයවැය විවාදයේදී ආණ්ඩුව තමන්ගේ වාගේ කියූ ‘ශ්‍රී ලංකා වරලත් මාධ්‍ය වෘත්තිකයන්ගේ ආයතනය’ ස්ථාපිත කිරීම පිණිස පනත් කෙටුම්පතක් සකස් කිරීම සඳහා රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් කැබිනට් මණ්ඩල තීරණය ගනු ලැබුයේ 2022.08.15 දිනදීය. ඒ සම්බන්ධයෙන් වන කැබිනට් මණ්ඩල තීරණයේ මෙසේ සඳහන් විය.

‘ජනමාධ්‍ය ක්ෂේත්‍රයේ සේවයේ නියුතු මාධ්‍යවේදීන්ගේ වෘත්තීය භාවය ඉහළ නැංවීමේ අරමුණින් ‘‘ ශ්‍රී ලංකා වරලත් ජනමාධ්‍යවේදී ආයතනය’’ ස්ථාපිත කිරීම පිණිස 2021-10-05 දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී අනුමැතිය ලබාදෙන ලදි. ඒ අනුව, අදාළ කටයුතු සම්පාදනය කිරීම පිණිස ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම්ගේ ප්‍රධානත්වයෙන් පත්කරනු ලැබ ඇති මෙහෙයුම් කමිටුව විසින් එකී ආයතනය ස්ථාපිත කිරීමට අදාළව පිළියෙල කරනු ලැබ ඇති දළ කෙටුම්පත මත පදනම්ව නීති කෙටුම්පත් සම්පාදක දෙපාර්තමේන්තුව මගින් පනත් කෙටුම්පතක් සකස් කිරීමටත්, මීට පෙර යෝජනා කරන ලද ‘‘ ශ්‍රී ලංකා වරලත් ජනමාධ්‍යවේදී ආයතනය’’ වෙනුවට යෝජිත ආයතනයේ නාමය ‘‘ශ්‍රී ලංකා වරලත් මාධ්‍ය වෘත්තිකයන්ගේ ආයතනය’’ වශයෙන් සංශෝධනය කිරීමටත් ජනමාධ්‍ය අමාත්‍යතුමා විසින් ඉදිරිපත් කරන ලද යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදි.’

එමෙන් ආණ්ඩුව උජාරුවෙන් කී වෙබ්අඩවි ලියාපදිංචිය ඇතුළු විද්‍යුත් මාධ්‍ය සඳහා විකාශන අධිකාරි පනතක් හඳුන්වා දීම සඳහා අමාත්‍ය මණ්ඩල තීරණයක් ගත්තේ 2022.09.22 දිනදීය. එහි විද්‍යුත් මාධ්‍ය සඳහා විකාශන අධිකාරි පනතක් හඳුන්වා දීම යටතේ මෙසේ සඳහන් වේ.

‘ශ්‍රී ලංකාව තුළ රූපවාහිනී, ගුවන්විදුලි හා නව මාධ්‍යයන්හි අන්තර්ගතයන් නියාමනය කිරීම සඳහා දැනට මූලික නීතියක් නොමැති අතර ඒ හේතුවෙන් එවැනි මාධ්‍යයන් සඳහා බලපත්‍ර නිකුත් කිරීමේදී මෙන්ම එකී මාධ්‍යයන් විසින් ශ්‍රව්‍ය දෘශ්‍ය අන්තර්ගතයන් විකාශනය කිරීමේදී ඇතැම් විට විවිධ පාර්ශ්වයන්ට නොයෙකුත් ගැටලූවලට මුහුණ පෑමට සිදුව ඇත. ඇතැම් මාධ්‍යයන් සදාචාර විරෝධි අයුරින් ජනතාව තුළ වෛරී අදහස් ඉස්මතු වන ආකාරයෙන් කටයුතු කිරීම හේතුවෙන් මෑත කාලයේදී රට තුළ විවිධ ගැටලූ මතුව තිබේ. එබැවින්, භාෂණයේ සහ ප්‍රකාශනයේ උපරිම නිදහස ආරක්ෂා කරමින් තාක්ෂණික මෙන්ම නෛතික ක්ෂේත්‍රයන්හි දැනට සිදුවෙමින් පවතින වෙනස්කම්ද සැලකිල්ලට ගනිමින්, මහජනතාවට වග වන මාධ්‍ය සංස්කෘතියක් ඇති කිරීමට හා විද්‍යුත් මාධ්‍ය සඳහා ආචාරධර්ම පද්ධතියක් හඳුන්වා දීමට හැකි වන අයුරින් නව විකාශන නීතියක් හඳුන්වා දීම පිණිස ජනමාධ්‍ය ඇමතිතුමා විසින් ඉදිරිපත් කරන ලද යෝජනාව සැලකිල්ලට ගෙන, ඒ සඳහා වන යෝග්‍ය නිර්දේශ ඉදිරිපත් කිරීම පිණිස අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ ඇමතිතුමාගේ සභාපතිත්වය යටතේ අමාත්‍ය මණ්ඩල අනුකමිටුවක් පත් කිරීමට අමාත්‍ය මණ්ඩලය විසින් තීරණය කරන ලදි.’

එය තවදුරටත් ඉදිරියට ගෙන යමින් ‘විද්‍යුත් මාධ්‍ය සඳහා විකාශන නියාමන කොමිෂන් සභා පනත’ හඳුන්වාදීම සඳහා අමාත්‍ය මණ්ඩල තීරණය ගත්තේ 2023.11.20 දිනදීය. එහි මෙසේ සඳහන් කර ඇත.

‘භාෂණයේ සහ ප්‍රකාශනයේ නිදහස උපරිමයෙන් සුරක්ෂිත කරමින් ප්‍රශස්ත මාධ්‍යකරණයක් තහවුරු කිරීම අරමුණු කර ගනිමින් විද්‍යුත් මාධ්‍ය සඳහා විකාශන නියාමන කොමිෂන් සභා පනතක් හඳුන්වා දීම පිණිස පනත් කෙටුම්පතක් සකස් කිරීම සඳහා ජනමාධ්‍ය අමාත්‍යතුමා විසින් ඉදිරිපත් කරන ලද යෝජනාව 2022-09-22 දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී සාකච්ඡාවට ගන්නා ලදී. එහිදී, යෝජිත පනත් කෙටුම්පත සකස් කිරීමේදී අවධානය යොමු කළ යුතු ප්‍රතිපත්තිමය කරුණු කවරේද යන්න පිළිබඳව නිර්දේශ ඉදිරිපත් කිරීම සඳහා අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ ඇමතිතුමාගේ ප්‍රධානත්වයෙන් අමාත්‍ය මණ්ඩල අනුකමිටුවක් පත් කරන ලද අතර, එකී කමිටුව විසින් යෝජිත විකාශන නියාමන කොමිෂන් සභා පනත් කෙටුම්පත සකස් කිරීම පිණිස පදනම් කර ගැනීම සඳහා සුදුසු විධිවිධාන සහිතව මූලික කෙටුම්පතක් පිළියෙල කර තිබේ. එකී මූලික කෙටුම්පත මත පදනම්ව පනත් කෙටුම්පතක් සකස් කරන ලෙස නීති කෙටුම්පත් සම්පාදකට උපදෙස් දීම පිණිස ජනමාධ්‍ය අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදි.’

ඒ නිසා වගකීම් සහගත යහපත් මාධ්‍ය සංස්කෘතියක් රටතුළ ස්ථාපිත කිරීම සඳහා ආණ්ඩුව පළමුවෙන් කළ යුත්තේ රනිල් වික්‍රමසිංහගේ මාධ්‍ය දරුවන්ට උප්පැන්න ලිවීම නොව, ජනමාධ්‍ය කර්මාන්තයේ පාර්ශවකරුවන් සමඟ ඵලදායි සාකච්ඡාවක් කර ගැටළු හඳුනාගෙන ඒ සඳහා සාමූහිකව සහ එකඟත්වයෙන් විසඳුම් සෙවීමය.

ආණ්ඩුව සිය ප්‍රතිපත්ති ප්‍රකාශනයේ සඳහන් කර ඇති ‘මාධ්‍ය නිදහස පිළිගනිමින්, දැනට පවත්නා මාධ්‍ය නීති, අණපනත්, සම්මුතීන්, ආචාරධර්ම සමාලෝචනය කර ප්‍රශස්ත මාධ්‍ය ප්‍රතිපත්තියක් සඳහා අවශ්‍ය සංශෝධන’ කාගේත් පිළිගැනීමට ලක්වනු ඇත්තේ එවිටය.

නැතහොත් සිදුවනු ඇත්තේ නීතිය අනුව වෙන කරන්නට දෙයක් නැති නිසා යම් යම් අවස්ථාවල අවනත වීමක් ඇතත්, ජනමාධ්‍ය සමාජයේ පිළිගැනීමක් නැති තවත් ‘පුවත්පත් මණ්ඩල නීතියක්’ බවට ආණ්ඩුව ඒකපාර්ශ්වීයව ගෙන එන මෙම මාධ්‍ය ප්‍රතිසංස්කරණ පත්වීම පමණය.

* අනිද්දා පුවත්පතේ නියෝජ්‍ය සංස්කාරක, ලසන්ත රුහුණගේ විසින් රචිත මෙම ලිපිය මුල්වරට 2025 මාර්තු 16 ඉරිදා ‘අනිද්දා’ පුවත්පතේ පළවිය.

ලසන්ත රුහුණගේ | Lasantha Ruhunage