iMage: Generate by GenAI

ලෝකයේ අද වන විට ඉතාම වේගෙයන් සහ තියුණුව වර්ධනය වන එක් ක්ෂේත්‍රයක් වන්නේ උත්පාදක කෘතීම බුද්ධිය(Generative AI) තාක්ෂණික ක්ෂේත්‍රයයි. එය ඇතැම්විට මිනිසාට සිතා ගැනීමට නොහැකි මට්ටමේ තියුනු දියුණුවක් අත්කර ගනිමින් සිටින අතර මිනිස් සමාජයේ දියුණුවට ඉතාවැදගත් කාර්යාභාරයක් ඉටුකල හැකි අතර, එහි මිනිස් සමාජය දුර්වල කරන කලාපයක් ද එහි තිබේ. විශේෂයෙන් පෞද්ගලිකත්වයට ඇති අයිතිය, Disinformation පැතිරවීම පහසු කරවීම ආදී අවධානම් සහ හානිකර කලාපයක් ද එහි වෙයි. (ඒ සදහා වගකිව යුත්තේ තාක්ෂණය නොව එය භාවිතා කරන මිනිසා බව අවධාරණය කරමි)

උත්පාදක කෘතීම බුද්ධිය යනු දත්ත භාවිතා කරමින්, අන්තර්ගතයන් හෝ ආකෘති උත්පාදනය කිරීමට හැකියාව ඇති දියුණු තාක්‍ෂණයකි. මෙම තාක්‍ෂණය මගින් පෙර ඉගෙන ගත් දත්ත මත පදනම්ව, මුල් සහ නව අන්තර්ගතයන් (text, images, audio, video, code, ආදිය) සාදා ගත හැකිය. Generative AI හි ප්‍රධාන ලක්ෂණ කිහිපයක් නම්, නව අන්තර්ගතයන් සාදා ගැනීමට ඇති හැකියාව(ඇතැම් අවස්ථාවන් හී දී මෙය මෙතෙක් ලොව නොතිබූ තත්ත්වයකි), ස්වයං-ඉගෙනීම තුළින් AI මොඩල් පුළුල් දත්ත සමූහයක් මත පුහුණු වී, ඒවායේ රටා හඳුනා ගැනීම සහ විශේෂයෙන් බහු-මාධ්‍ය අන්තර්ගතයන් (Text, Image, Voice, Video) උත්පාදනය කිරීමට හැකියාව තිබීම එම සුවිශේෂී ලක්ෂණ ලෙස සැළකිය හැකිය. උත්පාදක AI යනු AI තාක්‍ෂණයේ වේගයෙන් වර්ධනය වන ක්ෂේත්‍රයක් වන අතර, එය අනාගතයේදී බොහෝ ක්ෂේත්‍රවලට විප්ලවීය වෙනස්කම් ගෙන එමින් ඇත. මෙම තාක්ෂණික දියුණුවත් සමග ලෝකය පුරා ඉතා දැඩි ලෙස සාකච්ඡාවට ලක් කර තවත් ක්ෂේත්‍රයක් වන්නේ Deepfake ය.

Deepfake යනු AI-පදනම් කළ තාක්ෂණයක් වන අතර, එය රූප, වීඩියෝ, හෝ ශබ්ද විකෘති කරමින් ඒවා ‘සත්‍ය’ ලෙස පෙනෙන පරිදි ඉතාමත තියුණු ලෙස සකසයි. එහිදී සත්‍ය-අසත්‍යතාවය හදුනාගැනිමට ඉතාමත් දුෂ්කර වනු ඇත. මෙයට ද උත්පාදක කෘතීම බුද්ධිය (Generative AI) තාක්‍ෂණය භාවිතා කරයි. එය මගින් තාත්වික පුද්ගලයකුගේ මුහුණ, කටහඬ හෝ ක්‍රියාකාරකම් ඉතා නිවැරදිව අනුකරණය කරයි. එබැවින් Deepfake මේ වන විට ලොව පුරා අතිශය ගැඹුරු ප්‍රශ්ණ රාශියක් නිර්මානය කරමින් ඇත. එමගින් සත්‍ය ලෝකය හදුනාගැනීමට මෙය විශාල අභියෝගයක්ව පවතී. විශේෂයෙන් මුහුණු වෙනස් කිරීමට මෙය යොදා ගැනීම බහුලව දක්නට ලැබෙන සුලභ එහෙත් බියකරු උදාහරණයකි.

කෙසේ වෙතත් මෙම තාක්ෂණයන් කලාව, අධ්‍යාපනය, සහ ව්‍යාපාරික ක්ෂේත්‍රවල නවෝත්පාදනයට දායක වුවත්, එහි අනිසි භාවිතයෙන් බරපතල සමාජ ගැටලු මතු වී ඇත. ශ්‍රී ලංකාවේ මාධ්‍ය වාර්තා කළ “AI තාක්ෂණය යොදාගෙන නිරුවත් ඡායාරූප සකස් කර සමාජ මාධ්‍ය ඔස්සේ බෙදාගැනීම” වැනි සිදුවීම් මෙයට උදාහරණයකි. ළමා ආරක්ෂක අධිකාරිය මෙය බරපතල ලෙස සලකා ඇත. එය පෞද්ගලිකත්වයට ඇති අයිතිය, ආචාරධර්ම, සහ මානව හිමිකම්වලට තර්ජනයක් බවට පත්ව ඇත. AI හි බලපෑම පාලනය කිරීමට ආචාරධර්ම භාවිතයේ වැදගත්කම නැවත නැවත අවධාරණය කළ යුතු වන්නේ එමනිසාය.

විශේෂයෙන් ස්ත්‍රීන්ගේ මුහුණු භාවිතා කරමින් නිරුවත් ශරීරයන් එයට බද්ධ කර නිපදවන නව ඡායාරූප මීට කළකට පෙර සකසන ලද්දේ යම් පමණක් දුෂ්කර කාර්යයකින් පසුවය. එනම් පොටෝෂොප් වැනි මෘදුකාංග භාවිතා කිරීමෙනි. එයට මෘදුකාංග පිළිබද දැනුමක් තිබිය යුතුමය. නමුත් මේ වන විට Generative AI භාවිතා කරමින් යම් පමණක අන්තර්ජාලය සහ පරිගනක දැනුමක් ඇති ඕනෑම කෙනෙක්ට එවැනි අන්තර්ගතයක් නිර්මාණය කිරීමට හැකියාව ඇත. මෙය පෞද්ගලිකත්වයට ඇති අයිතිය ඇතුලු මානව හිමිකම් සහ ආචාරධර්ම පිළිබද එතරම් නොතකන සමාජයකට අතිශයින් දරුණු තත්ත්වයක් උදාකරනු ඇත.

පෞද්ගලිකත්වයට ඇති අයිතියට එල්ල වන තර්ජනය

Deepfake තාක්ෂණයෙන් පුද්ගලයන්ගේ පෞද්ගලිකත්වයට බරපතල තර්ජනයක් එල්ල වේ. එය ලෝකය පුරා සිදුවෙමින් ඇත අතර එය විසදා ගැනීමේ අභියෝගයට අද ලෝක මුහුණ දී ඇත. පෞද්ගලිකත්වය යනු විශ්ව මානව අයිතිවාසිකම් ප්‍රකාශනයේ (UDHR) 12 වන වගන්තියේ සඳහන් මූලික අයිතියකි. Generative AI හි පහසු භාවිතයෙන් Deepfake රූප සැකසීම තුළින් මෙම අයිතිය උල්ලංඝනය වන අතර, ශ්‍රී ලංකාවේ ඩිජිටල් සාක්ෂරතාවය සහ විශේෂයෙන් සමාජ වටිනාකම් පිළිබද දැනුම අඩු වීම මෙය තවත් උග්‍ර කරයි.

ආචාරධර්ම පිළිබඳ ගැටලු සහ එහි වැදගත්කම

Generative AI සහ Deepfake තාක්ෂණයේ අනිසි භාවිතයෙන්, පෞද්ගලිකත්වයට හානි කරන, ආචාර්ධාර්මික නොවන අන්තර්ගතයන් නිසා සමාජයට බරපතල බලපෑමක් ඇති කරයි. ආචාරධර්ම යනු තාක්ෂණයේ සීමාවන් පාලනය කරමින්, සමාජ යහපත තහවුරු කරන මූලධර්මයක් වන අතර එය සමාජ වගකීම වෙනුවෙන් පෙනී සිටි. පෞද්ගලිකත්වයට ඇති අයිතිය ආරක්ෂා කරමින් එය ප්‍රවර්දනය කරයි. එමනිසා නීතිවලට වඩා/ නීති සමග ආචාරධර්ම භාවිතය පිළිබද සංවේදී වීම මෙම ගැඹුරු ප්‍රශ්නයට දියුණු විසදුමක් සපයයි. Generative AI මගින් සකස් කළ එවැනි අන්තර්ගතය බෙදාහැරීමෙන් පුද්ගලයන්ගේ ගෞරවය, සමාජ තත්ත්වය, සහ පවුල් ජීවිතයට හානි වන අතර, විශේෂයෙන් තරුණියන් හා ළමයින් මෙයින් පීඩා විඳිති.

Generative AI සහ Deepfake භාවිතයේදී “එකගතාවය” (Consent), “හානි නොකිරීම” (Non-maleficence), “ගෞරවය” (Respect), සහ “විනිවිදභාවය” (Transparency) වැනි ආචාරධර්ම පදනම් මූලධර්ම අනුගමනය කිරීම අත්‍යවශ්‍යය. UNESCO හි AI Ethics Guidelines (2021) මෙය තහවුරු කරන අතර, AI සමාජ යහපතට පමණක් යෙදිය යුතු බව සඳහන්ය. (UNESCO AI Ethics). ආචාරධර්මවල වැදගත්කම නැවත අවධාරණය වන්නේ, එය නොමැතිව පුද්ගලයන්ගේ ගෞරවය හා සමාජ විශ්වාසය බිඳ වැටෙන බැවිනි. ශ්‍රී ලංකාවේදී ‘සමාජ මාධ්‍ය ප්‍රකාශනය’ විසින් Generative AI භාවිතා කරමින් අන්තර්ගතයන් නිශ්පාදනය කිරීමේදී වඩා සැළකිලිමත් විය යුතු කරුණු 5ක් ඉදිරිපත් කරයි. 1. විනිවිදභාවය 2. නිරවද්‍යතාවය 3. වගවීම 4. අයිතීන්ට ගරුකිරීම 5. විශේෂඥයන් සම්බන්ධ කර ගැනීම. මෙයින් එම ප්‍රකාශනය මූලිකවම බලාපොරොත්තු වන්නේ ‘මානව හිමිකම් පදනම් කරගනිමින්’ Generative AI තාක්ෂණය භාවිතා කිරීමට අන්තර්ගතයන් නිශ්පාදනය කරන්නන් දිරි ගැන්වීමය. (වැඩිදුර තොරතුරු සදහා පිවිසෙන්න.https://www.socialmedialanka.org/declaration/)


සමාජයට එල්ල වන බලපෑම

Generative AI සහ Deepfake හි අනිසි භාවිතය තුළින් Disinformation පැතිරවීම, මානසික හිංසනය, සහ සමාජ බෙදීම් ඇතිවන බව වේ වන විට ඔප්පු වෙමින් තිබේ. Generative AI හරහා සමාජ මාධ්‍යවල පතුරුවන Deepfake ඡායාරූප හා වීඩියෝ පුද්ගලයන්ට සමාජයෙන් හුදකලා වීමේ තර්ජනයක් ඇති කරන අතර, තරුණ පරපුර, ස්ත්‍රීන්, සමාජභාවී පුද්ගලයින් එමගින් ගොදුරු බවට පත්වන අතර ඔවුන් දැඩි ලෙස එයින් පීඩාවට පත් කරයි. Generative AI හි බලයෙන් නිපදවන Deepfake අන්තර්ගතය ‘සත්‍ය’ ම ලෙස පෙනෙන බැවින්, එය සමාජ විශ්වාසය බිඳ වැටීමට හේතු වේ. මෙය මානසික සෞඛ්‍යයටද බලපාන අතර, ශ්‍රී ලංකාවේදී මෙය සමාජ සමගියට, මෙන්ම ප්‍රජාතන්ත්‍රීය වටිනාකම්වලට ද දැඩි තර්ජනයකි. එම තාක්ෂණය ආචාරධර්මවලට අනුකුළව භාවිතා කිරීමේ වැදගත්කම නැවත පෙන්වන්නේ, එය තුළින් මෙම අනිසි බලපෑම් පාලනය කිරීමට විශාල විභවයක් ඇති බවයි.

Generative AI ප්‍රතිලාභ

අප විසින් සාකච්ඡා කල Generative AI හි අවධානම් සහ අවාසි තත්ත්වයන් තිබුණා වුවද, එහි ධනාත්මක බලපෑම සමාජයට අතිමහත් වාසි ගෙන දෙනු ලබයි. කලාව හා නිර්මාණශීලීත්වයට එය විසින් දෙනු ලබන දායකත්වය අතිශයින් වැදගත්ය. DALL·E, MidJourney උදාහරණ දෙකක් පමණි. එසේම Generative AI මගින්, උදාහරණයකට ChatGPT/DeepSeek වැනි මෙවලම් භාවිතා කරමින් සිසුන්ට පෞද්ගලික ඉගෙනුම් අත්දැකීම් ලබා දිය හැකි අතර, ගුරුවරුන්ට පාඩම් සැලසුම් කිරීමට ද මෙය උපකාර වේ. වෛද්‍ය පර්යේෂණවලදී සංකීර්ණ රෝග විශ්ලේෂණය සදහා ද මෙයින් සළසන දායකනත්වය සුවශේෂීය. පර්යේෂකයන් විසින් Generative AI යොදාගෙන පිළිකා හඳුනාගැනීමේ නව ක්‍රමයක් සොයා ගත් බවට පසුගිය කාලයේ වාර්තා වීම එක් උදහරණයක් පමණි.

Generative AI මගින් නව නිෂ්පාදන සැලසුම් (Product Design) සහ වෙළඳ ප්‍රචාරණ අන්තර්ගතය නිර්මාණය කිරීමේදී වේගවත් හා ලාභදායී විසඳුම් කරා යාමට ව්‍යාපාරික ප්‍රජාව පොළඹබවීම රටක ආර්ථිකයේ දියුණුවට විශාල දායකත්වයක් සපයයි.

එබැවින් Generative AI හි මෙම ප්‍රතිලාභ මිනිස් ජීවිතයේ ගුණාත්මකභාවය ඉහළ නංවන අතර, නවෝත්පාදනයට ඉඩ සලසයි. නමුත් එහි ධනාත්මක බලපෑම උපයෝගී කර ගැනීමට ආචාරධර්මික භාවිතය අත්‍යවශ්‍යය බව අප අමතක නොකල යුතුය.

විසඳුම්

Generative AI සහ Deepfake හි අනිසි භාවිතයට එරෙහිව විසඳුම් යෝජනා කිරීමේදී ආචාරධර්මවල වැදගත්කම නැවත නැවත අවධාරණය කළ යුතුය. නමුත් නීතිමය රාමු පිළිබද තත්ත්වයන් ද ලෝකයේ දක්නට ඇත. යුරෝපා සංගමයේ AI Act (2024) Generative AI හා Deepfake භාවිතය නියාමනය කිරීම සදහා ගොඩනගා ගත් නීති රාමුවකි. එය AI තාක්‍ෂණයේ භාවිතයන් නිර්ණය කිරීම, අවදානම් කළමනාකරණය සහ මූලික මානව අයිතිවාසිකම් ආරක්ෂා කිරීම සඳහා නිර්මාණය වී ඇත. මෙහිදී ද මානව අයිතිවාසිකම්, පෞද්ගලිකත්වය සහ දත්ත ආරක්ෂාවට ගරු කළ යුතු අතර පාරදෘෂ්‍යතාවය (Transparency) සහ වගවීම තහවුරු කිරීම ආදී කරුණු ප්‍රධාන භුමිකාවක් ඉටු කරනු ඇත. කෙසේ නමුත්, ශ්‍රී ලංකාවේදී ජනතාවට Generative AI සහ ආචාරධර්ම පිළිබද පුහුණු කිරීම අත්‍යවශ්‍යය වනු අත. ශ්‍රී ලංකාවේ පාසල්, විශ්වවිද්‍යාල, සහ ප්‍රජා මට්ටමින් මෙය ආරම්භ කිරීම සිදුකළ යුතු අතර එසේ නොවුන හොත් නව ආණ්ඩුවේ ඩිජිටල් සංකල්පය ට ද මෙයින් බලපෑමක් එල්ල විය හැකිය. එබැවින් ඩිජිටල් සාක්ෂරතාව වැඩිදියුණු කිරීමට ශ්‍රී ලංකාව ප්‍රමුඛතාවය දියයුතු අතර ප්‍රජා මට්ටමින් Generative AI ආචාරධර්ම මෙන්ම ආරක්ෂාව පිළිබද ඉගැන්වීම වඩා ඵලදායකය.

Generative AI තාක්ෂණයේ වාසි අතිමහත් වුවත්, එහි අනිසි භාවිතය(මිනිසා විසින්) හේතුවෙන් පෞද්ගලිකත්වය ඇතුලු ප්‍රජාතන්ත්‍රවාදී වටිනාකම්වලට එල්ල වන තර්ජනය බරපතලය. එබැවින් ආචාරධර්මවල වැදගත්කම නැවත නැවත අවධාරණය කළ යුත්තේ, එය නොමැතිව මෙම දියුණු තාක්ෂණයන් සමාජ විනාශයකට හේතු විය හැකි බැවිනි. ජාත්‍යන්තර උදාහරණවලින් පාඩම් උකහා ගනිමින්, නීතිමය, තාක්ෂණික, සහ සමාජීය විසඳුම් ශ්‍රී ලංකාව තුළ ක්‍රියාත්මක කළ යුතු අතර, Generative AI හි ධනාත්මක බලපෑම සමාජ යහපතට සහ සංවර්ධනයට උපයෝගී කර ගැනීමට ආචාරධර්මික භාවිතය තුළ ක්‍රියා කිරීම අත්‍යවශ්‍ය වන අතර, එය සමාජයේ ඒකායන වගකීමකි. මෙම තත්ත්වයන් සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව සිටින්නේ සැලකිය යුතු මට්ටමක පසුපසිනි. එය කණගාටුවට කරුණකි.

*මෙම ලිපිය මුල් වරට පසුගිය මාර්තු 16 ‘අනිද්දා’ පුවත්පතේ පළවිය.

සම්පත් සමරකෝන් | Sampath Samarakoon