ශ්‍රී ලංකාවේ පැවති සිවිල් යුද්ධයේදී සිදු වූ අපරාධවලට සම්බන්ධ බවට චෝදනා එල්ල වූ පුද්ගලයින් සිව්දෙනෙකුට එරෙහිව සම්බාධක පැනවීමෙන් ශ්‍රී ලංකාවේ වගවීම ප්‍රවර්ධනය කිරීමට පියවර ගෙන තිබෙන බව මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් පසුගිය මාර්තු 24දා එක්සත් රාජධානිය විසින් පවසා තිබිණි. (here)

එක්සත් රාජධානියේ විදේශ ලේකම් ඩේවිඩ් ලැමී පසුගිය සඳුදා (2025 මාර්තු 24) ප්‍රකාශ කර ඇත්තේ, “එක්සත් රාජධානි රජය ශ්‍රී ලංකාවේ මානව හිමිකම් වෙනුවෙන් කැපවී සිටින අතර, මානව හිමිකම් උල්ලංඝනයන් සඳහා වගවීමක් ඇති කිරීමට උත්සාහ කරනවා. මෙම උල්ලංඝනයන් අදටත් ප්‍රජාවන්ට බලපෑම් කරනවා” යනුවෙනි. මෙම සම්බාධකවලට එක්සත් රාජධානියට ඇතුළු වීම තහනම් කිරීම සහ වත්කම් අත්හිටුවීම ඇතුළත් වේ.

සම්බාධකවලට ලක්වූවන්

සම්බාධකවලට ලක්වූවන් අතර හිටපු යුද හමුදාපතිවරයෙක් වන ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා ද මෙම ලැයිස්තුවට නම් කර ඇත. ඔහු යුද්ධයේ අවසන් අදියරේදී ශ්‍රී ලංකා හමුදාවේ 58 වැනි බල ඇණියේ අණදෙන නිලධාරියා වූ අතර, බලහත්කාරයෙන් අතුරුදන් කිරීම් සහ දෙමළ සිවිල් වැසියන් ඝාතනය කිරීමට සම්බන්ධ බවට චෝදනා එල්ල වී තිබේ. එසේම, හිටපු නාවික හමුදාපති වසන්ත කරන්නාගොඩට ද සම්බාධක පනවා ඇත. 2008-2009 කාලයේදී නාවික බුද්ධි අංශ නිලධාරීන් විසින් තරුණයින් 11 දෙනෙකු පැහැරගෙන ගොස් වධහිංසා පමුණුවා ඝාතනය කර වූ බවට ඔහුට චෝදනා එල්ල වූවත්, 2021දී ශ්‍රී ලංකා රජය ඔහුට එරෙහි චෝදනා ඉවත් කර ඔහු වයඹ පළාත් ආණ්ඩුකාරවරයා ලෙස පත් කළේය. මෙම දෙදෙනාම එක්සත් ජනපදය විසින් ද සම්බාධකවලට ලක් කර ඇත.

තවත් සම්බාධකයට ලක්වූවෙකු වන්නේ හිටපු හමුදාපති ජෙනරාල් ජගත් ජයසූරියයි. ඔහු ජෝශප් කඳවුරේ අණදෙන නිලධාරියා ලෙස කටයුතු කළ අතර, එහිදී වධහිංසා, ලිංගික හිංසන සහ බලහත්කාරයෙන් අතුරුදන් කිරීම් සිදු කල බවට ඔහුට චෝදනා එල්ල වී තිබේ. අවසාන වශයෙන්, විනයාගමූර්ති මුරලිතරන් හෙවත් කරුණා අම්මාන් ද සම්බාධකවලට ලක්ව ඇත. ඔහු එල්ටීටීඊ හි හිටපු අණදෙන නිලධාරියෙකු වූ අතර, 2004දී රජයට සහය දක්වන අර්ධ හමුදාවක් පිහිටුවීය. ඔහු ළමා සොල්දාදුවන් බඳවා ගැනීමට සහ දෙපාර්ශවය වෙනුවෙන්ම කෙටිකාලීන ඝාතන සිදු කළ බවට චෝදනා එල්ල වේ. යුද්ධයෙන් පසු ඔහු රජයේ අමාත්‍යවරයෙකු බවට පත් විය.

ශ්‍රී ලංකා රජයේ ප්‍රතිචාරය

පසුගිය බදාදා (2025 මාර්තු 26) දින ශ්‍රී ලංකා රජය එක්සත් රාජධානියේ සම්බාධකවලට ප්‍රතිචාර දක්වමින් විජිත හේරත්, විදේශ අමාත්‍යවරයා පවසා සිටියේ, “අදාළ පුද්ගලයන් සතුව එරට ඇති වත්කම් අත්හිටුවීම සහ ඔවුන්ට එරටට ඇතුළුවීම තහනම් කිරීම ඇතුළත් මෙම සම්බාධක එක්සත් රාජධානියේ රජය විසින් ගන්නා ලද ඒකපාර්ශ්වික පියවරක් බව විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශය අවධාරණය කරයි. රටවල් විසින් ගනු ලබන එවැනි ඒකපාර්ශ්වික පියවර ශ්‍රී ලංකාවේ දේශීය සංහිඳියා ක්‍රියාදාමයට කිසිදු සහයක් නොදක්වන අතර තත්ත්වය තවදුරටත් ව්‍යාකූල කිරීමට ඉවහල් වන බව නිරීක්ෂණය වේ.” යනුවෙනි.(here)

වගවීම දේශීය යාන්ත්‍රණයන් ඔස්සේ සිදු කළ යුතු බවත්, එම යාන්ත්‍රණ ශක්තිමත් කිරීමට තමන් කටයුතු කරමින් සිටින බවත් තව දුරටත් ඔහු සදහන් කරයි. නමුත්, ශ්‍රී ලංකාවේ ඉතිහාසය පෙන්වා දෙන්නේ, යුද්ධයෙන් පසු බොහෝ විට එවැනි යාන්ත්‍රණ අසාර්ථක වූ බවයි. උදාහරණයක් ලෙස, පසුගිය ‘යහපාලන’ ආණ්ඩුව සමයේ ආරම්භ කල ‘අතුරුදහන් වූ තැනැත්තන් පිළිබඳ කාර්යාලය’ කදිම උදාහරණයකි.

ජාත්‍යන්තර ප්‍රයත්න

එක්සත් රාජධානිය, එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ ප්‍රධාන රටවල් සමූහයකට අයත් වන අතර, ශ්‍රී ලංකාවේ සිදු වූ අපරාධවලට වගවීම ඉල්ලා යෝජනා මාලාවක් සාර්ථකව ඉදිරිපත් කර ඇත. මෙම යෝජනා මගින් සාක්ෂි රැස් කිරීම සහ යුක්තිය ඉටු කිරීමට මූළිකත්වය දෙනු ලබයි. කෙසේ නමුත් ශ්‍රී ලංකාව වගවීම සඳහා කිසිදු උත්සාහයක් නොගන්නා තාක් කල්, ජාත්‍යන්තර ප්‍රයත්න ඉතා වැදගත් වනවා පමණක් නොව එය වින්දිතයාගේ යුක්තිය පිළිබද බලාපොරොත්තුවට විශාල ශක්තියක් වනු ඇත. විදේශ රටවල් විසින් ඉලක්කගත සම්බාධක පැනවීමත්, එක්සත් ජාතීන් රැස් කළ සාක්ෂි යොදාගෙන චෝදනා ලැබූ ශ්‍රී ලංකාවේ යුද අපරාධ සැකකරුවන්ට එරෙහිව නඩු පැවරීමත් මෙහිදී සිදු කිරීම වැදගත් වන්නේ ඒ අර්ථයෙන්ය. එයින් ශීලාචාර රාජ්‍යක ලක්ෂණ ද පිළිඹිබු වන්නේය. එසේම මෙම සත්‍ය සහ යුක්තිය සෙවීමේ ක්‍රියාවලියට එරෙහිවන්නෝ ද චෝදනා ලැබූ අපරාධකරුවන්ට වඩා බියකරු බවද සටහන් කළ යුතුමය.

යුද අපරාධ යනු කුමක්ද?

යුද අපරාධ යනු යුද්ධයකදී හෝ සන්නද්ධ ගැටුමකදී ජාත්‍යන්තර මානුෂීය නීති උල්ලංඝනය කරමින් සිදුකරන බරපතළ අපරාධයන්ය. මේවාට සිවිල් වැසියන් ඉලක්ක කර ඝාතනය කිරීම, වධහිංසා පැමිණවීම, ලිංගික අපරාධ, ළමා සොල්දාදුවන් බඳවා ගැනීම, බලහත්කාරයෙන් අතුරුදහන් කිරීම් සහ යුද සිරකරුවන් ඝාතනය කිරීම සහ ඔවුන්ට අමානුෂික ලෙස සැලකීම වැනි ක්‍රියා ඇතුළත් වේ. ජිනීවා සම්මුතිවලින් සහ රෝම ආඥාපනතෙන් (ජාත්‍යන්තර අපරාධ අධිකරණය පිහිටුවීමට මුල් වූ ගිවිසුම) මෙම අපරාධ නිර්වචනය කර ඇත. ශ්‍රී ලංකාවේ යුද්ධයේදී, දෙමළ සිවිල් වැසියන් ඝාතනය, යුද සිරකරුවන් ඝාතනය කිරීම, ලිංගික අපරාධ සිදුකිරීම, වධහිංසා සිදුකරීම වැනි සිදුවීම් යුද අපරාධ ලෙස හඳුනාගෙන තිබේ.

යුද අපරාධවලට චෝදනා ලැබූවන් නීතිය හමුවට ගෙන ඒම වැදගත් වන්නේ ඇයි?

යුද අපරාධවලට චෝදනා ලැබූවන් නීතිය හමුවට ගෙන ඒම අත්‍යවශ්‍ය වන්නේ යුක්තිය ඉටු කිරීමට, වින්දිතයින්ට සහනයක් ලබා දීමට සහ එවැනි අපරාධ නැවත සිදුවීම වැළැක්වීමටය. එසේ නොකළහොත්, අපරාධකරුවන්ට දඬුවම් නොලැබීමේ සංස්කෘතියක් (culture of impunity) ඇති වන අතර, එය රාජ්‍යයන්ට සහ සන්නද්ධ කණ්ඩායම්වලට තවත් එවැනි උල්ලංඝනයන් සිදු කිරීමට ධෛර්යයක් ලබා දෙයි. මෙම “දඬුවම් නොලැබා සිටීමේ සංස්කෘතිය” යනු, අපරාධකරුවන්ට ඔවුන්ගේ ක්‍රියාවලට වගකීමක් නොපැවරෙන තත්ත්වයකි. උදාහරණයක් ලෙස, ශ්‍රී ලංකාවේ යුද්ධයෙන් පසු අපරාධ චෝදනා ලැබූ බොහෝ දෙනෙකුට දඬුවම් නොලැබීම නිසා, ඔවුන් ඉහළ තනතුරුවලට පත් වූ අතර, එය රජ්‍යයේ විශ්වාසනීයත්වයට හානි කළේය. මෙය ජනතාව අතර අවිශ්වාසයක් ඇති කළ අතර, සමහරුන්ට තවත් උල්ලංඝනයන් සිදු කිරීමට පෙළඹවිය හැකි විය. ජාත්‍යන්තර උදාහරණයක් මගින් පැහැදිලි කළහොත්, රුවන්ඩාවේ ජන සංහාරයෙන් (1994) පසු දඬුවම් නොලැබීමේ තත්ත්වයක් ඇති වූවා නම්, එය තවත් ගැටුම්වලට ඉඩ තිබෙන්නට ඉඩ තිබිණි. එබැවින්, අපරාධවලට චෝදනා ලැබූවන් නීතිය හමුවට ගෙන ඒමෙන් මෙවැනි තත්ත්වයන් වළක්වා, වින්දිතයාගේ සිට සමස්ථ සමාජයේම සහ ජාත්‍යන්තර ප්‍රජාවගේද විශ්වසනීයත්වය තහවුරු වන අතර, යුද්ධයෙන් හානියට පත් ජනතාවට සාධාරණය ඉටු වන බවක් හැගෙන්නට පටන් ගනු ඇත.

එයින් සමාජයට සිදුවන යහපත කුමක්ද?

යුද අපරාධකරුවන්ට එරෙහිව නීතිමය පියවර ගැනීමෙන් සමාජයට ලැබෙන යහපත බහුවිධය. පළමුව, එය වින්දිතයින්ට මානසික සහනයක් ලබා දෙන අතර, ඔවුන්ගේ වේදනාවට සවන් දුන් බවක් දැනෙනු ඇත. දෙවනුව, එය සංහිඳියාව ප්‍රවර්ධනය කරයි; ශ්‍රී ලංකාව වැනි රටක, සිංහල, දෙමළ සහ මුස්ලිම් ජනතාව අතර දුර්වර්ණ තතත්වයන් තවමත් පවතින බැවින්, යුක්තිය ඉටුවීමෙන් එම තත්ත්වය අවම විය හැකිය. තෙවනුව, එය නීතියේ ආධිපත්‍යය ශක්තිමත් කරන අතර, රට තුළ කල්පවත්නා සාමය හා ස්ථාවරත්වය පවත්වා ගැනීමට උපකාරී වේ. අවසාන වශයෙන්, එවැනි පියවර ජාත්‍යන්තර ප්‍රජාවට ආදර්ශයක් වන අතර, අනෙකුත් රටවලට ද යුද අපරාධ වළක්වා ගැනීමට යාන්ත්‍රණ සකස් කිරීමට පෙළඹවීමක් ඇති විය හැකිය.

මෙම තත්වය හමුවේ ශ්‍රී ලංකා රජයේ වගකීම කුමක්ද?

මෙම තත්වය හමුවේ ශ්‍රී ලංකා රජයේ වගකීම වන්නේ, යුද්ධයේදී සිදු වූ මානව හිමිකම් උල්ලංඝනයන් සහ යුද අපරාධ සම්බන්ධයෙන් සත්‍යය හෙළිදරව් කිරීමට, වින්දිතයින්ට යුක්තිය ඉටු කිරීමට සහ ජනතාව අතර සංහිඳියාව ඇති කිරීමට ක්‍රියාත්මක වීමයි. රජයට තම ජනතාව ආරක්ෂා කිරීමේත්, ජාත්‍යන්තර නීතිවලට අනුකූලව කටයුතු කිරීමේත් වගකීමක් තිබේ. මෙයට ස්වාධීන විමර්ශන පැවැත්වීම, චෝදනා ලැබූවන්ට එරෙහිව නීතිමය පියවර ගැනීම සහ වින්දිතයින්ට සත්‍ය සහ යුක්තිය ළගා කර දීම වැනි ක්‍රියාමාර්ග ඇතුළත් වේ. ශ්‍රී ලංකාව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ යෝජනාවලට අනුව දේශීය යාන්ත්‍රණ ශක්තිමත් කිරීමට පොරොන්දු වී ඇති නමුත්, එවැනි යාන්ත්‍රණ ඵලදායී ලෙස ක්‍රියාත්මක නොවීම ගැටලුවකි. රජය මෙම වගකීම ඉටු නොකළහොත්, ජාත්‍යන්තර ප්‍රජාවේ විශ්වාසය නැති වීමටත්, එයින් රට තුළ කල්පවත්නා සාමයක් තහවුරු කිරීමත් අසීරු වනු ඇත. එබැවින්, ශ්‍රී ලංකා රජය විශ්වාසනීය, විනිවිදභාවය සහ විවෘතභාවයෙන් යුත් ක්‍රියාමාර්ග ගැනීම අත්‍යවශ්‍ය වනු ඇත. එසේ නොමැතිව ‘එය ඒකපාර්ශවීයයි”ශ්‍රී ලංකාවේ දේශීය සංහිඳියා ක්‍රියාදාමයට කිසිදු සහයක් නොදක්වනවා’ වැනි කිසිදු වෘත්තීමයභාවයක් නොමැති කතා කීමෙන් පිළිතුරක් සොයාගත හැකි වන්නේ නැත. එයින් සිදුවන්නේ අපරාධකරුවන් තවත් ශක්තිමත් වී දණ්ඩමුක්තිය පවත්වා ගෙන යාමට සහයවීමක් පමණි. එය ශ්‍රී ලංකාවේ මානව හිමිකම් ඇතුලු ප්‍රජාතන්ත්‍රීය වටිනාකම්වලට අතිශය බියකරුය.

ශ්‍රී ලංකාවේ යුද්ධය අවසන් වී වසර 16කට ආසන්න කාලයක් ගත වුවත්, එහි බලපෑම් තවමත් දිවයින පුරා දැකිය හැකිය. උතුරු සහ නැගෙනහිර පළාත්වල ජනතාව තවමත් යුද්ධයේ ප්‍රතිඵල ලෙස අතුරුදහන්කළ සිය ඥාතීන් සොයමින් සිටිති. එසේම, යුද්ධයෙන් පසු රජය විසින් ඉඩම් අත්පත් කර ගැනීම සහ හමුදාකරණය තුළින් එම ප්‍රදේශවල ජනතාවට තව තවත් පීඩනයන් එල්ලකරමින් ඇත. අවම ශයෙන් මේ සදහාවත් පිළිගත හැකි, විවෘත සහ විනිවිදභාවයකින් යුත් විසදුමක් හෝ විසදුම් මාර්ගයක් මාළිමා ආණ්ඩුවෙන් තවමත් ප්‍රකාශ වන්නේ නැත. එබැවින් මෙම ගැටලුවේ දී වෙනත් පාර්ශවයන්ට තලා වැඩක් නැත. ප්‍රශ්ණය අපේය.

සම්පත් සමරකෝන් | Sampath Samarakoon