iMage: Create by GenAI
ශ්‍රී ලංකාව තුළ කිහිප වතාවක්ම ඇතිවූ ප්‍රචණ්ඩත්වයන් සහ දීර්ඝ කාලීන යුද්ධයකින් පසුව සමාජ, දේශපාලන හා ආර්ථික වශයෙන් අර්බුදයන් ඇතිවීම වැළැක්වීම දුෂ්කරය. මෙවැනි තත්ත්වයකදී රාජ්‍ය ආයතනවල ක්‍රියාකාරිත්වය, විශේෂයෙන්ම පොලිස් සේවයේ හැසිරීම, ජනතාවගේ ජීවිතවලට බලපෑම් කරන ප්‍රධාන සාධකයක් බවට පත්වේ. එහෙත්, දණ්ඩමුක්තිය හොදින් වැඩෙමින් ඇති, යුද්ධයෙන් පීඩිත රටක පොලීසිය විසින් අත්අඩංගුවට ගනු ලැබූ සැකකරුවෙක් මරණයට(ඝාතනයට?) පත්වීම රටක යුක්තිය හා මානව හිමිකම් පිළිබඳ ගැඹුරු ප්‍රශ්න මතු කරයි. මෙම ලිපිය මගින් එවැනි සිදුවීමක පසුබිම, එහි බලපෑම් සහ ඉදිරි ගමන් මාර්ගය පිළිබඳ විශ්ලේෂණයක් ඉදිරිපත් කරනු ඇත.
පසුබිම සහ සිදුවීම
වසර ගණනාවක් පුරා පැවති යුද්ධයක් රටක ජනතාව අතර භේදය, අවිශ්වාසය සහ බලවත් ආතතිය ඇති කරයි. එවැනි යුද්ධයකින් පසුව එම රාජ්‍යට, ජනතාවගේ ආරක්ෂාව තහවුරු කිරීමේ බරපතළ වගකීමක් පැවරෙන අතර, එහිදී පොලීසිය ප්‍රධාන භූමිකාවක් ඉටු කරයි. නමුත්, යුද්ධයෙන් ආයතනිකව බිඳවැටුණු හා මානසිකව පීඩනයට ලක්වූ, විශේෂයෙන් නිසි ක්‍රමවේදයන්ට අනුව මානසික සුවපත්වීමකින් තොරව සමාජ ගත වූ පොලිස් බලකායක්(හමුදාවත් ඇතුලුව) බොහෝ විට අධික බලය භාවිත කිරීමට හෝ මානව හිමිකම් උල්ලංඝනය කිරීමට පෙළඹෙන බව ඉතිහාසයෙන් පෙනී යයි. මෙම සිදුවීමේදී, පොලිස් අත්අඩංගුවේ සිටි සැකකරුවෙකුට බරපතළ වධහිංසා පමුණුවා ඇතැයි පැවසෙන අතර, එහි ප්‍රතිඵලයක් ලෙස ඔහු මියගොස් තිබේ. මෙය යුද්ධයෙන් පසු යුක්තිය, අයිතිවාසිකම් සහ මනුෂ්‍යත්වය වැනි අත්‍යවශ්‍ය වටිනාකම් පිළිබද අර්ථයෙන් සුවපත් නොවූ සමාජයක පවතින අස්ථාවරත්වය හා ආයතනික දුර්වලතාවයන්හි එක් ප්‍රකාශනයකි. එය පද්ධතිමය ගැටලුවකි.
ඉතිහාසය පුරාම සැලකූ විට පොලිස් නිලධාරීන් “ආරක්ෂාව” හෝ “ප්‍රශ්න කිරීම” යන නාමයෙන් අධික බලය යෙදවීමට උත්සාහ කරයි. එහෙත්, එයින් මානව හිමිකම් බරපතළ ලෙස උල්ලංඝනයට පත්වන බවත්, එය සමස්ත සමාජයේම ප්‍රවර්ධනය කළ යුතු වටිනාකම් පද්ධතිය ට දැඩි ලෙස හානි සිදුකරන බව ඔවුන් අවබෝධකරගෙන නොමැති බවක් දක්නට ලැබෙයි. විශේෂයෙන් එය ශ්‍රී ලංකාවේ පොලීසිය ඇතුලු ආරක්ෂක අංශ විසින් සිදුකරණ සාමන්‍ය පරීක්ෂා කිරීම් ඇතුලු අත්අඩංගුවට ගැනීම් දක්වා විහිද යයි. එහි වගකීම පොලීසිය ඇතුලු ආරක්ෂක අංශවලට පමණක් බාර දී පැවති හෝ පවතින කිසිදු ආණ්ඩුවකට අතපිහිදා ගත නොහැකිය. පොලීසිය සහ ආරක්ෂක අංශවල අනීතික ක්‍රියාකාරීත්වයත්, මර්දනීය බවත්, ජනතාවගේ මානව හිමිකම් උල්ලංඝනයවන ලෙස ක්‍රියාකිරීම් ඇතුලු බොහෝ අගතිගාමීත්වය පාලනය කිරීම සදහා ආණ්ඩුව මැදිහත් විය යුතුයමය. එය එසේ වන්නේ පොලීසිය සහ ආරක්ෂක අංශ පවතින්නේ ශ්‍රී ලංකා රාජ්‍යයට යටත්ව මිසක් ස්වාධීනව හෝ වෙනත් රටක් හෝ කණ්ඩායමක පාලනයකට යටත් ව නොවන බවැනි.
මෙවැනි සිදුවීමක් රටක ජනතාව අතර ඇති විශ්වාසය තවදුරටත් බිඳ දමන බව විශේෂයෙන් අභිනවයෙන් පත් වූ මාළිමාණ්ඩුව තේරුම ගත යුතුය. විශේෂයෙන්ම, යුද්ධයෙන් පීඩාවට පත්වූ ජන කොටස් අතර ශ්‍රී ලංකා පොලිසිය ඇතුලු ආරක්ෂක අංශ කෙරෙහි ඇති විශ්වාසය හොද මට්ටමක නොතිබෙන තත්ත්වයක් තුළ මෙවැනි තත්ත්වයන් නිසා එය මුළුමනින්ම විනාශ වීම පිළිබද ඒ යුද පීඩිත මිනිසුන්ට දොස් නැගීමෙන් ඵලක් වන්නේ නැත. එය තවදුරටත් රාජ්‍ය ආයතනවල විනිවිදභාවය හා වගවීම පිළිබඳ පවතින ගැටලුව උග්‍ර කරනු ඇත. එබැවින් මෙවැනි සිදුවීමකින් පසු රජයට හා ආයතනවලට ගත යුතු ක්‍රියාමාර්ග කිහිපයක් තිබේ. පළමුව, මෙම මරණයන් පිළිබඳ ස්වාධීන හා විනිවිද පෙනෙන පරීක්ෂණයන් පැවැත්විය යුතුය. එමඟින් වැරදිකරුවන්ට දඬුවම් පැමිණවීමත්, ජනතාවට යුක්තිය ඉටු වන බවට විශ්වාසයක් ඇති කිරීමත් සිදුකළ යුතුය. දෙවනුව, පොලිස් නිලධාරීන්ට මානව හිමිකම් පිළිබඳ පුහුණුවක් ලබාදීමත් වැදගත් වනු ඇත. නමුත් ‘මානව හිමිකම් පුහුණු’ වලට වඩා පොලිස් නිළධාරීන්ගේ ආකල්පමය වෙනසක් ඇති කිරීම සදහා පියවර ගත යුතුය. එසේම ඔවුන්ගේ ක්‍රියාකාරකම් නිරීක්ෂණය කිරීමට නව තාක්ෂණික යාන්ත්‍රණයන් ස්ථාපිත කිරීමත් පිළිබදව සළකාබැලීම අතිශය වැදගත් වනු ඇත.
පොලිස් ප්‍රචණ්ඩත්වය නතර කිරීමට ආණ්ඩුවක වගකීම
පොලිස් ප්‍රචණ්ඩත්වය නතර කිරීම සඳහා ආණ්ඩුවකට ප්‍රධාන වගකීමක් ඇත. එයට පළමුවෙන්ම නීතියේ ආධිපත්‍යය තහවුරු කිරීමට හා පොලිස් බලතල අනිසි ලෙස භාවිතා වීම වැළැක්වීමට දැඩි නීති රාමුවක් සැකසීම අවශ්‍ය වේ. එසේම, පොලිස් නිලධාරීන්ගේ හැසිරීම නිරන්තරයෙන් අධීක්ෂණය කිරීමට ස්වාධීන ආයතනයක් පිහිටුවීම තුළින් ඔවුන්ගේ වගවීම තහවුරු කළ හැකිය. ඊට අමතරව, පොලිස් ප්‍රචණ්ඩත්වයට ගොදුරු වූවන්ට යුක්තිය ඉටු කිරීමට වේගවත් හා විනිවිද පෙනෙන යුක්ති ක්‍රියාවලියක් ස්ථාපිත කිරීම ආණ්ඩුවේ වගකීමකි. මෙමඟින් ජනතාව අතර රාජ්‍ය ආයතන කෙරෙහි විශ්වාසය යළි ගොඩනැඟිය හැකි අතර, පොලිස් ප්‍රචණ්ඩත්වයේ පුනරාවර්තනය වැළැක්වීමට ද හේතු වේ. මෙම සිදුවීම යුද්ධයකින් පසු රටක යුක්තිය හා සාමය ගොඩනැඟීමේදී ඇති අභියෝගයන් පෙන්වා දෙයි. පොලිස් අත්අඩංගුවේදී සැකකරුවෙකු මිය යාම යනු එක් සිදුවීමක් පමණක් නොව, රටක ආයතනික හා සමාජීය පද්ධතියේ ගැඹුරු දුර්වලතාවයන්හි ප්‍රතිබිම්බයකි. එබැවින්, මෙයට ප්‍රතිචාර වශයෙන් ගන්නා ක්‍රියාමාර්ග රටක අනාගතය තීරණය කරනු ඇත.
නව මාළිමාණ්ඩුව සහ පඩුපුල් අසුන රත්වීම පිළිබද නිරීක්ෂණයන්
වැළිකඩ පොලීසිය විසින් අප්‍රේල් 01 වනදා අත්අඩංගුවට ගන්නා ලද වයස අවුරුදු 25ක් වූ තරුණයෙක් අප්‍රේල් 2වනදා පොලිස් බාරයේ සිටියදීම මියයාම ආසන්නම සිදුවීම ලෙස සැලකීමේදී නිරීක්ෂණය වන කරුණු කිහිපයක් තිබේ. අදළ තරුණයා මරණයට පත්වීමෙන් වීමෙන් පසු පොලිස් ඇමති ආනන්ද විජේපාල ඇතුලු ආණ්ඩුවේ කිසිවෙක් ‘පැහැදිලි’ ප්‍රකාශයක් සිදුකළේ නැත. ඒ තත්ත්වය තුළ ආදළ මරණය පිළිබද පොලීසියේ මාධ්‍ය ප්‍රකාශකවරයා විසින් නිකුත් කළ නිවේදනය ද කොහේද යන්නේ මල්ලේ පොල්වලට වඩා නරුම අදහස්වලන් සමන්විතය. එම තත්ත්වය තුළ සමාජ මාධ්‍ය අතුලු මාධ්‍යන් හී පොලීසියට විරුද්ධව දැඩි විරෝධයක් මතුව අවේය. එපමණක් ද නොවේ වැළිකඩ පොලීසිය ඉදිරිපට විරෝධතාවයක් ද සංවිධානය කෙරිණි. මාළිමාණ්ඩුවේ පඩුපුල් ආසනය රත්වූයේ එවිටය. අප්‍රේල් 6වනදා වැළිකඩ පොලීසියේ, පොලිස් ස්ථානාධිපතිවරයා ධූරයෙන් ඉවත් කළ අතර, තවත් පොලිස් නිළදාරීන් දෙදෙනෙක්ගේ සේවය අත්හිටුවන ලදි. අදාළ තරුණයාගේ මරණයෙන් දවස් 5ක් තිස්සේ ඇදීගිය විරෝධතාවයේ උච්චතම අවස්ථාව වූ පොලීසිය ඉදිරිපිට විරෝධතාවයයෙන් පැන නැගුණු තත්ත්වය හමුවේ මාළිමාණ්ඩුව අදාළ තීරණය ගත් බවට දැන් පැහැදිලිය. ප්‍රශ්නය වන්නේ එවැනි තීන්දුවක් ගැනීමට එසේ විය යුතුද? ‘වෙනසක්’ සදහා යැයි කියමින් පැමිණි අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයා ඇතුලු ආණ්ඩුව පොලීසියේ අනීතික හැසිරීම් සම්බන්ධයෙන් සිය ආකල්පමය ප්‍රතිපත්තිය පෙන්නුම් කරන ලද්දේ ඒ ආකාරයට ය.
එසේම, මාළිමාන්ඩුවේ පොලීසිය බාර ඇමති ආනන්ද විජේපාල සහ ගොඨාබය පාලන කාලයේ පොලීසිය බාර ඇමති සරත් වීරසේකර මෙන්ම රනිල් වික්‍රමසිංහ පාලන කාලයේ පොලීසිය බාර ඇමති ටිරාන් අලස් වැන්නන් අතර වෙනසක් නැති බව මෙයින් පෙන්නුම්කරන තවත් සාධකයකි.
මෙම තත්ත්වයටම අදාල තවත් නිරීක්ෂණයන් 2කක් සදහන් කරමි. එකක් නම් කොටහේනේ දී අත්අඩංගුවට ගත් තරුණයන් දෙදෙනා, පොලීසිය විසින් ආයුද පෙන්වීමට ගොස් දැක්වූ ‘පරණ පොලිස් සෙල්ලම’ පිළිබදවද ‘වෙනසක් සදහා’ පැමිණි පොලිස් ඇමතිවරයෙක් ලෙස කිසිදු ප්‍රශස්ත මෙන්ම ඉදිරිගාමී අදහසක් දැක්වූයේ නැත. දෙවැන්න නම්, අනුරාධපුර ප්‍රදේශයේ වෛද්‍යවරියකට බලහත්කාරයෙන් ලිංගික අපරාධයක් සිදුකිරීම සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගත් පුද්ගලයාට, ඔහුගේ ගුද මාර්ගයට පොල්ලක් ඇතුලු කර වධහිංසාවට ලක්කළ බව වාර්තා විය. ඒ වධහිංසාව සිදුකලේ ආනන්ද විජේපාල පොලීසිය බාර ඇමතිවරයා යටතේ ඇති ශ්‍රී ලංකා පොලීසිය නොවේද? නමුත් එම වධක පොලීසියට විරුද්ධව ආනන්ද විජේපාල නම් පොලීසිය බාර ඇමතිවරයා කිසිදු පියවරක් ගත් බවක් අප දන්නේ නැත.
2023 වසරේ රාජ්කුමාරි නම් කාන්තාවත් 2025 අප්‍රේල් සත්සර යන තරණයාත් මරණයට පත් වූයේ මෙම කුප්‍රකට වැළිකඩ පොලීසියේ ය. ඔවුන් දිගින් දිගම මෙසේ හැසිරෙන්නේ ආනන්ද විජේපාල වැනි ඇමතිවරුන් ඇතුලු පාලකයන් ඔවුන්ව ආරක්ෂා කරන බව දන්නා හෙයින්ය. එය වෙනත් ලෙසකින් පැවසුවහොත් කාලයක් තිස්සේ පවත්වාගෙන යාමට ‘ආශාවක්’ දක්වන ‘දණ්ඩමුක්තිය ආරක්ෂා කරන බවට’ පොලීසිය තුළ අනීතික ක්‍රියාවන් සිදුකරන අය දන්නේය. එපමණක් නොවේ වෙනත් අපරාධකරුවනුත් එය හොදින් දන්නේය. එබැවින් ඉහතින් දක්වන ලද උදාහරණවලට අනුව අභිනවයෙන් පත්වූ මාළිමාණ්ඩුවට මේ වගකීමෙන් නිදහස්ව සුවසේ සිටින්නට නම් නොහැකි වනු වනු ඇත.
මෙම තතත්වයන් තුළ, ශ්‍රී ලංකා පොලීසියේ මෙම අනීතික හැසිරීම් පිළිබදව සමාජ මාධ්‍ය තුළ අපූරු අන්තර්ගතයක්(Memes) හුවමාරු වෙමින් තිබේ. එහි දැක්වෙන්නේ, පොලීසිය විසින් සදහන් කර ඇති ‘ඔබේ ආරක්ෂාව අපේ වගකීමයි’ යන්නට පහළින් මෙසේ දැක්වේ. ‘ඔබෙන් ආරක්ෂාවීම අපේ වගකීමයි’. මෙය දැකීමෙන් කෙනෙක්ට සිනහා යා හැකිය. නමුත් සමස්ත සමාජයක්ම මෙවැනි අකාරයට සිතීමට උත්සහා කළහොත් එය ඒ තරම් සුවදායක තත්ත්වයක් නම් වන්නේ නැත.
ඇමරිකානු දර්ශනවාදිනියක්, ලේඛිකාවක් මෙන්ම වර්ගවාදයට සහ පීඩනයට එරෙහිව සමාජ ක්‍රියාකාරිණියක් වන ඇන්ජෙලා ඩේවිස්(Angela Davis) මෙසේ ප්‍රකාශ කරයි. “පොලිස් ප්‍රචණ්ඩත්වය යනු වර්ගවාදී රාජ්‍යයක ආයතනික ප්‍රකාශනයකි. එය හුදෙක් තනි තනි නිලධාරීන්ගේ ක්‍රියාවක් නොව, පද්ධතිමය ගැටලුවකි.”
සම්පත් සමරකෝන් | Sampath Samarakoon