කොළඹ ප්‍රභූජණයා යුද්ධය ගැන තමන් හමුවේ දිගහරින වගාඩම්බර සේම, ඈත වන්නියේ යුද්ධයේ සැබෑ ගොදුරු බවට පත්ව යන්තම් පණකෙන්ද බේරාගත්, නැතිවන්නට තිබූ සබ්බ සකලමනාව ම ප්‍රියයන් ගේ ජීවිත ද සමඟ නැතිවූ දෙමළ ජනයා කියන කතා ද ඇසුරින්, රටට සංහිඳියාව පිළිබඳ වැදගත් පාඩමක් උගන්වන්නට ‛උගත් පාඩම් සහ සංහිඳියා කොමිසම’ සමත් වනු ඇතිද?
ඒ ගැන ධනාත්මක බලාපොරොත්තුවක් නො තබන අති බහුතරයේ ගොන්නට මේ ලියුම්කරු ද අයත් වෙයි. කොමිසම හමුවේ සාක්කි දෙන කොළඹ ඉහළම ප්‍රභූවරයාගේ සිට, යුද්ධයෙන් යන්තම් පණබේරාගත් උතුරේ දෙමළ කාන්තාව දක්වා වන අතිබහුතරයක් මේ කොමිසම පලදරන්නක් වෙතැයි විශ්වාස නොකරති.
කෙසේ වෙතත් සමාජයක් වශයෙන් අත්හැර යා නොහැකි දරුණු මානව ඛේදවාචකයක් පලක් ඇතිව හෝ නැතිව මෙයින් තෙසතියකට පෙර සති අන්තයක දී කිලිනොච්චි මුලතිව් දිස්ත්‍රික්කවල දී කොමිසම හමුවේ දිගහැරිණි.
‛උගත් පාඩම් හා සංහිඳියා කොමිසම’ මේ මානව ඛේදවාචකය සිය අවසන් වාර්තාවන්ට ඇතුළත් කරනු තබා අවම වශයෙන් කණකට ගත්තේවත් නැතිනම් එය ඛේදයක් වුවත්, එම මානව ඛේදවාචකය සම්බන්ධයෙන් ශ්‍රී ලාංකේය ප්‍රධාන පෙළේ ජනමාධ්‍ය අනුගමනය කළ ප්‍රතිපත්තිය තරම් ම එය ඛේදනීය නොවන්නට පිළිවන. කොමිසම වරම් ලබා සිටින්නේ ජනපති අනිනි. තමන්ට වරම් දුන් කෙනාට උවමනාකරන සහතිකය ලියා දීම හැරුණුකොට මෙවැනි ගරු ගාම්භීර කොමිෂන් වලට කළහැකි වෙනත් දෙයක් නැතිබව එහි සාමාජිකයෝ පවා දනිති.
එහෙත් සැබෑ ඛේදය වන්නේ තෙදිනක් පුරා සංහිඳියා කොමිසම ඉදිරියේ ගලාගිය දමිළ ඛේදවාචකය සේම යුද්ධයේ අවසන් දින කිහිපය ගැන අනාවරණය වූ තොරතුරු ද කෙරේ අපේ මාධ්‍ය අති බහුතරය අද දක්වාත් නෑසූ කන්ව සිටීම යි. මරණය පෙනි පෙනී පණබේරාගත්, ඇඳිවත පමණක් ඇතිව අදටත් අනාථයන් සේ සිටින, එහෙත් සිය ආදරණීයයන්ට තම දෑස් අබියස ම අත්වූ ඉරණම ගැන හඬා වැටෙමින් සොයා බලන්නට වලිකන මේ දෙමළ ජනතාවගේ ඛේදවාචකය සිංහල සමාජයෙන් වසන් කර තැබීමේ සාහසික තීරණයට කොළඹ කේන්ද්‍රීය ප්‍රධාන මාධ්‍ය බහුතරය ඒකමතික ව එළඹ සිටින්නාක් වැන්න. (ආණ්ඩුව කල්තියා ම විදෙස් මාධ්‍යයන් මේ අවස්ථාව වාර්තා කිරීමෙන් වාරණය කළේ ය.)
කොළඹ දී කොමිසම හමුවේ සාක්ෂි දෙන්නට ආ ඉහළම ප්‍රභූන්ගේ ප්‍රකාශයන් වාර්තා කරන්නට එකිනෙකා පරයා රැස් කෑවේද මේ මාධ්‍යම ය. ඉහළ පෙළේ රාජ්‍ය තාන්ත්‍රිකයකු වූ ආචාර්ය ජයන්ත ධනපාල ගේ සාක්ෂ්‍යය තමන් ගේ දෙසවන් ආශාවෙන් බලා සිටිනා කතාවකට සමානය යි වරදවා වටහා ගත් ඇතැම් පුවත්පත්, ආචාර්ය ධනපාල ගේ කතාව වෙනුවට සිය කණ බලාසිටින කතාව වාර්තා කරන්නට යාම නිසා ඔහුට සිය ලිඛිත ඉදිරිපත් කිරීම පමණක් නොව වාචික ඉදිරිපත් කිරීමේ සහතික කැරුණු පිටපත් ද මාධ්‍යයට මුදා හරින්නට සිදුවිය. යුද්ධයෙන් සැබෑවට බැටකෑ මිනිසුන්ගේ සැබෑ අත්දැකීම් වාරණයට ලක් කළේ කොමිසම ගැන එතරම් උනන්දුවක් දැක්වූ මාධ්‍ය ය.
සැබවින් ම එහි කියැවුණු දෑ එලෙසින් ම වාර්තා කිරීමට සමත් තත්ත්වයක වත්මන් ලාංකේය ජනමාධ්‍ය පසුවන්නේ ද යන්න ද ගැටලුවකි. අනවශ්‍ය දේවල් ලියන්නට කියන්නට ගොස් අත පය කඩාගන්නවාට, අතුරුදන් වෙනවාට වඩා අත පිහදාගෙන පැත්තකට වීම යෙහෙකැයි යමෙකු තීරණය කළේනම්, ඔහුට දොස්පැවරීමේ හැකියාවක් අද මේ මොහොතේ මේ ලියුම්කරුට නැත. එබැවින් එම අවස්ථාව නොබියව වාර්තා කළ දෙමළ මාධ්‍ය අතලොස්සට හා එම වාර්තා පරිවර්තනය කර පළකිරීමට වෙහෙස වූ අතලොස්සක් වූ වෙබ් අඩවිවලට ද ප්‍රණාමය පිරිනැමීමට මෙය අවස්ථාවක් කරගන්නවා හැර වෙනත් කළ හැකි දෙයක් නැත.
දෙමළ ඛේදවාචකය දෙමළ මාධ්‍යවලින් පමණක් හෙළිකරන්නට සිදුවීමෙන් හා සිංහල මාධ්‍ය ඊට පිටුපෑමෙන්, ‛තම හිසට තම අත ම පමණක් බව’ පොළොවට ම සමතලා කර දමන ලද උතුරේ දෙමළ සමාජයට යළිත් වතාවක් ඉගැන්වීමේ කණගාටුදායක මොහොතක් බවට මෙය පත්වීම ගැන අවංක ව කණගාටු වෙමි.
වන්නි ජනතාව කොමිසම හමුවේ ගෙනහැර දැක්වූ අතිශය වැදගත් කාරණා කිහිපයක් වෙත අවධානය යොමු කිරීමට කැමැති වෙමි. කොමිසම පැවැත්වෙන තැනක් වේලාවක් ගැන නිශ්චිත තොරතුරු කලට වේලාවට ලබා නොදුන් තත්ත්වයක් හමුවේ වුව, යුද්ධයේ අවසන් අදියරෙන් යන්තම් පණ බේරාගත් හාරසීයකට අධික පිරිසක් ඒ හමුවේ පෙනී සිටීමේ අභිප්‍රායයෙන් රැස්කෑ බවට වාර්තා විය. එයින් ද වැඩි පිරිසක් කාන්තාවෝ වූහ. එහෙත් කොමිසම හමුවේ පෙනී සිටීමට අවසරය ලැබී ඇත්තේ එයිනුත් අතලොස්සකට පමණි. එහි සරල තේරුම නම් කොමිසම හමුවේ දිගහැරී ඇත්තේ දිගහැරීමට ඉඩතිබූ සැබෑ ඛේදවාචකයෙන් ද අංශු මාත්‍රයක් පමණක් ය යන්නයි. ඉතිරිය වාරණයට ලක් වී තිබේ.
ආණ්ඩුව පමණක් නොව මේ දිගහැරුණු අතලොස්සත් වාරණය කළ සිංහල මාධ්‍ය එසේ නොකියැවුණු ඛේදවාචකයේ ඌනපූර්ණ ඇසීමට ඒ පැත්ත පළාතේවත් යතැයි සිතීමට කාරණා නැත. අවදානම දරමින් හෝ එම ඛේදවාචකය වාර්තා කිරීමට උපරිම මහන්සියක් ගත් දෙමළ මාධ්‍යට ඒ නොකියැවුණු කතා වාර්තා කිරීමට අවසර ලැබේය යි සිතිය නොහැක. ඒ කතා කියන්නට ඒ මිනිසුන් තව දුරටත් ඒ භූමියේ ජීවතුන් අතර සිටිනු ඇතිද යන්න ද සැක සහිත ය. කොමිසම හමුවේ එළිදරව් වූ කාරණාවලට වැඩි මනත් දේ මෑත ඉතිහාසයේ දී හෙළිදරව් වීමට ඇති ඉඩ අතිශය අල්ප බවත් හෙළිදරව් වූ ඇබිත්ත හෝ අප නොතකා හැරියොත් ඒ ඛේදවාචකය දීර්ඝ කාලයකට වැලලී යා හැකි බවත් කණගාටුදායක ඇඟවුම් ය.
කොමිසම හමුවේ සිය අත්දැකීම් දිගහැරි පූනරීන් කෘෂි සංවර්ධන අධිකාරියේ නිලධාරියකු වන එන් සුන්දරමූර්ති කියා සිටියේ යුද්ධයේ අවසන් අදියරේ දී ශ්‍රී ලංකා රජයේ හමුදා රජය විසින් ම ප්‍රකාශයට පත් කර තිබූ යුද මුක්ත කලාපයට තහනම් ආයුධ වූ පොකුරු බෝම්බ සහ පොස්පරස් බෝම්බ යොදාගෙන ගුවනින් පහර දුන් බව යි. ඔහු කී දෙයට අනුව එල්.ටී.ටී.ඊ සංවිධානය යුද මුක්ත කලාපයේ සිවිල් වැසියන් අතර සිට හමුදා ප්‍රහාරක යානාවලට පහර දී ඇත. ප්‍රතිප්‍රහාරයන් සඳහා හමුදාව ඉහත තහනම් අවි යොදාගෙන ඇති අතර දිනකට සිවිල් වැසියන් 400ක් 600ක් පමණ මෙම ප්‍රහාරයන් නිසා අවසන් අදියරේ දී ඝාතනයට ලක් ව 100ක් පමණ දෛනික ව තුවාල ලබා ඇත.
එල්.ටී.ටී.ඊ ත්‍රිකුණාමලය දිස්ත්‍රික් දේශපාලන අංශ ප්‍රධානියා වූ එලිලන්ගේ බිරිය වන ආනන්දි සසිදරන් කොමිසම හමුවේ කියා තිබුණේ හමුදාවට භාරවූ තම සැමියා ද ඇතුළු එල්ටීටීඊ සාමාජිකයන් විශාල පිරිසකට කුමක් සිදුවීදැයි තමන්ට දැනගන්නට නැති බව ය. කොමිසමට කරුණු කීමෙන් අනතුරුව බීබීසී දෙමළ සේවය හා සාකච්ඡාවකට එක්වෙමින් ඇය කියාසිටියේ එලිලන් ඇතුළු පිරිස 2009 මැයි මස 18 වැනිදා හමුදාවට භාර වූයේ තමන් ඉදිරියේ බවත් ඒ බවට තමා සහ තම දරු තිදෙනා ඇසින් දුටු සාක්ෂි බවත් ය. ඇය ප්‍රකාශ කරන අන්දමට එල්ටීටීඊ දේශපාලන නායකයන් දහයකට අධික පිරිසක් එහි කාඩර්වරුන් විශාල පිරිසක් ද සමඟ කතෝලික පියනමක ගේ මාර්ගයෙන් එදින මෙසේ හමුදාවට භාර වී ඇත. එහෙත් ඔවුන්ට සිදු වූ දෙයක් තමන් ඇතුළු භාරවූ පුද්ගලයන් ගේ ඥාතීන්ට දැනගන්නට නැතිබව ඇය බීබීසියට කියා තිබිණි. ඔවුන්ට එසේ භාරවීමට මඟපෑදූ කතෝලික පියනම ද අතුරුදහන් බව ඇය කියයි.
ඇගේ ප්‍රකාශය 2009 මැයි 31 වැනිදා සන්ඩේ ටයිම්ස් පුවත්පතේ වූ හමුදා ප්‍රකාශකගේ ද ප්‍රකාශයක් අඩංගු වාර්තාව සහ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව උපුටා දක්වමින් ත්‍සරිඑඛ්බන්ගජදප වෙබ් අඩවිය පළකර තිබූ වාර්තා සමඟ බෙහෙවින් සමපාත වෙයි. එම වාර්තාවන්ට අනුව ඒ වනවිට නම් වශයෙන් සඳහන් කැරුණු එල්ටීටීඊ දේශපාලන අංශ නායකයන් දහයක පමණ පිරිසක් හමුදා අත්අඩංගුවේ සිටියහ. මේ කියන එලිලන් ගේ නම ද ඒ අතර විය. එහෙත් අද වනවිට ඒ කිසිවකුට සිදුවූ දෙයක් දැනගන්නට නැත. ආනන්දිගේ මේ ප්‍රකාශයෙන් අනතුරුව හමුදා ප්‍රකාශක මාධ්‍යයට පවසා තිබුණේ එලිලන් හමුදා අත්අඩංගුවේ නොමැතිබව හා ඔහු කිසිවිටෙක හමුදාවට භාර නොවූ බව යි. දයා මාස්ටර් ජෝර්ජ් මාස්ටර් වැනි හමුදාවට භාර වූ එල්ටීටීඊ ක්‍රිියාකාරිකයන්ට හා බුද්ධි අංශ දියත්කළ දැවැන්ත ජාත්‍යන්තර මෙහෙයුමකින් අල්ලාගත්තාය කී එල්ටීටීඊ ජාත්‍යන්තර නායකයා හා ආයුධ සැපයුම්කරුවා වන කේපීට (දැන් ආණ්ඩුව කියන පරිදි කේපී 2005න් පසුව එවැනි තනතුරක් දරා නැත. ජාත්‍යන්තරයටත් පැතිරුණු දැවැන්ත බුද්ධි අංශ මෙහෙයුමට මේ කරුණ අනාවරණය කරගන්නට බැරි වූ හැටි) වෙනත් ආකාරයක සැලකුම් හිමි වන විට මේ සැකකරුවන්ට සිදු වී ඇති දෙය අදටත් රහසකි.
මේ පිළිබඳව කොමිසමට පැමිණිලි කිරිමෙන් යහපත් ප්‍රතිඵලයක් අත්වේදැ යි බීබීසිය ආනන්දි සසිදරන්ගෙන් ඇසූවිට ඈ කියාසිටියේ ඒ පිළිබඳ තමන්ට විශ්වාසයක් නැති බවත් තමන් ඒ සියල්ල කීවේ සිය සිතේ සැනසිල්ලට බවත් ය. මේ පිළිබඳ එළිපිට ප්‍රකාශ කිරීමෙන් ඇතිවිය හැකි බලපෑම් ගැන බියක් නැතිදැ යි බීබීසීය ඇගෙන් අසන ලදුව ඇය කියාඇත්තේ ඕනෑම තත්ත්වයකට මුහුණ දීමට තමන් සූදානම් බවත් තමන් දැන් ජීවත් වන්නේ ජීවිතය පිළිබඳ කිසිදු ආශාවකින් නොවන බවත් ය.
අහිංසක සිවිල් වැසියන් වන තමන්ට අනතුරක් කරන්නට එපාය යි කෑ ගසා කියද්දීත් රජයේ හමුදාවන් තමන් ගමන්ගත් බෝට්ටුවලට අට වතාවක් ෂෙල් ප්‍රහාර එල්ල කළ බවත් ඉන් බොහෝ පිරිසක් මරණයට පත් වූ බවත් වන්නියේ සිට පැමිණි එක් කාන්තාවක කොමිසම හමුවේ කියා සිටියා ය.
සිය ආදරණීයයන් තමන් අබිමුව මැරී වැටුණු අයුරු ගැන මෙන් ම හමුදාවට භාර වූ සිය පවුල් සාමාජිකයන් පිළිබඳ කිසිදු තොරතුරක් නොමැතිවීම ගැන ද කොමිසම හමුවේ සාක්කි දීමට ඉඩ ලැබුණු අතලොස්සක් දෙමළ ජනතාව හැඬූ කඳුලින් කියා සිටි අයුරු දෙමළ මාධ්‍ය වාර්තා කර තිබිණි.
යුද්ධයේ අවසන් දවස් ගැන මේ බිහිසුණු කතා ඊට මැදිව පණ බේරාගත් ජනයාගෙන් ම කියැවෙන්නේ ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ ‛‛සිවිල් ඝාතනයන් බින්දුවේ තබාගැනීමට’’ කළ එකක් ලෙස මේ කොමිසම හමුවේ ම හැඳින්වූ යුද්ධයක් ගැන ය. මේ වගාඩම්බර කතා අධිපති මාධ්‍ය හොඳට ලුණු ඇඹුල් යොදා සිංහල සමාජයට පිළිගැන්වූ බැවින් ඒ කතා පමණක් ඇසූ දෙමළ ඛේදවාචකය නොඇසූ සිංහල සමාජය කොමිසම විසින් හෙට දවසේ ලියාදෙන ‛‛සිවිල් ඝාතන බින්දුවේ යුද්ධයක්’’ යන සහතිකය කිසි අපුලක් නැතිව කැමැත්තෙන් ම ගිල නොදමනු ඇති ද?