iMage: economynext.com
ශ්‍රී ලංකාවේ පෞද්ගලික හිමිකාරීත්වය දරණ ඇතැම් මාධ්‍ය තුළත්, රාජ්‍ය මාධ්‍ය තුළත් දැවැන්ත ප්‍රශ්න ගණනාවක් තිබේ. මෙම ප්‍රශ්න විසඳාගැනීම සඳහා යම් යම් උත්සාහයන් අතීතයේදී ගෙන තිබුණ ද, ඒවායේ සාර්ථකත්වය තවමත් ප්‍රශ්නාර්ථයකි. තත්ත්වය එසේ වී නමුත්, ජනමාධ්‍ය තුළ වන අන්තර්ගතයක් ‘අසත්‍ය’ යැයි පූර්ව නිගමනයකට එළබෙමින් එම ජනමාධ්‍යවේදීන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට(CID) කැදවීම ජනමාධ්‍යවේදීන් බිය ගැන්වීමකට දරණ උත්සහයක් බව දේශපාලන වට පිටාව පිළිබදව සිහියෙන් සිටින ඕනෑම පුරවැසියෙක්ට තේරුම් ගත හැකිය. එය පවතින ආණ්ඩුවට හෝ ආණ්ඩුවේ නියෝජිතයන්ට ‘කැමති’ ලෙස ජනමාධ්‍යකරනයේ නියැලීමට ජනමාධ්‍යවේදීන් පොළබවන, ස්වයං වාරණයන්ට පත්කරවන ලැජ්ජා සහගත උත්සහයකි. එපමණක් ද නොවේ. එය ජනමාධ්‍ය ‘පාලනය කිරීමේ’ තවත් එක් ස්වරූපයක් වන අතර, නැවත වටයකින් ජනමාධ්‍ය නිදහස මර්දනය සදහා වන ගමනක එක් ලක්ෂනයක් ද විය හැකිය. ඒ බව දත්ත සහිතව තවදුරටත් තේරුම් ගැනීම සදහා අදාළ සිදුවීම පිළිබද සිය ‘පිළිකුළ’ සදහන් කරමින් ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ මාධ්‍ය සංවිධානයක් වන ශ්‍රී ලංකා වෘත්තීය ජනමාධ්‍යවේදීන්ගේ සංගමය විසින් නිකුත් කල මාධ්‍ය නිවේදනයට ප්‍රතිචාර දක්වන ලද දහස් ගණනක් ඇතැම් ෆේස්බුක් පරීශීලකයන්ගේ ප්‍රතිචාර කියැවීම අතිශයින් වැදගත් වනු ඇත.
මෙවැනි තත්ත්වයන් මාධ්‍ය නිදහස, තොරතුරු අයිතිය වැනි සමාජයක ශිෂ්ටත්වයට අතිශය වැදගත් මානව හිමිකම් පිළිබද සැළකිල්ලක් නොදක්වන ඇතැම් රටවල්වල දැකිය හැකි අශිෂ්ට, මර්දනීය ලක්ෂණයකි. එහිදී ‘චීනය’ කැපී පෙනෙන උදාහරණයකි. චීන කොමියුනිස්ට් පක්ෂයේ නායකත්වය යටතේ, ජනමාධ්‍යවේදීන්ට එරෙහිව ‘අසත්‍ය තොරතුරු ප්‍රචාරය කිරීම’ හෝ ‘කලහකාරීකම් ඇවිස්සීම’ වැනි චෝදනා යටතේ බරපතල මර්දනයන් සිදු වේ. ජනමාධ්‍යවේදීන් බන්ධනාගාරගත කිරීමේ ප්‍රමුඛතම රට ලෙස චීනය හඳුනාගෙන ඇති අතර, Committee to Protect Journalists (CPJ) සංවිධානයට අනුව, 2024 වසරේදී චීනයේ බන්ධනාගාරගත ජනමාධ්‍යවේදීන්ගෙන් බහුතරයක් ‘අසත්‍ය ප්‍රවෘත්ති’ හෝ ‘රාජ්‍ය විරෝධී’ චෝදනා යටතේ රඳවා තබා ඇත. එපමණක් ද නොවේ, ලෝකයේ වැඩිපුරම ජනමාධ්‍යවේදීන් බන්ධනාගාර ගතකර ඇති රට වන්නේ ද චීනයයි. Committee to Protect Journalists (CPJ) හි 2024 බන්ධනාගාර සංගණනයට අනුව (දෙසැම්බර් 1, 2024 දින දත්ත), චීනයේ ජනමාධ්‍ය ක්‍රියාකාරකම් සම්බන්ධයෙන් බන්ධනාගාරගත කර ඇති ජනමාධ්‍යවේදීන්ගේ සංඛ්‍යාව 50ක් වන අතර, එය ලෝකයේ වැඩිම සංඛ්‍යාවයි.here | here
මෙය ශ්‍රී ලංකාවේ ජනමාධ්‍යවේදීන් ‘අසත්‍ය පුවත්’ පළකල බවට පූර්ව නිගමනයකට පැමිණ CID වෙත කැඳවීමට යම් සමානකමක් දක්වයි. චීන රජය මෙම ක්‍රියාමාර්ගයන් නීතිමය බව පවසන අතර, ඒවා ‘කලහකාරීකම් ඇවිස්සීම’ (Picking quarrels and Provoking Trouble) වැනි අපැහැදිලි නීති යටතේ සිදු කරයි. මේ සම්බන්ධයෙන් ජාත්‍යන්තයේ ද දැඩි විවේචන එල්ලවිය. here
චීනයේ Zhang Zhan නම් ‘පුරවැසි ජනමාධ්‍යවේදිනිය’ සම්බන්ධයෙන් වන එක් ප්‍රධාන උදාහරණයකි. 2020දී Wuhan නගරයේ COVID-19 වසංගතය පිළිබඳ වාර්තාකරණය කිරීම නිසා ඇය අත්අඩංගුවට ගන්නා ලදී. ඇයට එරෙහිව චෝදනාව වූයේ ‘අසත්‍ය තොරතුරු ප්‍රචාරය කිරීම’ සහ ‘කලහකාරීකම් ඇවිස්සීම’ චෝදනා වූ අතර, වසර 4ක සිර දඬුවම් නියම විය. (https://www.nytimes.com/2020/12/28/world/asia/china-Zhang-Zhan-covid-convicted.html) මෙම දඩුවමට යටත්වීමට ඇය සිදුකළේ කුමක්? නීතිඥවරියක වන පුරවැසි ජනමාධ්‍යවේදිනි Zhang Zhan, 2020 පෙබරවාරි මාසයේදී වසංගතයේ කේන්ද්‍රස්ථානයක් වූ වූහාන් වෙත ගමන් කළාය. ඇය සිය ස්මාර්ට් ෆෝනයේ වීඩියෝ මගින් චීන බලධාරීන් වසංගතය පාලනය කිරීමට ගන්නා ලද ක්‍රියාමාර්ග ප්‍රශ්න කරමින්, වසංගතයේ කේන්ද්‍රස්ථානයේ පැවති අවුල් සහගත තත්ත්වය පිළිබඳව වාර්තා කළාය. එපමණකි. මේ සම්බන්ධයෙන් එක්සත් ජාතීන් පවසා සිටියේ ඇයගේ ක්‍රියාකාරකම් “ඇයගේ නීත්‍යානුකූල ජනමාධ්‍ය ක්‍රියාකාරකම්” ලෙස පෙනෙන්නට තිබූ බව ය. ‘වසංගතයේ ආරම්භක කේන්ද්‍රස්ථානය සම්බන්ධයෙන් ඇය කළ වාර්තාකරණය, එකල වූහාන් හි සෞඛ්‍ය තත්වය පිළිබඳ ස්වාධීන තොරතුරු ලෝකයට නිරාවරණ්‍ය කල ප්‍රධාන මූලාශ්‍රයක් වූ බව Reporters Without Borders (RSF) පවසා සිටියේ ය. here
කෙසේනමුත්, ඇයගේ මිතුරන් පසුව දැනගත්තේ ඇය Shanghai වෙත ගෙන ගොස් ‘අසත්‍ය තොරතුරු සැකසීම’ චෝදනාව යටතේ රඳවා තබා ඇති බවයි. Zhang Zhan 2024 දී නිදහස් වූවත්, 2025දී නැවත අත්අඩංගුවට ගනු ලැබූ අතර, නැවතත් ‘කලහකාරීකම් ඇවිස්සීම’ චෝදනාව යටතේ නඩු විභාගයකට මුහුණ දෙයි.here
දිගින් දිගටම චීන රජය විසින් ඇයට හිංසා කිරීම තරයේ හෙළා දකින බව Committee to Protect Journalists (CPJ) පවසයි. ඇගේ නඩුව චීනයේ මාධ්‍ය නිදහස පිළිබඳ තත්ත්වය කෙසේ දැයි පෙන්නුම් කරන බවත්, Zhang Zhan හට වසර පහක සිර දඬුවමක් නිර්දේශ කිරීමට නඩු පවරන්නන් විසින් ඉල්ලා ඇති බවත්, එම නඩු විභාගය නිරීක්ෂණය කිරීමට චීනය විසින් අවසර නොදුන් බවත් තවදුරටත් වාර්තා වෙයි. කෙසේ නමුත් ඇයව වහාම නිදහස් කරන ලෙස සCPJ වැඩිදුරටත් ඉල්ලා සිටියි.here
තවත් උදාහරණයක් වන්නේ Chen Jieren නම් ජනමාධ්‍යවේදියායි. 2020දී ඔහුට එරෙහිව ‘කොමියුනිස්ට් පක්ෂය සහ රජය විවේචනය කිරීම’ – ‘අසත්‍ය තොරතුරු’ ප්‍රකාශයට පත් කිරීම ඇතුලු චෝදනා එල්ල විය. ඔහු සිදුකර තිබුණේ කුමක්ද? ඔහු හුනාන් පළාතේ රාජ්‍ය නිළධාරීන්ගේ දූෂණ-වංචා සම්බන්ධයෙන් හෙළිදරව් කරමින් ලිපි දෙකක් පළ කිරීමයි. ඉන් පසු, අධිකරණය විසින් ඔහුට “කලහ ඇති කිරීම”, බ්ලැක්මේල් කිරීම සහ අල්ලස් ගැනීම ඇතුලු චෝදනා යටතේ වසර 15ක සිර දඬුවම් නියම කළේය. මානව හිමිකම් සංවිධාන පෙන්වා දුන්නේ, ඔහු දේශපාලන අදහස් දැරීම නිසා මෙම අනීතික දඩුවම පැනවූ බවයි. ජාත්‍යන්තර සංවිධාන පවසා සිටියේ, චීනය ලොව පුරා මාධ්‍යවේදීන් සිරගත කරන විශාලතම රට බවත්, එමෙන්ම කොරෝනා වයිරසය වැනි තීරණාත්මක අවස්ථාවලදී පවා එරට මාධ්‍ය නිදහස දැඩි ලෙස පාලනය කර තිබූ බවත්ය. Chen Jieren ට ලබා දුන් දඬුවම ස්වාධීන Online විචාරකයන්ට සහ පුරවැසි මාධ්‍යවේදීන්ට භයානක සංඥාවක් බවත් මානව හිමිකම් ආරක්ෂකයින් ප්‍රකාශ කර තිබිණි. here
කෙසේ නමුත්, චීන රජය මෙම චෝදනාවන්ට නීතිමය තත්ත්වයක් ඇති බව පවසන අතර, එම ක්‍රියාකාරකම් රාජ්‍ය විරෝධී ක්‍රියාකාරකම් ලෙස සලකයි.
තවත් උදාහරණයක් ලෙස, 2013දී Liu Hu නම් ජනමාධ්‍යවේදියා ‘කටකතා ප්‍රචාරය කිරීමට එරෙහි පුළුල් මෙහෙයුමක්’ යටතේ අත්අඩංගුවට ගන්නා ලදී. ඔහුට එරෙහිව ‘අපහාස’ චෝදනාවක් එල්ල වූ අතර, මෙය චීනයේ ජනමාධ්‍යවේදීන් බිය ගැන්වීමේ තවත් ප්‍රභල උදාහරණයකි. here
චීන රජය මෙම මෙහෙයුම් ‘සමාජ ස්ථාවරත්වය ආරක්ෂා කිරීම’ ලෙස අර්තකතනය කරන නමුත් ජාත්‍යන්තර සංවිධාන මෙය දැඩි මර්දනයක් ලෙස පෙන්වා දෙයි. චීනයේ රාජ්‍ය මාධ්‍යයක් වන Global Times වැනි ආයතන, මෙම අත්අඩංගුවට ගැනීම් ‘විදේශීය බලවේග සමඟ සම්බන්ධතා’ හෝ ‘අසත්‍ය ප්‍රවෘත්ති’ ලෙස පවසමින් චීන පාලනය ආරක්ෂා කරන අතර, බටහිර මාධ්‍යයන් ‘කටකතා කර්මාන්තශාලා’ ලෙසට ද චෝදනා කරයි.here කෙසේ වෙතත්, Reporters Without Borders (RSF) වැනි සංවිධාන පවසන්නේ චීනයේ ජනමාධ්‍යවේදීන්ට එරෙහිව ‘අසත්‍ය චෝදනා’ යටතේ චෝදනා ගොනුකිරීම තුළින් මර්දනයක් සිදු වන බවයි. here
ඉහතින් දක්වන ලද්දේ ‘චීනයේ මාධ්‍ය නිදහසේ තරම’ පිළිබද උදාහරණ කිහිපයක් පමණි. මෙයට අමතරව තවත් දැවැන්ත මර්දනයක් චීනය තුළ සිදුවෙයි. චිනය විසින් ජනතාවගේ ක්‍රියාකාරකම් දැවැන්ත නීරීක්ෂනයට(Surveillance) යටත් කරමින් පෞද්ගලිකත්වය, නිදහස ඇතුලු මිනිසුන්ගේ මූලික අයිතිවාසිකම් දැවැන්ත මර්දනයකට ලක්කරමින් තිබේ. මාධ්‍ය මර්දනය එයින් ප්‍රමුඛ වන අතර, මාධ්‍ය නිදහස පිළිබද ගෝලීය දර්ශකයට අනුව චීනය ට හිමිව ඇත්තේ රටවල් 180ක් අතරින් 178වන ස්ථානයයි. https://rsf.org/en/index
එපමණක් ද නොවේ. චීනයේ Online වාරණයේ ප්‍රධාන මෙවලම වන්නේ කුප්‍රකට ග්‍රේට් ෆයර්වෝල් (Great Firewall – GFW) යයි. (https://www.newsweek.com/china-great-firewall-leak-2130435 – Video Overview in Sinhala) Great Firewall – GFW යනු චීන රජය විසින් ක්‍රියාත්මක කරන නීතිමය-තාක්ෂණික වාරණ පද්ධතියකි, එය Google, Facebook, Twitter වැනි විදේශීය වෙබ් අඩවි වාරණය කරමින් තොරතුරු පාලනය කරයි; IP බ්ලොක්, DNS විකෘතිකරණය, මුහුණු හඳුනාගැනීම් ආදිය භාවිතා කරමින් 2025දී වාරණය ශක්තිමත් කර VPN භාවිතය ද නීතිවිරෝධී ලෙස නිර්දේශ කර ඇති අතර, මෙය ජාත්‍යන්තර මානව හිමිකම් සංවිධාන විසින් “ඕර්වෙලියන් (Orwellian)” පාලනයක් ලෙස විවේචනය කර ඇති අතර, 2025 සැප්තැම්බර්හි 500GBක ලීක් එකක් මගින් එහි(Great Firewall) තාක්ෂණය හි සැළැස්ම සම්පූර්ණයෙන් හෙළි වීමෙන් පසු එම තාක්ෂණය පාකිස්තානය, මියන්මාරය, ඉතියෝපියාව සහ කසකස්තානය වැනි රටවලට අපනයනය කර ඇති බව ද අනාවරණය විය.
(“ඕර්වෙලියන්” යනු රජයක් ජනතාවගේ සිතුවිලි, සාකච්ඡා, සංවාද, හැසිරීම් ඇතුලු සියලු ක්‍රියාකාරකම් සම්පූර්ණයෙන් පාලනය කරන, නිරන්තරයෙන් නිරීක්ෂණය/surveillance කරන භයානක ඒකාධිපති පාලන ක්‍රමයකි.) here – here – (නවතම වාර්තාව here)
මෙවැනි අන්දමකින් මිනිසුන්ගේ අයිතිවාසිකම් පිළිබද සැලකිල්ලක් නොදක්වමින්, මර්දනීය පාලන තත්ත්වයක් ඇති චීනය සමග ජාතික ජන බලවේග ආණ්ඩුව ලංකාවේ ‘මාධ්‍ය සංවර්ධනය කිරීමට’ (මෙම අවබෝධතා ගිවිසුම් පිළිබද සියලු තොරතුරු මහජනයා ට තවමත් විවෘතකර නැත) අවබෝධතා ගිවිසුම් අත්සන් කළ බව වාර්තා විය. here
දැන්, ආසන්නම උදාහරණය වන අරුණ පුවත්පතේ පළවු පුවතක් සම්බන්ධයෙන් එම පුවත ‘අසත්‍ය පුවතක්’ යැයි නම් කරමින් ප්‍රධාන කතෘ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට(CID) ගෙන්වීමට ගන්නා ලද උත්සහය අප තේරුම් ගත යුත්තේ කෙසේද?
එපමණක් ද නොවේ, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව(CID) විසින් අරුණ පුවත්පතේ ප්‍රධාන කතෘ ට යවන ලද ලිපිය හී ශීර්ෂයේම දක්වා ඇත්තේ ‘අසත්‍ය පුවත සම්බන්ධව’ යනුවෙනි. එයින් ගම්‍ය වන්නේ විමර්ශනයට පෙරම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව(CID) විසින් පුවත අසත්‍ය බව පූර්ව නිගමනයට එළඹ තිබීමත් අප තේරුම්ගත යුත්තේ කෙසේද?
ලියුම්කරු විසින් ඉහතින් සදහන් කර ඇති චීනය සහ චීනයේ මාධ්‍යවේදීන් මර්දනය කිරීමට ගන්නා ලද ක්‍රියාමාර්ගවලින් මේ සදහා යතුරක් අපට සොයාගත හැකිය. විශේෂයෙන් ‘අසත්‍ය පුවත්’ යන නාමකරණය යටතේ සිදුවන ක්‍රියාවලීන් නිරීක්ෂණය එහීදි වැදගත් වනු ඇත.
එබැවින් අතිවිශාල බහුතර පාර්ලිමේන්තු මංත්‍රීවරුන්ගෙන් තේරී පත්වූ ජාතික ජන බලවේගයේ(NPP) ආණ්ඩුවෙන් අපට අසන්නට ඇත්තේ ජනමාධ්‍ය සම්බන්ධයෙන් ඔබේ ප්‍රතිපත්තිය ගමන් ගන්නේ චීන මාවතේ ද යන්න පමණි.
පසු සටහන
ලංකාවේ ඇතැම් මාධ්‍ය ආයතන, මාධ්‍යවේදීන් සහ ඔවුන්ගේ අන්තර්ගතයන් පිළිබද දැඩි විවේචන ඇති බව මෙය කියවන පාඨකයන්ට අවධාරණය කර සිටී. නමුත් එම විවේචන ශිෂ්ට සම්පන්න, ආචාරධාර්මික ලෙස ඉදිරිපත් කිරීමත් – ඒවා සම්බන්ධයෙන් ප්‍රජාතන්ත්‍රීය වටිනාකම් මත පිහිටුවමින්, පිළිගත් ක්‍රමවේදයන්ට අනුව කටයුතු කිරීම අතිශය වැදගත්ය. මාධ්‍යවේදින්ට කියා විශේෂ වරප්‍රසාද හෝ සුවිශේෂී තත්ත්වයන් නැත. එසේම යම් මාධ්‍ය ආයතනයක් හෝ මාධ්‍යවේදියෙකු විසින් ඉදිරිපත් කරන ලද තොරතුරක-පුවතක නිරවද්‍යතාවය පිළිබඳව විමසීම් කිරීමේ යාන්ත්‍රණයන් ප්‍රජාතන්ත්‍රවාදී සමාජයක තිබිය යුතුය. එය ස්වාධීන යාන්ත්‍රණයක් මිසක දණ්ඩනය මුල්කරගත් අධිකාරීවාදී-බල-දේශපාලන වුවමනාවන් වෙනුවෙන් සේවය කරන යාන්ත්‍රණයන් නොවිය යුතුය. කෙසේ නමුත්, එම තොරතුරු-පුවත පිළිබද ‘අසත්‍ය යැයි පූර්ව නිගමනයකට පැමිණ’, එම තොරතුරු ඉදිරිපත් කළ පුද්ගලයන්ට එරෙහිව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට(CID) කැඳවීම මාධ්‍යට එල්ල කරන බරපතළ තර්ජනයක් ලෙස සැලකිය හැකිය.[Journalism is not a Crime]
විශේෂයෙන් මාධ්‍ය අවකාශයන්හී (විශේෂයෙන් Online) ‘අන්තර්ගතයන්’ ගේ සත්‍ය-අසත්‍යතාවය පිළිබදව සෙවීම Generative AI ලෝකය තුළ දැවැන්ත අභියෝගයක් – අර්බුධයක් බවට පත්ව ඇති බව ශ්‍රී ලංකාවේ පොලීසිය බාර ඇමතිත්, ජනමාධ්‍ය තුළ පලවන එවැනි අන්තර්ගතයන් විසදා ගැනීම සදහා පිළිගත් ක්‍රමවේද තිබිය දී අපරාධ පරීක්ෂන දෙපාර්තමේන්තුව වෙත දිව යන දේශපාලකයන් ඇතුලු සියලු දෙනාත් මෙන්ම විශේෂයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවත් (CID) ඉතා ඉක්මනින් අවබෝධ කරගත යුතුව ඇත.
මේ අතර තවත් විහිළුවක් වන්නේ අරුණ පුවත්පතේ කතෘ සම්බන්ධ සිදුවීම හෙළා දකිමින්, ශ්‍රී ලංකාවේ මාධ්‍ය මර්දනයේ මාස්ටර්ලා වූ රාජපක්ෂලාගේ තවත් පුරුකක් වන නාමල් රාජපක්ෂ මාධ්‍ය නිවේදනයක් නිකුත් කිරීමය.
සම්පත් සමරකෝන් | Sampath Samarakoon