iMage: GenAI

මෑතකදී සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වූ අතිශය පෞද්ගලික වීඩියෝ පටයක් මුල් කරගනිමින්, මෙරට සමාජ මාධ්‍ය නියාමනය පිළිබඳ කතිකාව නැවතත් කරළියට පැමිණෙමින් තිබේ. පුද්ගලික දත්ත හෝ ඡායාරූප-වීඩියෝ අයිතිකරුගේ අවසරයකින් තොරව ප්‍රසිද්ධ කිරීම(Non-Consensual Intimate Images NCII) මගින් අදාළ පාර්ශවයන්ට, විශේෂයෙන්ම කාන්තාවන්ට සිදුවන සමාජීය, මානසික සහ ආත්මගරුත්වයට අදාළ හානිය මිල කළ නොහැකිය. මෙවැනි ‘ඔන්ලයින්’ හානි (Online Harms) වැළැක්වීමට විධිමත් ක්‍රමවේදයක් අවශ්‍ය බවට විවාදයක් නැතත්, ඒ සඳහා යෝජනා වන විසඳුම්වල ප්‍රජාතන්ත්‍රවාදී ගුණය පිළිබඳව බරපතල ප්‍රශ්නාර්ථයන් මතුව පවතී.

නියාමනය සහ තහනම: වැරදි ප්‍රවේශයක අනතුර

සමාජයේ ඇතැම් පිරිස් වෙතින් මතුවන ප්‍රධාන තර්කයක් වන්නේ මෙම හානි සඳහා වගකීම සමාජ මාධ්‍ය වේදිකා දැරිය යුතු බවත්, විසඳුම ලෙස ‘තහනම’ හෝ ‘දැඩි මර්දනකාරී නීති’ ගෙන ආ යුතු බවත්ය. අපට ‘නියාමනයකට යන්න වෙයි’ වත්මන් ආණ්ඩුව විසින් දරණ මතයයි.

නමුත් මෙහිදී අප තේරුම් ගත යුතු කරුණක් වන්නේ තාක්ෂණය යනු හුදෙක් මෙවලමක් පමණක් බවයි. සමාජ වගකීමකින් තොරව අන්තර්ගතයන් නිර්මාණය කරන සහ බෙදාහරින ‘පරිශීලකයා’ (User) මගහැර, සමාජ මාධ්‍ය වේදිකාවලට පමණක් ඇඟිල්ල දිගු කිරීම ගැටළුවේ මතුපිට ස්පර්ශ කිරීමක් පමණි. නමුත්, පරිශීලක වගකීම ප්‍රධාන වුවද, Platforms විසින් නිර්මාණය කරන Algorithmic incentives සහ Moderation failures ද Online Harms වර්ධනය වීමට සෘජු ලෙස බලපාන බව නොතකා හැරිය නොහැක.

තවද විශේෂයෙන්ම ‘සමාජ මාධ්‍ය තහනම’ වැනි අන්තගාමී යෝජනා නූතන ලෝකය තුළ ශ්‍රී ලංකාව තවදුරටත් හුදකලා කරන, පසුගාමී තත්වයක් නිර්මාණය කරයි. විශේෂයෙන් ඩිජිටල්කරණ ව්‍යපෘතියට බිලියන 30ක් වැනි විශාල මුදලක් අයවැය තුළින් වෙනකර ඇති මොහොතක එවැනි තීරණයක් ගනු ලැබුවහොත් එය අතිශය තකතීරූ තීරණයක් වනු ඇත.

නීතිය: ආරක්ෂකයෙක්ද? දඩයම්කරුවෙක්ද? (පළමුව ‘නීති’ සහ ‘තහනම’ නම්!)

ඉතා දියුණු සහ තියුණු කෘතීම බුද්ධි(Generative AI) ලෝකය තුළ සත්‍ය-අසත්‍ය බව හදුනා ගැනීම අර්බුදයක් වී ඇති කාලයක නීති වලින් සහ තහනම් කිරීම් වලින් සමාජය තුළ ආරක්ෂාව තහවරු කළ නොහැකිය. ස්ථාවර ලෙස ආරක්ෂාව තහවරු කළ හැකි වන්නේ දැනුම, ආචාරධර්ම, සමාජ වගකීම, මානව හිමිකම් ඇතුලු සාක්ෂරතාවය ලබා දීමෙන්ය. තහනම් කිරීම හෝ දැඩි දඩුවම් සහිත නීතිවලින් ආරක්ෂාව තහවරු කල නොහැක.

ලංකාවේ ආණ්ඩු සහ නීති

ලංකාවේ මෙතෙක් පත් වූ ආණ්ඩු විසින් හදුන්වා දුන් බොහෝ නීති ඔවුන් විසින් ප්‍රකාශ කරනු ලැබූ අරමුණට සම්පූර්ණයෙන් ප්‍රතිපක්ෂව ගෙන එන ලද සහ ක්‍රියාත්මක කරන ලද නීති ය. ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත(PTA) සහ මාර්ගගත සුරක්ෂිතතාවය පිළිබද පනත(OSA) උදාහරණ 2කකි. වත්මන් ජාතික ජන බලවේගය විසින් හදුන්වා දෙනු ලැබ ඇති, යෝජිත ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කිරීමේ පනත – PSTA(කෙටුම්පත) තවත් බියකරු උදාහරණයකි. මේ උදාහරණ තුනෙන්ම මිනිසුන්ගේ මූලික අයිතිවාසිකම්වලට දැඩි තර්ජනයන් එල්ල කරන ලද නීති සහ කෙටුම්පත්ය.

එබැවින් ආණ්ඩු විසින් සමාජ මාධ්‍ය නියාමනය සදහා ද නීති ගෙන එන්නේ නම්, එම නීති පිළිබද වඩා වැඩි අවදානයක් දිය යුතු වේ. එය එසේ වන්නේ එක් යක්ෂයෙක් නැති කිරීමට යැයි කියමින් වර්තමාන ‘පුනරුද ආණ්ඩුවත්’ යක්ෂ ගෝත්‍රයක්ම හෙවත් PSTA හදුන්වා දී ඇති නිසාය.

එබැවින් ලංකාවේ නීති සම්පාදන ඉතිහාසය දෙස බැලීමේදී, බොහෝ විට ‘ආරක්ෂාව’ යන ලේබලය යටතේ ගෙන එන ලද නීති අවසානයේදී පුරවැසියාගේ මූලික අයිතිවාසිකම් දඩයම් කිරීමට යොදාගත් ආකාරය ඉතාමත් නරුම, කුප්‍රකට ඉතිහාසයක් තිබේ.

ප්‍රධාන වගඋත්තරකරුවා සහ සාක්ෂරතාවයේ භූමිකාව

ඔන්ලයින් හානි සම්බන්ධයෙන් ප්‍රධාන වගඋත්තරකරුවා වන්නේ අදාළ හානිකර අන්තර්ගතය නිෂ්පාදනය කරන හෝ සොරකම් කරන පුද්ගලයාය. එබැවින් රජයක හෝ සිවිල් සමාජයේ මූලික අවධානය යොමු විය යුත්තේ මර්දනයට නොව, ඩිජිටල් සාක්ෂරතාවය ඉහළ නැංවීමටය.

මෙහිදී ප්‍රවේශයන් කිහිපයක් වැදගත් වේ:

1. අධ්‍යාපන ප්‍රතිසංස්කරණ: පාසල් පද්ධතිය තුළම ‘මානව හිමිකම් මත පදනම් වූ ඩිජිටල් පුරවැසිභාවය’ පිළිබඳ විෂය කරුණු ඇතුළත් කිරීම.

2. ආචාරධාර්මික භාවිතය: සමාජ වගකීමක් සහිතව සමාජ මාධ්‍ය භාවිතා කිරීම දිරිමත් කරන ජාතික වැඩපිළිවෙළක් සකස් කිරීම.

3. සිවිල් මැදිහත්වීම: සිවිල් සමාජය විසින් යෝජනා කර ඇති ‘සමාජ මාධ්‍ය ප්‍රකාශනය’ වැනි ප්‍රජා මූලික ස්වයං නියාමන ක්‍රමවේදයන්ට රාජ්‍ය පහසුකම් සැලසීම.

විකල්ප විසදුම් ප්‍රවේශයක් ලෙස ‘සමාජ මාධ්‍ය ප්‍රකාශනය’

එහීදී ශ්‍රී ලංකාවේ පළමු වරට හදුන්වා දී ඇති සමාජ මාධ්‍ය ප්‍රකාශනය අධ්‍යනය කිරීම මෙම තත්ත්වය තවත් අන්දමකින් අවබෝධ කර ගත හැකිය. එම ප්‍රකාශනයේ නවතම පිටපතෙහි, ප්‍රධාන කුළුනු කිහිපයක් ගැන සදහන් වෙයි. මූලිකවම ‘ආණ්ඩුවල වගකීම්’ ‘සමාජ මාධ්‍ය වේදිකාවල වගකීම්’ සහ ‘මාධ්‍ය හා සිවිල් සංවිධානවල වගකීම්’ ලෙසය.

‘ආණ්ඩුවල වගකීම්’

• මානව හිමිකම් සහ ප්‍රකාශනයේ නිදහස: අන්තර්ජාලය තුළ තොරතුරුවල නිරවද්‍යතාවය සහ විශ්වාසනීයත්වය ප්‍රවර්ධනය කරන අතරම, ප්‍රකාශනයේ නිදහස ඇතුළු මානව හිමිකම් සුරැකෙන ආරක්ෂිත ඔන්ලයින් පරිසරයක් ශක්තිමත් කිරීම රජයේ වගකීමකි.
• අන්තර්ජාල නිදහස සහ ප්‍රවේශය: අන්තර්ජාලය මන්දගාමී කිරීම් (Slowdowns) හෝ අවහිර කිරීම් (Shutdowns) වලින් තොරව ස්ථාවර අන්තර්ජාල ප්‍රවේශයක් සහ සමාන පහසුකම් පුරවැසියන්ට ලබා දීම.
• ජාත්‍යන්තර සම්මුතීන් ක්‍රියාත්මක කිරීම: අන්තර්ජාලය හරහා සිදුවන වෛරී ප්‍රකාශ, ප්‍රචණ්ඩත්වය සහ සමාජභාවය මත පදනම් වූ හිංසනයන්ට එරෙහිව සටන් කිරීමේදී සිවිල් සහ දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ ජාත්‍යන්තර සම්මුතිය (ICCPR) වැනි සම්මුතීන් නිසි ලෙස ක්‍රියාත්මක කිරීම සහ ඒවා අනිසි ලෙස භාවිත කිරීම වැළැක්වීම.
• පෞද්ගලිකත්වය සහ දත්ත ආරක්ෂාව: පරිශීලකයන්ගේ පෞද්ගලික තොරතුරුවල රහස්‍යභාවය සහ ආරක්ෂාව සහතික කිරීම සඳහා ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුකූල ක්‍රියාත්මක කිරීම.
• ඩිජිටල් සාක්ෂරතාවය ප්‍රවර්ධනය: අසත්‍ය තොරතුරු (Misinformation/Disinformation) හඳුනා ගැනීමට සහ තොරතුරුවල විශ්වාසනීයත්වය තක්සේරු කිරීමට ඇති හැකියාව වර්ධනය කිරීම සඳහා ඩිජිටල් සාක්ෂරතාවය ජාතික අධ්‍යාපන විෂය මාලාවට විෂයක් ලෙස එක් කිරීම.(කෘතීම බුද්ධිය වර්දනය වන ලෝකයක ඒ සදහා ඇති අභියෝගද අදාල ප්‍රකාශනයේ සාකච්ඡා කර ඇත බලන්න)
• අසත්‍ය තොරතුරුවලට එරෙහි වීම: හානිකර අන්තර්ගතයන්ට එරෙහිව නිවැරදි තොරතුරු සපයන ‘ප්‍රති-පණිවිඩ ව්‍යාපාර’ (Counter-messaging campaigns) සඳහා සහය වීම සහ ආන්තික ප්‍රජාවන්ගේ ආරක්ෂාව තහවුරු කිරීම.

‘සමාජ මාධ්‍ය වේදිකාවල වගකීම’

• මූලධර්ම සහ මානව හිමිකම්: තොරතුරුවල නිරවද්‍යතාවය, විශ්වාසනීයත්වය සහ විනිවිදභාවය පවත්වා ගනිමින් මානව හිමිකම්වලට ගරු කිරීම සහ ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් කිරීමට වේදිකාලට ඇති වගකීම,
• භාෂාමය හැකියාව සහ පාලනය (Content Moderation): සිංහල සහ දෙමළ භාෂාවලින් ලැබෙන පැමිණිලි සම්බන්ධයෙන් කටයුතු කිරීමේ හැකියාව (Language Capacity) පුළුල් කිරීම සහ ශ්‍රී ලංකාවට අදාළ වාර්තා (User Reports) පරිශීලනය කිරීමට පත් කර ඇති නිලධාරීන් සංඛ්‍යාව පිළිබඳ විනිවිදභාවයක් තිබීම අත්‍යවශ්‍ය වේ.
• හානිකර අන්තර්ගතයන් ඉවත් කිරීම: ප්‍රචණ්ඩත්වය, NCII හෝ වෛරී ප්‍රකාශ පිළිබඳ වලංගු දැනුම් දීමක් ලැබී පැය 24කට අඩු කාලයකදී එම අන්තර්ගතයන් ඉවත් කිරීමට හෝ ඒවාට ඇති ප්‍රවේශය අඩාල කිරීමට කටයුතු කළ යුතුය. දරුණු ප්‍රචණ්ඩකාරී තත්ත්වයන් පවතින විට මෙම කාලය තවත් අඩු කළ යුතුය.
• පරිශීලක දැනුවත්භාවය සහ පෞද්ගලිකත්වය: සියලුම දේශීය භාෂාවලින් පරිශීලක පෞද්ගලිකත්වය සහ ආරක්ෂාව පිළිබඳ ප්‍රතිපත්ති පැහැදිලි කළ යුතු අතර, අවසර නොලත් අන්තර්ගතයන් පිළිබඳව ඔවුන්ව දැනුවත් කළ යුතුය.
• ආන්තික පිරිස් ආරක්ෂා කිරීම: ස්ත්‍රී විරෝධී ප්‍රකාශ, ජාතිවාදය සහ හිරිහැරවලට එරෙහිව කාන්තාවන් සහ සුළුතර ප්‍රජාවන් ආරක්ෂා කිරීමට විශේෂ මැදිහත් වීමක් කළ යුතුය. එසේම, විවිධ හඬවල් ආරක්ෂා වන පරිදි ඇල්ගොරිතම (Algorithms) නිර්මාණය විය යුතුය.
• Generative AI කළමනාකරණය: උත්පාදක කෘතිම බුද්ධිය (Generative AI) භාවිතයෙන් නිර්මාණය කරන ලද හෝ වෙනස් කරන ලද අන්තර්ගතයන් හඳුනාගෙන ඒවා පැහැදිලිව ලේබල් (Labeling) කිරීමේ වගකීම වේදිකා සතු වේ.

ඉහතින් දක්වන ලද්දේ සමාජ මාධ්‍ය ප්‍රකාශනයෙන් උපුටාගත් කොටස්වල සාරාංශයක් වන අතර, පරීශීලක වගකීම් ඇතුලු සම්පූර්ණ අන්තර්ගතය සදහා මෙම වෙබ් අඩවියට socialmedialanka.org පිවිසෙන්න

සමතුලිත ප්‍රවේශයක් සඳහා ඉහත කරුණු පදනම්ව බහු-මට්ටම් උපාය මාර්ගය අත්‍යවශ්‍ය වන අතර එහි තවදුරටත් සාරංශයක් ඉදිරිපත් කරමි.

විශේෂයෙන් හානිකර අන්තර්ගතයන් පැය 24ක් ඇතුළත ඉවත් කිරීමට සමාජ මාධ්‍ය සමාගම් සමඟ රාජ්‍ය තාන්ත්‍රික මට්ටමින් එකඟතා ඇති කර ගැනීමත්, සමාජ මාධ්‍ය වේදිකා විසින් අන්තර්ගතය ඉවත් කිරීමේ සහ ගිණුම් අත්හිටුවීමේ තීරණ පිළිබඳ විනිවිදභාවී වාර්තා ඉදිරිපත් කිරීමටත්, අන්තර්ගතයන් ඉවත් කිරීම හෝ ගිණුම් අත්හිටුවීම පිළිබඳ තීරණ ගැනීමේදී ස්වාධීන අධීක්ෂණයක් පැවතීමත්, විශේෂයෙන් දැඩි දඬුවම් දීමට පෙර, තාක්ෂණය නිවැරදිව භාවිතා කරන ආකාරය(සාක්ෂරතාවය, මානව හිමිකම්-සමාජ වගකීම ආදී) පිළිබඳව ජනතාව දැනුවත් කිරීමත්, අදාළ තත්ත්වයන් තුළ රජයේ පියවර පිළිබඳ පාර්ලිමේන්තු අධීක්ෂණයත්, සිවිල් සමාජයේ සහභාගීත්වය සහ සංවාදයත් ආදී තත්ත්වයන් අතිශය වැදගත් වනු ඇත. (කෙසේ වෙතත්, පැය 24ක් ඇතුළත අන්තර්ගතය ඉවත් කිරීම සඳහා යොදාගන්නා ක්‍රමවේද ස්වයංක්‍රීය මර්දනයකට (Automated Censorship) මඟ නොතැබෙන ලෙස, නිසි ක්‍රියාවලිය (Due Process), අභියාචනා කිරීමට ඇති හැකියාව (Appeal Mechanisms) සහ ස්වාධීන අධීක්ෂණයකට (Independent Oversight) යටත් වීම අත්‍යවශ්‍ය වනු ඇත. පැය 24ක් ඇතුළත අන්තර්ගතයන් ඉවත් කිරීමේ නීති/රීති, නිසි ක්‍රියාවලියක්, අභියාචනා කිරීමේ හැකියාවක් සහ ස්වාධීන අධීක්ෂණයක් නොමැතිව ක්‍රියාත්මක වුවහොත්, එය හානිකර අන්තර්ගතයන්ට වඩා නිවැරදි/වෙනස් අදහස්ම මර්දනය කරන ස්වයංක්‍රීය Censorship එකක් බවට පත්වීමේ අවදානමක් ඇත.)

තිරසාර විසඳුම් වන්නේ සාක්ෂරතාවය, තාක්ෂණික සහයෝගීතාවය, පෞද්ගලිකත්වයට ඇති අයිතිය ඇතුලු මානව හිමිකම්, සමාජ වගකීම වැනි ප්‍රජාතන්ත්‍රීය වටිනාකම් සහ සිවිල් සමාජ සහභාගීත්වය ඒකාබද්ධ කරන බහු-මට්ටමේ ප්‍රවේශයන්ය. කෙසේ නමුත් එහිදී ශ්‍රී ලංකාවේ ආණ්ඩුවලට ඇති අභියෝගය වන්නේ ආණ්ඩුව යෝජනා කරන පුරවැසියන්ගේ ආරක්ෂාව පිළිබද නීති රාමු සහ මූලික අයිතිවාසිකම් අතර සම්බන්ධය සොයා ගැනීමයි. නැවත වරක් කියන්නේ නම් OSA සහ PTSA වැනි පනත් සහ පනත් කෙටුම්පත්වලින් එහි බරපතල අවදානම් තත්ත්වය මනාවට පිළිඹිබු වෙයි.

එබැවින්, මානව හිමිකම් සහ ප්‍රජාතන්ත්‍රවාදී සාරධර්ම ආරක්ෂා කරන ආකාරයෙන්, ඩිජිටල් සාක්ෂරතාව සහ වගකීම් සහගත සමාජ මාධ්‍ය භාවිතය ප්‍රවර්ධනය කිරීම කෙරෙහි අවධානය යොමු කළ යුතුය.

අවසාන වශයෙන්, සමාජ මාධ්‍ය යනු හුදෙක් විනෝදාස්වාදය සපයන තැනක් පමණක් නොව, නූතන ප්‍රජාතන්ත්‍රවාදයේ අදහස් හුවමාරු වන ප්‍රධානතම වේදිකාවයි. කෘතිම බුද්ධිය(AI) වැනි තාක්ෂණයන් හමුවේ සත්‍ය සහ අසත්‍යය වෙන් කරගැනීම අසීරු කාලයක, ආරක්ෂාව තහවුරු කළ හැක්කේ මර්දනීය නීති මගින් මිනිසුන්ගේ අදහස් මර්දනය කර, සිරගත කිරීමෙන් නොව, දැනුම(සාක්ෂරතාවය), සමාජ වගකීම සහ ආචාරධර්ම මගින් ඔවුන් සන්නද්ධ කිරීමෙනි. රජය කළ යුත්තේ මර්දනකාරී පනත් හරහා ‘ඩිජිටල් පොලිස්කාරයෙකුගේ’ භූමිකාව රඟපෑම නොව, නිදහස් සහ වගකීම් සහගත ඩිජිටල් අවකාශයක් සඳහා මාවත සකස් කිරීමයි.

මර්දනය සහ බියගැන්වීම මත පදනම් වූ ක්‍රියාමාර්ග හෝ මර්දනීය නීති මඟින් කිසිදාක තිරසාර ලෙස සුරක්ෂිත සමාජයක් ගොඩනැගිය නොහැකිය.

(මෙම ලිපිය පසුගිය 6වනදා ‘අනිද්දා’ පුවත්පතේ මුල් වරට පළවිය.)

සම්පත් සමරකෝන් | Sampath Samarakoon