අද[14] උදේ ලංකාදීප පත්තරේ දිග ඇරියාම ඔන්න තවත් ජෝඩු ප්‍රශ්නයක් ගැන ප්‍රධාන සිරස්තලයක්. ‛‛තහනම නොතකා ගාලු කොටුවේ රැඳුණු ජෝඩු 400 ක් අල්ලති’’ . ඒ ප්‍රවෘත්තියට අනුව, පොලිසිය, යුද හමුදාව, ගාල්ල මහ නගර සභාව, පුරා විද්‍යා දෙපාර්තමේන්තුව සහ ගාලු උරුමය පදනම එක්ව, ගාලු කොටුවේ සිදුවන අපචාර මැඩලීිමට දැවැන්ත වැඩසටහනක් දියත් කර ඇත. ඒ වැඩසටහන යටතේ විසිපස් දෙනෙකුගෙන් යුතු කණ්ඩායමක් ගාලු කොටුවේ තැන තැන වාඩි වී සිටින පෙම්වතුන් වෙත ගොස්, අසැබි ලෙස හැසිරීමේ ආදීනව කියා දී, ඔවුන්ට දැඩි ලෙස අවවාද කොට, අධිකරණයට ඉදිරිපත් කරන බවට තර්ජනය කොට, ලෝක උරුමයක් වන ගාලු කොටුවේ ඇති ඓතිහාසික හා පුරා විද්‍යා වටිනාකම ගැන ඔවුන් දැනුවත් කරන බව දැක්වේ.
මීට දින දින කිහිපයකට පෙරත් (ඔක්තෝබර් 05 වැනිදා) ලංකාදීප පත්තරේ තුන්වැනි පිටුවේ ලොකු අකුරුවලින් තිබූ සිරස්තලයක් වූයේ ‛‛කුරුණෑගල හෝටලයකින් ජෝඩු 48 ක් අත්අඩංගුවට’’ යන්නයි. ඒ ප්‍රවෘත්තියෙන් කියවුණේ කුරුණෑගල නගරයේ කුඩා හෝටලයක් වැටලූ පොලීසිය එහි කාමර වල සිටි ජෝඩු 48ක් අල්ලා ගත් බවයි. පොලිස් නිලධාරීන් ඔවුන් ට දැඩි අවවාද කොට පිටත් කර හැරිය බවත් එහි කියවී තිබුණා. පොලීසියේ ‛‛දැඩි අවවාද කිරීම’’ කෙසේ වෙන්නට ඇතිදැයි අපිට සිතාගත හැකියි.
මේ ප්‍රවෘත්ති දෙකෙන් එකකින් කියවෙන්නේ, ප්‍රසිද්ධ ස්ථානයක සිටි පෙම්වතුන් වෙත පොලීසිය, හමුදාව සහ තවත් උරුම පදනම්වල අයියලා කඩා පැනීමක් ගැනයි. දෙවැනි පුවතින් කියවෙන්නේ, කාමර ඇතුළට වී සිටි පෙම්වතුන් (පෙම්වතුන් යන්නට ඉරි ගසා වෙන් කළ නිශ්චිත නිර්වචනයක් නැති නිසා, එකට ගත කරන්නට කැමති, එකට තනිව ඉන්නට ආසා කරන, ලිංගිකව හැසිරෙන…….ආදී කොයි කවුරුත් ‛‛ජෝඩු’’ ගැන කතා කරන්නට මේ වචනය යොදා ගත්තාට කමක් නැතැයි සිතමි) වෙත පොලීසිය කඩා වැදීමයි. ඉතිං අපේ රටේ, ප්‍රසිද්ධියේ සිටියත්, කාමර අස්සේ සිටියත්, ජෝඩු වලට බේරිල්ලක් නැත.
චිත්‍රපටි ශාලාවලට රිංගන පොලිස් නිළධාරීන් ඒවායේ සිටින ජෝඩු අල්ලාගන්නා ප්‍රවෘත්ති ගණනාවක්ම පසුගිය කාලයේ තව තව එක එක පත්තරවල පළ විය.
විශ්ව විද්‍යාලයක පෙම්වතුන් සමග සිටි ශිෂ්‍යාවන්ගේ කන්‍යාභාවය පරීක්ෂා කිරීමට ඉස්පිරිතාලෙට ඇරිය උප කුලපති තුමෙක් ගැනත් මෑතකදී ආන්දෝලනයක් තිබුණි.
මේ ප්‍රවෘත්තිවල නිතරම යෙදෙන වචනයක් වන්නේ ‛‛අසැබි ලෙස හැසිරුණු’’ යන්නයි. මේ ‛‛අසැබි’’ කම ප්‍රශ්නාර්ථයකි. ‛‛අසැබිකමේ’’ දිග පළල ඒ ඒ වේලාවට පනින අයට ඕනෑ විදියට අර්ථ දක්වා ගත හැක්කකි. අත අල්ලාගෙන සිටීම, ඇඟේ ගෑවෙන තරමට ලංවී සිටීම, මහුණ අතගෑම, මුහුණ ඉඹීම, කුඩයක් ඉහලාගෙන මුවා වී සිටීම, මුහුණට එබී ඉඹින්නට හැදීම, ආදී ක්‍රියාවන්ගේ සිට, නිදි යහනේ නිරුවතින් ඉඳීම දක්වා වන පරාසයක මේ ‛‛අසැබි’’ කම අර්ථ දක්වන්නට ‛‛අසැබි හැසිරීම්’’ වෙත කඩා පනින්නට පත් කළ බලධාරීන්ට අවසර ඇත. කඩා පනින පොලීස් නිලධාරීන්ගේ සහ අනෙක් උරුම කරුවන්ගේ ලිංගික අසහනයේ ප්‍රමාණයට මේ නිර්වචනය කපා කොටා හදා ගත හැකිය. ‛‛අසැබිකම’’ යන්න නිශ්චිතව නිර්වචනය කොට එහි පිටපත් පොලීසිවලට සහ කඩා පනින අනෙකුත් උරුම කරුවන්ට ලබා දීමත්, ඒ නිර්වචනය ගැන සාමාන්‍ය ජනතාව දැනුවත් කිරීමත් අත්‍යවශ්‍ය වන්නේ මේ නිසාය.
මේ ප්‍රවෘත්ති කියවන විට මට මෑතකදී මා මුහුණ දුන් පෞද්ගලික අත්දැකීමක් මතකයට නැගේ. මමත් මගේ ස්වාමිපුරුෂයාත්, අපේ අවුරුදු හතරක් වයසැති පුතා සමඟ කොළඹ නිදහස් චතුරස්‍රයට ගියේ නිවාඩු දවසේ ගෙදරින් පිටට ගොස් පැයක් දෙකක් ගත කිරීමේ බලාපොරොත්තුවෙනි. දුව පැන අවිදින්නට හොඳට ඉඩ කඩ ඇති නිසා පොඩි පුතා නිදහස් චතුරස්‍රයට යන්නට කැමතිය. දරුවාට සෙල්ලම් කරන්නට හැර මාත් මගේ සැමියාත් ගල් කණුවකට හේත්තු වී කතා කරමින් සිටියෙමු. අපි ඒ වෙලාවේ සැහැල්ලුවෙන් සිටි නිසා ටිකක් උස් හඬින් සිනා සෙමින් කතා කර කර සිටියෙමු. එකවරටම අප වෙත පැමිණි සෙකියුරිටි ඇඳුම් ඇඳගත් වයසක පහේ මහත්මයෙක් බොහොම සැර මුහුණක් දමාගෙන, ‛‛ඕගොල්ලන්ට මෙතන ඔය විදියට හැසිරෙන්න බෑ. කරුණාකරලා යන්න’’ කියා කීවේය. අතිශයින් කෝපයට පත් වූ මම ‛‛ඇයි අපි මොකක්ද කරපු වරද අංකල්?’’ කියා ඇසුවෙමි.
ඔය විදියට කපල්ස්වලට මෙතන ඉන්න තහනං’’
‛‛අංකල් අපි කපල් එකක් තමයි. හැබැයි අපි දෙන්නා නෝනයි මහත්තයයි. අපි ආවේ අපේ පුතා එක්ක’’
වෙලාවේ හැටියට ‛‛කසාදේ’’ අධිකාරිය ඉස්සරහට දමා මම කිව්වෙමි.
‛‛ඕන එක්කෙනුට කියන්න පුළුවන්නෙ අපි බැඳලා කියලා. මොකද අපි කසාද සහතික පරීක්ෂා කර කර ඉන්නයැ. පොඩි ළමයෙක් හිටපු නිසා තමයි මම මෙච්චර වෙලාත් මොනවත් නොකිව්වෙ….කරුණා කරලා යන්න’’
එතනින් එහාට ඇති වූ බහින්බස් වීම ගැන දීර්ඝව ලියන්නට මම අදහස් නොකරමි. නමුත් මේ අපේ රටේ දිනෙන් දින උත්සන්න වන ‛‛ජෝඩු භීතිකාවේ’’ අසාධ්‍ය තත්ත්වයයි. ඒ අසරණ වසයක සිකුරිටි අංකල්ට උපදෙස් ලැබී ඇත්තේ, නගර සභාවෙන් හෝ පොලීසියෙන් විය යුතුයි. ඒ අංකලුත් රාජකාරි උණ, තමන්ගේ ජීවිතයේ පීඩනයෙන් සහ අසහනයෙන් තවත් වැඩි කරගෙන මිනිස්සුන්ට පාට් දමමින් කාලකණ්ණි සතුටක් ලබයි.
කොළඹ විහාර මහා දේවී උද්‍යානයේ සිටින සිකුරිටි අයියලා සහ අංකල්ලා පෙම්වතුන්ට තිත්ත කුණු හරුපයෙන් බැණ අඬගාමින්, විසිල් ගස ගසා එළවන අන්දම මම සියැසින් දැක ඇත්තෙමි. විහාර මහා දේවී උද්‍යානයට වරක් පිරිමි මිතුරෙකු සමග ඇතුල් වෙන්නට ගිය විට මගේත් ඔහුගේත් ජාතික හැඳුනුම්පත ඉදිරිපත් කරන්නට අපට සිදුවුණි.
මේ සියල්ලේම පිළිබිඹුව වන්නේ අපේ සමාජයේ රෝගී භාවයයි.
මිනිසුන්ට නිදහස් තැනක නිදහසේ කතා බහ කරමින් ඉන්නට තැනක් අපේ රටේ නැත. පෙම්වතුන්ට වාඩි වී සිටින්නට බංකුවක් නැත. ප්‍රේම කිරීම, ප්‍රේමය පළ කිරීම, ලිංගික සම්බන්ධතා පැවැත්වීම ලෝකයේ කොයි කවරදාවත් නතර කළ හැක්කක් නොවේ. ඒවාට කිසිදු ඉඩක් කඩක් නැති සමාජයක ගොජ ගැහෙන්නේ පීඩනයයි, වෛරයයි. අපව පීඩාවට පත් කරන දේ ඕනෑ තරම් අවට ඇත. තමන් කැමති කෙනෙක් සමඟ පෙම් කිරීම අපරාධයක් නම්, මේ රටේ මිනිසුස්න්ට ඉතුරු වන්නේ මොනවාද?
ලිංගික අපරාධ, ස්ත්‍රී දූෂණ, බාල වයස්කාර දරු දැරියන් ලිංගික අපයෝජනයට ලක් වීම වැනි දරුණු සමාජ ගැටළු විසඳීමට හැක්කේ, පොලිසිවල හෝ ජාතික උරුමකරුවන්නේ කඩා පැනිලි වලින් ගෑණු පිරිමි අල්ලා ගැනීමෙන් නොවේ. ඒ අපරාධ වලට හේතු වන සමාජ සහ ආර්ථික ගැටළු මොනවාදැයි ගැඹුරින් සොයා බලා ඒවාට දීර්ඝ කාලීන පිළියම් සෙවීමෙනි.
එසේ නැතුව, මිනිසුන්ගේ නිදහස, පෞද්ගලිකත්වය අමානුෂික ලෙස උල්ලංඝණය කරමින් කරන පහත් පෙළේ ‛‛මෙහෙයුම්’’ වලින් නොවේ.
නදී