‛‛නේවාසික පහසුකම් ලබා දියව්’
‛පෞද්ගලික විශ්ව විද්‍යාල ඇරඹීම නවතව්’
‛මහපොළ ශිෂ්‍යාධාරය වැඩිකරව් ’
‛ප්‍රතිපාදන කප්පාදුව නවතව්’
‛පන්ති තහනම ඉවත් කරව්’’
ලංකාවේ විශ්ව විද්‍යාල පද්ධතිය පුරා නිරන්තර ව ඇසෙන්නේ මේ සටන් පාඨයන් ය. වසරින් වසර අඩුවකින් තොරව ම මෙවන් වූ සටන් පාඨ සෑම සරසවියක ම ඇසෙන්නේ ලංකාවේ ‛‛වාසිටි ජීවිතය’’ ඛේදවාචකයක් බව කියාපාන්නට මෙනි.
‛‛සමාජවාදී ශිෂ්‍ය සංගමයේ 03 වන මහා සම්මේලනය’’
මෙවන් පසුබිමක් තුළ සමාජවාදී ශිෂ්‍ය සංගමය තමන්ගේ 03 වන සංවත්සරය උත්සවශ්‍රීයෙන් සමරනවා. ලංකාවේ විශ්ව විද්‍යාල පද්ධතියේ බහුතර ශිෂ්‍ය සාමාජිකත්වය දරණ සංවිධානය වන්නේ එයයි. සරසවි අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටින ප්‍රමුඛයා තමන් යැයි කියා ගන්නා සංවිධානය වන්නේ ද ඔවුන්ම ය. අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය, නැතිනම් අපේ භාෂාවෙන් ‛‛අන්තරය’’ යන්න, එහි අභ්‍යන්තරයේ පවතින අවතැන් වූ ක්‍රියාකාරී සංවිධානය යි. තවත් ආකාරයකින් විග්‍රහ කර ගතහොත් ‛‛ජනතා විමුක්ති පෙරමුණේ ’’ මතවාදය (ජේ.වී.පී.ට නිශ්චිත මතවාදයක් නොවූවද) පෝෂණය කරන්නා වූ තරුණ බෙලහීන කඳවුර ද එය යි.
ඒ සියල්ල එසේ වෙද්දී සරසවියේ දේශපාලනය අද වන විට ඇද වැටී තිබෙන අඳුරු තම ආගාධයේ හිමිකරුවන් වන්නේ ද ඔවුන් මය. එදා සිට අද දක්වා සරසවි දේශපාලනය තුළ හොඳින් හෝ නරකින් බලය හසුරුවන්නේ ද ඔවුන් මය. අනෙක් රටවල් වල සරසවි විද්‍යාර්ථීන් නව දැනුම සොයා ගොස් ශාස්ත්‍ර ඥානය ලබා ගන්නා විට අපේ උන්ට පරණ පදය ම හඬගාමින් වීදි බසින්නට පොළඹ වන්නේ ද ඔවුන් මය. පෞද්ගලික විශ්ව විද්‍යාල තහනම් කරන්නට අර අදිනා කුහක දේශපාලනය මිස, තමන්ට ද එම වරප්‍රසාදයන් ලබා ගැනීමට වෙර දරණ ශිෂ්‍ය දේශපාලන මය කතිකාව නිර්මාණය නොකරන්නේ ද ඔවුන් විසින් මය.
අනෙක් අතින් ‛‛ජාතිවාදය’’ නැමැති මඩගොහොරුවේ ගිල්වා සරසවි සිසුන් තම සාක්කුවට දමා ගන්නා ජේ.වී.පි. අපරාධ නඩයේ පෙර ගමන් කරුවන් ද ඔවුන් මය. ප්‍රජාතන්ත්‍රවාදය උගන්වන්නට දේශපාලනය කළ යුතු සරසවිය ‛‛අන්තරයේ’’ බූදලයක් කරගත්තේ ද ඔවුන් ම ය. එයින් ද නොනැවති වෙනස් දේශපාලන මත දරණ සරසවි සිසුන්ට පහර දුන්නේ ද ඔවුන් මය. මරණයට පත්කළේ ද ඔවුන් මය. සමාජවාදයේ කොතැනකවත් සඳහන් නොවන නිර්ධනයා විසින් නිර්ධනයා පෙළෙන මිලේච්ඡ නවක වදය ලබා දී එය අන්තරයේ ‛‛සොදුරුතම නිර්මාණය’’ ලෙස කිසිඳු හිරිකිතයකින් තොරව රටට හඬ ගා කියන්නේ ද ඔවුන් මය. එසේම එම සොදුරු නිර්මාණයේ බලමහිමයෙන් සරසවිය හැර ගිය, ජීවිතය හැර ගිය, සදාකාලික ආබාධිත බවට පත්වූවන්ගේ දෙමාපියන් සාප කරන්නේ සරසවි අධ්‍යාපනයට මිස, ඊනියා ‛‛රතු රෙද්දට’’ මුවා වී ජඩකම් කරන අන්තරේ සහෝදරයින්ට නොවීම ද සරදමකි.
ඉඳින් හිතවත,
නවක වදය වැනි වූ අතිශය මිලේච්ඡ වනචාරි දඬුවම් සරසවියෙන් අතුගා දැමීමට තරම් කශේරුකා සවිමත් නැති අන්තරයේ ඊනියා සහෝදරයින්ට රට වෙනුවෙන් වීදි බසින්නට තබා එක් ඇඟිල්ලක් දිගු කරන්නට වත් අයිතියක් කොයින් ද? අනුන්ගේ මත නො ඉවසනා අනුන්ගේ සමාජ පසුබිමට ගරු නො කරනා මෙවන් කුහක සමාජවාදී ශිෂ්‍ය පරම්පරාවක් වෙනත් කිසිඳු රටක පවතින්නේද? අනාගත සරසවියෙන් දේශපාලනයේ ‛අ’ යන්න ඉගෙන ගන්නට ඇඟිලි ගණින අපේ උන්ට සමාජවාදය නැමැති සොඳුරු සංකලපයේ අරුත කියා දෙන්නට ඉන්නේ මෙවන් පිරිසක් නම්, රටේ දේශපාලනය යන්නේ කොයිබට ද?
සිතා බැලිය යුතුය අප නැවතත්, තමන්ගේ ඊනියා සමාජවාදයේ ප්‍රතිරූප බව කියාපාමින් ලෙනින්, චේ, මාක්ස් වැනි සැබෑ මනුෂ්‍යයින් ද විකුණමින් නිගරු කරනා මෙවන් කුහක, සාමජවාදි ශිෂ්‍ය ව්‍යාපාරයකට ලංකාවේ මතු දේශපාලනයේ වගකීම බාර දෙන්නේ ද? මිනිසෙකු වෙනුවෙන් ආදරය කරන්නට තවත් මිනිසෙකු මෙහෙයවන ඒ ආදරණීය සමාජවාදී සමාජය වත් ගොඩනැඟීමට නොදන්නා අපේ සිසු පරපුරට කාගේ නම් සරණක් ද?
සමන්තිලක බණ්ඩාර
[email protected]