සනත් බාලසූරිය
‛රටේ ඇත්ත අර්බුදය’ ගැන කතාකිරීමට බියෙන් සිටින ජනමාධ්‍ය, එජාපයේ අර්බුදය ගැන කතා කිරීම විහිළුවක් බව විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ පසුගිය දිනෙක ප්‍රවෘත්ති සාකච්ඡාවක දී කියා සිටියේ ය. රනිල් මෑතක දී මාධ්‍ය හැසිරීම විවේචනය කළ එක ම අවස්ථාව මෙය නොවේ.
කරුණු සහිතව, හේතු සහිතව සමාජ සංස්ථා සහ පුද්ගලයන් විවේචනය කිරීමට මාධ්‍යයට අයිතියක් ඇතිවා සේ ම, කරුණු සහිතව සහ හේතු සහිතව මාධ්‍ය විවේචනය කිරීමේ අයිතිය සමාජ සංස්ථාවන්ට හා පුද්ගලයන්ට ද ඇත. ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදියකු ලෙස සමාජයට පෙනෙන රනිල් ගේ භූමිකාවේ ඊට ප්‍රතිවිරුද්ධ ආධිපත්‍යවාදී, දැඩි මුහුණුවර ඔහු මාධ්‍ය විවේචනයට බසින අවස්ථාවන්හි දී හෙළිදරව් වනබව ලියුම්කරු ගේ පෞද්ගලික අදහස යි. එසේ ම ‛අරක නොකරන නිසා මේක ද නොකළ යුතු ය’ පන්නයේ සීමාවන් මාධ්‍යයට නොව, අදහස් ප්‍රකාශ කරන කාට වුවත් පැනවීම ද ශිෂ්ට සමාජයකට නොගැලපෙතැයි සිතමි.
කරුණු එසේ වුවත් රනිල් මාධ්‍ය අරබයා සිදුකළ විවේචනයන්ට ප්‍රති විවේචනයක් ගෙනඒම වෙනුවට ඔහු ගේ විවේචනය ඔස්සේ ලංකාවේ මාධ්‍යවල අද ස්වභාවය ගැන ලුහුඬු මුත් වාස්තවික කතිකාවක යෙදීමට කවුලුවක් තනාගැනීම, මෙම සටහනේ අරමුණ වේ.
රනිල් කියන්නේ ‛රටේ සැබෑ අර්බුදයන්’ ගැන කතාකිරීමට මාධ්‍ය බියවන බව ය. ඔහු සඳහන් කරන ‛බිය’ යන්න ලංකාවේ මාධ්‍ය සම්බන්ධයෙන් මේ මොහොතේ සැබෑවකි.
‛බිය’ අහේතුකද?
පොදු භූමිකාවක් හිමි අයකු බිය නිසා ඊට සීමා දමාගැනීම ගැන දොස් පැවරීම තරමකට හෝ සාධාරණ වන්නේ බිය අහේතුකවන කල්හි ය. බිය නොවන්නන්ට හා අවනත නොවන්නන්ට එරෙහිව උදෑසනට දුරකතනය ඔස්සේ අසභ්‍ය වදනින් බැන තර්ජනය කිරීමේ සිට අනාගතයට බලපාන පරිදි අධිකරණ වාරණ නියෝග ලබාගැනීමෙන්, ආයතන ගිනිබත් කිරීමෙන් නොනැවතී ශාරීරික ඝාතනය දක්වා සියලු ක්‍රියාකාරකම්වල නිපුනත්වය ප්‍රායෝගික ව පෙන්වූ රෙජීමයකට බිය නොවී සිටීමට තරම් එඩියක් ජනමාධ්‍යයට කාන්දු කරන උල්පතක් ලාංකේය සමාජයේ ඇත්නම් ඒ කොතැනද? එසේනම් බිය සහේතුක ය.
බියෙන් අත්මිදීමට මාර්ගය පෙන්වා, ඊට අවතීර්ණ වීමේ පසුබිම සකසා තිබියදීත්, පොදු භූමිකාවක් හිමි අයකු බියෙන් එම භූමිකාව පැහැරහරීනම් නම් එය විවේචනය කිරීම සාධාරණ විය හැකිය. එහෙත් එසේ නොවන විටෙක බිය නිසා හකුළාගන්නා ක්‍රියාමාර්ගයන් නිශේධනීය ස්ථාවරයකින් විවේචනය කිරීම සාධාරණ ද යන්න ගැටලුවකි
‛අවනත භාවය’
එසේ ම වත්මන් ලාංකේය මාධ්‍ය තුළ රනිල් කියන ‛රටේ සැබෑ අර්බුද’ කතා නොවීමට එක ම හේතුව බියද?
බිය හා සමාන ම බලවත් සාධකයක් මේ මොහොතේ ලාංකේය මාධ්‍ය සමාජය මත ක්‍රියා කරයි. එය හැඳින්වීමට ‛අවනත භාවය’ යන්න යෙදීමට කැමැති වෙමි. බිය විසින් ද අවසානයේ ගෙනඑන්නේ ‛අවනත භාවයක්’ වුවත්, මෙහි කතාකිරීමට බලාපොරොත්තු වන අවනත භාවය ‛බියෙන් විනිර්මුක්ත අවනතභාවය’ ලෙස නම්කිරීම වඩා ගැලපේයැයි සිතමි.
මේ මොහොතේ ලාංකේය ජනසමාජය යන්නට අරුත් සපයන්නේ සිංහල බෞද්ධ මතවාදී කේන්ද්‍රයට අනුගතවන ජනකොට්ටාශය යි. ඊට අනුගත නොවන අනෙකුත් ජන කණ්ඩායම්වලට මේ මොහොතේ තීරණාත්මක හඬක් හිමි බවක් නොපෙනේ. යුද්ධයේ ආරම්භක අවදියේ සිට පාලක රෙජීමය විසින් මේ මතවාදී ආධිපත්‍යය දැඩිව පැතිරවීම ඇරැඹූ අතර, දශක තුනක් තිස්සේ සිය ප්‍රමෝදය විනාශ කළේය යි සිංහල කේන්ද්‍රීය සමාජයට විශ්වාස කරන්නට ඉගැන්වූ එල්ටීටීඊ ය මේ රෙජීමය විසින් මුලිනුපුටා දමන ලදැයි කියන තැනින් එහි කූටප්‍රාප්තිය සලකුණු කැරිණි. වසර එක හමාරක් තිස්සේ එකතැන රැඳී සිටින්නට තරම් බලගතු වූ ඒ කූටප්‍රාප්තිය, මතවාදී දේශපාලනික ප්‍රතිවිරෝධයක් නොමැති කළ තවත් සැලකිය යුතු කාලයක් අල්ලා සිටින්නට තරම් ශක්තිමත් බව පෙනේ.
ඒ සංස්කෘතික ආධිපත්‍යයට කැමැත්තෙන් ගාල්වන්නෝ, ඒ වනාහී පාලකයා විසින් පාලකයාගේ ම හිතසුව පිනිස සාදාගනු ලැබූවක් නොව, තමන්ගේ ම එකක් ලෙස අදටත් අදහති. ඒ අනුව සිංහල කේන්ද්‍රීය ජනසමාජය අද පූර්ණ අවනත භාවයේ ප්‍රතිමූර්තියකි. එය බිය නිසා නොව පාලක රෙජීමයට, නිශ්චිතව කියන්නේ නම් රාජපක්ෂ රෙජීමයට සැබෑවට ම අවනත ය.
ඉදින් මේ සිංහල කේන්ද්‍රීය සමාජයේ ම දරුවන් වන මාධ්‍ය ප්‍රාජාවේ අවනතභාවය ගැන අමුතු අටුවා ටීකා අවශ්‍ය නැත. වරෙක තමන් විසින් ම ජාතික වීරයකු සේ අභිෂේක කළ මිනිසකු, මාස කිහිපයක් ඇවෑමෙන් රාජපක්ෂ රෙජීමයට අභියෝග කිරීමේ වරදට දේශ ද්‍රෝහියකු කිරීමට ඔවුන් අවනත වීනම්, එතැනින් ඔබ්බට මේ ගැන කතාකිරීම තේරුමක් තිබේද? මේ අධිපතිවාදී මතවාදයට අවනත මාධ්‍යයට තමන්ගේ ම කියා වීරයන්වත් නැති බවත් අධිපති මතවාදය විසින් ඒ ඒ මොහොතට නම්කරන වීරයන් හා ද්‍රෝහීන් පසුපස ලුහුබඳින බවත් තේරුම් ගැනීමට තවත් ලිට්මස් පරීක්ෂණ අවශ්‍ය නැත.
මාධ්‍ය අයිතිකාරයෝ
එහෙත් මාධ්‍ය සමාජය සම්බන්ධයෙන් මේ අවනත භාවය නම් සාධකය තවත් බොහෝ ඈතට ඔඩු දුවයි එය සැලසුම් සහගතව ගොඩනංවමින් යන්නකි. බලාසිටින්නන්ට ද සුහදශීලී අනුග්‍රාහක දෑත් දිගුකරන්නකි. විරුද්ධ වන්නන්ට මාරාන්තික භීතිය ගෙන එන්නකි. එනයින් ම අතිශය භයානක ප්‍රවණතාවකි. එහි තරම මැනගැනීමට රාජ්‍ය පාලිත මාධ්‍යවලින් බැහැර ලාංකේය මාධ්‍ය ආයතන කිහිපයක හිමිකාරත්වය දෙසට ද සංක්ෂිප්තව හෝ බැල්මක් හෙළීම ප්‍රයෝජනවත් ය.
ශ්‍රී ලංකාවේ සිංහල/ඉංග්‍රීසි – දිනපතා/සතිපතා පුවත්පත් මුද්‍රණය කරන ප්‍රමුඛ පෙළේ පෞද්ගලික මාධ්‍ය ආයතන තුනකි. ඒ විජය, උපාලි, සහ සුමති ය.
මේ අතරින් සුමති පුවත්පත් ආයතනයේ ප්‍රධානියා තිලංග සුමතිපාල, ආණ්ඩු පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකි. ඊළඟ කැබිනට් බූරුකුට්ටම අනනවිට නියෝජ්‍ය ඇමැතිකමක් හෝ ලැබෙතැයි සිහින දකින්නෙකි. සිය පත්තර දාම් ලෑල්ලේ මාධ්‍යවේදී ඉත්තන් එහා මෙහා කිරීම පවා ඊට බාධා නොවන පරිදි සිදුකරන්නට ඔහු වෙහෙසෙන්නේ ශූර දාම් කප්පිත්තකු මෙනි.
උපාලි පුවත්පත් ආයතනයේ ප්‍රධානී නිමල් වෙල්ගම ජනාධිපතිවරයා විසින් පසුගිය මැයි මාසයේ දී ශ්‍රී ලංකා ටෙලිකොම් සභාපති ලෙස අභිෂේක කරනු ලැබූ තැනැත්තා ය. ඊට පෙර සිට ශ්‍රී ලංකා මහ බැංකුවේ මූල්‍ය මණ්ඩලයේ ද සාමාජිකයෙකි. රාජපක්ෂ ආණ්ඩුවේ ප්‍රවාහන අමාත්‍ය තැන්පත් කුමාර් වෙල්ගම ගේ සහෝදරයා ය.
ඉතින් මේ පුවත්පත් ආයතන දෙකේ අවනතභාවය හුදෙක් ඒවායේ සේවය කරන ජනමාධ්‍යවේදීන්ගෙන් ප්‍රභවය ලැබිය යුත්තක්ද?
විජය පුවත්පත් සමාගම හිමි රන්ජිත් විජේවර්ධන ඥාතීත්වයෙන් විරුද්ධ පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ ගේ මාමණ්ඩිය ය. ඔහු ගේ පුත් රුවන් විජේවර්ධන එජාප පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකි. සිය සිංහල පුවත්පත්වලින් සමාජ කුණුරසය අප්‍රසන්න ලෙස විකුණාගෙන කෑවද ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පුවත්පත් සමාගම් අතර සාපේක්ෂ වෘත්තීය භාවයක් පවත්වාගෙන යන්නේ ද මේ ආයතනයේ පුවත්පත් ය. (ඇතැමුන් මෙයට ‛සමබර’ යයි කියතත් ඒ වචනය පාවිච්චි කිරීමේ පිපාසයක් ලියුම්කරුට නැත) එහි ඇතැම් පුවත්පත් යම් දුරකට (කඹේ දිග ඇති පමණට) සංස්කාරකවරයා ගේ මතවාද මාර්ගයේ ගමන් කිරීමට වරම් ලබා ඇති බව ද පෙනේ.
‛පෞද්ගලික කර්තෘලා’ ආණ්ඩුවේ පුටුවලට
මේ කතාව මෙතැනින් නවතින්නේ ද නැත. උපාලි ආයතනයේ ප්‍රමුඛතම ප්‍රකාශනයක් වන ‛දිවයින ඉරිදා සංග්‍රහයේ’ ප්‍රධාන සංස්කාරක තැන්පත් ගාමිණී සුමනසේකර, ආණ්ඩුවේ රැඟුම් පාලක මණ්ඩලයේ සභාපතිවරයා ය. විජය සමාගමේ ‛ඉරිදා ලංකාදීපයේ’ ප්‍රධාන සංස්කාරක ආරියනන්ද දොඹගහවත්ත, වසර අටකට පසු යළි පනදුන් ශ්‍රී ලංකා පුවත්පත් මණ්ඩලයට ජනාධිපතිවරයා විසින් පත්කරන ලද සාමාජිකයෙකි. (මෙය ලැදියාවන් අතර ගැටුමක් ඇතිකරන්නක් බවත්, ඔහු ද ආරම්භක නායකයකු වූ, මෑතක් වනතුරුම ඔහු නිලතල හෙබවූ නිදහස් මාධ්‍ය ව්‍යාපාරය, පුවත්පත් මණ්ඩලයට එකහෙළා විරුද්ධව සිටින අතර ඔහු මේ නිලය හෙබවීමත් අමතර කාරණා වශයෙන් පවතී)
කරුණු එසේනම්, රටේ ප්‍රධාන පෞද්ගලික හිමිකාරත්වය සහිත පුවත්පත් ආයතන දෙකක් විසින් ප්‍රකාශයට පත් කරන මේ ප්‍රධාන පුවත්පත් දෙකේ අවනතභාවය ගැන පිටුගණන් ලිවිය යුතුද? පසුගිය ජනාධිපතිවරණ සමයේ දී සරත් ෆොන්සේකාට අවාසිවන අන්දමින් යොදාගතහැකි වූ දෙමළ ජාතික සන්ධානයේ ආර්.සම්බන්ධන් මහතා සමඟ කළේය යි කී, එහෙත් තථ්‍ය ලෝකයේ දී කිසි දා නොකළ බව පෙනුණු ප්‍රබන්ධ සම්මුඛ සාකච්ඡාව පළවූයේ ද, දොඹගහවත්ත ගේ පුවත්පතේ බව මතක්කර ගැනීම වැදගත් ය.
විද්‍යුත් මාධ්‍ය ද ඇතුළු රටේ සෙසු මාධ්‍ය ආයතනයන්ට රාජපක්ෂ රෙජීමයේ තිබෙන සබඳතා, නෑකම්, යාළුකම් විස්තර කිරීමට නොවෙහෙසෙමි. එහෙත් දේශපාලන ප්‍රභවයක් සහිත, දේශපාලන අවශ්‍යතාවකින් වැඩකරන මාධ්‍ය කිහිපයක් මෙන් ම, සිය සමාජ භූමිකාවේ හරය ආමන්ත්‍රණය කිරීමට සියලු මර්දනයන් මධ්‍යයේ වෙහෙසෙන මාධ්‍යවේදීන් හා සාපේක්ෂ ව කුඩා මාධ්‍ය ආයතන අතලොස්සක් අදටත් සිය භාවිතාව නොබියව හා අවනතභාවයෙන් බැහැරව මෙහෙයවන බව ඔවුන්ට ගෞරවයක් ලෙස සටහන් කරමි.
මේ මොහොතේ ලාංකේය සමාජය ලෙස පාලකයන් අභිෂේක කරවා ඇති ඒකකයට අවියෙන් තලා සංස්කෘතික ආධිපත්‍යයෙන් යටපත් කර තිබෙන දෙමළ ජන සමාජය අයිති නැති බැවින් රනිල් ගේ විවේචනයෙන් දෙමළ මාධ්‍ය බැහැර වී ඇතැයි පෙනුණත් අතිශය දුෂ්කර කොන්දේසි හමුවේ පවා සිය ප්‍රජාව ගේ ප්‍රශ්න ගැන කීමට වෙහෙසෙන දෙමළ මාධ්‍ය ද මෙහි වෙසෙසින් සඳහනු කැමැත්තෙමි. වන්නියේ ජනතාව ‛උගත් පාඩම් හා සංහිඳියා කොමිසම’ හමුවේ කී දේ වාර්තා කිරීමට ඔවුන් දැක්වූ නිර්භීත භාවය වුව ඒ විශේෂ සඳහනට මේ මොහොතේ ප්‍රමාණවත්යැ යි සිතමි.
සංස්කෘතික ආධිපත්‍යය
අවසාන වශයෙන් කිව යුත්තේ මේ දරුණු බූවලු ග්‍රහනයෙන් ජනමාධ්‍ය පමණක් මිදෙන තුරු බලා සිටීම ඵල රහිත බව ය. බියෙන් හෝ පූර්ණ අවනතභාවයෙන් හිරිවැටී සිටින සමාජය ‛සැබෑ අර්බුදයන්ට’ අවදි කිරීම යනු මුළුමනින් ම දේශපාලනික ක්‍රියාවලියකි. ඒ සඳහා පාලක රෙජීමය විසින් යුද්ධය පවතින වකවානුවේ සිට කෙමෙන් ගොඩනඟමින් පැමිණ යුද ජයග්‍රහණයෙන් පසු කූටප්‍රාප්තියට පත් කළ, අදටත් ඒ කූටප්‍රාප්තියේ ම ලැග සිටින යුධවාදයෙන් විස පෙවුණු සිංහල බෞද්ධ කේන්ද්‍රීය සංස්කෘතික ආධිපත්‍යයට පහර දිය යුතු ය. එය තමන් ගේ එකක් හෝ සිය හිතසුව පිණිස පවතින්නක් නොව පාලකයා සිය හිතසුව පිණිස ගොඩනංවාගත් ආධිපත්‍යවාදී ආකෘතියක් හෙවත් සංස්කෘතික හෙජමොනියක් ය යන්න ඊට වසඟ වී සිටින්නන්ට ඒත්තු ගැන්විය යුතු ය. ජනමාධ්‍යයේ ද පතිත වන්නේ එහි පිළිබඹුව බව තේරුම් ගත යුතු ය. මේ ඒත්තු ගැන්වීම සේම එහි ආධිපත්‍යයට පහර දීම ද දේශපාලනික ක්‍රියාවලියකි. මේ මොහොතේ පාලක රෙජීමයට එරෙහිව යන සෑම කුඩා අරගලයක් ම ඒ දිශාවට එල්ල කිරීමෙන් තොරව සමස්ත අර්බුදයෙන් ගොඩ ආ හැකි මඟක් ලාංකේය සමාජයට මුණනොගැසෙනු ඇත.
එහෙත් කණගාටුවට කරුණ වන්නේ දේශපාලන විපක්ෂයේ බොහෝ මූලික ක්‍රියාකාරකම් මේ පාලක රෙජීමයේ සංස්කෘතික හෙජමොනියට දේශපාලනික අභියෝගයක් වනවා වෙනුවට ඊට ම වක්‍රාකාරයෙන් පොහොර දමන දාර්ශනික දිළිඳු භාවයක් ප්‍රකට කිරීම යි.