Colombo, Featured Articles, Features

ආසියාවේ ලොකුම හොරකම

පෝද්දල ජයන්ත විසිනි

දකුණු ආසියාවේ රටකින් වාර්තා වී තිබුණු රාජ්‍ය අංශයේ ලොකුම හොරකම් දෙකක් වූයේ ඉන්දියාවේ බොෆෝස් අවි ගනුදෙනුව (රාජීව් ගාන්ධි සමයේ) සහ ශ්‍රී ලංකාවේ එයාර් බස් ගනුදෙනුව (1994ට පෙර එජාප පාලන සමයේ) යන මහා පරිමාණ ගනුදෙනු දෙකයි. මෙකී ගනුදෙනු දෙකේ වාර්තාව බිඳ හෙළමින් දකුණු ආසියාවේ රටක රාජ්‍ය අංශයේ සිදුවූ මහා පරිමාණ වංචාව වූයේ ශ්‍රී ලංකාවේ දේශීය ආදායම් බදු දෙපාර්තමේන්තවේ සිදුවූ වැට් බදු වංචාවයි.
රුපියල් කෝටි දෙදහසකට ආසන්න වූ මෙකි වැට් බදු වංචාවට රාජ්‍ය අංශයෙන් ඍජුවම වගකිව යුතු කිසිවෙකුටත් නීතිය ක්‍රියාවේ නොයෙදූ අතර, එහි එක් පුද්ගලයෙක් ජනාධිපතිවරයාගේ පූර්ණ ආශිර්වාදය යටතේ රටේ මුදල් අමාත්‍යාංශයේ සහ මහා භාණ්ඩාගාරයේ ලේකම් පදවිය උසුලයි.

ආරම්භය

මේ මහා පරිමාණ වංචාවේ ආරම්භය සිදුවූයේ වර්ෂ 2004 කෙටි කාලීන එජාප ආණ්ඩු සමයේදීය. වංචාවට ඍජුවම වගකිව යුත්තන්ට රාජ්‍ය තනතුරු පිරිනමමින් ක්‍රියා කළ සවිස්තරවලට පිවිසීමට පෙරාතුව ඉහත මහා පරිමාණ වංචාව සිදුවූ අයුරුත්, මේ ලියුම්කරු අදාළ වංචාව රුපියල් කෝටි පනහෙ සිට හෙළිදරව් කළ ආකාරයත් නැවත සිහිපත් කිරීම වටී.

වර්ෂ 2003 දී එජාප රජය ‛වැට්’ නමින් නව බදු ක්‍රමයක් හඳුන්වා දුන් අතර එය ක්‍රියාත්මක කිරීමේදී අපනයන භාණ්ඩ නිෂ්පාදකයන් තමන්ට පැන නැඟුණු ගැටලු රජයට පෙන්වා දුන්නේය. හේතුව ශ්‍රී ලංකාව තුළදී අපනයන භාණ්ඩ නිෂ්පාදනය කිරීමට අමුද්‍රව්‍ය මිලට ගැනීමේදීත්, ඉන්පසුව අපනයන කටයුතුවලදීත් නැවත නැවත වැට් බදු ගෙවීමට සිදුවීම නිසා එම අපනයන භාණ්ඩවල නිෂ්පාදන පිරිවැය ඉහළ යෑම නිසා එම භාණ්ඩ ලෝක වෙළෙඳ පොලේ මිළ සමඟ තරඟ කිරීමට විශාල ගැටලුවක් මතුවිණි. මේ ගැටලුවට අදාළ නිෂ්පාදන සමාගම් රජයට ඉදිරිපත් කළ අතර, එවකට රජය ඊට අවධානය යොමු කර මුල් වැට් බදු පනත සම්මත වී මාස හයකට පමණ පසු ඊට සංශෝධන පනතක් ගෙන එමින් අපනයන භාණ්ඩ නිෂ්පාදනයන්ට සහන සැලසීමට ක්‍රියා කළේය. නව සංශෝධන පනත වූයේ අපනයන භාණ්ඩ නිෂ්පාදකයන් රජයට ගෙවන වැට් බදු නැවත අයකර ගැනීමට අවස්ථාව ලබා ගැනීමේ නීතිමය ප්‍රතිපාදන සැලසීමයි. අපනයන භාණ්ඩ නිෂ්පාදනය කොට ඒවා අපනයනය කිරීමෙන් පසු අදාළ රේගු සහතික දේශීය ආදායම් බදු දෙපාර්තමේන්තුවට ඉදිරිපත් කර තමන් රජයට ගෙවන ලද ‛වැට්’ බදු මුදල් සියයට සියයක්ම ආපසු ලබා ගැනීමට හැකියාව ලැබුණි.

අපනයන භාණ්ඩ නිෂ්පාදන සමාගම්වලට රජය ඉහත වරප්‍රසාද ලබා දෙනු ලැබුයේ රටේ අපනයන භාණ්ඩ නිෂ්පාදනය ඉහළ දැමීමටත්, එමගින් විදේශ විනිමය විශාල ප්‍රමාණයක් රටට ගෙන්වා ගැනීමේත් යහපත් අරමුණ ඇතිවය. ඉහත මහා පරිමාණ වැට් බදු වංචාව සිදුවූයේ වැට්බදු සංශෝධන පනතින් අපනයන භාණ්ඩ නිෂ්පාදකයන්ට ලබාදුන් නැවත බදු අයකර ගැනීමේ වරප්‍රසාදය දඩමීමා කර ගනිමිනි.

වංචාව සිදු වූ හැටි

වංචාව සිදුවූයේ කිසිම අපනයන භාණ්ඩයක් නිෂ්පාදනය නොකොට, අඩුම තරමේ සමාගමක්වත් ලියාපදිංචි නොකර තිබූ, වැට් බදු තබා සාමාන්‍ය ආදායම් බද්දක්වත් කිසිදා නොගෙවා තිබූ නිකම්ම, නිකම් පුද්ගලයන් කිහිප දෙනෙකුට වැට් බදු ආපසු ගෙවීම යටතේ රුපියල් කෝටි දෙදහසකට ආසන්න මුදලක් දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ නිලධාරීන් කිහිප දෙනෙකු විසින් ගෙවීමයි.

වැට් බදු ආපසු ගෙවීමේ නීත්‍යානුකූල ක්‍රමය

වැට් බදු ආපසු ගෙවීමට අදාළව සම්මත වූ වැට් බදු සංශෝධන පනතට අනුව වැට් ආපසු ගෙවීමට පෙර අදාළ අපනයන භාණ්ඩ පිළිබඳව, ඒවා නිෂ්පාදනය කිරීමට දේශීය හෝ විදේශීය වශයෙන් අමුද්‍රව්‍ය මිලට ගෙන තිබේද?, නිෂ්පාදනයෙන් පසු එම භාණ්ඩ අපනයනය කර තිබේද? ඊට අදාළ රේගු සහතික ආදිය පිළිබඳව මුදල් අමාත්‍යාංශයේ ලේකම්වරයා විසින් ඍජු විගණනයක් කොට සියල්ල නිසි පරිදි සිදුවී ඇත්නම් පමණක් වැට් බදු ආපසු ගෙවීම් මුදල් අමාත්‍යාංශ ලේකම්වරයා විසින් සහතික කිරීමෙන් පසු චෙක්පත් නිකුත් කළ යුතුය. එසේ නම් කිසිදු අපනයන භාණ්ඩයක් නිෂ්පාදනය නොකළ එවැනි කාර්යයකට කිසිදු අමුද්‍රව්‍යයක් මිලට ගෙන නැති, අඩුතරමේ සමාගමක්වත් ලියාපදිංචි කර නැති පුද්ගලයන් කිහිප දෙනකුට අති විශාල මුදල් සම්භාරයක් ගෙව්වේ කෙසේද?

වංචාව රුපියල් කෝටි පනහේදී ප්‍රථම හෙළිදරව්ව

මෙම මහා පරිමාණ වංචාව පිළිබඳව මේ ලියුම්කරු කළ හෙළිදරව් කිරීම් මෙහි සටහන් තබනුයේ රුපියල් කෝටි පනහේ සිටම වරින් වර රජයේ ‛සිළුමිණ’ පුවත්පතින් හෙළිදරව් කරද්දීත්, ඊට කිසිදු අවධානයක් යොමු නොකර සියල්ල දැන දැන වංචාව රුපියල් කෝටි දෙදහසක් තරම් දුර දිග යෑමට ඉඩ දුන්නේ අදාළ වංචාවට ඉහළ බලධාරීන්ගේ තිබූ ඍජු සම්බන්ධතාව හෙළිදරව් කිරීම පිණිසය.

මේ ලියුම්කරු මහා පරිමාණ වැට් බදු වංචාව ප්‍රථමයෙන් හෙළිදරව් කරනු ලැබුවේ වංචාව රුපියල් කෝටි පනහක්ව තිබියදී ය. ‛රුපියල් කෝටි පනහක වැට් බදු වංචාවක්’ මැයෙන් ‛සිළුමිණ’ පුවත්පතේ ප්‍රධාන ප්‍රවෘත්තියෙනි. (එදා එවැනි ප්‍රවෘත්තියක් ලිවීමට නිදහස තිබුණි) වංචාව හෙළිදරව් කර මාස දෙකක් ගත විය. ඒ පිළිබඳව මුදල් අමාත්‍යාංශය, දේශීය ආදායම් බදු දෙපාර්තමේන්තුව වචනයක් කීවේ නැත. ප්‍රධාන ප්‍රවෘත්තිය ලියා මාස දෙකක් පමණ ගිය තැන රුපියල් කෝටි පනහේ වැට් බදු වංචාව ‛සිළුමිණ’ සම්පූර්ණ පිටුවක සවිස්තරාත්මකව දිග හැරියෙමි. එම ලිපියටද කිසිදු ප්‍රතිචාරයක් රජය හෝ මුදල් අමාත්‍යාංශය නොදැක්වී ය.

වසරකට පසු කෝටි 350

පළමු හෙළිදරව් කිරීමෙන් වසරක් ගෙවුණි. සිදුවී තිබුණේ කුමද්ද? වසරකට පෙර රුපියල් කෝටි පනහක්ව තිබූ වැට් බදු වංචාව වසරකට පසු රුපියල් කෝටි තුන්සිය පනහ ඉක්මවා තිබුණි. නැවතත් මේ ලියුම්කරු අදාළ ප්‍රවෘත්තිය ‛වැට් බදු වංචාව රුපියල් කෝටි 350 ඉක්මවයි’ මැයෙන් ‛සිළුමිණ’ ප්‍රධාන ප්‍රවෘත්තියක් සහ ඇතුළු පිටුවක දීර්ඝ ලිපියක් පළකළේය. එම හෙළිදරව්වටද කිසිදු ප්‍රතිචාරයක් රජය හෝ මුදල් අමාත්‍යාංශය, දේශීය ආදායම් දෙපාර්තමේන්තුව නොදැක්වීය. ඊට වසරකට පෙර රුපියල් කෝටි 50 හෙළිදරව්වට අනුව වහා පියවරක් ගත්තේ නම් අඩුම තරමේ එතැනින් මේ මහා වංචාව නතර කර ගැනීමට හැකියාව තිබුණි. ඉහත හෙළිදරව් දෙකම කළේ රජයේ ප්‍රධාන පුවත්පතිනි. වෙනත් පුවත්පතක එය සිදුවුයේ නම්, රජයට මඩ ගැසීමක් යැයි කියා ඇඟ බේරා ගැනීමට තිබුණි. වංචාවට ඉහළ බලධාරීන්ගේ ඍජු සම්බන්ධතාව නිසා ඒ ගැන වචනයකුදු කතා කළේ නැත.

තවත් වසරකට පසු

ඉහත වංචාව පිළිබඳ රජය කිසිදු පියවරක් නොගැනීම නිසා එහි තත්ත්වය ලියුම්කරු දිගින් දිගටම විපරම් කරමින් සිටි අතර, තවත් වසරක් ගතවන විට රුපියල් කෝටි 350 රුපියල් කෝටි දහසද ඉක්මවා ඇති බව හෙළිදරව් විය. එහිදී ලියුම්කරු අදාළ වංචාව පිළිබඳ ලිපිගොනුවක් සකස් කොට විපක්‍ෂ මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතාට ලබාදුන් අතර ඔහු ඒ ගැන පාර්ලිමේන්තුවේදී කරුණු විමසා සිටියේය.

වංචා විමර්ශන ඒකකයේ පරීක්‍ෂණ

දයාසිරි ජයසේකර මන්ත්‍රීවරයා පාර්ලිමේන්තුවේ කළ විමසීමෙන් පසු අනෙකුත් ජනමාධ්‍යවල මේ ගැන තොරතුරු පළවූ අතර, වංචා විමර්ශන ඒකකය පරීක්‍ෂණ ආරම්භ කළේය. පරීක්‍ෂණ මෙහෙය වූ ප්‍රධාන නිලධාරියා වූයේ පොලිස් අධිකාරී වෛiසේකර මහතාය. ඔහු ගණකාධිකරණය පිළිබඳ හසල දැනුමක් තිබූ නිලධාරියෙකි. ඔහුගේ පරීක්‍ෂණවලට අනුව මේ වංචාවේ තරම රුපියල් කෝටි දෙදහසකට ආසන්න වී තිබුණි. එහෙත් සිදුවූයේ කුමද්ද එකී පරීක්‍ෂණ හිටි හැටියේ නතර වූ අතර පොලිස් අධිකාරී වෛiසේකර මහතා පොලිස් කාන්තා හා ළමා කාර්යාංශයට මාරු කර යැවුණි. එම නිලධාරියා හොල්සිම් හම්බන්තොට පිළිබඳවද පරීක්‍ෂණවලට සහභාගී වූ නිලධාරියෙකි.

පළමු වග උත්තරකරුවා කොමසාරිස් ජෙනරාල් ලෙස උසස් කිරීම.

මේ මහා පරිමාණ වැට් බදු වංචාවට ඍජුවම වගකිව යුතු වංචාව සිදු වන අවස්ථාවේ එම (වැට්) අංශයේ ප්‍රධානියා ලෙස කටයුතු කළ සහකාර කොමසාරිස් ඒ. ඒ. විජේකෝන් මහතා ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා විසින් දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ කොමසාරිස් ජෙනරාල් ලෙස පත්කරනු ලැබීය. එය සිදු වූයේ මේ මහා වංචාව පිළිබඳ රටතුළ විශාල ආන්දෝලනයක් පැතිරෙමින් තිබියදීම ය. ඊට දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ බදු නිලධාරීන්ගේ සංගමය විරෝධය පළ කළද, එම විරෝධය ජනාධිපතිවරයා තුට්ටුවකට මායිම් කළේ නැත. කළ යුතුව තිබුණේ ඔහු වහාම අත්අඩංගුවට ගෙන නීතිය ක්‍රියාවේ යෙදවීමයි.

මුදල් අමාත්‍යාංශයේ ලේකම් පී.බී. ජයසුන්දර

දේශීය ආදායම් දෙපාර්තමේන්තුව පවතිනුයේ මුදල් අමාත්‍යාංශය යටතේය. රජයේ විගණකාධිපතිවරයා පිටු 15ක පමණ දීර්ඝ විගණන වාර්තාවකින් මේ මහා පරිමාණ වංචාව මුදල් අමාත්‍යාංශයට එවා තිබියදීත් රජයේ ‛සිළුමිණ’ පුවත්පත රුපියල් කෝටි පනහ, තුන්සිය පනහ ආදී වශයෙන් දිගින් දිගටම දීර්ඝ වශයෙන් හෙළිදරව් කර තිබියදීත් එම තොරතුරු දෛනිකව තමන්ගේ මේසය මතට ලැබී තිබියදීත් මේ පිළිබඳ ඔහු කිසිදු පියවරක් ගනු නොලැබුවේ මන්ද? වැට් බදු ආපසු ගෙවීමේ පනතට අනුව මුදල් අමාත්‍යාංශයේ ලේකම්වරයා ඍජු විගණනයකින් පසු මුදල් ගෙවීම අනුමත කළ යුතුය යන්න පැහැදිලිව සඳහන් කර තිබියදීත් අදාළ මුදල් නිදහස් කිරීමට ඔහුගේ අනුමැතිය ලැබී තිබුණේ කෙසේද? මේ සියල්ලට එසේ සිදුවී තිබියදීත් වෙනත් කාරණාවක් වෙනුවෙන්, මුදල් අමාත්‍යාංශ ලේකම් පී.බී. ජයසුන්දර මහතාට රජයේ තනතුරක් දීම වළක්වා ගැසට් නිවේදනයක් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් නිකුත් කර තිබියදීත් ජනාධිපතිවරයා විසින් ඔහු මුදල් අමාත්‍යාංශයේ ලේකම් ලෙස නැවත පත්කරනු ලැබීය.

වැට්බදු වංචාව පිළිබඳ විශේෂ ජනාධිපති කොමිෂන් සභාව

වංචා විමර්ශන අංශයේ පරීක්‍ෂණ අක්‍රීය කර මේ මහා වංචාව පිළිබඳ කරුණු පිරීක්සීමට විශේෂ ජනාධිපති කොමිෂන් සභාවක් පත් කෙරුණි. එම කොමිෂන් සභාව දීර්ඝ කාලයක් තිස්සේ වගකිව යුත්තන් ගෙන්වා සාක්‍ෂි විමසූ අතර, මේ ලියුම්කරු එම කොමිෂන් සභාවට ලිපියක් ලියා එහි සාක්‍ෂි දීමට අවස්ථාවක් ඉල්ලා සිටියේය. ඊට ප්‍රතිචාර වශයෙන් ලියුම්කරු කොමිෂම හමුවට කැඳවූ අතර, එහිදී ලියුම්කරු සතුව තිබූ සියලු ලිපි ලේඛන කොමිසමට භාරදුන් අතර, ලියුම්කරු කොමිෂන් සභාව හමුවේ පැහැදිලිව සඳහන් කළේ ‛වැට්’ බදු ආපසු ගෙවීම සම්බන්ධව මුදල් අමාත්‍යාංශ ලේකම්වරයා ඍජු ලෙසම වගකිව යුතු බවයි. එහෙත් එම කොමිෂන් සභාවේ වාර්තාව කුමක්ද? නිර්දේශ කවරේද? කිසිවක් අදටත් නොපැහිදිලිය.

මේ ලියුම්කරු වැට් බදු වංචාව පිළිබඳ සියලු ලිපි ලේඛන සහිතව අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවට ලිපි ගොනුවක් භාරදුන් අතර කොමිෂන් සභාවේ පිළිතුර වූයේ මේ පිළිබඳ විශේෂ ජනාධිපති කොමිෂන් සභාවක් විමර්ශන කටයුතු කරන හෙයින් තම කොමිෂම ඒ ගැන නැවත පරීක්‍ෂණ නොකරන බවත්, ජනාධිපති කොමිෂන් සභා වාර්තාව ලැබුණු පසු ක්‍රියාකරන බවත්ය. ජනාධිපති කොමිෂන් සභාවක පරීක්‍ෂණයක් පැවැත්වෙන විට අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසමට ඒ ගැන පරීක්‍ෂා නොකර සිටීමට කිසිදු නීතිමය බාධාවක් නැත.

ඉහත සියලු දෙනා ඩැහැගෙන ඇත්තේ රටේ සාමාන්‍ය බදු නීතිය යටතේ දේශීය ආදායම් බදු දෙපාර්තමේන්තුවට මහජනතාව විසින් ගෙවන ලද බදු මුදල්ය. මෙතුවක් කල් සිදුවූයේ ගෙවිය යුතු බදු මුදල් විවිධ උප්පරවැට්ටි යොදා ගෙන නොගෙවා පැහැර හැරීමයි. වැට් බදු වංචාවෙන් සිදු වූයේ මහජනතාව විසින් සාධාරණව ගෙවන ලද බදු මුදල් කෝටි දෙදහකට ආසන්න ප්‍රමාණයක් රිසිසේ මංකොල්ල කෑමයි.

රටේ දූ දරුවන්ගේ අනාගතය ගැන කප්පරක් වැදි බණ දේශනා කරන ජාතියේ ගැලවුම්කාරයාණෝ, රටේ ජනතාව විසින් කවදා අවබෝධ කර ගනු ඇද්ද?