සිංහල, Democracy, Eastern Elections, Peace and reconciliation

තහංවි මැද්දෙන් – නැගෙනහිර ඡන්දයට පෙර

සුනන්ද දේශප්‍රිය

“අව්රුදු පහක් ඉන්න. නැගෙනහිර දෙමළ ජනයා අතර එල්ටීටිඊ ය බලවත් වෙනවා” මා සමඟ සංවාදයකට එළඹුනු එල්ටීටිඊ හිතවාදී නොවන දෙමළ ජනමාධ්‍යවේදියකු කීවේ ය.

ඔහු එම තර්කය ගෙනාවේ කරුණු දෙකක් උඩ ය. එකක් නමි පිල්ලෙයාන් පිළට නියමාකාර බලයක් ලබා දිමට ආණ්ඩුව කටයුතු කරන්නේ නැත යන තර්කය යි. පිල්ලෙයාන් සමාන්තර හමුදා නායකයකු ලෙස සළකනවාට වඩා දේශපාලන නායකයකු ලෙස සැළකීමට මහින්ද රාජපක්ෂ ආණ්ඩුවේ යුද්ධ යන්ත්‍රය සූදානම් නැතැයි ඔහු තර්ක කළේ ය. කරණා අම්මාන් නැති ටීවීඑම්පී ය ප්‍රභාකරන් නැත එල්ටීටිඊ ය වැනි යැයි ඔහු කීවේ ය.


ඔහුගේ දෙවැනි තර්කය නිදහසින් පසු ගෙවුණු 60 වසරෙහි අත්දැකීම මත පදනම් වෙයි. ඔහු තර්ක කලේ සිංහළ බහුතර ආණ්ඩුවකට, විශේෂයෙන්ම සිංහල ජාතිකවාදය මත බලයට පත් මහින්ද රාජපක්ෂ ආණ්ඩුවට සැබෑ බලය බෙදීමක් කිරීමට කිසිදු හැකියාවක් හෝ කැමැත්තක් හෝ නැති බවයි. දැනටමත් ආණ්ඩු පක්ෂය සමඟ එක්ව තරඟ කරන බවට ශපථ කර ඇති හෙළ උරුමය එහි තරඟ කරන්නේ සිංහල බෙෘද්ධ උරුමය රැක ගැනීමට බව ප්‍රකාශ කර ඇති බව ඔහු පෙන්වා දුන්නේ ය. නමුත් ඇත්ත වශයෙන්ම නම් නැගෙනහිර පලාත් සභා ඡන්දයේ තේමාව විය යුත්තේ දෙමළ සහ මුස්ලිම් ප්‍රජාවන්ට බලය බෙදීම නොවියයුතු දැයි ඔහු විමසා සිටියේ ය.

“මං ඔට්ටුවක් අල්ලන්නම්, ප්‍රධාන පක්ෂ දෙකෙන් එකක්වත් ඒ තේමාව සිය ඡන්ද ව්‍යාපාරය බවට පත් කරගන්නේ නෑ, අපි කතාකරන ඉන්දියාවේ දී නම් මොනවද මේ වගේ ඡන්දයක දී වෙන්නේ? ඡන්දය සම්පුර්ණයෙන් ම පළාතේ ඒ ඒ් පක්ෂයේ ජනවාර්ගික නායකයින් අතට යනවා. නමුත් මේ ඡන්දය වෙන්න යන්නේ ජාතික මට්ටමේ ප්‍රශ්න උඩ. මේ ඡන්දයෙන් දෙමළ ජනයාට බලයක් ලැබෙන්නේ නෑ. එතකොට පිල්ලෙයාන් පිලේ පහල පිරිස් එල්ටීටීඊයට බැදෙන්න එච්චර කාලයක් යන එකක් නෑ.” ඔහු වාද කළේ ය. ඇත්ත වශයෙන්ම නම් කොළඹ බොහෝ දෙමළ පිරිස් සිතා සිටින්නේ එලෙස ය.

ආණ්ඩුව නැගෙනහිර ඡන්දයේ දී මුහුණ දෙන අභියෝගය නම් මෙම සිතීම වැරදි බව පෙන්වීමයි.

මඩකලපු පළාත් පාලන ඡන්දයේ මතුපිට පෙනුන සාමකාමී ස්වභාවයෙන් දැන දැනම හෝ නොදැන මුලා වන අය එය ප්‍රජාතන්ත්‍රවාදයේ ජයග්‍රහණයකැයි සිතනු ඇත. කියනු ඇත. නමුත් ඇත්ත කතාව නම් එය ප්‍රජාතන්ත්‍රවාදයේ ජයග්‍රහණයක් විමට නම් සපුරා ගත යුතු කරුණු ගණනාවක් තිබූ බව යි. නැගෙනහිර පළාත් සභා ඡන්දය හුදු දේශපාලන ප්‍රෝඩාවක් ලෙස නොව මෙරට ජනවාර්ගික ගැටළුවට විසඳුමක් සැපයීමේ අභිලාෂයෙන් පවත්වනු ලබන්නේ නම් මහින්ද රාජපක්ෂ ආණ්ඩුව බැරෑරුම්ව සළකා බැලිය යුතු ප්‍රශ්න ගණනාවක්ම මඩකලපු පළාත් පාලන ජන්දය විසින් ඉදිරිපත් කළේ ය.

හැදුනුම්පත අනීවාර්‍ය කරන ලද ප්‍රථම පළාත් පාලන ඡන්දය මෙය විය. ඉන් සිදු වූ අඩුපාඩු වලට වඩා ඡන්ද දූෂණ වැළැකුනු බව මතුපිටින් පෙනෙන්නට තිබුනි. නමුත් ඡන්ද මධ්‍යස්ථාන රැකවලෙහි සිටි පොලිස් නිලධාරීන් බොහොමයකට දෙමළ බසින් ලියූ හැදුනුම්පත් හෝ ඡන්ද පත්‍රිකා හෝ කියවා ගැනීමට හැකියාවක් තිබුනේ නැත. මේ නිසා අනුන්ගේ ඡන්ද පත්‍රිකා රැගෙන ගිය පිරිස් තමන්ගේ පක්ෂයේ ඡන්ද නියෝජිතයින් පමණක් සිටි ඡන්ද පොළවල හොර ඡන්ද දැමූ බව රහසක් නොවීය. සන්නද්ධ සංවිධානයන්ට අයත් පිරිස් වෙනත් නමකින් ඡන්දය දැමීමට පැමිණිය ද ඊට විරුද්ධ වීමට ධෛර්යක් ඡන්ද නිලධාරීන්ට තිබුනේ නැත. මෙසේ නොපෙනෙන හොර ඡන්ද දැමුනේ තරඟ කළ සෑම පක්ෂයකටම ඡන්ද පොළ නියෝජිතයින් පත් කිරිමට හැකි විශ්වාසවන්ත සාමකාමී පරිසරයක් නොතිබූ නිසා ය.

මඩකළපු පළාත් පාලන ඡන්දයේ නරකම තැන වූයේ වාලච්චේන මුස්ලිම් පෙදෙස් ය. එහි කෙරුණේ වයඹ ඡන්දය වැන්නකි. ඊට නායකත්වය දුන්නේ ආණ්ඩුවේ ඇමැතිවරයෙකි. ග්‍රාම නිලධාරී සහ ප්‍රාදේශීය ලේකම් මුද්‍රව තැබූ හැදුනුම්පත් මේසයක්ම පුරවා තිබූ අතර ඡායාරූප අලවා එක් සැනින් හැදුනුම්පත් නිකුත් කෙරුණේ එහිදී ය.

සමහර විට එලඹෙන නැගෙනහිර ඡන්දයේ පෙර හුරු මේ විය හැකි ය. දැනටම පටන් ගෙන ඇති ප්‍රදේශයේ පොලිස් නිලධාරීන් මාරු කිරීම සහ එස්ටීඑප් කඳවුරු ඉවත් කිරිම විසින් ද ඇති කරන්නේ එවැනි සැකයකි.

පළාත් පාලන ඡන්ද දිනූ ටීඑම්විපී ය පළාත් සභා ඡන්දයට ඉදිරිපත් වීම හොද දෙයකි. නමුත් එය තව දුරටත් සන්නද්ධ සංවිධානයක් නොවේ යැයි ආණ්ඩුව කියන කතාව පට්ටපල් බොරුවක් බව නොදන්නා කිසිවකු මඩකළපුවෙහි නම් නැත. එයට සන්නද්ධ හමුදා කඳවුරු තිබේ. ඊට සන්නද්ධ හමුදාවක් ද සිටී. පිල්ලෙයාන් පිළ නිරායුධ සංවිධානයකැයි තමන් කියන කතාව නැගෙනහිර දෙමළ ජනයා පිළිගන්නේ යැයි ආණ්ඩුව සිතා සිටින්නේ නම් එය නොදන්නා කමටත් වඩා අඥාන කමකි. මෙම ප්‍රශ්නය විසඳන්නේ නැතිව එය වසන් කිරිමට උත්සාහ කිරීමෙන් වන්නේ ආණ්ඩුවේ අභිප්‍රාය ගැන සැක සංකා මතුවීම පමණ ය. ටීඑම්විපි ය නිරායුධ සංවිධානයක් බවට පරිවර්තනය කෙරෙන්නේ කෙසේද යන ප්‍රශ්නය නැගෙනහිර ඡන්දය තරම්ම වැදගත් ය.

නැගෙනහිර ඡන්දය සුජාත එකක් වීමට නම් මුල සිටම සාධාරණ සහ නිදහස් පරිසරයක් ඇති කිරිමට ආණ්ඩුව කටයුතු කළ යුතු ය. දකුනේ දී ඡන්ද මගඩි මගින් ලබන ජය දේශපාලන බලය බවට පත් කර ගැනීමට ප්‍රධාන පක්ෂ දෙකම කටයුතු කර තිබේ. එලෙසින්ම නැගෙනහිර ඡන්දය ද මගඩි සහ මැරකම මගින් දිනා සිය බලය තහවුරු කර ගත හැකි යැයි ආණ්ඩු පක්ෂය සිතන්නේ නම් එය ද මුලාවක් වනු ඇත. එවැනි ඡන්දයක විපාකය වනු ඇත්තේ ප්‍රචණ්ඩත්වය අරක් ගත් 1981 යාපනයේ සංවර්ධන සභා ඡන්දය විසින් ඇති කළ විපාකයක්ට නොදෙවෙනි අවිශ්වාසයක් මුල් බැස ගැනීමකි.

මන්ද යත් නැගෙනහිර ඡන්දය සිංහලයින් සහ සිංහලයින් අතර කෙරෙන ඡන්දයක් නොව ජනවාර්ගික සංවේදීතාවයන් සහ බලකඳවුරු උරගා බැලෙන ඡන්දයක් වනු ඇති නිසා ය. එවැනි ඡන්දයක් මැරබලයට යට වුවහොත් ඉන් පලුදු වන්නේ ප්‍රජාතන්ත්‍රවාදී විශ්වාසයන් පමණක් නොව සමානාත්මතාවය පිලිබඳ විශ්වාසයන් ය. මෙරට ජනවාර්ගික ගැටුමෙහි මුල එතැන ය. එම ප්‍රශ්නය විසඳිමට යැයි කැරෙන ඡන්දයක දී ද සිදු වන්නේද ප්‍රචණ්ඩත්වය සහ විෂම සැලකීිම නම් ඉන් සිදුවන්නේ ප්‍රශ්නය විසදෙනු වෙනුවට ඔඩු දිවීම ය.
ඡන්දයෙන් පසු පලාත් සභාවට සම්පූර්ණ බලතල ලබා දීම නිදහස් සහ සාධාරණ ඡන්දයක් පත්වනවාට වඩා අමාරු ය. ඒ ගැන පසුව කතා කරමු.