Colombo, end of the War, Featured Articles, Features

යුද්ධාවසානයට දින 500 යයි – දේ්ශපාලන විසඳුම කොයිබට ද?


පුරවැසි මාධ්‍යවේදියකුගේ සටහන් – සුනන්ද දේශප්‍රිය

2010 ඔක්තොබර් 11 දිනට යුද්ධය අවසන් වී දින 500ක් සම්පූර්ණ විය. උතුරේ දෙමළ ජනයාගේ ප්‍රශ්ණ සම්බන්ධයෙන් රාජපක්ෂ ආණ්ඩුව ගෙන ඇති පියවර මොනවා ද? ඒ අරභයා අද එහි ස්ථාවරය කුමක් ද?

යුද්ධාවසානයට දින 504ත් පිරුණු පසුගිය 15 දින අමාත්‍ය ජී.එල්.පීරිස් කියා සිටියේ 13 පළාත් සභා ක්‍රමය උතුර සම්බන්ධයෙන් ක්‍රියත්මක කරනු ඇත්තේ එක් විෂයක් ඉන් ඉවත් කිරීමෙන් පසු බව යි. එමෙන්ම ඔහු කියා සිටියේ ඒ සඳහා දින වකවානු දිය නොහැකි බවත් නිසි ක්‍රියා පරිපාටිය අනුව ඉදිරියට යා යුතු බවත් ය. (මේ වනාහී ශ්‍රී ලංකාවට ෆෙඩරල් ක්‍රමයක යෝග්‍යතාවය පිළිබදව 2002 – 2004 සමයේ බැරූරුම් නීති සහ දේශපාලන තර්ක ඉදිරිපත් කළ ඇමැතිවරයාම මිස වෙනත් ජී.එල්. පීරිස් කෙනෙකු නොවේ)

මෙම කතාව පිළිබඳව වාර්තාවක් පළ කළ ඉන්දීය ජනමාධ්‍ය කියා සිටියේ ‛‛රාජපක්ෂ ආණ්ඩුව දෙමළ ජනයාට බලය බෙදා හැරීමට කාල වකවානුවක් පැනවීමට අකමැති බව යි” එම පුවත් වාර්තාවෙහි අවසන් ජේදය මෙසේ විය: “13 වන සංශෝධනය ක්‍රියාත්මක කරන බවට රාජපක්ෂ නැවත නැවත ඉන්දියාවට පොරොන්දු වී තිබේ. පූර්ව මැතිවරණ රුස්වීම්වලදී බලය බෙදා දෙන බවට ඔහු දෙමළ ජනයාට පොරොන්දු වුයේ ය.”

එය සැබෑ ය. ජනාධිපති රාජපක්ෂ යුද්ධාවසානයත් සමඟම වාගේ ඉන්දීය සංචාරයක යෙදුනි. එම අවස්ථාවේ දී ඔහු කියා සිටියේ තමන් 13වන සංශෝධනය ඉක්මවා ගිය දේශපාලන විසඳුමක් ලබා දෙන බව ය. ප්‍රමුඛ ඉන්දීය පුවත් රූපවාහීනි නාලිකාවක් වන එන්.ඩී.ටී.වී. හි ‛‛වෝක් ද ටෝක්” නම් වැඩසටහනට සහභාගි වෙමින් ජනාධිපති රාජපක්ෂ කීවේ තමා 13ූ විසඳුමක් ඉක්මනින් ලබා දෙන බවයි. ඉන් අදහස් කැරුනේ පළාත් සභා ක්‍රමය ඉක්මවා ගිය ස්වයං පාලන ක්‍රමයක් උතුරු නැගෙනහිර දෙමළ ජනතාවට ලබා දෙන බවයි.

යුද්ධයේ මූලික හේතුව වූයේ තමන් ජාතික වශයෙන් පීඩාවකට පත්වන්නේ යැයි උතුරු නැගෙනහිර දෙමළ ජනයා අතර තිබූ පිළිගැනීම ය. ඇත්ත කරුණක් වශයෙන් එවැනි පීඩාවක් පැවැතීම ය. නිදහසින් පසු පැවැති සෑම මැතිවරණයකදී ම උතුරු නැගෙනහිර දෙමළ ජනයාගේ අති බහුතර අපේක්ෂාව වූයේ එකී පීඩාවට දේශපාලන විසඳුමක් ලබා ගැනීම ය. දෙමළ ජනතාව අතර පිළිගැනීමක් ඇති සියළු දේශපාලන පක්ෂ අද පෙනී සිටින්නේ ද පුළුල් දේශපාලන විසදුමක් වෙනුවෙනි.

දෙමළ ජනයාගේ ප්‍රශ්ණවලට විසදුමක් වශයෙන් දේශපාලන විසඳුමක් ඉදිරිපත් කිරීමට නිසි ක්‍රියාපරිපාටිය සහ එකඟතා ගොඩනැගීම ගැන දැන් කතා කරන රාජපක්ෂ ආණ්ඩුව ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදයේ මළපුඩුව වූ 18වන සංශෝධනය සම්මත කළේ මොන තරම් හදිසියකින් ද? එපමණක් නොව දැන් පළාත් පාලන මැතිවරණ සංශෝධන පනත ගෙන එනු ලැබ ඇත්තේ එවැනි නිසි ක්‍රියා පාරිපාටිය හරහා එකඟතා ගොඩ නැගීම මගින් ද? ඇත්ත කතාව නම් උතුරු නැගෙනහිර පළාත් සඳහා ස්වාධීන ස්වයං පාලන ක්‍රමයක් ලබා දීමට ආණ්ඩුවේ ඇති අසමත්කම යි. සමහර විට මහින්ද රාජපක්ෂ සිය පොරොන්දුව වූ 13 ූ ඉටු කිරීමට කැමැති වුවත් යුද්ධය විසින් බලවත් කරන ලද සිංහල රණකාමී බලවේග ඔහුට එවැනි පියවරක් ගැනීමට ඉඩ දෙන්නේ නැතිවා ද විය හැකි ය.

රාජපක්ෂ ආණ්ඩුව දේශපාලන විසඳුම සම්බන්ධයෙන් අපස්සට ගමන් කරමින් සිටින නමුත් දෙමළ දේශපාලන පක්ෂ සහ ඉන්දියාව පුළුල් බලය බෙදීමක අවශ්‍යතාවය වඩවඩා ඉස්මතු කිරීමට පටන් ගෙන තිබේ.

අද නැගෙනහිර දී මහ ඇමැති සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන් පත්ව ඇති තත්ත්වය සැබෑ ලෙස බලය නොබෙදෙන ලද පළාත් සභාවක ඉරණම සංකේතවත් කරයි. ඔහු මධ්‍යම ආණ්ඩුවේ රූකඩයක් පමණි. ස්වාධීනව කටයුතු කිරීමට ඔහුට ඉඩක් නැත. හිටපු හමුදා ප්‍රධානියකු වන ආණ්ඩුකාරවරයා ඔහුගේ බලයට තිරිංග දමයි. 13වන සංශෝධනයේ බලය එනම් පළාත් සභා බලය අඩු කළ යුතු බව මධ්‍යම ආණ්ඩුව කියන විට ඊට ප්‍රතිවිරුද්ධව යමින් 13වන සංශෝධනය එලෙසින්ම ක්‍රියාත්මක කළයුතු බව මහඇමැති චන්ද්‍රකාන්තාන් උගත් පාඩම් සහ ප්‍රති සන්ධාන කොමිසම හමූයේ දී කීවේ පළාත් සභාවන්හි අද තත්ත්වය ඔහු අත්දැකීමෙන්ම දන්නා නිසා විය යුතු ය.

එල්ටීටීඊ ය පරාජය කිරීමේ ලංකාණ්ඩුවේ යුද්ධයේ මෙන්ම රාජපක්ෂ පාලනයේ ද කැපී පෙනෙන සහායකු වූ ඉන්දියාවේ හින්දු පුවත්පත ජනාධිපති රාජපක්ෂගේ ඉන්දීය සංචාරයට අදාළව පසුගිය 18දා ශ්‍රී ලංකාවේ දෙමළ ප්‍රශ්ණය ගැන කතුවැකියක් ලියමින් “යළි පදිංචි කිරීම් කෙරෙන් එපිටට” යනුවෙන් එය නම් කළේ ය.

එය කීවේ මෙය යි: “ යුද්ධ ජයග්‍රහණයෙන් 16 මසකට පසු දේශපාලන විසඳුමක් ලබා දීම ශ්‍රී ලංකා ආණ්ඩුව මුහුණ දෙන ඉතාම දුෂ්කර අභියෝගය නොවේ. .. දෙමළ සහ මුස්ලිම් සුලුතරයන්ගේ අපේක්ෂාවන් සපුරාලන හරයාත්මක බලය බෙදා හැරීමක් සඳහා ව්‍යවස්ථා සංශෝධනයක් අවශ්‍ය වන අතර දශක තුනකට පසු එවැනි විසඳුමක් සඳහා හොදම අවස්ථාව දැන් එළඹ තිබේ. …දෙමළ ප්‍රශ්ණය විසදීමට ඇති හොඳම ක්‍රමය නම් එක්සත් ලංකාවක් තුළ 13වන සංශෝධනය ඉක්මවා ගිය බලය බෙදීමක් දෙමළ කළාපයට ලබා දීම යි.”

“මෑතදී පිහිටුවන ලද ‛උගත් පාඩම් සහ ප්‍රති සන්ධාන කොමිසම’ විසඳුමක් කරා එකඟතා ගොඩනැගීමේ මාවත ලෙස රාජපක්ෂ විසින් ප්‍රක්ෂේපනය කරනු ලබයි. නමුත් දශක පහක් පැරණි මේ ප්‍රශ්ණයට විසඳුම් සෙවීමට මෙම කොමිසමට නොහැකි ය. එපමණක් නොව සර්ව පාක්ෂික සම්මේලනයේ වාර්තාව ද තවම ප්‍රසිද්ධ කර නැත. මේ සියල්ල විසින් දෙමළ ප්‍රශ්ණයට විසඳුමක් දීමෙන් ඉවතට ආණ්ඩුව ගමන් කරන්නේ ද යන ප්‍රශ්ණය පැන නගී” (අදහස පමණි. ඍජු පරිවර්ථනයක් නොවේ)
මේ අතර හින්දු පුවත්පත තවත් වාර්තාවක් පළ කරමින් කියා සිටියේ “ශ්‍රී ලංකා දෙමළ ජනයාගේ අසමගිය ගැන කතා කරමින් සිටින්නේ නැතිව ව්‍යවස්ථා සංශෝධනයක් මගින් දේශපාලන විසඳුමක් සහ දෙමළ ජනයාගේ සාමකාමී ජීවන තත්ත්වයක් ඇති කරන ලෙස තමිල්නාඩු මහ ඇමැති ශ්‍රී ලංකාණ්ඩුවට කියා සිටින” බවයි.

ඇමරිකාවෙහි ඊළාම්වාදී සංවිධානයන්හි ප්‍රමුඛයකුව සිට ශ්‍රී ලංකාණ්ඩුවට සහ අමාත්‍ය ඩග්ලස් දේවානන්දාට සහාය පළ කරමින් බොස්ටන් ලංකා නිවිස් සේවාවට පසුගිය 27 දා කතා කළ ශ්‍රීපති තිල්ලම්පලම් මෙසේ කීය: “දෙමළ ජනයාට ෆෙඩරල් ක්‍රමයක් අවශ්‍ය යි. අප එය ලබා ගැනීමට ඩග්ලස් දේවානන්දා සමඟ එක්විය යුතු යි.” ඩග්ලස්ගේ සිට චන්ද්‍රකාන්තාන් දක්වා ද සම්පන්දන්ගේ සිට ගජේන්ද්‍රකුමාර් දක්වා ඇති එක් පොදු දේශපාලනයක් නම් උතුරු නැගෙනහිර දෙමළ ජනයාට ප්‍රාදේශීය ස්වයං පාලනයක අවශ්‍යතාවය යි.

දෙමළ සහ මුස්ලිම් සුළුතරයන්ට තමන් විසින් තමන් පාලනය කර ගත හැකිවන පරිදි පුළුල් බලය බෙදා හැරීමක් වෙනුවට අද ඉදිරිපත්ව ඇත්තේ ඔවුන්ගේ බලය පළාත් පාලන මට්ටමයෙහි දුර්වල කැරෙන පළාත් පාලන මැතිවරණ ක්‍රම සංශෝධනයකි. දැනටමත් ආණ්ඩුවේ ඳඩු අඬුවෙහි හිරවී නැති සියළු දෙමළ දේශපාලන පක්ෂ ඊට විරුද්ධත්වය පළ කොට තිබේ. මෙම පනත මගින් සුලුතර ජන ප්‍රජාවන් සහ දේශපාලන ප්‍රජාවන් බොහෝ දුරට ම ආණ්ඩුකරනයෙන් බැහැර කරනවා ඇත.

මෙරට දෙමළ ජනයාගේ ප්‍රශ්න සම්බන්ධයෙන් පුළුල් දේශපාලන විසඳුමක අවශ්‍යතාවය පිළිනොගන්නා දෙමළ දේශපාලන පක්ෂයක් අද නැත. දෙමළ ජනයා අතර මේ සම්බන්ධයෙන් ජනමත විචාරනයක් පවත්වනු ලැබුවහොත් අතිශය බහුතරය ස්වයං පාලනයක් ඉල්ලා සිය මතය ප්‍රකාශ කරනු ඇති බවට ද කිසිදු සැකයක් නැත. එසේ නමුත් රාජපක්ෂ පාලනයේ ඒකායන අරමුණ සිය බල ව්‍යාපෘතිය ශක්තිමත් කර ගැනීම පමණ ය. එනම් මහජාතිවාදීවූත් ඒකාධිකාරීවූත්, ඥාති සංග්‍රහකාරීවූත් දෘඩතර පාලනයක් මගින් සිය බලය දිගටම පවත්වා ගෙන යෑම යි.