Batticaloa, end of the War, Featured Articles, Features

“අපට තාමත් ජීවත් වෙන්න වෙලා තියෙන්නේ අමි එකයි පොලීසියයි කියන විදිහට’’


කොහෙද යන්නේ..? මඩකලපුවේ.

කොහේ ඉදලද එන්නේ..?කොළඹ ඉදන්…

කී දෙනෙක් ඉන්නවද..?5යි..
පසුගිය දා මඩකලපුවට යනකොට ඔට්ටමාවඩි වලට යන්න පෙර තිබිණූ මුරපොලේ, පොලිස් නිළධාරියෙක් අපෙන් විමසූවේ ඒ අන්දමිනි.
දැන් යුද්ධය ඉවර වෙලා අවුරුද්දකටත් වැඩියි. යුද්ධයට ඒ දවස්වල නායකත්වය දුන් මඩකලපුවේ එල්ටීටීඊ නායකයින් දැන් ආණ්ඩුවේ ප්‍රබලයෝ ය. නමුත් යුද්ධ කාලේ අහපු ප්‍රශ්ණම පොලීසිය නැවතත් අහනවා.

‛‛ඇයි තාම මේ වගේ ප්‍රශ්ණ අහන්නේ..? මම ඒ පොළිස් නිළධාරියා ගෙන් ඇසුවෙමි.

ඔයාලා දන්නේ නෑ. තාමත් ප්‍රශ්ණ තියනවා. ඔහු පැවසුවේ ය.

ආණ්ඩුව කියන්නේ කිසිම ප්‍රශ්ණයක් නෑ කියලානේ . මම පෙරලා කීවෙමි.

පොලිස් නිළධාරීයාගේ ඇස් රතු වන සැටි බලා සිටියේ ඊළගට ඔහුගේ වචනය කුමක්ද යැයි සිතමිනි.

මහත්තෙලා දන්නෑ.. ඔහු පැවසූවේ හරියට වීරයෙකු ලෙසිනි.

අලුත් පාලමක්..මගේ මිතුරා කීවේ පොලිස් මුරපොලෙන් මද දුරක් ඉදිරියට ගිය විට හමුවන පාලමට අපේ වාහනය ගොඩකරනවාත් සමඟය. මේක අලුත් පාලමක්. ඉස්සර තිබ්බ පාලමේ කෝච්චියත් ගියා. ඒ කියන්නේ පාරවල් දෙකම එකට. ඒ වගේ පාලම් දෙකයි ලංකාවේ තිබ්බේ. එකක් මනම්පිටිය පාලම. අනෙක මේ පාලම. දැන් දෙකම නෑ. පාලම් අලුත් වෙලා. හැබැයි පාලම් අලුත් උනාට මිනිසුන්ගේ හදවත් නම් අලුත් වෙලා නෑ. අලුත් වෙන්න දෙන්නෙත් නෑ. මතකද පොලිස් රාළහාමි කිව්ව දේ. තාමත් ප්‍රශ්ණ තියනවා කියලා. ඒ කියන්නේ මෙහේ ඉන්න සිංහල ආරක්ෂකයෝ තාමත් දෙමළ මිනිහා දිහා බලන්නේ ඉස්සර වගේමයි. ඒකයි ඇත්ත. ඔවුන්ට අලුත් වෙන්න දෙන්නේම නෑ.
දැන් මඩකලපුවට යන පාරත් අලුත් වෙලා. නගරයේ හැම තැනම පාරවල් හදනවා. හැබැයි ඒවා වෙනස් උනාට තුවක්කුව මානගෙන ඇස් යටින් බලා ඉන්න යුනිෆොම් ඇදගත්තු අය තාමත් එහෙමමයි. යුද්ධය ඉවර උනාට තාමත් මඩකලපුවේ හැම තැනම තුවක්කු.

‛‛ඇයි මේ තාමත් මෙච්චර ආමි එකයි. පොලීසියයි.. මම මගේ මඩකලපුවේ මිතුරෙකුගෙන් විමසූවෙමි.
ආරක්ෂවටලු. ඔහු පැවසුවේ විහිඑවට මෙනි.
අපිට එපා වෙලා තියෙන්නේ. අපට තාමත් ජීවත් වෙන්න වෙලා තියෙන්නේ අමි එකයි පොලීසියයි කියන විදිහට. අපිට නිදහසක් නෑ. ඔහු පැවසුවේ ඉතාමත් වේදනාවෙනි.

’‛තාමත් අපේ ඉඩම්වල හමුදාව ඉන්නවා. ලස්සන ගෑනු ලමයෙකුට තාම පාරේ තනියෙන් යන්න බෑ. කොහෙද යන්නෙ, මිනිහා ඉන්නවාද?, මිනිහා මොනවද කරන්නේ කියලා අහනවා. බැරි වෙලාවත් මිනිහා මැරිලා කිව්වොත්. මරණ සහතිකේ ඉල්ලනවා. නැත්නං කියනවා උඹේ මිනිහා කොටි නේද? කියලා අහනවා. ඒ මිනිස්සුන්ට කොහෙන්ද මරණ සහතික. ‛‛මම මාන්කනී ප්‍රදේශයේ ළමයි ගැන වැඩකරන්න ගියා. ඒ ළමයි ගැන විස්තර හොයලා බලපුවාහම ගොඩාක් ළමයි හ…. කාරයන් නිසා ඉපදුන ළමයි. මට හිතා ගන්න බෑ මොකද කරන්නේ කියලා. යුද්දෙ ඉවරයි තමයි. ඒත් වෙනත් යුද්ධයක් ආයේ පටන් අරන්. අහිංසක මිනිසුන්ගේ ජීවිතත් එක්ක සෙල්ලංකරන්න පටන් අරන්. සාමය සාමය කියනවා. මොන සාමය ද තියෙන්නේ. තොප්පිගල යනවා නම් මින්නේරියට ගිහින් දවස් ගානක් රස්තියාදු වෙලා සියලු තොරතුරු දීලා පාස් ගන්න ඕන. කමක් නෑ. ඒත් අහන දේවල්, අහන විදිහ. මට තෙරේන්නේ නෑ. අපි වැරිදි කාරයෝ වගේ. අපිට මේ බිම අයිති නෑ වගේ. ඔන්න ඔකයි තත්වේ.” ඔහුත් සමඟ එතන හිටිය සහෝදරියක් කියාගෙන කියාගෙන ගියේ හිතේ තිබුණු දැඩි වේදනාවකින් බව ඇගේ ඇස්වලින් පෙනුනා.

ඉඩම්

මඩකලපුව දිස්ත්‍රික්කයේ මෙන්ම නැගෙණහිර පළාතේද ප්‍රධාන ගැටලුවක් ලෙස සීග්‍රයෙන් වර්ධනය වන ප්‍රධානම කරුණ ඉඩම් ගැටලුවයි. විශේෂයෙන් යුද්ධය පවතින කාලයේ තම ගේදොර ඉඩකඩම් අතහැර බොහෝ මිනිසුන් බදුල්ල, වැළිමඩ වැනි ප්‍රදේශවල තම සමීපතමයින්ගේ ප්‍රදේශවලට ගියේ ජීවිතාරක්ෂාවට. දැන් යුද්ධය අවසාන වුනු සැනින් ඔව්න් නැවතත් තමන්ගේ ගේදොර ඉඩකඩම් සොයා පැමිණෙමින් ඇත. නමුත් එසේ පැමිණෙන බොහෝ අයට හමුවන්නේ තමන්ගේ ඉඩම්වල වෙනත් අය පදිංචි වී ඇති සැටි දකින්නටය. යුද්ධය අවසන් වූ මුල් කාලයේදීම බළධාරීන් විසින් තමන්ගේ හිතවතුන්ට මෙසේ බොහෝ ඉඩම් පවරා දී ඇති බව අසන්නට ලැබෙන පොදු කතාවකි. විශේෂයෙන් රුපියල් 200ක් වැනි මුදලකට පවා මෙම ඉඩම් වෙනත් අයට පවරා දී තිබේ. එරාවුර්, ඔට්ටමාවඩි ප්‍රදේශවල මුස්ලිම් ජාතිකයන්ගේ ඉඩම් දෙමළ ජාතිකයන්ට, දේශපාලකයන් මෙසේ පවරා දී ඇති බව එහි ජනයා පවසයි. ඒවා ඉල්ලා බලධාරීන් හමුවට ගිය පසු ඔවුන්ට තර්ජනය කරමින් එළවා ගන්නා බවද ඔව්න් පවසයි.

‛‛අපි මේ ප්‍රශ්ණය විසඳන්න කියලා කිහිප දවසක්ම මහ ඇමතිතුමා හමුවෙන්න ගියා. ඒ හැම දාම අපිට බැනලා එලවා ගත්තා. ඊට පස්සේ අපි මේකට විරෝධය දක්වන්න ලෑස්ති වෙනකොට මහ ඇමති ඇවිල්ලා ‛මාව ආයෙත් පිල්ලෙයාන් කරගන්න එපා කියලා තර්ජනය කරා. දැන් අපිට කතා කරන්නවත් බෑ’’ ප්‍රදේශයේ තරුණයෙක් අපත් සමඟ පැවසීය.
දැන් මෙම ඉඩම් ප්‍රශ්ණය වෙනත් දිශාවකට ගමන් කරමින් තිබේ. එය දමිළ මුස්ලිම් ගැටලුවක් බවට පත්වීමේ අවධානමක් දැන් මඩකපුවේ බොහෝ තැන්වල පවතියි. මෙයට ප්‍රදේශයේ දේශපාලන බලවතුන් ද සම්බන්ධ විමෙන් තත්වය වඩා උග්‍ර අතට හැරෙමින් තිබේ. මුස්ලම්වරු පවසන්නේ ඔවුනට වඩා දමිළ ජාතිකයන්ට ආන්ඩුව සලකන බවත්, දමිළ ජාතිකයන් පවසන්නේ ඔවුන්ට වඩා මුස්ලිම්වරුන්ට ආන්ඩුව සලකන බවත්ය. ඒ කෙසේ වෙතත් වසර ගණනාවක කුරිරු යුද්ධයකින් පසුව සංහිදියාව වෙනුවට මේ ඇරඹෙමින් පවතින්නේ අනාගතය බිහිසිනු කරන තත්වයකි.

එබැවින් පාරවල් අලුත් උනාට, සුභ අනාගතයක් යැයි බෝඩ් හැම තැනම ගැහුවට, මේවා වර්ධනය වුවහොත් නැගෙණහිරට නවෝදයක් නම් අති වන්නේ නැත. තුවක්කු සහ කාකි ඇඳුම්වලින් තොර මඩකලපුවක් ප්‍රාර්ථනා කරන මිනිසුන්ගේ ගැහැනුන්ගේ සිත් නිදහසින් පුරවන්නට පාරවල්, පාලම් අලුත් කරාට පුඑවන් වන්නේ ද නැත.

මඩකලපු සංචාරයකින් පසු
සම්පත් සමරකෝන්