සනත් බාලසූරිය
රාජපක්ෂ ආණ්ඩුවේ පෞද්ගලික විශ්ව විද්‍යාල ව්‍යාපෘතියට එරෙහිව විශ්ව විද්‍යාලගත ශිෂ්‍ය ව්‍යාපාරය සටනට බැස සිටී. අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලය මේ අරගලයේ කැපී පෙනෙණ සටන්කරුවා ය. ඒ අනුව උසස් අධ්‍යාපන ඇමැති ප්‍රධාන ආණ්ඩුව සිය මර්දන යන්ත්‍රය යොදාගනිමින් අවිශිබමය මත දැඩි මර්දනයක් දියත් කර තිබේ.
අවිශිබමය ජනතා විමුක්ති පෙරමුණේ ශිෂ්‍ය ව්‍යාපාරය බව උළුප්පා දක්වමින් හා ඒ ඔස්සේ ජවිපෙ සරසවි සිසුන් දේශපාලන අවශ්‍යතා මත මෙහෙයවන්නේය යි කියමින්, ජවිපෙට එරෙහි මතවාදී යුද්ධයක් ද ආණ්ඩුවේ පාර්ශව විසින් දියත් කරනු ලැබ තිබේ.
දිසි මුහුණ
මේ මොහොතේ පවත්නා විශ්වවිද්‍යාල අර්බුදයේ දිසි මුහුණ යි මේ. එය තථ්‍ය අර්බුදය ලෙස ගන්නා යමෙකු පටලැවෙන භයානක ම මංමුලාව වන්නේ මේ අර්බුදය ‛පෞද්ගලික විශ්වවිද්‍යාල ඕනෑ ද එපා ද?’ යන ගැටලුවට ඌනනය කරගැනීම යි. එය තර්ක කළ යුතු, ඒ අනුසාරයෙන් සාධාරණ පිළිතුරක් සොයාගත යුතු ගැටලුවක් බව සැබෑමුත්, වත්මන් විශ්වවිද්‍යාල අර්බුදයේ දිසි මුහුණට වහවැටී මේ වාදයට පමණක් සීමාවීම යනු සැබෑ අර්බුදයේ අදිසි මුහුණු කරා ගැඹුරට නොවිහිදෙන පටු සංවාදයකට අර්බුදය රාමු ගතකිරීම යි. එයින් සමස්ත අර්බුදයට පිළිතුරු සොයාගත නොහැකිවා සේම, එය සමස්තය තේරුම්ගැනීමෙන් වලක්වන බාධකයක් සේ ද ක්‍රියා කරයි.
පෞද්ගලික විශ්වවිද්‍යාල පිහිටුවීමට සංකල්පමය වශයෙන් ලියුම්කරු විරුද්ධ නැතිබව මේ මොහොතේ ම සටහන්කර තැබීම වැදගත්ය යි හඟිමි. එහෙත් එසේ විරුද්ධ නොවන්නේ වත්මන් ආණ්ඩුවේ ‛සංවර්ධනය’ නමින් හඳුන්වන කොල්ලකාරී ව්‍යාපෘතිය විසින්, එහි ම කොටසක් ලෙස ගෙනඑන පෞද්ගලික විශ්වවිද්‍යාලවලට නොවන බවත්, පෞද්ගලික විශ්වවිද්‍යාල සංකල්පයට බවත්, වැඩිමනත් සටහන් කරමි. මේ පිළිබඳව කතාකිරීමට පෙර මේ අර්බුදයේ අදිසි මුහුණු ගැන සාකච්ඡා කිරීම වැදගත් ය.
අදිසි මුහුණු
‛කුරිරු ත්‍රස්තවාදී ග්රහණයෙන්’ ‛බේරාගත්’ රට ‛සංවර්ධනය කරා ගෙන යාමේ’ ‛භාරධූර’ කර්තව්‍යයට ආණ්ඩුව අතගසා තිබේ. (අවධාරණ සලකුණු සමඟ කියවීම මැනැවි) මේ මහා කර්තව්‍යය වනාහී කුමක්ද යන්න තවමත් සිංහල දකුණට වැටහී නැතිනම්, විශ්වවිද්‍යාල අර්බුදය විසින් ද නිර්මාණය කර දී ඇත්තේ එහි රඟ හොඳහැටි බලාගතහැකි කදිම ඓතිහාසික අවස්ථාවකි.
පෞද්ගලික විශ්වවිද්‍යාල යනු ද ආණ්ඩුවේ මේ ‛සංවර්ධනයේ’ ම කොටසකි. ඊට එරෙහි සිසු විරෝධය සන්සිඳවීමේ දිශාවකට තල්ලු වනු වෙනුවට ආණ්ඩුව ඍජුව ම ගමන් කළේ ඒ ඔස්සේ ශිෂ්‍ය ව්‍යාපාරය තලාදමන තැනකට ය. එතැනින් නොනැවතුණු ආණ්ඩුව ජනතා විමුක්ති පෙරමුණට එරෙහිව කඩාකප්පල්කාරී ක්‍රියා පිළිබඳ චෝදනා එල්ල කිරීමට මෙන් ම ඔවුන් මර්දනය කළ යුතු ය යන මතය වැපිරීමටත් ශිෂ්‍ය අරගලය යොදාගනිමින් සිටී. ආරක්ෂ ලේකම්වරයා පිහිටා සිටින්නේ ‛විශ්වවිද්‍යාල සිසුන් මේ වතාවේ මට්ටු කළ යුතු ය’ හා ‛වැඩිය දඟලන්නට ආවොත්’ ජවිපෙ ද තලාදැමිය යුතුය’ යන දරදඬු මතයේ බව ප්රකාශමාන ය. බුද්ධි අංශ නමින් හැඳින්වෙන රාජ්‍ය ඔත්තුකරුවන් දැනටමත් ක්‍රියාකාරී සරසවි සිසුන් පසුපස උසිගන්වා අවසාන ය.
ඒ අනුව සරසවි අර්බුදයක් සේ පෙනෙන මෙම ගැටුම්කාරී වාතාවරණය ඉන් එහාට ගිය දේශපාලන උගුලක් සේ තේරුම්ගැනීම වඩා වැදගත් වෙතැයි සිතමි.
ආණ්ඩුවේ ඉලක්ක
ප්රජාතන්ත්රවාදී යහපාලන ලක්ෂණවල ඌනතාවෙන් අසාධ්‍ය ලෙස රෝගී වූ සිංහල මූලික ශ්‍රී ලාංකේය රාජ්‍යයට ඉතිහාසයේ එල්ල වූ බරපතලම තර්ජනය වූ උතුරේ අරගලය, ආණ්ඩුව ම කියන අන්දමට මිලිටරි ශක්තියෙන් තලා දමා අවසන් ය. ආණ්ඩුවේ ඊළඟ ඉලක්කය වූයේ, එල්ටීටීඊ අරගලයට ඉන්ධන සැපයූ සැබෑ දෙමළ ජන ගැටලුවලට පිරිමසින ප්රජාතන්ත්රීය විසඳුම් දීම නොවේ. දෙමළ අරගලය පෙන්වමින් අතපසුකර තිබූ සමස්ත ශ්‍රී ලාංකියකයන් ගේ දේශපාලන සමාජ ආර්ථික ගැටලුවලට විසඳුම් දීම ද නොවේ.
ආණ්ඩුවට අනුව දැන් ඔවුන් කරන්නට යන්නේ ‛කුරිරු ත්‍රස්තවාදයෙන් මුදාගත් රට වේගවත් සංවර්ධනයක් කරා ගෙනයාම’ යි. මේ කියන ‛වේගවත් සංවර්ධනය ඉහත සැබෑ ගැටලුවලට පිළිතුරු ගෙන එන්නක්ද?
‛සංවර්ධන’ කොල්ලය
ආණ්ඩුවේ සංවර්ධනය වූ කලී තමන් විසින් දිග්විජය කරන ලද උතුර නැගෙනහිර සේම, ඒ දිග්විජය විසින් නිර්වින්දනය කර සිටි, කිරිබත් කෑමට පමණක් කට ඇරි සෙසු පළාත් ද ඇතුළු සකල ශ්‍රී ලංකා භූමිය ම ‛සංවර්ධනය’ නම් කඩතුරාවකින් වැසූ කොල්ලකාරීත්වයකට යටත්කිරීම යි. චීනය මේ කොල්ලයේ ප්‍රබල කොටස්කාරයෙක් වන අතර, ඉන්දියාව සිය කොටස වැඩිකරගැනීමට කුරුමාණම් අල්ලමින් සිටී. ඒ කොල්ලයට අනෙක් ලෝක බලවතුන් ද හවුල් කරගැනීමට ආණ්ඩුව දතකයි. ඉතා ම නරක සේවා කොන්දේසි ඇති චීනයට වඩා ‛ලාභ මිනිස් ශ්‍රමයක්’ ලබාගැනීමට ලංකාවට එන්නැ යි ආණ්ඩුව ජාත්‍යන්තර කොම්පැනිවලට අතවනයි. ශ්‍රමය සපයන්නට ශ්‍රී ලාංකික ශ්‍රමිකයන්ට සිදුවන්නේ කෙබඳු සේවා කොන්දේසි යටතේදැ යි තේරුම්ගැනීම අපහසු නැත.
විදේශ ආයෝජන නමින් හැඳින්වෙන මේ හැම දෙයක් පසුපස ම හුවමාරු වන අති විශාල කොමිස් කුට්ටි ගැන ඕනෑ තරම් කුප්‍රකට අත්දැකීම් ශ්‍රී ලාංකිකයන් සතු ය. එළිපිට කොමිස් ඉල්ලා සිටීම ආණ්ඩුවේ ප්‍රධානීන් ගේ සාමාන්‍ය රාජකාරි විලාශය වී තිබෙන අතර, එය ඔවුන් ගේ අයිතියක් ලෙස පිළිගන්නා ‛ජනතාවක්’ නිර්මාණය වී තිබේ.
උතුරේ සේම නැගෙනහිර වෙරළ තීරයේ ද සංචාරක කර්මාන්තය දියුණු කිරීම නම් බෝඩ්ලෑල්ලට මුවා වී ඉඩම් කොල්ල කා ඇත්තේ කවුදැ යි සොයාබැලීම වටී. උතුරට බස් දිවවීමේ සිට සකලවිධ ‛සංවර්ධන’ ව්‍යාපෘතීන්ට දේශීය වශයෙන් දායක වී සිටින්නෝ රාජපක්ෂවරු, ඔවුන්ගේ ඥාතිසනුහරය හා සහචරයෝ නොවෙත්ද? මේ කිසියම් තැනක ‛විදේශ ආයෝජන’ නමින් සිදුවන යමක් ඇතිනම්, එය පසුපස හුවමාරුවන අති විශාල කොමිස් කුට්ටි ඩැහැගන්නෝ ද ඔවුහු ම නොවන්නෝද?
කොටින් ම මේ කියන සංවර්ධනය වනාහී ගෝලීය ධනවාදයේ කොල්ලකාරීත්වයට උතුරු නැගෙනහිර ද ඇතුළු සමස්ත භූමිය ම, එහි සියලු භෞතික හා මානව සම්පත් සමඟින් අගුපිළක් කිරීම යි. මේ කොල්ලය කොන්දේසි විරහිත/අති අවම එකක් කිරීම සඳහා වන කොමිස් කුට්ටිවල අයිතිය රාජපක්ෂ කල්ලියට හා එහි අවස්ථාවාදී චෞර සහායකයන්ට ය.
සමතලා කළ උතුර හා නිර්වින්දිත දකුණ
යුද්ධයේ කෲරත්වය විසින් උතුර සමතලාකර තිබීමත්, යුද ‛ජයග්‍රහණය’ විසින් දකුණ නිර්වින්දනය කර තිබීමත් නිසා, මේ නිශ්චිත මොහොතේත් මේ කොල්ලයට එරෙහි දරුණු ප්‍රතිරෝධයක් නොඑන බව ආණ්ඩුව දනී. එහෙත් එය හෙට වනවිට නැඟෙන්නට ඉඩඇති බව ද ආණ්ඩුව දනී. ඒ අනුව උතුර මත එදා හෙළු මර්දනය ම දකුණ මත හෙට මුදාහැරීම අවශ්‍ය වියහැකි බව ආණ්ඩුව හොඳාකාරව ම දනී.
උතුරේ අරගලය ලෙයින් සහ යකඩින් තලා දමද්දී කිරිබත් උයා කෑ දකුණට එදා උතුර මුහුණ දුන් සැහැසි මර්දනය අබිමුඛ වීමට නියමිත තීරණාත්මක මංසන්ධිය මෙය යි.
කට අරින සුළුතරයට හඬක් නැති මේ මොහොතේ, රාජපක්ෂවරුන් 18 වැනි ව්‍යවස්ථා සංශෝධනයේ පටන් සකලවිධ දෑත් ශක්තිමත් කරගැනීම් කරගන්නේ, මේ නැගීසිටීමට එරෙහි ව මිස අන් කිසිවක් සඳහා නොවේ. ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ පුරා හමුදා අනුඛන්ඩ ඇතිකරමින්, කොළඹ නගරය තවදුරටත් මිලිටරීකරණය කරමින්, රටේ වැදගත් සිවිල් තනතුරුවලට මිලිටරි ප්‍රධානීන් පත්කරමින්, රාජ්‍යය මිලිටරිකරණය කිරීම එහි කූටප්‍රාප්තිය අත්කරගන්නා විට, මේ ශක්තිමත්කළ දෑතේ රඟ තව තවත් හොඳින් බලාගත හැකිවනු ඇත.
ස්ථාවරය කුමක්ද?
මෙහි දී අප ගතයුතු ආස්ථානය කුමක්ද? රටක් වශයෙන් අප සංවර්ධනය කරා යාම අවශ්‍ය ය. ගැටලුව වන්නේ අපට අවශ්‍ය සංවර්ධනය ආණ්ඩුවේ මේ ගජමිතුරු කොල්ලය නොවීම යි. අපට විරුද්ධ වන්නට සිදුවන්නේ සංවර්ධනයට නොව කොල්ලකෑමට යි. නිදසුනක් ලෙස විදේශ ආයෝජකයන් ගේ පැමිණීමෙන් රැකියා අවස්ථා සුලභ වීම වැදගත් සේම වහල් සේවයක් වෙනුවට යහපත් සේවා කොන්දේසි සහිත වැඩබිමක් නිර්මාණය වීම ද අත්‍යවශ්‍ය ය.
මේ ගැටලුව තේරුම් ගැනීමට ද පෞද්ගලික විශ්වවිද්‍යාල සම්බන්ධ කතිකාව ම ප්‍රයෝජනවත් වෙතැයි සිතමි.
බලවතුන් කිහිප දෙකනුට කොමිස් කුට්ටි දී අටවන වංචාකාරී අධ්‍යාපන කඩවලට එකඟ වීමේ කිසිදු හැකියාවක්, පෞද්ගලික උසස් අධ්‍යාපන ආයතන, සංකල්පයක් ලෙස පිළිගන්නා අයෙකුට වුව තිබිය නොහැකි ය. එසේනම් අප පෞද්ගලික විශ්වවිද්‍යාල පිළිබඳ එස් බී ව්‍යාපෘතිය හා ගනුදෙනු කළ යුත්තේ කෙසේද?
උසස් අධ්‍යාපනයේ පවතින එක ම හා හදිසි ම ප්රශ්නය රටට පෞද්ගලික විශ්වවිද්‍යාල නැතිකම නොවේ. රටේ සමස්ත විශ්වවිද්‍යාල පද්ධතියමත්, සමස්ත අධ්යාපනයමත් ඇත්තේ දිනෙන් දින විනාශයට යන තත්ත්වයක ය. ප්‍රතිපාදන හා පහසුකම් කප්පාදුවේ පටන් අධ්‍යාපන පාඨමාලා යාවත්කාලීන නොකිරීම දක්වා විවිධ තරාතිරමේ අර්බුදවලින් පෙළෙන විශ්වවිද්‍යාල පද්ධතිය ප්‍රතිසංස්කරණය කර, රටේ උසස් අධ්‍යාපනය ඵලදායී ලෙස ප්‍රතිසංවිධානය කරන්නේ නම්, පෞද්ගලික විශ්වවිද්‍යාල පිහටුවීමට පෙර සිදුකළයුතු අත්‍යවශ්‍ය වැඩ රාශියකි.
සිසු අරගලයේ දිශාව
මේ අර්බුදකාරී අවස්ථාවේ ශිෂ්‍ය ව්‍යාපාරයේ අරගලය පෞද්ගලික විශ්වවිද්‍යාලවලට එරෙහි මාරාන්තික එකක් පමණක් වනවා වෙනුවට පෞද්ගලික විශ්වවිද්‍යාල පිහිටුවීමට පෙර රටේ උසස් අධ්‍යාපනය ප්‍රතිසංවිධානය කිරීමට බලකැරෙන එකක් වීම අවශ්‍ය ය. පවතින උසස් අධ්‍යාපන ආයතනවල ප්‍රමිතිය උසස් කර ඒවායේ ගැටලු විසඳා, ඉන් අනතුරුව පෞද්ගලික විශ්වවිද්‍යාල පිහිටුවීම ගැන සිතාබැලීමට යෝජනා කිරීම මඟින් අරගලයට වඩා තාර්කික මුහුණුවරක් ලැබෙනවා සේම, ඊට එරෙහි මර්දන ප්‍රචාරණයට මුහුණ දීමට එය යම් රුකුලකි. ඒ වටා වෙනත් සමාජ බලවේග ගොනුකිරීමට ද එය ඉවහල් වනු ඇත. එසේ ම එය රටේ සමස්ත අධ්‍යාපනයේ අර්බුදය ගැන පුළුල් කතිකාවක් ඇතිකිරීමක් ද වනු ඇත. එහි අරුත නම් අරගලය වඩා පුළුල් තලයකට ගෙන ඒම අවශ්‍ය බව යි
උදුල් ලාට සහෝදරාත්මක වචනයක්
දැනට රිමාන්ඩ් භාරයේ සිටින අවිශිබම කැඳවුම්කරු ඇතුළු ඔහු ගේ ශිෂ්‍ය ව්‍යාපාරයට සේම ජනතා විමුක්ති පෙරමුණ ඇතුළු බලාවේගවලටත් සහෝදරාත්මක හිහිකැඳවීමක් කිරීමට කැමැති වෙමි.
රටේ එක් කොටසක් සිය අයිතීන් ඉල්ලා කෑගසන විට, අරගල කරන විට, ඒ සම්බන්ධයෙන් නිවැරැදි දේශපාලන ස්ථාවරයක් (එය විවේචනාත්මක එකක් වියහැකි ව තිබූ මුත් දේශපාලනිකව නිවැරැදි එකක් වීම අවශ්‍යව තිබිණි) නොගෙන, ඒ වෙනුවට මර්දන යන්ත්‍රය වීරත්වයට මතු නොව පූජනීයත්වයට ද ඔසවා තබා, සෙත් ශාන්ති කර ශක්තිමත් කළාහු ද ඔබම ය. දැන් ඒ දෑත් ඔබේ පස්සේ පන්නාගෙන එයි. රාජපක්ෂ ගජමිතුරු හවුල එකතු වී උතුර දකුණ වෙනසක් නැතිව මුළු රට ම මහදවාලේ කොල්ලකන විට ඊට එරෙහි ව අරගල කරන ඔබ ඇතුළු ඒ අරගලයට එක් වන සමස්ත දකුණ ම තලා දැමීමට එසවෙන්නේ ඔබ විසින් එදා උතුර තලා දමන විට වීරත්වයට, පූජනීයත්වයට නැංවූ ඒ මර්දන හස්තයම ය. එදා ඔබේ ආශීර්වාදයෙන් උතුර ලෙයින් හා යකඩින් තලාදැමූ ඒ යන්ත්‍රය, හෙට ඔබ අප ඇතුළු සමස්ත දකුණ තලන්නට එන එක දෛවයේ සරදමක් පමණක්ද?
අතීතයේ සිදු වූ ඒ වරද ආපසු හැරවිය හැකිද යන්න සැක සහිත ය. එහෙත් නිවැරැදි දේශපාලන ආස්ථානයක පිහිටා සිටීමට හා උතුරේ ඉතිරි වී ඇති මිනිස් සුන්බුන්වලට ඒ ආස්ථානයේ පිහිටා සැලකීමට අද වුව ප්‍රමාද නැති බවත්, හෙට වනවිට එය ප්‍රමාද වැඩි විය හැකිබවත් අවසාන වශයෙන් සටහන් කරමි.