යුද්ධාවසානයේ 500වන දවස් දෙමළ ජනයා දකින හැටි
පුරවැසි මාධ්‍යවේදියකුගේ සටහන් – සුනන්ද දේශප්‍රිය
යුද්ධය අවසන් වී දින 500ක් අවසන් වන විට එම යුද්ධයෙන් වැඩිම පීඩාවට පත් වූ දෙමළ ජනයාගේ ජීවිතවල ඇති වූ වෙනස කුමක් ද? ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රියාදාමය පිළිබඳ විශ්වාසයක් ඇති කිරීමට එම වෙනස්කම් සමත්වනු ඇත් ද? එකම රටක් තුළ සමාන පුරවැසියන් ලෙස ස්වකීය තමන්ට ජීවත් වීමට අවකාශය දැන් උදා වී ඇතැයි එකී ජනයාට මෙම වෙනස්කම් විසින් ඒත්තු ගන්වනු ඇත් ද? කෙටියෙන් යුද්ධාවසානය විසින් තමන්ට සැබෑ නිදහසක් ලැබී ඇතැයි මේ ජනයා කල්පනා කරනු ඇත් ද?
ශ්‍රී ලංකාවේ ජනවර්ග අතර අන්‍යෝන්‍ය අවබෝධයක් ගොඩ නැගීමට නම් එකිනෙක ජනවර්ගයන්ගේ අපේක්ෂාවන් සහ සැක සංකා යනාදිය සෑම පාර්ශවයක්ම විසින් ම තේරුම් ගැනීම අත්‍යවශ්‍ය ය. නිදහසින් පසු ශ්‍රී ලාංකික අනන්‍යතාවයක් ගොඩ නඟා ගැනීමට අපට නොහැකි වූ එක් හේතුවක් නම් ප්‍රධාන ජනවාර්ග දෙක අතර දෙක ගොඩනැඟුනු අන්‍යෝනය අනවබෝධය යි. විශේෂයෙන් බහුතර ජනවර්ගය වන සිංහල ජනයා අතර දෙමළ ජනයාගේ අපේක්ෂා සහ සැකසංකා සම්බන්ධයෙන් සංවේදීබවක් නොතිබීම යි. මන්ද යත් රට පාලනය කළේ සිංහල ජනයාගේ නායකයින් විසින් ද නිසා ය. මේ රට අයිති අපට (පමණක්)ය යන හැගීම සිංහල දේශපාලනඥයින් විසින් දැනුවත්ව හෝ නොදැනුවත්ව දෙමළ ජනයාට සංවේදනය කරන ලද පණිවිඩය විය.
නොවිසිදුනු සමාජ දේශපාලන සහ ආර්ථික ප්‍රශ්ණ මූලික කොට පැන නැගී තිස් වසරක් පුරා පැවැති යුද්ධකින් පසු අද සිදුවන්නේ කුමක්ද? මේ වනාහී එල්ටීටීඊ හිතවාදී නොවූ දෙමළ දේශපාලනඥයින් දෙදෙනෙකු අද සිදුවන ක්‍රියාදාමය දකින සැටි ය.
උගත් පාඩම් සහ ප්‍රති සන්ධාන කොමිසම හමුවෙහි ද්‍රවිඩ එක්සත් පෙරමුණේ සභාපති ආනන්ද සංගරී මෙසේ කීවේ ය:
“එවැනි දෙමළ සන්නද්ධ අරගලයක් යළි ඇති වීමට කිසිසේත් ම දැන් ඉඩක් නැත. යළි ප්‍රභාකරන් කෙනෙක් ඉපදී සංවිධානය වී විශාල හමුදාවක් නිමවාගෙන යුද්ධ කරනු ඇතැයි කවරකු හෝ සිතන්නේ නම් එය විකාර සිතුවිල්ලකි. මේ වනාහී අපේ ප්‍රදේශය පුරා යුද හමුදා කඳවුරු පවත්වා ගෙන යෑමට ගොතන බොරු හේතුවකි. යාපනය පුරා හමුදා කඳවුරු ගොඩ නැගීම අනවශ්‍ය ය. එසේ වූ කළ ඇති වී යැයි කියන විමුක්තිය කුමක් ද? එය හරියට කබළෙන් ලිපට වැටීමක් වැන්න.
නරකම තත්ත්වයක් ඇතිව තිබෙන්නේ මා කළකට පෙර නියෝජනය කළ කිළිනොච්චියේ ය. එහි කාන්තාවන් පිරිසක් මට කිවේ තුවක්කුවක් දකින විටත් ඔවුන්ට බියෙන් කෑ ගැස්සෙන බව යි. එහි ජනයාට තුවක්කු දකින්නට අවශ්‍ය නැත. දැන් හැම තැනකම හමුදා කඳවුරු ගොඩ නැඟේ. කාගේ ආරක්ෂාවට ද? කරුණාකර මේ ජනයාට පාඩුවේ ඉන්න දෙන්න. මේ විදියට නම් කවදාවත් ප්‍රති සංධානයක් ඇති වන්නේ නැත. මට එය සහතික කර කිව හැකි ය.
අක්කර සියයක් තරම් වගා කළ පිරිස් කිලිනොච්චියෙහි විසූහ. ඒ හැමට පෝළිමේ ගොස් ඉල්ලාගෙන කෑමට සිදු විය. සරණාගත කඳවුරුවලදී පමණක් නොවේ. තවමත් එය සිදුවෙයි. දෙතුන් සතියකට පෙර මා පරන්තන්හි සහ තාම්පුරම් ප්‍රදේශට ගියේ එහි ජනයා ජීවත්වන සැටි බැලීමට ය. ඔව්හු නිදාගන්නේ ගස් යට ය. කිසිම නිවෙසක වහලයක් හෝ දොරක් තිබුණේ නැත. ඇත්තටම නම් ඔව්නගේ ජීවිතය සරණාගත කඳවුරෙහිදීට වඩා නරක ය. ඉන් දින දෙකකට පසු මහ වැසි කඩා හැලුනි. අවදි වූ මට හැඬූම් ආවේ ය. ඒ මිනිස්සු දැන් මොනවා කරනවා ඇති ද?
ඔවුන්ගේ ඉඩකඩම් කරා යාමට ඉඩ දෙන බවට පොරොන්දු වූ පවුල් 750ක් තවමත් කිලිනොච්චියේ පාසැළක සිටිති. කරුණාකර ගිහින් බලන්න, ඒ දුංක්ඛිත තත්ත්වය. ඔවුන් සංවර්ධනය කළ ඉඩම් තිබෙන්නේ හමුදා කඳවුර අවට ය. ඔව්න්ට සිය ඉඩම් කරා යාමට නොදුන්නේ ආණ්ඩුවට මේ ඉඩම් වෙනත් කාරණයකට අවශ්‍ය නිසා ය. දැන් අපටත් වෙඩි තියන්න යැයි මේ ජනයා කියති. මේ මිනිස්සුන්ගේ ඉඩම් ආණ්ඩුව ගන්නේ මොන එහෙකටදැයි මට නම් නොතේරේ. ”
(එල්ටීටීඊ විරෝධී කණ්ඩායමක් වූ) ප්ලොට් සංවිධානයේ නායක ධර්මලිංගම් සිද්ධාර්තන් එම කොමිසම හමූවෙ මෙසේ කීය:
“තමන් විසින් දෙමළුන් පරදවනු ලැබ ඇතැයි ද එබැවින් ඔව්න්ගේ ප්‍රශ්ණ යටපත්කර දැමිය හැකි යැයි ද බහුතර ප්‍රජාව විශ්වාස කරන බව පෙනෙන්නට ඇති බැවින් යුද්ධයෙන් වසර එකහමාරකට පසු දැන් සිය ගැටළු සඳහා පිළිගතහැකි විසඳුමක් කිසිදා නොලැබෙනු ඇතැයි දෙමළ ජනයා අද සිටින්නේ බියෙනි. දෙමළ ජනයා අතර තමන් යටපත්ව හමුදා පාලනයක් යටතේ සිටින බවට මානසිකත්වයක් පවතින බව මට පැහැදිලිව පෙනේ.
මෙසේ කියන්නේ හේතු ගණනාවක් ඇතිව ය. අද ත්‍රි’මලයේ, මඩකළපුවේ, මුලතිව්හි, මුරුකන්ඩිහි යනාදී ලෙස උතුරු නැගෙනහිර රජයේ ඉඩම් සංවර්ධනයේ නාමයෙන් ප්‍රධාන පෙළේ සිංහල ව්‍යාපාරිකයිනට ලබා දෙමින් තිබේ.
සිංහල ව්‍යාපාරික පිරිස් උතුරට ඒම ගැන අප විරුද්ධ නැත. එනමුත් අප කණගාටුවට පත්ව සිටින්නේ ජීවිතය හැර යුද්ධයේ දී අන් සියළු දෙයම නැති වූ දෙමළ ජනයාට ආර්ථික වශයෙන් කිසිදු ආධාරයක් නොදීමෙන් මුල්‍යමය අතින් ප්‍රබල දකුණේ ව්‍යාපාරික පිරිස් සමඟ තරඟ කරන්නට බැරිව සිටීම ගැන ය. මෙම පිරිස්වලට දේශපාලන සහයෝගය ද සන්නද්ධ හමුදාවන්හි සහාය ද තිබේ. ඔවුනට දෙන ඉඩම් මායිම් කර තිබෙනු දැකිය දැකි ය.
දෙමළ ජනතාව ද මගේ සංවිධානය ද එල්ටීටීඊ ය විසින් උතුරෙන් පලවා හරින ලද සිංහල ජනයා යළි පැමිණිම සාදරයෙන් පිළිගනී. එනමුත් අද අපි දකින්නේ මෙහි කිසි දිනෙක ජීවත් නොවූ සියගනන් පිරිස් හදිසියේම කඩා පහත් වී උතුරේ ඉඩම්වලට අයිතිය කියා සිටීමකි.
උතුර පුරා බෞද්ධ විහාරස්ථාන ගොඩ නැගීම තවත් එවැනි කරුණකි. ඊට හොද උදාහරණයක් නම් මුලතිව්හි බෞද්ධ විහාරයක් ගොඩ නැගීමට ලබා දී ඇති ඉඩම එයට පෙර සමූපාකාර ගොඩනැගිල්ලක් සඳහා වෙන්කර තිබූ එකක් වීම ය. එක් බෞද්ධයකු හෝ නැති පෙදෙසෙක, බෞද්ධයින් එහි පදිංචි කිරීමට ආණ්ඩුවේ අදහසක් ඇතොත් විනා, බෞද්ධ විහාරයක් තැනීම මට තේරුම් ගත නොහැකි ය.
එල්ටීටීඊ මහ නායකයින් සුඛ විහරණයෙන් යුතුව නිදහසේ සිටිත් දී එය විසින් බලයෙන් බඳවා ගන්නා ලද තරුණ තරුණියන් තවමත් සිරකඳවුරුහි ලග්ගවා සිටීම බොහෝ මාපියන්ගේ කණස්සල්ලට හේතු වී තිබේ.
මා මෙහි කීවේ යුද්ධාවසානයෙන් පසු උතුරු නැගෙනහිර දෙමළ ජනයා මත පටවා තිබෙන අසාධාරණයන් කිහිපයක නිදසුන් පමණි. පසුගිය වසර එකහමාර තුළ එම ජනයා තුළ ගොඩ නැගෙමින් පවත්නා භීතීන්ට සහ සැක සංකාවන්ට හේතු වී ඇත්තේ ඒවා ය.
දෙමළ ජනයා දෙවන පංතියේ පුරවැසියන් ලෙස නොසැලකෙන බව එත්තු ගැන්වීම බාර වන්නේ සිංහල ජනයාට ය. දෙමළ ප්‍රදේශයට බලය බෙදා දීම ඒ සඳහා අත්‍යවශය ය. 13වන සංශෝධනය සම්පූර්ණයෙන්ම ක්‍රියාත්මක කර නිශ්චිත කාල සීමාවක් තුළ අවසාන විසඳුම සෙවීම සඳහා ආරම්භයක් ඇති කරමු”
මෙම ප්‍රශ්ණ කිසිවක් අද දේශපාලන තලයේ සාකච්ජා වන්නේ නැත. යුද්ධ කාලීන ජනමාධ්‍ය මර්දනය තවමත් එළෙසම පවත්නා බැවින් මෙම ජනයාගේ ප්‍රශ්ණ වාර්තා කැරෙන්නේ ද නැත. මෙම ලිපිය පවා ජාතිද්‍රෝහී ලිපියක් ලෙස ජාතික ආරක්ෂාවට එරෙහි කුමන්ත්‍රණයක කොටසක් ලෙස හුවා දැක්විමට ඉඩ තිබේ. එසේ නමුත් යුද්ධාවසානයෙන් දවස් 500කට පසු දෙමළ ජනයා මුහුණ දෙන දහසකුත් එකක් ගැන සිංහල දේශපාලනයේ සහ ජනමාධ්‍යයේ ඇති ඇති මුනිවත විසින් ප්‍රශ්ණ උග්‍රකරනු විනා විසදීමට සහායක් වන්නේ නැත. මෙම දේශපාලනඥයින් දෙදෙනා විසින් පමණක් නොව උතුරු නැගෙනහිර ජනයා විසින්ම දැන් මෙම ප්‍රශ්ණ ලෝකයට හඬගා කියා තිබේ. එහෙත් දකුණේ සිංහල ජනයාගෙන් මේ තිත්ත යථාර්තය වසන් කරනු ලැබ තිබේ. උතුරු නැගෙනහිර දෙමළ ජනයා සිටින්නේ අසහනයෙන් සහ අසතුටිනි. එයට පිළියම ඇත්තේ ප්‍රජාතන්ත්‍රවාදී සහ මානව හිමිකම් දේශපාලනයෙහි මිස මිලිටරිකරණයේ හෝ ජනපදකරණයේ හෝ නොවේ.