පුරවැසි මාධ්‍යවේදියකුගේ සටහන් – සුනන්ද දේශප්‍රිය
ගහ ගනන්නට එපා දෙන්නාටම බිරිද
වෙන්නම් නුඹලා දෙන්නම මාගේ නොවෙද?
සෙල්ලම් කරමු ඇයි මේ කළබළ මොකද?
කියමින් සැනහුවා කියමින් බස් බොළද?
අප පස්වන පන්තියේ දී කඩ පාඩම් කළ කේයස් ගේ සුදෝසුදු පැදි පෙළෙහි එන මෙම කවිය මගේ මතකය සිසාරා එලියට ආවේ වත්මන් ආණ්ඩුවේ බලහත්කාර සුචරිතවාදී මතවාදය ක්‍රියාත්මක වන ප්‍රචණ්ඩ ස්වරූපය නිසා ය. සමහර විට වත්මන් පාලකයින් විසින් අද මෙම පැදිය දරුවන් විසින් නොකියවිය යුතු අසමජ්ජාති කවියක් ලෙස සළකන්නට ඉඩ තිබේ. මන්ද යත් හීන් මැණිකේ සිය සෙල්ලම් සගයින් දෙදෙනා වන අදිරියන් සහ ටිකිරි බණ්ඩා යන දෙදෙනාටම බිරිඳ වන බවට පොඩි කාලයේ දී ම පොරොන්දු වූ බැවිනි. කරුණු සිදුවීගෙන යන අන්දම දෙස බලන විට එවැනි පොරොන්දුවක් අද සැළකෙනු ඇත්තේ දරුවකු විසින් නොකිය යුතු අසභ්‍යම කතාවක් ලෙස ය.
මේ පහත පලවන්නේ පසුගිය කාලයේ අප කිය වූ පුවත් කිහිපයකි:
“පෙම්බස් දොඩමින් සිටින සරසවි සිසු සිසුවියන් කුදලාගෙන ඔවුන්ගේ කන්‍යා බාවය පරීක්ෂා කිරීමට උපකුලපති විසින් රෝහලට යැවේ.”
“සරසවි භික්ෂු නේවාසිකාගාරයට කඩා පනින උපකුලපති සහ සහචර ආරක්ෂකයෝ ශිෂ්‍ය භික්ෂුන්ට පහර දී එම භික්ෂුන් නිසි ඇඳුම් නොහැද සිටි බවට චෝදනා කරති.”
“කොළඹදීත් කුරුණැගලදීත් මාතරදීත් පෙම්බස් දොඩමින් සිටින තරුණ ජෝඩු කුදලාගෙන පොලීසියට ගෙන යති.”
“යට ඇදුම් පමණක් හැඳ සිටින කාන්තා පින්තූර සහිත ප්‍රසිද්ධ ප්‍රචාරක පුවරු ඉවත් කිරීමට ජනාධිපති නියෝග කරයි.”
“තනපට පමණක් හැද සිටින සීගිරි අපසරා චිත්‍ර විනාශ කිරීමේ වෑයමක් වාර්තා වේ.”
“දරුවන් විසින් නොබැලිය යුතු අසභ්‍යයැයි පොලීසියේ කාන්තා සහ ළමා කාර්‍යාංශය විසින් තීරණය කරන ලද වෙබ් අඩවි 200කට පමණ පිවිසිය නොහැකි පරිදි ශ්‍රී ලංකාවේ තහනම් කරනු ලැබ ඇත. එවැනි තවත් වෙබ් අඩවි ගණනාවක් දැන් සොයා ගනු ලැබ ඇත.”
මේ සියළු කතා අපට පෙන්වන්නේ සුචරිතවාදී යැයි පාලකයින් කල්පනා කරන පරිදි සමාජය පාලනය කිරීමට තැත් දැරෙන සමස්ත මතවාදය පැවැතීම යි. මෙවැනි මතවාද මගින් ස්වකීය පාලනය ශක්තිමත් කර ගැනීමට උත්සාහ ගන්නා බහතර පාලනයන් ප්‍රජාතන්ත්‍රවාදී නොවන අත්තනෝමතික ඒවා ය. මේ වර්ගයේ ඉතා නරක උදාහරණයක් වන්නේ ශ්‍රී ලංකාණ්ඩුවේ ගජ මිතුරු ඉරානය යි.
මෙවැනි පියවර මගින් හෝ බණ දහම් දෙසීම මගින් හෝ සමාජයක් පාලක අවශ්‍යතා පරිදි සුචරිතවාදී කළ නොහැකි බව අප අලුතෙන් ලියා දැක්විය යුතු දෙයක් නොවේ. එසේ හැකි නම් වසර 2500ක් පැවැති බුදුසමය විසින් සිංහල සමාජය කොතරම් සුචරිතවාදී එකක් බවට පත් කරන්නට ඉඩ තිබුණි ද? මේ ඊනියා සුචරිතවාදී ව්‍යාපාරයේ අරමුණ එහි ප්‍රකාශිත අරමුනු නොවේ. අවසානයේ දී එහි ප්‍රායෝගික විපාකය වනු ඇත්තේ ශ්‍රී ලාංකික ජන ජීවිතයේ ඕනෑම අංශයක් පාලනය කිරීමට සර්ව බලධාරී ජනාධිපතිතුමාට සහ එතුමාගේ ආණ්ුවට හැකිය යන අදහස මුල් බැස ගැනීම යි. සමාජය තව තවත් හිරි වැටීම යි.
අන්තර් ජාලයේ ලිංගික දර්ශන අඩංගු වෙබ් අඩවි තවත් සියයක් සොයා ගත් බවට පොලිස් ළමා හා කාන්තා කාර්‍යාංශය වරින් වර අධිකරණය හමූයේ කරනු ලබන මහා ගවේෂනාත්මක වාර්තා තරම් විහිළුවක් තවත් නැත. මෙවැනි වෙබ් අඩවි දහස් ගනනින් ඇති අතර දිනපතාම ඒවා විවිධ නම් වලින් යළි උපදී. මෙවැනි වෙබ් අඩවි කරා පිවිසීම නතර කළ හැක්කේ අඩවියෙන් අඩවිය තහනම් කිරීම මගින් නොව එම ප්‍රභේදයම තහනම් කිරීම යි. අවසානයේ දී සිදුවීමට ඉඩ ඇත්තේ එවැනි මහා පරිමාණ තහනමකි.
සමාජය බිය ගැන්වීමේ මෙම සුචරිතවාදී ව්‍යාපෘතිය යටතේ අලුතෙන්ම අසන්නට ලැබෙන්නේ නිල් (එනම් ලිංගික දර්ශණ) වීඩියෝ චිත්‍රපටයන්හි රග පෑ බවට කියනු ලබන සියයක් තරම් ශ්‍රී ලාංකික තරුණ තරුණියන්ගේයැයි කියන ජායාරූප ජනමාධ්‍ය මගින් ප්‍රසිද්ධ කරන්නට යන බව යි. එමගින් එම තරුණ තරුණියන් අත් අඩංගුවට ගෙන නීතිය හමුවන බවට පමුණුවන බව යි. මෙවැනි පියවරක් මගින් සිදුවිය හැකි අනර්ථකාරී විපාක බලධාරීන් සැළකිල්ලට ගත් බවක් පෙනෙන්ට නැත. (ලක්බිම පුවත්පත හැර අන් පුවත්පත් එම ජායාරූප පළ කිරීම ප්‍රතික්ෂේප කළ බවක් වාර්තා වේ)
කලකට පෙර විවිධ පිරිස් අතර පැතිර ගිය එක් ලිංගික දර්ශන ඇතුළත් සංයුක්ත තැටියක ජනප්‍රිය ගායිකාවකගේ රාත්‍රී දර්ශන ඇතුළත්ව තිබුණි. පසුව දැන ගන්නට ලැබුණේ එම රූගත කිරීම කරනු ලැබ තිබුණේ ඇයගේ අනුදැනුමක් නොමැතිව බව යි. පුද්ගලික ජීවිතයේ ලිංගික ජවනිකා අදාළ පුද්ගලයින්ගේ අනුදැනුමක් නැතිව අන්තර් ජාලයට එක් කරන ලද අවස්ථා පිළිබඳ උදාහරණ ඕනෑතරම් තිබේ. මෙම ප්‍රසිද්ධ කරන්නට යන ජායාරූප අතර එවැනි අවස්ථා නැති බවට සහතිකයන් දිය හැක්කේ කාට ද? එවැනි ජායාරූප ජනමාධ්‍යයේ පළ වීමෙන් පසු නීතිය අතට ගත් සදාචාරවාදී මැර කන්ඩායම් විසින් අදාළ පුද්ගලයින්ට එරෙහිව ප්‍රචණ්ඩත්වයන් මුදා හැරීමට ඇති ඉඩ කඩ නැත් ද?
ඊටත් වඩා මෙම ලිංගික දර්ශනයන්හි පෙනී සිටින පිරිස් ලාංකිකයින් බව තීරණය කළේ කුමන පදනමක් ඇතිව ද? කොලූගේ බ්ලොග් අඩවිය අසා ඇති පරිදි එම දර්ශනයන්හි සිංහල කතා කරන නිසා ද? නැත්නම් පසුබිම් දර්ශන නිසා ද? ඉංග්‍රිසි බස සහ දෙමළ බස ශ්‍රී ලංකාවෙන් පිටත කතා කරන පිරිස් වැඩි නිසා එම දෙබසින් කතා කැරෙන ලිංගික දර්ශනයන්හි පෙනී සිටින පිරිස් මෙම ප්‍රසිද්ධ කරන්නට යන ජායරූප අතර නැත්ද? සිංහල බස කතා කරන ලක්ෂ ගණනාවක් ද එතෙර ජීවත්වන බැවින් මෙම දර්ශන එතෙර ඒවා විය නොහැකි ද? මෙම ජායාරූප තෝරා ගැනීම පිනිස කොපමණ වෙබ් අඩවි පරීක්ෂා කරන ලද්දේ ද?
දරුවන්ට නැරඹිමට යෝග්‍යවීම කවර හෝ කලා සාහිත්‍ය නිර්මානයක පදනම විය යුතු නම් ලොව ශ්‍රේෂ්ඨ කලා කෘති බොහොමයක් අද පවා විනාශ කර දැමිය යුතු වේ. ආදිපාදවරියක සහ සේවකයකු අතර වූ ප්‍රේමය තේමා කරගත් “ලේඩි චැටලීස් ලවර්” නම් කෘතිය තහනම් නොකළ යුතු බවට නිගමනය කළ නඩු තීන්දුවෙහි දී රටක සාහිත්‍ය නිර්මානය විය යුත්තේ වයස 16 දරුවන්ට උචිත විය යුතු පරිදි නම් රටක සාහිත්‍යයක් තිබිය නොහැකි බවට තර්ක කෙරුණි. අද අපේ රටේ කෙරෙන්නට යන්නේ එය යි. මේ තර්ක ඉදිරියට ගෙන යන විට සුනඛයින්ට ප්‍රසිද්ධියේ සංසර්ගයේ යෙදීම තහනම් කරන්නට බලු පොලීසියක් ද අවශ්‍ය වන්නට තිබේ. මන්ද යත් එමගින් ද ළමා මනස දූෂනය වන නිසා ය.
ඇත්ත වශයෙන්ම නම් අවශ්‍ය කැරෙන නිසි ලිංගික අධ්‍යාපනයක් දරුවන්ට ලබා දීම දිගින් දිගටම අතපසු කැරෙන්නේද මේ කුහක සදාචාරවත නිසා ය.
කුරුණෑගලදී සහ මාතර දී තරුණ පෙම්වතුන් අත් අඩංගුවට ගත් පොලීසිය ඉසිරුමුණි පෙම් යුවල දුටුවහොත් කුමක් කරනු ඇත් ද? “ඉසුරුමුණියෙහි ආලයෙ ලීලය පෑ – විස්මිත ගල්වඩුවාණෙිනි ඔබ හට අප ණය ගැති නොවෙදෝ” යන ගායනය ඔවුන් සළකනු ඇත්තේ අසභ්‍ය හැසිරීමට අනුබල දීමක් ලෙස නොවේ ද? ඉසුරුමුණි පෙම් යුවල ලෙස තරුණ යුවලක් ඒ අසළ ප්‍රේමාරංගනයක යෙදෙුනහොත් පොලීසිය කුදලා නොගෙන යනු ඇත් ද? ඇත්ත කතාව නම් මේ අත්අඩංගුවට ගැනීම් මගින් තරුණ පරපුරට දෙන පනිවිඩය වන්නේ පොලීසියේ බලපුලුවන්කාරකම වීම යි. ආදරය තහනම් කිරීමට හැකි පොලීසියට පාගමනක් තහනම් කිරීම හෝ විපාක්ෂික දේශපාලනඥයකු බලු කඩුවටට දැමීම එතරම් කජ්ජක්ද යන්නයි.
කාමසූත්‍ර නම් ලොව පරසඳු ලිංගිකාස්වාදය පිළිබඳ කෘතිය අයත්වන්නේ අපේ අසල්වැසි ඉන්දියානු සංස්කෘතියට ය. 11වන සියවසට අයත් ඉන්දියාවෙහි කජ්ජුරාහෝ දෙවෙලෙහි දක්නට ඇති ලිංගික ඉරියව් ද සහිත පිළිම රැස සැලකෙන්නේ යුනෙස්කෝ ලෝක උරුමයක් ලෙස ය. මේ කවරක් ශ්‍රී ලංකාවේ වී නම් රාජපක්ෂ සුචරිතවාදය විසින් බොහෝ කොට ම ඒවා බලන්නට යෑම තහනම් කරනු ලබන්නට තිබුනි. කාමසූත්‍ර රූප අංඩගු පොතපත් දැන් ශ්‍රී ලංකාවේ අලෙවි කිරීම තහනම් ද?
අපේ සංස්කෘතිය තුළ බුද්ධාගමික කතාන්තර තුළ පවා කොතරම් ලිංගික කරුණූ සාකච්ජා වී ඇත් ද? අද සමාජය මත බලයෙන් පටවනු ලබන සුචරිතවාදය ව්‍යාජයක් වන්නේ එනිසා ය. මේ සුචරිතවාදී බලහත්කාරය පශ්චාත් යුද්ධ සමාජ ජීවිතය සහමුලිමනින්ම සිය අණසකට ගැනීමට රාජ්‍ය විසින් දැරෙන සමස්ත ව්‍යාපාරයක කොටසකි.