විනාශය රැගෙන කෙටි දුර දුවන
චණ්ඩ සැඩ සුළඟට අපි මඳ පවන වෙමු
රිඩ් මාවත පුරන බොල් දුවිල්ලට අපි මල් කිණිති වෙමු
අතු ඉති දොඩන හඩ පවනය
මල් කතා කරන හඩ සුවඳය . . . .
කොළඹ විශ්ව විද්‍යාලයට අපි ආදරයට කිව්වේ පුරවර සරසවිය කියලා. ඒ කාලේ මේ කවියට අපි ආදරේ වගේම රිඩ් මාවත දිගේ ඇවිදගෙන යද්දි ඇගේ වැදිච්ච හැම වැලි කැටයකටම අපි ආදරය කළා. හැමදාම රෑ 7- 8 වෙනකම් නව කලාගාරයේ පෙන්නපු චිත්‍රපටියක් බලලා හරි, එහෙමත් නැතිනම් faculty යේ ජෑම් ගහ වටේට බංකුවල ඉඳගෙන සින්දු කියමින් කාලය ගෙවපු මතකය තාමත් හිතට ඇති කරන්නේ පුදුමාකාර මිහිරි බවක්. අපි රීඩ් මාවතට පය ගහන්න කලින් තව ගොඩක් අය එහේ ඇවිත් ගිහිල්ලා තිබුණා. අපෙන් පස්සෙත් තවත් අය දැන් එහේ ඇවිල්ලා. නමුත් එදා අපි ලබපු වාසිටි ජීවිතේ සුන්දරම තැන් ඔවුන් වත් නොදැන ඔවුන්ගෙන් ගිලිහිලා ගිහිල්ලයි කියන එක විශ්වාස කරන්නවත් පුළුවන්ද?
කාලය එච්චරම ගෙවිලා ගියෙත් නෑ. නමුත් එදා දැකපු හුඟක් දේවල් හරිම ඉක්මනින් වෙනස් වෙලා. අපි හිටපු සරසවියම ද මේ? දැන් හවස 6 න් පස්සේ ළමයින්ට කැම්පස් එක තහනම් කරලා. නාට්‍ය බලන්න, චිත්‍රපටියක් රස විඳින්න, අඩුම තරමින් ආදරය කරන්නට, මේ හැම දෙයක්ම තහනම්. මිනිස්සුන්ගෙන් තොර පාළු බිමක ස්මාරක වගේ ගොඩනැගිලි ටික විතරක් හැන්දෑවට නිසොල්මනේ බලාගෙන ඉන්නවා. Law faculty ය කෙළවරේ තිබුණු Summer hut වල ආදරයෙන් තුරුළු වුනු ආදාරවන්තයින් දැන් හැන්දෑවට එහේ දකින්නවත් නැහැ. මුළු පරිසරයම පාළුවට ගිහිල්ලා.
රටක ආරක්‍ෂාවේ නාමයෙන් මුළු පරම්පරාවක්ම වන්දිකරුවන් කරලා. රටේ අනාගතය කොටු කරලා, තරුණ පරපුරේ නිදහස එහෙම පිටින්ම කොන්ක්‍රීට් පොළොව යට වළ දමලා. සරසවි ජීවිතයෙන් පාසල් ජීවිතය වෙන් කරලා හදුනාගන්න බැරි පරම්පරාවකට අත්තිවාරම දමලා. මේ වෙනකොට සරසවි ශිෂ්‍යයන්ගේ නිදහසට මේ විදියට අඟුල් තබලා හරියටම අවුරුද්දයි.
දැන් මේ කතාවට තවත් අලුත් පරිච්ජේදයක් එකතු වෙලා. සරසවි සිසු දඩයමට අපේ රාජ්‍ය නායකයින් අතරමැදියෙක් සොයා ගෙන. මෙතුවක් කල් Campus එකට උප කුලපති (අපේ භාෂාවෙන් VC) පත්කළේ පීඨවල ජේ‍්‍යෂ්ට පීඨාධිපතිවරුන්, ආචාර්‍යවරුන් අතරින් කෙනෙක්. නමුත් ඒක සිද්ධ වුනේ විශ්වවිද්‍යාල පාලක සභාවේ බහුතර අනුමැතියත් එක්කයි. ඒ කියන්නේ බහුතර කැමත්ත තුළිනුයි ඒක සිද්ධ වුනේ. අද වෙනකොට ඒ හැම දෙයක්ම කන පිට හැරිලා. ලංකාවේ අගනුවර ප්‍රධාන විශ්වවිද්‍යාලයේ උප කුලපති පත් කරන්න අපේ රාජ්‍ය නායකයන්ට බලය ලැබිලා.
Campus එකේ faculty යක පීඨාධිපතිවත් නොවන කෙනෙකුට වුවත් ජේ‍්‍යෂ්ටත්වය අභිබවා ලෙකු පුටුවේ ඉඳගන්න වරම් ගන්න පුළුවන් විශ්වවිද්‍යාල තියෙන රටකයි අපි මේ ජීවත් වෙන්නේ.
අද වෙනකොට හැන්දෑවේ 6 න් පස්සේ ශිෂ්‍යයන්ට සරසවිය තහනම් නම් හෙට වෙනකොට ඒක සම්ප්‍රදායක් නැතිනම් නීතියක් කරලා විශ්වවිද්‍යාල ශිෂ්‍යයාටම සරදම් කරන කාලය වැඩි ඈතක නම් නෙවේ. ඒ හැම දෙයක්ම එහෙම වෙද්දී සරසවි ශිෂ්‍ය ප්‍රජාව තවමත් හරිම නිශ්ශබ්දයි. තමන්ගේ අයිතිය වෙනුවෙන් ඉහළට එසවුණු අත් ආයේ කවදාවත් ඉහළට ගන්න බැරිවෙන්නම බැඳලා දාලා. පුරවර සරසවිය තව කොච්චර කාලයකට නිහඩව ඉදීද කියන එක අපි වගේම ඔවුන්වත් හරියට දන්නේ නැහැ. තවත් පරම්පරා ගණනාවක් මෙහි ඇවිත් යාවි. නමුත් මේ පොළවේ නිදන් වුනු ඇත්තම ඇත්ත ආයේ කවදාවත් මතුවෙන්නේ නැති වේවි.
බඩුත් හමුදුරුවන්ගේ, නඩුත් හාමුදුරුවන්ගේ වුනු මේ උතුම් රාජ්‍යයේ ආනාගත පරම්පරාවේ හෙට දවස ගැන තවත් හිතන්නට දෙයක් අපට ඉතිරි කර තිබේද?
සමන්තිලක බණ්ඩාර
[email protected]