රාජෝත්තම ෆැන්ටසියේ දෙවැනි ගමනේ ඇරඹුම – ක්‍රිශාන් රාජපක්ෂ විසිනි
ඉන්දියන් සාගරයේ (අ)මුතු ඇටයේ වැසියෝ ඊයේ සහ පෙරේදා නැතහොත් නොවැම්බර් 18 සහ 19 වැනිදා අමුතුම තාලේ උත්සවයක් සැමරූහ. මහාමාර්ග පුරා විදුලි බුබුලුවලින් ඒකාලෝක කරමින්, අශ්චර්යය සන්නාමය යටතේ උණු කැවුම් මෙන් විකිණෙන සංවර්ධන ව්‍යාපෘති ජනතා (කවුද මේ ජනතාව) අයිතියට පවරන බව කියමින් රජාණෝ රට පුරා පැළ සිටුවමින් තම දෙවැනි ගමන යන්නට සූදානම් වූහ. මහාමාර්ග වෑසූහ. පාසල් නිවාඩු දුන්හ. නගරයක්, ගමක් පාසා කටවුට් පෝස්ටර් මදි නොකියන්න ගැසූහ. දවස් ගණන් මහාමාර්ග වසාගනිමින් අප්‍රමාද ප්රමෝධයක් විඳ මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා තමන්ගේ දෙවැනි ප්රදවි ප්‍රාප්තිය හෙවත් රාජ ෆැන්ටසියේ දෙවැනි ඉනිමේ වැඩවසම් දොළදුක සංසිදුවා ගැනීමට කෝටි 500 ක් පමණ වියදම් කර ඇත.
දැන් එතකොට ඔක්කොම හරිද?
නීතියේ අධිපත්‍ය, මාධ්‍ය නිදහස, ප්රජාතන්ත්රවාදය, මානව නිදහසට පයින්ගැසූ සිංහල ජාතිවාදයෙන් කන්‍යාභාවය සිඳගත් රාජපක්ෂ රෙජීමය විසින් තමන්ගේ ෆැන්ටසිය මෙසේ සන්තර්පණය කරගත් පසු රටේ ප්‍රශ්ණ සියල්ල ඉවරද? දැන් රටේ ප්‍රශ්ණ සියල්ල නිමවී ඇති හෙයින් මෙහෙම ජවුසමක් නැටුවේ නැත්නම් මෙරට කට්ටිය දැනෙන්නේ නැත. දැන් ඇති එකම අභියෝගය ගිනස් පොතේ තිබෙන වාර්තා සියල්ලම ශ්‍රී ලංකාව නමින් ලියාගැනීමයි. ආසන්නයේම ඇති සුවිසල්ම කාර්යය සෑදූ ලොකුම කිරිබත සඳහා පේර්ටන් බලපත්‍රය ගැනීමයි. අසන්නට ඇත්තේ එකම ප්‍රශ්ණයකි දැන් සනීපද කියාය???
සිටවූ පැළවලට දළුදා වැඩෙන්න දෙයිද?
ශ්‍රී ලංකාවේ මෙතෙක් ක්‍රියාත්මක කර ඇති පැළසිටුවීමේ වැඩසටහන් ඒ අයුරින්ම ක්‍රියාත්මක වුයේ නම් ලංකාව මේවනවිටත් ඇමසන් වනාන්තරයකටත් වඩා ඝන කැළයකි. මහින්ද රාජපක්ෂගේ පැළසිටුවීම දේශපාලනක අර්ථයකික් ගත්කල සිනායෑම වළක්වාගත නොහැකිය. ඒ මහින්ද නම් විධායක වෘක්ෂය අනෙකුත් පැළවලට මින් පසු මේ භූමියේදී වැඩෙන්නට නොදෙන නිසාය. මහින්ද ආරක්ෂාකාරීව වැඩීමට ඉඩසලසනා පැළය නාමල් රාජපක්ෂ පමණක් වන නිසාය. ඒ නිසා අනෙකුත් පැළවලට වැඩෙන්නට කිසිසේත් ඉඩක් නැත. මේ වෘක්ෂය ආරස්සා කිරීමට අරක්ගත් ගේාඨාභය නම්වූ මිලිටර් බහිරවයෙකුද වෙයි. තම පැවැත්ම රැඳී ඇත්තේ ද මේ වෘක්ෂයම මත හෙයින් මෙම වෘක්ෂය ඔහු විසින් දිවි හිමියෙන් රැකගෙන සිටී. කවුරුන් හෝ හිතනවානම් මේ ගස දැන්ම පරළුවී යාවි යැයි කියා එය ඉතාම බොලඳ තර්කයකි. මේ බිමේ පැලෑටි වැඩීමේ අයිතිය සම්පූර්ණයෙන්ම දැන් පාලන යන්නේ මෙම වෘක්ෂය මගින් ය. දෙවැනි ගමන ආරම්භ වන්නේ ද එම අත්තනෝමතික පාලනය සමගිනි. දැන් වැඩෙන්නට ඉඩක් ඇත්තේ රාජපක්ෂ සන්නාමයේ පැළවලට පමණි.
නිදහස ප්‍රදර්ශණ භාණ්ඩයක් වූ කළ
ලංකාවෙ තරම් නිදහස් උත්සව සහ නිදහස් ප්‍රදර්ශන පමණක් පවත්වන, මෙළෝ නිදහසක් නැති රටක් ලොව කොතැනතවත් තිබේදැයි සැක සහිතය. රාජපක්ෂ රෙජීමය මානව නිදහසකට, මාධ්‍ය නිදහසකට කිසිඳු ගරුසරුවක් නොමැති වූවද නිදහස තොගපිටින් දේශපාලන වේදිකාවල කිසිඳු හිරිකිතයකින් තොරව විකුණනු ලබයි. මෙරට නිදහස් පෙරමුණු, නිදහස් පක්ෂ නම් එමට ය. ඒ මේ මොහොතේ සිදුවන මානව නිදහස, මරණයෙන් කෙළවර කරන අමන ක්‍රියාවන්ට එරෙහිව ඒත් කිසිම හඬක් නැගෙන්නේ නැත. නිදහසක් බුක්ති විඳීමට දන්නේ නිදහසේ අගයක් දන්නා ජනතාවක් පමණි. නිදහස කප්පාදු වන බව දන්නේ නිදහස ගැන අදහසක් හෝ නිදහසක් විඳි ජනතාවක් පමණි. නිතරම අධිපතිවාදයකින් මිරිකී සිටීමින් කෲර වින්ඳනයක නිද්‍රාගතව සිටින පිරිසකට නිදහසේ අගය සම්බන්ධව හෝ ඒ පිළිබඳ අංශුමාත්‍රයක තැකීමක් නොමැත. ඔන්න අද තමයි අපිට නිදහස ලැබුනේ කියා කියූ සැනින් ජාතික කොඩියක් දමන්නෝ ය. තව වතාවක් අද තමයි ලංකාවට ඇත්තටම නිදහස ලැබුණේ කියා කියූ විට ඔවුන්ම කිරිබතක් උයා පාර මැද ජවුසමක් නටති. අද තමයි ජාතියේ නිදහස් දිනය කියූ විටද කෝටි ගණනක් වැය කර මහින්ද ගේ උපන්දින ෆැන්ටසිය නරඹා ඇටිකෙහොල් කෑ උගුඩුවන් මෙන් ඔහේ සිටිති. තව මොකක් හරි නිදහසක් කිව්වොත් එයටද මොකක් හෝ කරති. එහෙත් ලංකාවේ යථාර්ථය නම් මෙරට තුළදී කිසිදු නිදහසක් බුක්ති විදිය නොහැකි බවය. අවශ්‍යනම් ප්‍රදර්ශණයකට හෝ සැමරුමකට ගොස් නිදහස බලාගෙන ආ හැකි ය. ඉදිරියේදී එවැනි ප්‍රදර්ශණයක අලෙවි කුටියක් මගින් රාජපක්ෂ ලෙසින් බ්රූන්ඩඩ් නිදහසක් විකිණිමට ද ඉඩ ඇත.
කන එක ලොකුවටම කන්නයි සුදානම
දැන් ශ්‍රී ලංකාව කේතුමතී පුරවරයයි. ආර්ථිකයෙන් චීනය ද ඉක්මවා ගොස් ඇත. සිංගප්පූරු වෙත යන නැව් සියල්ල මහින්ද රාජපක්ෂ තොටුපළේ නැංගුරම්ලයි. හම්බන්තොට ලෝකයේ කාර්යබහුලම නගරයයි. ලංකාවට පැමිණෙන්නට යුරෝපයේ තරුණ තරුණියන් පොදිකයි. මෑතදී ඔස්ට්‍රේලියාවේ සිට ට්‍රෝලර් යාත්‍රාවක නැගී පැමිණි තරුණ තරුණයින් විශලා පිරිසක් ශ්‍රී ලංකා වෙරළ ආරක්ෂකයින් විසින් අත්අඩංගුවට ගෙන ඇත. දැන් ලංකාව පවතින්නේ ඒ වගේ තැනක ය. එසේ පවතින්නේ ලංකාවේ සියලුම ප්‍රශ්ණ ගැටලු විසඳා ඇති නිසා මහින්ද රාජපක්ෂට දැන් කරන්න දෙයක් නැත. ඒ නිසාම සූදානම ලෝක වාර්තා තියන්නට ය. ඉන් පළමුව තියන්නට ගිය පැළ සිටුවීමේ වාර්තාව අධිරාජ්‍යවාදී කුමණ්ත්‍රනයක් නිසා කෙස්ගසෙන් මිස් වුනි. වැඩේ අතහැරියේ නැත. අධිරාජ්‍යවාදීන්ට හොම්බෙන් යන්න කියා ලොව ලොකුම කිරබත සැදුවේ ය. ඒ තම දෙවැනි ගමන වෙනුවෙනි. දැන් අරඹනු ලබන්නේ කන එක ලොකුවටම කෑමේ කලාවයි. දහස් ගණනක ජනතාවක් ආහාර සාලකයක පිහිටෙන් යැපෙන අවස්ථාවක දේශයේභාරකරුවා තමන්ගේ උපන්දිනය වෙනුවෙන්, ඊනියා උත්සව වෙනුවෙන් දැවැන්ත කිරිබත් සාදයි. අපේම සහෝදර පිරිසක් බඩගින්න වෙනුවෙන් පාන්කෑල්ලක්වත් නොමැතිව සිටිද්දී රාජපක්ෂ රෙජීමය කෝටි ප්‍රකෝටි ගණනින් වියදම්කර තමන්ගේ ආශාවන් සන්තර්පණය කර ගනී. කොහොම වුවත් රාජපක්ෂ ආණ්ඩුවට මේ මහාපාරිමාණ වැඩ හොදට හුරුය. ප්රජාතන්ත්රවාදය, මානව නිදහස, මාධ්‍ය නිදහස මහාපරිමාණයෙන් ඝාතනය කළා සේම මෙන්ම ඊනියා සංවර්ධනයට මුවාවී මහාපරිමාණයෙන් තම මඩිය තරකර ගත්හ. උතුරේදී ද ක්‍රියාත්මක වූයේ මහාපරිමාණ පාපතර ඝාතනයකි. කිරබතකට නොව මළබතකටවත් ඉඩක් නොතියා උතුර බුල්ඩෝසර් කරදැමූ හ. දැන් ඉතින් ඔවුන්ට අවශ්‍ය ලෙකු වැඩය. ඒනිසාම දකුණේ මර්ධනය ලොකුවට දෙවැනි ගමනින් පසු ඇරඹෙනු ඇත.
රාජෝත්තම ෆැන්ටසිය
77% ග්‍රාමීය සහ 23% ක් වන ග්‍රාමීය මූලයන් සහිත නාගරික ජනයාගේ සමස්ථයක් ලෙස ගත්විට ගැමි ලෙස හැදින්වෙන ලාංකීය ජනතාව පතන තමන්ව මිරිකා සිටින පාලකයෙක් ඔවුන්ට ලැබිණි. වැඩවසම් සාමජයක් නිතරම ඉල්ලා සිටින්නේ පීඩනයකි. ඔවුන්ගේ පැවැත්ම රඳාා පවතින්නේ ඒ පිඩන ඔස්සේ ය. මහින්ද බිහිවන්නේ ඒ මගිනි. ඒ ඔස්සේ ටිකින් ටික ගොඩනැගුණු රාජ ෆැන්ටසිය දැන් උච්චම මොහොතකට පැමිණ ඇත. ලෝකයම වැඩවසම් ක්‍රම වලින් ඈත්වීමට උත්සහ දරණ මොහොතක ලංකාව එම වැඩවසම් ක්‍රම තුළ ගිලීමට ගිජුව සිටී. ඇත්තෙන්ම මෙය මනෝ විද්‍යාත්මකව සලකා බැලුවොහොත් මානසික ව්‍යාධි තත්ත්වයකි. පොලිටිකල් අර්ථයෙන් ගත් කළ පොලිටික් ගේමකි.
ඔවුන් විසින්ම පනවන කිසිදු නීතියක් ඔවුන්ට ආදාල නැත. රටපුරා පොස්ටර් කඳු ගණන් ගැසුවත් ඔවුන්ගේ පෝස්ටර්වල රාජ උෘෂ්ණය ඇති නිසා ඒවායින් පරිසරය හානි නොවේ. ඒ පෝස්ටර් අලවනවා අල්ලන්නට කෙනෙක් නැත. මන්ද පොස්ටර් අලවන්නේ පොලීසිය විසින් බැවිනි. රාජ උෂ්ණ කටවුට්වලින් පරිසරයේ අලංකාරයට හානි වන්නේ නැත. ඒවා රජුගේ බැවිනි. ගෙදර දැල්වෙන අනවශ්‍යය බල්බය පවා නිවාදමන්ට කියා කියන විදුලිබල මණ්ඩලයට මේ මොහොතවන විටත් රජු වෙනුවන් කොලඹ නගරයේ තණකොල පදුරු අසලපාවා ඔහේ දැල්වෙන විදුලි බල්බ ගැන මෙලෝ සිහියක් නැත. ඕවා ගලවන්නට ගොස් තමන්ගේ ලකුණු ගලවා ගැනීමට අකමැති නිසා විය යුතුයි. මේ ලෙස මහින්ද ෆැන්ටසියේ ගිලි සිටිද්දී අපට තව තවත් බදු වැඩිවනු නොඅනුමානයි. ඒ ඔවුන්ගේ සිහිනවල බිල ගෙවිය යුත්තේ අප විසින් බැවිනි. සෑම තැනම තම නාමය සටහන් යෑම මානසික ව්‍යාධි තත්ත්වයකි. ඒ තමන්ගේ නම ඉක්මනින් අමතක වී යාවියැයි කියා ඇති බිය නිසාය. ඒ නිසාම අහුවෙන සැම තැනනම තම නාමය සටහන් කරති. එය බලා නැවත නැවත අප්‍රමාණ ප්රමෝධයක් ලබති. ඔවුන් තමන්ගේ නම දමාගනිති – රට තවත් අවුරුදු ගණනකට උගස් කරති.
මේ සියල්ල සංෂිප්තයක් ලෙස බැලූකල මේ දෙවැනි ගමන ලාංකීය සමාජය තවතවත් අර්බුද රැසක් වෙත කැඳවාගෙන යනවා ඇත. මහින්ද හා ඔහු වටා වූ ගජමිතුරු පිරිසක් සියලු වරප්‍රසාද ලබද්දී තවත් ලක්ෂ සංඛ්‍යාත පිරිසකට ඒ වෙනුවෙන් කුසට අහරක් නොමැති දරදිය අදින්නට සිදුවනු නොඅනුමානයි. යළිත් අසන්නට ඇත්තේ “එතකොට හරිද” කියාය