අපේ දෙමළ සගයින් දෙදෙනෙකුගේ ඥාතීන් පසුගිය සතියේ පොලිස් පරීක්ෂනයට භාජනය විය. කොළඹ දෙමළ ජනයා මුහුණ දෙන තත්ත්වය තේරුම් ගැනීමට මෙම සිදුවීම් දෙකම අපට ඉවහල් වෙයි.
ඉන් එක් අයකු රහස් පොලීසියට කැදවා තිබුනේ ඇය සමඟ යාපනයේ දී හයවැනි පංතියේ ඉගෙන ගත් වෙනත් දෙමළ තරුණියක අත් අඩංගුවට ගෙන තිබූ නිසා ය. රහස් පොලීසියට කැදවනු ලැබූ විට පවුලේ සියළුම දෙනා බියට පත් විය. කෙසේ වෙතත් ප්‍රශ්න කිරීමෙන් අනතුරුව ඇය නිදහස් කෙරුණි.
අනෙක් සිදුවීම පිලයන්දල බෝම්බයට සම්බන්ධ ය. මෙම බෝම්බය සම්බන්ධයෙන් සැක පිට අත් අඩංගුවට ගත් දෙමළ ජාතිකයකු තමා නැවැතී සිටි බවට ගල්කිස්ස ප්‍රදේශයේ ලිපිනයක් දී තිබුණි. පොලීසි නිලධාරීහු මේ ලිපිනය සොයා පැමිණියහ. නමුත් ලිපිනයේ යම් අඩුවක් නිසා එවැනි ස්ථානයක් සොයා ගැනීමට බැරි විය.
එවිට ඒ අසළ සිටි අයකු අන්න අවහල් ගෙදර නම් දෙමළ කට්ටියක් ඉන්නවා යැයි පොලීසියට කී බව කියනු ලැබේ. අනතුරුව එහි පැමිණි පොලීසිය නිවසේ සිටි පිරිමින් දෙදෙනා අත් අඩංගුවට ගත්තේ ය. ඔවුන් දෙදෙනා නිදහස් කෙරුණේ ඥාතීන් මැදිහත් වූ නිසා පැය 18ක් පමණ ගතවූ පසුව ය. මේ සිදුවීම ද පවුලේ උදවිය මහත් කළබලයට පත් කලේ ය. ඥාතීන් කොළඹ නොසිටියේ නම් දෙමළ ජාතිකයින් දෙදෙනා මාස ගණනාවක් හෝ සැක පිට සිර අඩස්සියේ තැබෙන්නට ඉඩ තිබුණි. පිළියන්දල බෝම්බයට සැක පිට දෙමළ ජාතිකයින් දෙදෙනෙකු ගල්කිස්සෙන් අල්ලයි කියා සිංහල පුවත්පත්හි ශිර්ෂ පාඨ පළවන්නටද තිබුණි.
එලෙස ශීර්ෂ පාඨ පුවතක් බවට පත් වූ පුවතක් නම් බුත්තල බස් බෝම්බයට සම්බන්ධ වතුකර දෙමළ ජාතිකයින් පස් දෙනෙකු අත් අඩංගුවට ගැනීම ය. මෙම දෙමළ ජාතිකයින් පස් දෙනාම පසුව නිදහස් කෙරුණි. නමුත් කිසිදු පුවත්පතක් ඒ බව වාර්තා කලේ නැත. දෙමළ ජනයාට ත්‍රස්තවාදට සම්බන්ධ යැයි රිසි සේ චෝදනා කිරීමටත් ඉන් පසු ඒ ජනයාට සිදු වන්නේ කුමක්දැයි නොසලකා හැරීමත් මෙරට සිංහල ජනමාධ්‍යයේ පුරුද්ද බවට පත්ව තිබේ.
ගෝඨාභය කතා
මට බලය ඇතොත් එකඟ නොවන ( ඔහුගේ වචනයෙන් දේශද්‍රෝහී) පත්තර වසා දමමි යැයි කියන්නේ ආරක්ෂ ලේකම් ගෝඨභය රාජපක්ෂ මහතා ය.
විවේචනාත්මන ජනමාධ්‍ය ( ඔහුගේ් වචනයෙන් මඩ ගසන) පාලනයට 2002 දී අහෝසි කරන ලද සාපරාධි අපහාස නීතිය ගෙන ආ යුතු යැයි යෝජනා කලේ ද ඒ මහතා ය.
හදිසි නීතිය යටතේ ජනමාධ්‍ය පාලනය කිරිම පිණිස වාරණ නියෝග පැනවීම පිණිස ගැසට් පත්‍රයක් සකස් කර ඉදිරිපත් කැරුනේ ද ඒ මහතා යටතේ ය.
ආරක්ෂ ලේකම් ධුරය ජනාධිපතිවරයාගේ ඥාතියකුට දිය යුතු බව ව්‍යවස්ථාවන් සහතික කළ යුතු යැයි කීවේ ද ඒ මහතා ය.
ඒ මහතා ජනාධිපති සහොදරයා වුවද දැන් දරන්නේ ආණ්ඩුවේ නිලයකි. ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් ධුරයය. ඒ මිස දේශපාලන කතා පවත්වන අයෙකුගේ ධුරයක් නොවේ. නමුත් ඒ මහතා රූපවාහිනී නාලිකාවන්හි පෙනී සිටිමින් පවත්වන තරමක් පවත්වන්නේ දේශපාලන කතා ය. මැතිවරණ ප්‍රචාරයේ ද යෙදෙයි.
ආණ්ඩු පාලනය යටතේ පවත්නා පුවත්පත් තමන්ට සහාය නොදෙන බැවින් තමා ආරක්ෂ අමාත්‍යාංශයට වෙබ් අඩවියක් නිර්මාණය කළ බවත් එය තමාගේ වෙබ් අඩවිය බවත් ඔහු කිය යි. ආණ්ඩුවේ ජනමාධ්‍ය මර්දන පිළිවෙත සහ බොරු ප්‍රචාර ලොවට පෙන්වන හොදම නිදර්ශනය බවට අද පත්ව ඇත්තේ මෙම වෙබ් අඩවි ය යි.
ඔහුගේ වෙබ් අඩවිය මුහමාලේ සටන( 23.04.08) ගැන මැයි 03 දින කියා සිටියේ අවසාන සංඛාලේඛන අනුව මිය ගිය සොල්දාදුවන් ගණන 91ක් බව යි. එදිනම ආණ්ඩු පාලනයේ පවතින රූපවාහිනී ඔස්සේ කතා කරමින් ඔහු කීයේ සියයකට වඩා සොල්දාදුවන් මිය ගිය බව යි.
එය කතුවරුන් බල්ලන්ට සමාන කරයි. ජනමාධ්‍යවේදින්ට ලේබල් අලවමින් දේශදෝහීන් ලෙස නම් කරයි. එකඟ නොවන පුවත්පත් එල්ටීටීඊ සහායකයින් ලෙස ප්‍රහාරයට ලක්කරයි. මෙවැනි මිතුරන් සිටින ආණ්ඩුවකට සතුරන් අවශ්‍ය නැත.
නැගෙනහිර අභියෝගය
පොදු ජන එක්සත් පෙරමුණ ජයගත හොත් එහි නායත්වය හිමිවන්නේ හිස්බුල්ලාට නොව පිල්ලෙයාන්ට ය. මන්ද යත් පාදු ජන එක්සත් පෙරමුණේ ජය තීරණය වනු ඇත්තේ මඩකලපු දිසාව පිල්ලෙයාන් සහ ටීවීඑම්පී ජය ගත හොත් පමණක් නිසා ය. ඔහු එහි ආසන හත අටක් දිනා ගත යුතු ය. පොදු පෙරමුණේ සිංහල හෝ මුස්ලිම් අපේක්ෂකයින්ට එතරම් ආසන ගණනක් දිනා ගත නොහැක.
පිල්ලෙයාන් ජය ගතහොත් ආණ්ඩුව 13 වන සංශෝධනයේ සමස්ත බලය ඔහුට පැවරිය යුතු ය. නැගෙනහිර පළාත් සභාව අන් පළාත් සභා මෙන් නොව 13 වන ව්‍යවස්ථාව සහමුලින්ම යොදා ගැනීමට උත්සාහ කරනු නොඅනුමාන ය.
එජාප – මුස්ලිම් කොන්ග්‍රස් සභාගය ජය ගත්හොත් ඒ මුස්ලිම් ක්‍රොන්ග්‍රසය සහ රවුෆ් හකීම් නිසා ය. එහි නායකත්වය හිමි වනු ඇත්තේ රවුප් හකීම්ට ය. දැන් දෙමළ ජාතික සංධානය ද ආණ්ඩුව පරාජය කරන ලෙස ප්‍රසිද්ධ ඉල්ලීමක් කර ඇති නිසා පෙනෙන විදියට වැඩි බරක් අත්තේ එජාප – කොන්ග්‍රස් සංධානයට ය.
එජාප – කොන්ග්‍රස් සංධානය ජය ගතහොත් 13 වන සංශෝධනය ක්‍රියාත්මක කිරීමට ආණ්ඩුව මැලි වනු ඇත. එසේ වුවහොත් බලය බෙදීමට ඇති සිංහල බහුතර ආණ්ඩුවේ සුදානම යළි ප්‍රශ්න කිරිමට ලක් වෙයි.
පිල්ලෙයාන් සහ ටීවීඑම්පී ජය ගත හොත් එය මුස්ලිම් කොනග්‍රසයේ පරාජයක් බවට පත්වනු ඇත. එජාප – කොන්ග්‍රස් සංධානය ජයගත හොත් එය පිල්ලෙයාන් පිලේ මහත් පරාජයකි.
කවර පාර්ශවයක් ජය ගත්තද එය එක්කෝ දෙමළ හෝ නැත්නම් මුස්ලිම් දේශපාලනයේ ජයග්‍රහණයක් බවට පත් වීම වැළැක්වීම අද ඇති ප්‍රධානතම අභියෝගය යි. එම අභියෝගය අප හැම සතු ය. ප්‍රධාන දේශපාලන පක්ෂ දෙකම සතු ය. ටීයීඑම්පී සහ කොන්ග්‍රසය සතු ය.
එමෙන්ම කවර පාර්ශවයක් ජය ගත්තද 13වන සංසෝධනයේ සම්පූර්ණ බලතල පවරා දී බලය භුක්ති විදීමට නැගෙනහිර ජනයාට අවස්ථාව සළසා දීම ද අප හැම සතු අභියෝගය යි. ඒ සඳහා සමගාමී ලැයිස්තුව අහෝසි කිරීමත් පළාත් සභා බලතල පාර්ලිමේන්තුවේ සරළ බහුතර ජන්දයකින් යළි පවරා ගැනීමේ නීතිය ක්‍රියාත්මක නොකර සිටින බවට දෙන ස්ථිර පොරොන්දුවක් අත්‍යාවශය ය.
එවැනි දේශපාලන සංස්කෘතියක් පිහිටුවීමට බැරි වුව හොත් නැගෙනහිර ඡන්දයෙන් අත්වනු ඇත්තේ ජයග්‍රහණයක් නොව දේශපාලන මෙන්ම අවසානයේ දී යුදමය ද පරාජයකි.
සුනන්ද දේශප්‍රිය