පසුගිය දිනක කාර්යාලයේ වැඩ අවසන් වී නිවස බලා පැමිණෙමින් සිටියදී, ධාරානිපාත වැස්සක් කඩාපාත් විය. වැස්සකට කිසිඳු සූදානමකින් නොසිටි නිසාම, වැස්සෙන් බේරීමට අසල තේකඩයක් ඇතුළට දුවන්නට මට සිදුවිය. ඒ වනවිට කඩය තුළ විශාල පිරිසක්ද නොසිටි බැවින් මම එදින පුවත්පත් පෙරළමින් ප්ලේන්ටියක්ද ඕඩර් කළෙමි. පත්තරය කියවන්න ගත් සැණින් කඩයේ මුදලාලි මා අසලට පැමිණ “මහත්තයා ලොක්කා එංගලන්තේ යනවා. දීලා එයි මේ ගමන සුද්දන්ට දුවන්න…” ඔහු මේ පවසන්නේ “මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා එංගලන්තය බලා පිටත්ව යයි” යනුවෙන් තිබූ පුවත්පතේ ප්‍රධාන පුවත සම්බන්ධයෙන්ය. එම සංචාරය පුද්ගලික සංචාරයක් පමණක් බව මම මුදලාලිට කීවෙමි.
“ඒ වුනාට මහත්තයා බලන්නකෝ…” ඒ නොදනුවත්කම ඔහුගේ වරදක් නොවේ. මෙරට සිඟාල මාධ්‍ය විසින් ඔහුගේ ඔළුතුළට කාවැද්දවු ඒවායේ වරදය. ඒ නිසාම මා එතැනින් එහාට කිසිත් නොකිව්වෙමි. එම පුවත් පතේද කිසිඳු තැනෙක, එම සංචාරය හුදෙක් පුද්ගලික සංචාරයක් බව සඳහන් කර තිබුණේ නැත. ඒහි සඳහන්ව තිබුණේ යුධ ජයග්‍රහණ හරහා මහින්ද රාජපක්ෂ ජනාධිපතිට අත්වූ කීර්තිය නිසා මෙම ආරාධනාව ලැබූ බවයි. නමුත් මෙය කිසිම විටෙක රාජත්‍රාන්ත්‍රික ආරාධනාවක් නොවන බවද එහි සඳහන් වී නොතිබිණි. ඇත්තෙන්ම රාජපක්ෂ හිතැති සැමගේම අදහස වූයේ ජනාධිපතිතුමා සුද්දගේ ගෙදරටම ගිහින් කණට ගහලයි එන්නේ කියාය.
නමුත් සිදුවූයේ කුමක්ද?
මාවිල්ආරුවෙන් ඇරඹි ලාංකීය මිලිටරි දේශපාලන සංස්කෘතිය නන්දිකඩාල් කළපුවේදී දමිළ සන්නද්ධ විමුක්ති ව්‍යාපාරය පමණක් නොව සමස්ථ දමිළ ප්‍රජාවම සුන්බුන් බවට පත්කළ පසු දකුණට යොමුවිය. එය දකුණේදී විවිධ නාමකරණයන් ඔස්සේ විවිධ ස්වරූපයන් ගත්තද එය මිලිටරි දේශපාලනික සංස්කෘතියකි. එම නිසාම දකුණේදී මේ මොහොතේ සිදුවන සෑම ක්‍රියාකාරකමක්ම උතුරේදී මීට වඩා වැඩිගුණයකින් සිදුවිය හා තවමත් සිදුවෙමින් පවතී. මිලිටරි යාන්ත්‍රණය රටේ සුපිරිම සහ දේවත්වයේ යාන්ත්‍රණය බවට පත්කරනා රාජපක්ෂ රෙජීමයට මානව හිමිකම්, මාධ්‍ය නිදහස හෝ වෙනත් කිසිඳු නිදහසක් අවශ්‍ය නැත. එම ක්‍රියාවලියේ ප්රතිඵලයන් දැන් වඩාත් පුළුල්ව දකුණ විසින් අත්දකිමින් සිටිනු ලබයි. එසේ මානව විරෝධී ක්‍රියාකරකම් රැසක් සිදුවූවද තවමත් රාජපක්ෂ රෙජීමය පවත්වාගෙන යාමට අවශ්‍යය ඉන්ධන සපයන ප්‍රධානත සැපයුම් මාර්ගය වන්නේ ඉහත කී මිලිටරි ක්‍රියාකාරකම්ය. සිංහල බෞද්ධ ජනමූල නායකයා යෑයි ලේබල් කරමින් බලයට එන මහින්ද මිලටරි මූල නායකයෙකු බවට පත්වීම බලය සපයන්නේ සිංහල බෞද්ධ අධිපතිවාදී කොටස් විසිනි. එසේ තම බලය තරකරගන්නා මහින්ද ඉන්පසු එම ජාතිවාදී බලවේගයන්ටවත් පාලනය කළ නොහැකි තරමේ මිලිටරි බලයක් තම සහෝදරයා හරහා ගොඩනගා ගනී. ඉන් පසු ලංකාවේ ඇති ඕනෑම ප්‍රශ්ණයකට බෙහෙත “මිලිටරිය”. එයට මානව හිමිකම්, මාධ්‍ය නිදහස හෝ වෙනම් මිනිස් අයිතිවාසිකම් අදාළ නැත. එවැනි නිදහස් වෙනුවෙන් නැංවෙන හඬ “දේශද්‍රෝහී” ලෙස ලේබල් කෙරෙනුයේ ඔවුන් මේ පාලන තන්ත්රයේ අත්තනෝමතික ක්‍රියාවලට එරෙහිව හඬ නංඟන හෙයිනි.
මහින්ද ද හිතා සිටින්නට ඇත්තේ සුද්දාගේ බිමේ සිට සුද්දාට කණේ ඇඟිලි ගසාගන්න දෙකක් කියා එන්නටය. නමුත් සිදුවූයේ දමිළ විරෝධය හමුවේ තමන්ගේ කණේ ඇඟිලි ගසා සිට රටට පැමිණිමටය. ඒ අනුව ජනමූල ප්‍රතිරෝධයක් හමුවේ මිලිටරි මූලයට පසුබසින්ට විය. ඔක්ෆර්ඩ් ඇමතීමේ අවස්ථාව පැවති තත්ත්වය මත අවලංගු කරන ලදී.
දැන්වත් රාජපක්ෂ රෙජීමය තමන්ගේ තත්ත්වය තේරුම් ගන්නේනම් හොඳය. අවාසනාවට සිදුවන්නේ එහි අනෙක් පැත්තය. එංගලන්තයට හෝ දෙමළ ඩයස්පෝරාවට විරුද්ධව කෑගැසීමෙන් වැඩක් නැත. අවශ්‍ය උතුරේ ප්‍රශ්ණයට අවංක විසදුම් සෙවීම හා රටේ ප්රජාතන්ත්රවාදය ස්ථාපනය කිරීමයි. ඒයට අවශ්‍ය බලය මහින්දට මේ මොහොතේ අවශ්‍ය ප්‍රමාණයටත් වඩා ඇත. නමුත් දිනෙනේ දින එම ප්‍රශ්ණ මඟහරිමින් සිටී.
රාපක්ෂවාදීන් පිළිගතයුතු කරුණ එංගලන්තයේදී දමිළ වැසියන්ට උද්ගෝෂණයක් කිරීමට ඇති අයිතියයි. තමන්ගේ පිරිසක් කඳවුරුවල අපාදුක් විඳිද්දී එයට විරෝධය ප්‍රකාශ කරන්නට ඔවුන්ට අයිතියක් ඇති බවයි. ඉගෙන ගතයුතු කරුණ එම රටේ පවත්නා ප්රජාතාන්ත්රීය ගති ලක්ෂණයි. ඒ සිදුවන්නේ ඒ සියල්ල පසෙකලා ජනාධිපතිතුමාගෙන් ලකුණක් ලබාගැනීම සඳහා චෝල ආක්‍රමණයට ගිය ගජබා රජ පිළිගැනීමට මෙන් කොඩි ටිකක් උස්සාගෙන ගුවන්තොටුපලට දිවීමයි.
තවදුරටත් මිලිටරිය කෙරෙහි තබනා විශ්වාසය ඵලක් නැතිබව රාජපක්ෂ රෙජීමය තේරුම්ගත යුතුය. දිනෙන් දින ගොඩනැංවිය යුත්තේ රටේ මිළිටරි බලය නොව ප්රජාතන්ත්රවාදයයි. එංලන්තයේදී දමිළ විරෝධය හමුවේ පරාජය වූයේ ඒ මිළිටරි බලයයි. එහි තේරුම ඔවුන් දිනාගැනීමට ප්රජතන්ත්රවාදී වැඩපිළිවෙලක් වෙත ආණ්ඩුව යායතු බවයි. නමුත් එය දැනට පවතින අධිපතිවාදී සිඟාල බලවේගයන් සමඟනම් කළනොහැක. මේ කුටුම්බ මානසික තත්ත්වයෙන් එහාට ගිය දැක්මක් තිබිය යුතුය.
සත්‍ය දැන දැනත් පයින් ගසන්නේ ඇයි?
මේ මොහොතේ පවතින ප්රජාතන්ත්රවාදී නොවන ක්‍රියාවන් මහින්ද නොදැන සිටීමට ඉඩක් කෙලෙසකවත් නැත. ඒ කළත් මෙරට ප්රජාතන්ත්රවාද වෙනුවෙන් මානව හිමිකම් ක්‍රියාකාරීන් සමඟ උරෙනුර ගැටී වැඩ කළ “මහින්ද අයියා” ද ඔහුම බැවිනි.
උතුරේ ප්‍රශ්ණයට විසදුම් සෙවීමට මෙයට වඩා රාජ්‍ය බලයක් මහින්දට අවශ්‍ය නැත. ඒ ලංකාවේ පාලකයෙකුට ලැබෙන අධිකරණ, ව්‍යවස්ථාදායක, විධායක යන ත්‍රිවිධ බලතල මේ වනවිට ඔහු සතුබැවිනි. නමුත් ඔහු මේ මොහොත මඟහරිමින් ජාතිවාදී කොටස් සතුටුකරමින් සිටිනවා විනා ජාතික ප්‍රශ්ණයට විසඳුම් සෙවීමට උත්සාහයක් ගන්නේ නැත. ඊනියා සංවර්ධන ව්‍යාපෘති මඟින් දමිළ ප්‍රශ්ණය විසඳීමට උත්සාහ කරනවානම් එය විහිළුවකි. මන්ද එයද උතුරට නොව දකුණට ප්රමෝධයක් ගෙනෙන ක්‍රියාවලියක් පමණක් වන්නේය.
දමිළ විමුක්ති සන්නද්ධ ව්‍යාපාරය විනාශකිරීම සම්බන්ධව නැගෙන යුධ අපරාධ සම්බන්ධව එම මෙහෙයුම් ඔය කියන තරමටම මානුෂීය තත්ත්වයකින් සිදුවුනානම් රාජපක්ෂ පාලනයට බිය වීමට දෙයක් නැත. කළ යුත්තේ ඒ සම්බන්ධව පරීක්ෂ පවත්වන කණ්ඩායම්වලට සහය දීමය. එවිට චැනල් 4 මඟින් තව දහස් වතාවක් විඩියෝ පෙන්නූවද ප්‍රශ්ණ ඇතිවන්නේ නැත. එහිදීද සිදුවන්නේ රණවිරුවන් පාවානොදෙමි යන ජනප්‍රිය දේශපාලනික සටන් පාඨ කියමින් තව තවත් යුධවාදී මාවතක් වෙත සමාජය තල්ලු කිරීමයි.
මෙවැනි තත්ත්වයන් හමුවේ විමල් වීරවංශ වැනි තම දේශපාලනික පුරුෂභාවය සිඳගත් දේශපාලකයින්ට රජ මඟුල්ය. පත්තරේ ලොකුවට ෆෝටෝ එකක් දාගන්න, ප්රවෘත්ති මවන්නෙක්වීමට මේවා හොඳ මාතෘකා වන්නේය. ඊනියා දේශප්‍රෙමීන් සූදු පනත හමුවේදී පණනැතිවන තම දේශප්‍රේමී කොඳුඇට පෙළට නැවත පණගහගන්නේ මේ කාරණා ඔස්සේය. ඒ ලෙසම මොළයේ සියළු පද්ධතීන්ගේ ක්‍රියාකාරීත්වය සිඳගත් ජනතා පිරිසක්ද ඔවුන් වටා එක්වෙති.
මේ නිශ්චිත මොහොතේදී රටේ පවතින ප්‍රධානතම ගැටලුව බවට පත්ව ඇත්තේ ජනාධිපතිතුමාට ඔක්ස්ෆර්ඩ් ඇමතීමට නොහැකි වීමයි. උතුරේ දහස් ගණනක් අපාදුක් විදීම, දහස් ගණනක් ජීවිත වලට සිදූවූ දෙයක් නොදැනීම, අහිමිවන මානව හිමිකම්, මාධ්‍ය නිදහස, අත්තනෝමතික අණපනත් මෙන්ම දිනෙන් දින වැඩිවන ජීවන වියදම් ආදිය පිළිබඳ රටේ කතිකාවත සහ අවධානය වෙනතකට හැරවීමේ කොන්තරාත්තුව රජයේ මාධ්‍ය විසින් බාරගෙන ඇත. ඒ නිසාම තව මසක්වත් යනතුරු එංගලන්ත සංචාරය තඑමරනු ඇත.
නමුත් එක දෙයක් මේ සිහින දකින පාලකයන් තේරුම් ගතයුතුය. සෑම මිලිටරි මූලයක්ම සැබෑ ජනමුලයන් ( ලංකාවේදී වගේ නොව) හමුවේ කෙඳිනක හෝ පරාජය වන බවයි.
ක්‍රිශාන් රාජපක්ෂ