හුළං ගිය ඔක්ස්ෆර්ඩ් බැලූනය හා බ්‍රිතාන්‍යයේ අසමත්කම – සනත් බාලසූරිය
මහින්දගේ අපකීර්තිමත් ඔක්ස්ෆර්ඩ් දේශනාව ගැන ජනාධිපති ලේකම් කාර්යාල බොහෝ බොරු ගොතා කීවේය. රාජ්‍ය මාධ්‍ය සේම ඇතැම් පෞද්ගලික මාධ්‍යද, අවිචාරශීලීව ඒ බොරු ගෙඩිපිටින් ගිලදමා ඔක්ස්ෆර්ඩ් දේශනාවට ඔරොත්තු නොදෙන ගාම්භීර බවක් මැවූහ. මෙසේ අතිශයෝක්තියට නංවා පුම්බනලද ඔක්ස්ෆර්ඩ් බැලුමේ හුළං බැසීමෙන් පසු රාජ්යපාක්ෂිකයන්ගේ බලාපොරොත්තු කඩවීම හා කෝපය දෙගොඩතලායාම සේම, එහි ප්‍රතිඵල ලෙස ජයලත් ජයවර්ධනට පාර්ලිමේන්තුවේදීත්, වික්රමබාහුට ගුවන්තොටුපොළේදීත් ගුටිඇනීම පුදුමයක් නොවේ. හෙට අනිද්දාට මේ දෙපොළට සරත් ෆොන්සේකාගේ අල්ලපු කාමරය හිමිවන්නටද ඉඩ ඇත.
ජනාධිපති ලේකම් කාර්යාලයේ ප්‍රතිපත්ති පර්යේෂණ හා තොරතුරු ඒකකය ජනාධිපතිවරයාගේ බ්‍රිතාන්‍ය ගමනගැන ගෙතූ එක් බොරුවක්නම්, එය නිල සංචාරයක් බවය. එහෙත් එය බ්‍රිතාන්‍ය රජයේ මැදිහත්වීමෙන් සංවිධානය කැරුණු නිල සංචාරයක් නොව, හුදෙක් පෞද්ගලික සංචාරයක් විය. ලන්ඩනයේ මහින්ද නැවතී සිටි හෝටලයට පැමිණ බ්‍රිතාන්‍ය ආරක්ෂක ලේකම් ලියම් ෆොක්ස් සහ තවත් මන්ත්‍රීවරුන් කිහිප දෙනෙක් ඔහු හමුවිය. එහෙත් ඒවාද හුදෙක් පෞද්ගලික හමුවීම් මිස කිසිදු වැදගත් රාජ්‍ය තාන්ත්‍රීය තීරණයක් ගතහැකි නිල සාකච්ඡා නොවීය.
ඔරොත්තු නොදුන් බේගල්
අවුරුදු එකසිය අසූගණනක ඔක්ස්ෆර්ඩ් ඉතිහාසයේ එක් රාජ්‍ය නායකයකු දෙවරක් එම සංගමය ඇමතීමට ආරාධනා කොට ගෙන්වාගන්නා පළමු අවස්ථාව මෙය බවද ඉහත ඒකකය කියා, මාධ්‍ය වමාරා තිබුණේ ‛අපේ ජනාධිපතිතුමා මොනතරම් ජාත්‍යන්තර පිළිගැනීමකට ලක්වන උත්තමයෙක්දැ’යි රටට කීමටය. මේ ඔක්ස්ෆර්ඩ් දේශනාව අසන්නට රාජ්යතාන්ත්රිකයන්ද ඇතුළු වැදගත් ජාත්‍යන්තර ප්‍රජාවක් පුලපුලා බලාසිටින්නේය යන්න ද එසේ මවන ලද බොරුවකි. යථාර්ථය එයට බෙහෙවින් දුරස් විය.
දැන් හෙළිවීඇති කරුණුවලට අනුව මහින්දට මේ ආරාධනාව කරඇත්තේ ඔක්ස්ෆර්ඩ් සංගමයේ 08දෙනකුගෙන් සමන්විත ශ්‍රී ලාංකික සිංහල ශිෂ්‍ය කල්ලියකි. ඔවුන් එම දේශනාව සඳහා ඔක්ස්ෆර්ඩ් සංගමයේ හා විශ්වවිද්‍යාලයේ අවසරය ලබාගත් නිසා සංගමයේ නිලනාමය යටතේ එය සංවිධානය කිරීමේ අවස්ථාව හිමිවිය. ඒ අනුව මෙය ශ්‍රී ලංකා ජනාධිපතිගේ බුද්ධි මහිමයට හෝ රාජ්‍යතාන්ත්‍රික විශාරදභාවයට වහවැටුණු ලෝ ප්‍රකටම විශ්වවිද්‍යාලයක් විසින් ලබාදුන් ගෞරවණීය අවස්ථාවක්ය කීම අමු බේගලයක් වන අතර සත්‍යය වන්නේ, අටදෙනකුගෙන් යුතු ලාංකික සිංහල සිසු කණ්ඩායමක් විසින් කරන ලද ආරාධනයකැයි කීමය.
මෙම දේශනාව ඇසීමට ජාත්‍යන්තර විද්වත් පර්ශදයක් හෝ රාජ්‍ය තාන්ත්‍රිකයන් පැමිණෙන්නට සිටියේය යන්න තවත් බේගලයකි. මහින්දගේ දේශනාව ඇසීමට ඔක්ස්ෆර්ඩ් හා ලන්ඩන් අවට වෙසෙන ආණ්ඩුවට හිතවත් ලාංකිකයන් අතිබහුතරයක් ඇතුළු හයසිය ගණනකට ආරාධනාපත් යැව්වේත්, ඔවුන් ගෙන්වාගැනීමට කුලී බස්රථ සංවිධානය කළේත් ශ්‍රී ලංකා මහකොමසාරිස් කාර්යාලය විසිනි.
මෙවැනි බේගල් ගොතමින් ආණ්ඩුවේ හොරණෑකාරයන් සිදුකළ තක්කඩි ප්රචාරක මෙහෙයුමෙන් ජනාධිපතිවරයා වැනූ වැනිල්ලට අනුව, ඔහුගේ ඇම්බැට්ටයන්ට පමණක් නොව මහින්දටමත් තමන් කවුදැයි සිතාගන්නට බැරිවීනම් එයද පුදුමයක් නොවේ.
මෝඩ උද්දච්චකමේ හා නොසැලකිල්ලේ ප්‍රතිඵල
අපකීර්තිමත් ඔක්ස්ෆර්ඩ් දේශනාවේ යථාර්ථය දැන්වත් ලංකාවේ සාමාන්‍ය ජනයාට තේරුම්ගන්නට ලියාතැබීම පාලකයා ගොනාට අන්දා තම මඩිය තරකරගන්නා තක්කඩින්ට දේශද්‍රෝහීත්වයක් ලෙස පෙනුනත්, වගකවයුතු මාධ්‍යකරුවන්ගේ අත්හල නොහැකි වගකීමකැයි සිතමි.
බ්‍රිතාන්‍යයේ වෙසෙන දෙමළ ප්‍රජාව දස දහස් ගණනින් එක්රැස්වී දැවැන්ත ‛මහවිරු’ සැමරුමක් සිදුකරමින් ලංකා ආණ්ඩුවට බරපතල විරෝධයක් මතුකරමින් සිටි අවස්ථාවක්ම, මේ ගමනට යොදාගන්නට උපදෙස් දුන්නේ කවුද? ආණ්ඩුවෙන් වැටුප් ලබන ආරක්ෂක පරිවාරකයන් සේවයේ යෙදී සිටියදීත්, බ්‍රිතාන්‍යයේ ශ්‍රී ලංකා මහකොමසාරිස් කාර්යාලය සිදුවිය හැකිව තිබූ මේ තත්ත්වය පෙරදකින්නට අසමත්වීද? නැතිනම් දැන් කියන පරිදි, තත්ත්වය පෙරදැක ඔවුන් ඒබව ශ්‍රී ලංකා ආණ්ඩුවට දැනුම් දුන්ණේද? එසේනම් ඒ උපදෙස් නොතකා හැරුණේ ඇයි? ලංකාවේ ප්‍රතිරූපය නංවන්නට කියා ජනතා බදුමුදලින් මිලියන් ගණන් ගිලින ‛බෙල් පොටින්ජර්’ ලොසින්ජරකාරයා කළේ කුමක්ද?
බ්‍රිතාන්‍ය ශ්‍රීලනිප ශාඛාව ජනාධිපතිවරයාට මේ අවස්ථාවේ මේ සංචාරය නොකරන්නැ යි ඉල්ලීම් කළ බවට එම ශාඛාවේ සභාපතිනී රානී බුලත්වැව දැන් කියන කතාව ඇත්තක්ද? මේ සියලු අනතුරු ඇඟවීම් තිබියදීත් ඒවා තුට්ටුවකට මායිම් නොකරමින් මෙවැනි පෞද්ගලික සංචාරයක් සඳහා මේ අවස්ථාවේ ජනාධිපතිවරයා සහභාගී වූයේ ඇයි? ගෙදර තිබෙන මුවහම්වලට තඩිබෑම හා බ්‍රිතාන්‍යයට බැනඅඬගැසීම වෙනුවට මහින්ද ප්රමුඛ ආණ්ඩුව කළ යුත්තේ මෙවැනි කාරණාගැන සොයාබැලීමයි.
එහෙත් ආණ්ඩුව කරන්නේ ජයලත් ජයවර්ධනට පාර්ලිමේන්තුවේදීත්, වික්රමබාහුට මහපාරේදීත් බැටේ දෙන්නට පාරම්බෑමයි. ජනාධිපතිවරයාගේ ගමන කඩාකප්පල් කරමින් බ්‍රිතාන්‍යය තුළ මෙච්චර හරියක් කරන්නට තරම් බාහු ජයලත් දෙපළ මහ දෑවැන්තයන්බව ආණ්ඩුව පිළිගන්නේද? මේ දෙදෙනාට එච්චර හරියක් කරන්නට පුළුවන් විණිනම්, දුසිම් ගණනක් ගෙනගිය තමන්ගේ අනුගාමිකයන්ට මහකොමසාරිස්ලාට, බෙල්පොටින්ජර්ලාට ඊට මුහුණදෙන්නට බැරිවුණේ ඔවුන් එතරම්ම දුර්වලයන් නිසාද?
ඇත්තම කතාව, මෙය අපරීක්ෂාකාරීත්වයේ හා අඥානකමේ නීරස ප්‍රතිඵලයක් වීම නොවේද?
බ්‍රිතාන්‍යය නම් ‛අසමත් රාජ්‍යය’
දැන් ශ්‍රී ලංකාව තුළ නිර්මාණය වී ඇති නව කතිකාව වන්නේ, බ්‍රිතාන්‍ය රජය මෙහිදී ක්‍රියාකළ හැටි වැරැදීය යන්නයි. එය අප සලකාබැලිය යුත්තේ දේශපාලනිකව
කුණුවෙමින් යන වීරවංශ වැන්නකු ඒ සටන් පාඨය අතටගන්නා නිසා හෝ ‛සාටක සරණං ගච්ඡාමී’ ප්‍රතිපදාව හැර වෙනත් කිසිවක් නැති ආණ්ඩු පක්ෂයේ උදවිය හා එහි මාධ්‍ය කියන නිසා නොවේ. ඇතැම් පෞද්ගලික මාධ්‍ය ඇතුළු පිරිසක්ද මේ කාරණයේදී අන්දමන්ද වී සිටින නිසාය.
‛මේ සිද්ධිය සිදුවූයේ ඇමරිකාවේ ජනාධිපතිට නම්, බ්‍රිතාන්‍ය රජය ක්‍රියාකරනු ඇත්තේද මේ ආකාරයටමදැ’යි ලංකාවේ ජාතිමාමකයන්ට අල්ලායන තර්කයක් ඇතැම් පෞද්ගලික මාධ්‍යද නඟමින් සිටී.
මූලිකව අප තේරුම් ගතයුතතේ, තමන්ගේ භූමියේ පවත්නා සැබෑ ජනගැටලුවලට පිළිතුරු දීමට අසමත්, හුදෙක් ඇස්බැන්දුම් සන්දර්ශනවලින් පමණක් පැවැත්ම සොයනා අසමත් රාජ්‍යයන්හි, නිර්ප්රජාතන්ත්රීය ඔළුගෙඩි සහිත හීනමානී රාජ්‍ය නායකයන් හැරෙන්නට, සාපේක්ෂව දියුණු ප්රජාතන්ත්රවාදයක්, ආර්ථික හා ජීවන පසුබිමක් සහිත රාජ්‍යයක කිසිදු නායකයකු මෙවැනි බොරු පුරසාරම් කියා මෙතරම් මුග්ධ ආකාරයට විදේශ සංචාරයන්හි නොයෙදෙන බවය. ඇමරිකාව පැත්තකින් තබමු. ඉන්දියාවේ රාජ්‍ය නායකයකු හෝ මෙවැනි අඥාන පියවරක් ගනු ඇතිද?
‛ඇමරිකානු ජනාධිපතිවරයකු බ්‍රිතාන්‍යයට ආවිට අල්කයිඩා සංවිධානය විසින් මෙබඳු විරෝධයක් දැක්වීයයි කියා ඔහුගේ සියලු කටයුතු අවලංගුකර ආපසු යවනවාදැයි’ මාධ්‍ය ප්‍රශ්න කරනුද දුටුවෙමි. මේගැන කිවයුත්තේ තමන්ගේම තානාපති කාර්යාලයෙන් තමන් ගොඩබසින බිමේ ආරක්ෂක තත්ත්වය කියා එවන වාර්තාවවත් නිවැරැදි අවධානයට ලක්නොවන පරිපාලන ක්‍රමයක් ඇමරිකාවේ තිබුණානම් ඒ රාජ්‍යයටත් ‛දෙයියන්ගේම පිහිටයි’ කියාය.
ලෝක බලවතුන්ගේ ‛කැරැට්ටුව’
මේ කතාවල එක් සත්‍යයක් තිබේ. බ්‍රිතාන්‍යය අපට සලකන්නේ ඇමරිකාවට හෝ වෙනත් ලෝක බලවතකුට, අවම වශයෙන් ඉන්දියාවට හෝ චීනයට පවා
සලකන විදියට නොවේය යන්න ඒ සත්‍යයයි. ඇමරිකාව බ්‍රිතාන්‍යය ප්රමුඛ මේ ධනවාදී රටවල් ලෝකයේ පහළ වූ යුටෝපියාවන් ලෙස ගැනීමේ අසනීපයක් අපට නැත. මේ රාජ්‍යයන් සිය බලව්යාපෘතියේදී ඇතැම් විට එකක් කියමින් තවෙකක් කරයි. ඇමරිකාව ලෝකය පුරා තම හතුරු මිතුරු කොයි රාජ්‍යයේත් ඔත්තු බලමින් සිටිනබව, ක්‍රමය ගැන අවබෝධයක් ඇත්තකුට ‛විකීලීක්ස්’ම කියාදිය යුතු නැත. මේ රාජ්‍ය ආර්ථික සමෘද්ධිය සේම දේශපාලන බලයද අත්පත් කරගත් ගමන වැටීතිබුණේ සර්ව සාධාරණ මාවත් ඔස්සේද නොවේ.
මේ මොන ගැටලු තිබුණත් මේ රාජ්‍යවල පුරවැසියෝ අපට වඩා පුළුල් ප්රජාතන්ත්රීය අයිතිවාසිකම් භුක්ති විඳිති. ඒවා පාලකයයන් විසින් බන්දේසිවල තබා පිළිගන්වන ලද දේවල්ද නොවේ. පුළුල් ජන අරගල ඔස්සේ දිනාගන්නා ලද දේය. ඒ සමාජවල ඒ අයිතිවාසිකම් කොතරම් මුල්බැස ඇතිදැයි කිවහොත් තමන්ගේ රාජ්‍යය පාදමින්ම දෙදරන්නට ඉඩ ඇතැයි හැඟෙන අතිවිශේෂ අවස්ථාවක හැර ඒවාට අත තියන්නට ඒ රාජ්‍ය කරවන්නන් හෝ නොසිතනු ඇත. එසේ සිතන්නට බැරි තරමටම මේ සම්ප්රදායයන් ඒවායේ සමාජ දේහයන්ට කාවැදී ඇත.
එහෙත් ශ්‍රී ලංකාව වැනි ප්රජාතන්ත්රීය අයිතිවාසිකම් කඩ කරන, මානව හිමිකම් උල්ලංඝනය කරන, ඒ සම්බන්ධයෙන් රටතුළින් මෙන්ම ජාත්‍යන්තරයෙන්ද එල්ලවන බලපෑම් උද්දච්ච කතාවලින් ඉවතලන රාජ්‍යයක නායකයෙකුගේ පෞද්ගලික දේශනයක් උදෙසා සිය රටේ පවත්නා නිසි අවසරය සහිතව සංවිධානය වී විරෝධය පෑමේ ප්රජාතන්ත්රීය අයිතිය උල්ලංඝනය කරන්නට තරම් අමාරුවක් බ්‍රිතාන්‍යයට ඇතැයි අප සිතන්නේ නම් එය විහිළුවකි. එසේම එවැනි පෞද්ගලික කටයුත්තකට රාජ්‍ය ධනය වැයකරමින් දැවැන්ත ආරක්ෂාවක් සැපයීමට තරම් රුදාවක්ද ඔවුන්ට නැතිවීම පුදුමයක් නොවේ. ඇමැතිවරයකුට හූවක් කීවත් පොලිස් දේපාර්තමේන්තුවෙන් අඩක් විශ්වවිද්‍යාල තුළට බස්සන ලංකාවේ දේශපාලකයන්, බ්‍රිතාන්‍ය රජයද එසේ කරතැයි බලාපොරොත්තුවීම ඔවුන්ගේ අඥානකමයි. අතිශය බැරෑරුම් තත්ත්වයකදී හැර විශ්වවිද්‍යාල තුළට පොලීසිය යැවීම, මේ රටවල සම්ප්රදායය නොවන බව ඇමැති ජීඑල් නොව මහාචාර්ය ජීඑල් දන්නවා ඇත.
රටට බොරුකියා පිටදී ඇණගැනීම
ලෝක බලවතුන් ශ්‍රී ලංකාවේ ආණ්ඩුවට මේ මොහොතේ දක්වන්නේ අවප්‍රමාණ සැලකිල්ලක් බව යථාර්ථයකි. එය අපට පමණක් අනන්‍ය වූවක් නොවේ. අපේ වැනිම ප්රජාතන්ත්රවාදය හීන, විසූක දස්සනවලින් වැජඹෙන රාජ්‍ය තාන්ත්‍රිකයන් සිටින දිළිඳු රටවල්, මේ ලෝක බලවතුන්ගෙන් ලබන්නේ අඩු සැලකිල්ලකි. අප ලබන මේ අවරගණයේ සැලකිල්ල වෙනස් කරගැනීමට අවශ්‍ය තාර්කික පසුබිම සකසාගත හැක්කේ කෙසේද?
අපටත් මහා ආර්ථික බලවතකු වියහැකි නම් එම පිළිගැනීම නොඅඩුව ලබාගත හැකිවනු ඇත. එහෙත් පවත්නා මොහොතේ එය යථාර්ථයක් නොවේ. එසේනම් අපට මේ බලවතුන්ගේ ලෝකයේ පිළිගැනීමක් ලබාගන්නට හැකි ප්‍රායෝගික ක්‍රමවේදය කුමක්ද?
සරලම මඟ වන්නේ අප ප්රජාතන්ත්රවාදය හා මානව හිමිකම් ගරුකරන ශිෂ්ට සම්පන්න රටක්ය යන්න ලෝකය හමුවේ ඔප්පු කිරීමයි. අප ශිෂ්ට වියයුත්තේ කාටවත් පෙන්නන්නට හෝ කාගේවත් වුවමනාවට නොවේ. එහෙත් අපේම වුවමනාවට අප ශිෂ්ට සම්පන්න රටක් වන්නේ නම් ලංකාවේ රාජ්‍ය නායකයන්ට මතු නොව සාමාන්‍ය පුරවැසියකුට වුව ලෝකය හමුවේ මේ ආකාරයෙන් පාච්චල් වීමට හෝ රටක් වශයෙන් අවනම්බු විඳීමට සිදුනොවනු ඇත. එවැන්නක් සිදුවූ විටෙක පවා රට ඇතුළට චණ්ඩිකම් පෙන්වා ජාත්‍යන්තරය තුළ තවදුරටත් පචවීම වෙනුවට, එසේ අවනම්බු කළවුන්ට ශිෂ්ට ලෙස මුහුණදීමටවත් හැකිවනවා ඇත.
මෙසේ ශිෂ්ටත්වය කරා යනවා වෙනුවට අප කරමින් සිටින්නේ කුමක්ද? දිගින් දිගටම ලෝකයා හමුවේ අපේ අශිෂ්ටත්වය, නිර්ප්රජාතන්ත්රීය භාවය හා විලිලජ්ජා නැතිකම පෙන්වීමයි.
නීතිය පිළිබඳ විශාරදයකු ලෙස සැලකුම් ලැබිය යුතු පුද්ගලයකු වන විදේශ ඇමැතිවරයා නේපාල රාජ්‍ය නායකයන් ගේ හමුවක් පවා ලංකාවට කියන්නේ රාජ්‍ය නායකයා පිම්බීමේ අරමුණින් බොරු ගොතමින් නම්, අපට ජාත්‍යන්තරය තුළ දිගින් දිගටම මදිපුංචිකම් විඳීමට සිදුවීම පුදුමයක් නොවේ.
අපේ ‛සමත් රාජ්‍යය’
ප්රජාතන්ත්රවාදය, මානව හිමිකම්, ආර්ථිකය, නීතියේ ආධිපත්‍යය ඇතුළු සකල අංශවලින් අසමත් රාජ්‍යයක් බවට පත්ව සිටින අප, බ්‍රිතාන්‍යයට අසමත් රාජ්‍යයකැයි බැන අඬගැසීමෙන් තිබෙන වටිනාකමත් නැතිකරගන්නවා හැර අපට ලැබෙන අලුත් වටිනාකමක් නැත.
දින තුන්සියයකට පසුවත් අතුරුදන් වූ ප්‍රගීත් එක්නැලිගොඩට සිදුවූයේ කුමක්දැයි කීමට නොහැකිව සිටින, මෙතෙක් සිදුවූ කිසිදු ජනමාධ්‍යවේදී ඝාතනයකට වැරදිකරුවකු සොයාගන්නට බැරිවූ, ආණ්ඩුවට විරුද්ධ පෝස්ටර් පරිසරයට හැනිවෙනවායයි ගලවා දමමින් ඒවා අලවන්නන් අල්ලා හිරේ දමන ගමන් රාජ්‍ය නායකයාගේ පදවි ප්‍රාප්තියට තමන් විසින්ම රටම වැසෙන්නට පෝස්ටර් ගසන පොලීසියක් සිටින, ආණ්ඩුවට එකතුවන දේශපාලකයන්ගේ නඩු විසිකර දමා ආණ්ඩුවට විරෝධය දක්වන්නන් සම්මත නීති රාමුවට පිටින් පවා සිරගතකරන අධිකරණ ක්‍රමයක් ඇති රටක නීති විශාරදයකු වන විදේශ ඇමැතිවරයා, බ්‍රිතාන්‍යය තුළ අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය නැතැයි කරන මුරගෑම ශ්‍රී ලංකාවට ජාත්‍යන්තරය තුළ යහපත් ප්‍රතිරූපයක් ඇතිකරන්නට උපකාරවනු ඇතිද? නැතිනම් තිබෙන ප්රතිරූපයත් කාබාසිනියා කරනු ඇතිද?
කෙසේවෙතත් මෙයින් රාජපක්ෂ පැරදුණේම නැත. රටේ දැවෙන ප්‍රශ්න අමතක කරවා බාහු ජයලත් මුවහම් දෙකට තඩිබාමින් හා සිංහල දේශයට එරෙහි පරසුද්දා ගේ ජාත්‍යන්තර කුමන්ත්‍රණයට ලෙහි අත්ගසා අභියෝග කරමින් තවත් මාසයක් හමාරක් ඔහුට ජාමබේරාගත හැකිවනවා ඇත.