Colombo, Featured Articles, Features

දේශප්‍රේමී පිස්සුව බෝවන සමාජ රෝගයක් වීම


දේශප්‍රේමී පිස්සුව බෝවන සමාජ රෝගයක් වීම – ක්‍රිශාන් රාජපක්‍ෂ

ශ්‍රී ලංකාව දැන් දේශප්‍රේමීන්ගේ පාරාදීසයයි. සමහරු දේශපානයෙන් දේශප්‍රෙමීන්ය. සමහරු කලාවෙන් දේශප්‍රේමීන්ය. තවත් සමහරු කටින් දේශප්‍රේමීන්ය. තවත් අය ඇඳුමෙන් දේශප්‍රේමීන්ය. මේ ලෙස නානාප්‍රකාර විධික්‍රමයන්ගෙන් දේශප්‍රේමීන් බුරුතුපිටින් බිහිවී ඇත. මේ අනුව ඉහත කී පරිදිම ලංකාව දේශප්‍රේමීන්ගේ පාරදීසයකි. ඒ වගේම දේශප්‍රේමියෙක් වීම, දැන් කඩයකින් ටොපියක් ගන්නවාටත් වඩා පහසුය. හිත හිතා තැවි තැවී සිටින්නට කිසිඳු හේතුවක් නැත. 2009 වර්ෂය දේශප්‍රේමීන්, වීරයන් දුසිම් ගණන නිෂ්පාදනය කළ වසරයි. ගම් නගරවල මෙලෝ වැඩක් නොකර එහෙට මෙහෙට කැරකි කරකී සිටි සැවොම 2009 මැයි මාසයේදී උතුර සුණුවිසුනු කොට ඊනියා යුධ ජයග්‍රහණ සමරා හන්දියක් හන්දියක් ගානේ කොඩියක් දමා, කිරිබතක් උයා දන්සැල් පවත්වා, උපාහාර උළෙලක පෝස්ටරයක් අලවා එක රැයින් දේශප්‍රේමී අයියාලා වූහ. ඉන්පසු දේශප්‍රේමය තම යැපීමේ මාර්ගය ලෙස තෝරාගත් අයියලා තව තවත් දේශප්‍රේමීන් වූහ. ඔය ආකරයට සමස්ථ ලංකාවම දේශප්‍රේමී අයියලා අක්කලා වූහ. එය කෙතරම් පිස්සුවක් වී ඇත්දැයි යන්න තේරුම් ගැනීමට හොඳම කාලසමය මෙම කාලපරිචේදයයි.

මේ කාලසමයේදී දේශප්‍රේමීන්ගේ හැසිරීම රටාව කිසියම් තර්කයටක හෝ වෙනවම් වූ න්‍යායකට හසුකර ගත නොහැකිය. සියල්ල සිදුවෙමින් සිදුවෙමින් යයි. එය හසුකරගත හැකි එකම තර්කය මෙය බෝවන සමාජ රෝග තත්ත්වයක් ලෙස පමණි. ක්‍රියාවලිය එසේ සිදුවෙමින් සිදුවෙමින් යද්දී දේශප්‍රේමීන් න්‍යායට හසුනොවනා පුද්ගල සහ ද්‍රව්‍ය සියල්ලට ඒ තරම්ම වේගයෙන්ම දේශද්‍රෝහී ලේබලය අලවාගෙන යති. මේ මොහොතේ දේශප්‍රේමී න්‍යාය දේශය ගැන ආදරයකින් ඇල්මකින් නිසා නොව එය මේ නිශ්චිත මොහොතේදී තමන්ගේ පැවැත්ම තහවුරු කරගැනීමට භාවිත කලහැකි සරලම සහ පහසුවම උපක්‍රමය බැවිනි. ඕනෑම අපරාධයක් කර මේ මොහොතේදී දේශප්‍රේමය තුළින් වසන් කරගත හැක. පසුගිය කාලසමය පුරා එහි ප්‍රතිඵල අත්දැකීමට අත්විඳීමට අපට සිදුවූ අතර ඉතිහාසය පුරාද එය එසේම විය. ආසන්තම කාරණයව මේ යුගයේ සියලු ඊනියා දේශප්‍රේමින් බිහිවී ඇත්තේ උතුරේ දමිළ විමුක්ති ව්‍යාපාරය මිලිටරි ලෙස විනාශය කිරීම ඔස්සේය.

එක්සත් ජාතික පක්ෂයේ බහුතරයක්, ජාතික හෙළ උරුමය සහ ජනතා විමුක්ති පෙරමුණ අතර ඇත්තේ හොඳම දේශප්‍රේමින් වීමට ඇති තරඟයයි. ඔවුන් ගේ සියලු සටන් පාඨ ඇත්තේ දකුණේ සිංහල බෞද්ධ අධිපතිවාදය ග්‍රහණයකර ගැනීම සඳහාය. ජවිපෙට අනුව උතුරේදී හඳුන්හෙට්ටිට ගැසූ විට වැරදිය. ඔවුන් විසින් ඉන්ධන සපයා මිලිටරි ඩොසර් මගින් උතුර සුන්බුන් බවට පත් කරද්දී එය නිවැරදිය. එජාපයේ සහ හෙළඋරුමයේ සටන් පාඨද එයට දෙවැනි නොවේ.

2004 වර්ශයේදී ජවිපෙ දේශප්‍රේමී කරමතින් එන ඔවුන්ගේ මහින්ද අයියාම 2010 වසරේ ඔලු පැලෙන්න ජවිපෙට පහරදෙයි. මහින්ද මේතරම් බලවත්, බලයෙන් මත්වගිය පාලකයෙක් ලෙසට ඔසවා තබන්නේ ජවිපෙ සහ සිංහල බෞද්ධ බලවේග විසින් මසාදෙනු ලැබූ දේශප්‍රේමී ඇඳුම් මගිනි. මේ කාලයේ උත්තම දේශප්‍රේමියා විමල් විරවංශනම් දේශපාලන චරිතය බිහිකරන්නේද ජවිපෙ මඟනි. ඊට අමතරව තවමත් ජවිපෙ ආමන්ත්‍රණය කරන්නේ සිංහල බෞද්ධ දේශප්‍රේමී අධිපතිවාදයටය. තමන් විසින් පිරිත් කියා නූල් බැඳ උතුර සුන්නද්ධූලි කළ පසු ඒ බිමටම ගොස් පිරිත් නූල් බැන්ද අයවලුන්ගෙන්ම පොලුපහර වැදුනේ හඳුන්හෙත්තිට පමණක් නොව සමස්ථ ජවිපෙ මතවාදයටය. නමුත් තවමත් එය තේරුම්ගන්නා අයුරු පෙනේනට නැත. එපමණක් නොව ඔවුන් සරත් ෆොන්සේකාට නිදහස සොයන්නේ තවමත් යුධ ජග්‍රහණයේ නියමුවා යන්න සටන් පාඨය කොටගනිමිනි. මිනිසෙකු සිරගත කිරීමේ අපරාධය පසෙක තබා ඒ වෙනුවට ජනප්‍රිය සටන් පාඨ පසුපස හඹායාමා අවාසනාවන්ත තත්ත්වයකි.

ඒකොන් ලංකාවට පැමිණේමිදී බුදු දහමට නිගාකළ බව කියා වීසා නොදීමද දේශප්‍රේමය යැයි නම් කළ අතරම එසේ කළ අය විසින්ම පිටකොටුවේ විරෝධතාවයේ යෙදී සිටියදී ස්වාමින්වහන්සේලාට පන්න පන්නා පහර ගැසීමද සාධාරණීකරණය වන්නේ දේශප්‍රේමය නාමයෙනි. මේ ලෙස මෙය සමාජය පුරා විහිඳුන සමාජ රෝගයක් බවට පත්ව ඇත. මේ මොහොතේදී දේශප්‍රේමියෙක්නම් චින්තන ලියවිල්ලේ තිබෙන ආකාරයට හැඩගැසිය යුතුය. ඒ ලෙස ජීවත් විය යුතුය. කෑම බීම, විලාසිතා පමණක් නොව චිත්‍රයක් ඇදීමේ සිට චිත්‍රපටයක් හැදීම දක්වා සියලු කාර්යයන් ඒ චින්තන ලියවිල්ලට අදාළ විය යුතුය. එයට පටහැනිව ගන්නා හුස්මක් පවා දේශද්‍රෝහීන්ය.

දකුණු කොරියානු විප්ලවීය සිනමාකරුවකුවන කිම්-කි-දුක් නම් සිනමාකරුවා වරක් අපූරු ප්‍රකාශයක් කලේය. “හැමෝම යායේ වගාකරන්නට යනවා…මම මගේ තක්කලි පැළේ පොච්චියේ හිටෝනවා.”

එම කියමන මේ මොහොතේ ලංකීය සමාජය හා ගැළපුවහොත් සිදුවන්නේ හැමෝම එකතුවී කරන්නේ මහින්දගේ යාය වගාකිරීමයි. එසේ යාය වගාකරන්න යන්නට ප්‍රතිලාභ, තාන්න – මාන්න, නම්බු – නාම සියල්ලම හිමිය. මේ වන විට ලංකාවේ පොරවල් ඔවුන්ය. කාලයක් පොච්චියේ පැළ සිටවූ අය පවා අවසානයේ මහින්දගේ යායේ වගාකිරීමට ගියහ. ජැක්සන් අන්තනි, වාසුදේව, රූකාන්ත වැන්නවුන් ඒවාට හොඳ උදාහරණය. මේ මොහොතේ ඔවුන් සියල්ල සිටින්නේ ඉහත කී දේශප්‍රේමී ලේබලය යටතේය. දේශපාලන පුරුෂභාවය සිඳගත් විමල් වීරවංශද එහා යාවජීය මුරකරුවෙකි. ඔහුගේ කාර්ය මහින්දට පිටින් යන්නට දේශද්‍රෝහී ලේබලය ඇලවීමයි. මාරාන්තික උපවාස වැනි ක්‍රියාමාර්ග ඒ වෙනුවෙන් ඔහු විසින් භාවිත කරනා උපක්‍රමයන්ය. ඒ ලෙසම තමන්ගේ පැළය නෙබියව පොච්චියේ වගාකරන්නන් වර්ථමාන ලංකාවේදී දේශද්‍රෝහීන් ය.

ඒලෙස දේශප්‍රේමයේ නාමයෙන් අනෙකා තලාපෙළීම තමන්ගේ ක්‍රමය බවට පත්කරගෙන සිටින අධිපතිවාදීන් මේ අවස්ථාවෙන් සිටින්නේ අතිශය ප්‍රමෝධයේය. තම හියියක්කාරකම උතුරේදී ප්‍රදර්ශණය කළ ඔවුන්ට දැන් දෛවයේ සරදමට ලක්වන්නට සිදුව ඇත. පසුගිය කාල සමයේ ජනපති දෑත් ශක්තිමත් කරමින් දේශප්‍රේමියෙකුවූ කරු ජයසුරිය මහාතා දැන් ලංකාවේ අංක එකේ දේශද්‍රෝහියෙකු බවට එක් රැයකදී පත්විය. ඒලෙස මේ මොහොතේ සිටින ඕනෑම දේශප්‍රෙමියෙක් රාජපක්‍ෂ රෙජීමයට අවශ්‍ය වේලාවකදී දේශද්‍රෝහියෙක් කිරීමට බලය සැපයූයේ, දෑත් ශක්තිමත් කරනු ලැබුවේ ඉහත දේශප්‍රේමීන්ම විසිනි.

ලංකාව මේ ඊනියා දේශප්‍රේමීන්ගේ (ජාතිවාදීන්) හොඳ සෙල්ලම් පිටියක් වී ඇතිබව ආසන්නත සිදුවීම් මගින් තේරුම් ගත හැක. පසුගිය දා වික්‍රමබාහු හට අධිආරක්‍ෂිත ගුවන්තොටුපළ තුළදි රජයේ නිල මැරයන්ගේ ප්‍රහාරයට ලක්වීම ආසන්නතම සිදුවීම්ය. විරකුමාර දිසානයක නම් ඊනියා නිදහස් පෙරමුණේ ජාතිවාදී උම්මතක පුද්ගලයෙකු පවසන්නේ වික්‍රමබාහු දුටු තැන පහර දෙන ලෙසයි. මේ ලෙස ඔවුන් තමන්ට බෝවී ඇති මේ තව තවත් සමාජ රෝගය බෝකිරීමටද උත්සහ කරයි. නමුත් මේ මොහොතවන විටත් ලංකාවේ බහුතරයකට මේ සමාජ රෝගය බෝ වී ඇත. මෙම උම්මත්ක දේශප්‍රේමය නම් වූ රෝගය ව්‍යාප්ත කිරීමට බංකොලොත් රජ්‍ය මාධ්‍යයද විශාල කාර්යභාරයක් ඉටුකරනු ලදී.

මේ රෝගයට විරුද්ධව ප්‍රතිශක්තීකරණයේ යෙදෙන සියලු දෙනා මේ මොහොතේ දේශද්‍රෝහීන්ය. රාජපක්‍ෂ රෙජීමය තමන්ගේ නිරුවත වසාගන්න උත්සහ කරන්නේම මේ ඊනියා දේශප්‍රේමය ඔස්සේය. ලියමන අවසානයේ මේ ලියාතබන්නේ තවත් එකකු හෝ මේ උම්මත දේශප්‍රේමය නම් සමාජ රෝගයට ගොඳුරු වීම වළක්වාගනු පිණිසය.

දේශප්‍රේමියෙකු වීමට වඩා දේශයට ද්‍රෝහියෙකු වී මානවප්‍රේමියෙකු වීම වටින්නේය. මන්ද සියලු රාජ්‍යයන් දේශයන්ගේ පැවැත්ම රඳාපවතින්නේ මානවයාගේ පැවැත්ම මතය. සියල්ලෝ මේ ලෙස දේශප්‍රේමී සමාජ රෝගීන් වූ කලකදීනම් එම දේශයේ ඔවුන්ගෙන් වන්නා වූ සෙතක් නැත.