දේශණයක් අවසන් වෙලා පඩි පෙළ බැහැගෙන පහළට එද්දී මේසයක් උඩ නැගලා කවුදෝ කතා කරනවා දැක්කා. එයට ටිකක් සමීප වෙලා ඇහුම් කන් දෙන්න මට හිතුනේ විශ්ව විද්‍යාලය තුළ එය ඉතා දුර්ලභ අවස්ථාවක් හින්දා. මේසේ උඩ නැග සිටි පුද්ගලයා අවට රැස් වෙලා සිටි පිරිසගෙන් වතුර බෝතලය බැගින් ඉල්ලා සිටියා. එසැණින්ම මගේ සිත සතුටට පත් වුණේ නියඟයකින් හරි ගංවතුරකින් හරි අනතුරට පත් වෙලා අසරණ වෙලා ඉන්න පිරිසකට වෙන්න ඇති මේ වතුර බෝතල් කියලා හිතුණ නිසයි.
ඒ කතාව අහගෙනම මම ඉස්සරට ඇවිදගෙන යද්දි නිකමට වගේ දැන්වීම් පුවරුව දිහා බැලුණා. එහි අලවා තිබුණ දැන්වීම දැක්කට පස්සෙයි මට තේරුම් ගියේ ඉහත මා ඇහුම් කන් දුන් කතාවේ මුල කොටස.
අප වෙනුවෙන් රුධීරය හලන වීරෝධාර රණවිරුවන් වන්නි ප්‍රදේශයේ උග්‍ර ජල හිඟයකට මුහුණ පා සිටින බැවින් ඔවුන් සඳහා ජලය එකතු කිරීමේ වැඩ පිළිවෙළක් සූදානම් කොට ඇත . ඒ සඳහා මුදලින් හෝ සීල් කරන ලද වතුර බෝතලයකින් ඔබේ සහයෝගය ලබා දෙන්න.
මේ දැන්වීම දැකපු ගමන් මට හිතුණේ අපේ රටේ ආණ්ඩුවට හමුදා සෙබළුන්ට බොන්න ප්‍රමාණවත් පරිදි ජලයවත් සපයන්න බැරි නම් ඇයි යුද්ධ කරන්නේ කියලයි. ඒ වගේම මේ රටේ ජනතාව තමන් කන හැම බත් ඇටයකින්ම යුද්ධ කරන්න ආණ්ඩුවට සල්ලි දෙද්දිත් තවත් මොනවටද අපි වතුරත් දෙන්නේ කියලයි.
ඒත් හෙට උදේ ඉර පායද්දි විශ්ව විද්‍යාල භූමියේ වතුර බෝතල් ගොඩ ගැහිලා තියෙයි. ඒ, හමුදාවට බොන්න ඇති වෙන්න වතුරවත් දී ගන්න බැරි ආණ්ඩුව යුද්දේ දිනන්නේ කොහොමද කියලා කල්පනා කරන්න මේ රටේ මිනිස්සුන්ට ශක්තියක් නැති හින්දා.
යුද්දේ දිනන්න ඕනේ මිනිස්සු මරලද මිනිස්සුන්ට නිදහසේ ජීවත් වෙන්න ඉඩ දීල ද කියලා අපි අද තීරණය කළේ නැත්තම් අපිට ඉතුරු වෙන්නේ මිනිස්සු නැති හිස් බිමක් විතරයි. මරණය වෙනුවට ජීවිතය වෙනුවෙන් වතුර බිංදුවක් දෙන්න අපිට පුළුවන් නම් එදාට සිංහල , දෙමල , මුස්ලිම් අපි හැමෝටම බියක් සැකක් නැති මේ පොළවේ හුස්ම ගන්න පුළුවන් වෙයි.
මැණිකේ