Colombo, Featured Articles, Features, Jaffna

දෙමළ හඬට සවන් දෙමු..!


දෙමළ හඬට සවන් දෙමු – පුරුවැසි මාධ්‍යවේදියකුගේ සටහන් – සුනන්ද දේශප්‍රිය

යුද්ධයට කීවේ මානුෂීය මෙහෙයුම කියා ය. යුද්ධ ජයග්‍රහණයට කීවේ දෙමළ ජනයාට විමුක්තිය උදා කරලීම කියා ය. යුද ජයග්‍රහණය ප්‍රකාශ කොට අදට වසරකුත් මාස 07කුත් දින 28කි. අද දෙමළ ජනයා කියන්නේ කුමක් ද? ඔව්න් ඉල්ලා සිටින්නේ කුමක් ද? ආණ්ඩුවේ ක්ෂමාලාපක දෙමළ දේශපාලනඥයින් කියන කරන කතා සිංහල ජනයාට කොතෙකුත් අසන්නට ලැබේ. එනමුත් තමන් මුහණ දෙන සැබෑ තතු හෙළි කරන දෙමළ හඬ අද සිංහල ජනයාට ඇසෙන්නේ නැත. මන්නාරමට සැපැත් වූ උගත් පාඩම් සහ ප්‍රතිසංධාන කොමිසම හමූයේ මන්නාරම කතෝලික දියෝකීසය වෙනුවෙන් ඉදිරිපත් කළ සාක්ෂියේ අවසාන උප මාතෘකා තුනෙහි අනුවාදයක් මෙම සටහනට ඇතුළත් කෙරෙන්නේ එනිසා ය.

10. සිවිල් පරිපාලනය, මිලිටරිකරණය සහ දේශපාලනීකරණය වීම

යුද්ධය අවසන් වී මාස විස්සක් තරම් ද යළි පදිංචි කිරීම ඇරඹී වසරක් තරම් ද ඉක්ම ගොස් තිබියදීත් මන්නාරම දිසාව පුරා සහ විශේෂයෙන් ම යළි පදංචි කරන ලද පෙදෙස්හි හමුදා පිරිස් පිරී සිටීම සම්බන්ධයෙන් අපි කනස්සල්ලට පත්ව සිටිමු. අතීතයේ දී ලද නිශේධාත්මක අත්දැකීම් නිසා මේ වනාහී දෙමළ සිවිල් ජනයා බියපත් කරවන සහ අසතුටට පත් කරවන කරුණකි. සිවිල් බලකාරීන් විසින් ඉටු කළ යුතු බොහෝ කරුණූ සහ තීරණ තවමත් ගැනෙන්නේ හමුදාව මගිනි.

මන්නාරම දිසාවේ සිවිල් පරිපාලනයට පාලක පක්ෂයේ දේශපාලඥයින් විසින් බියජනක මට්ටමින් මැදිහත්වීම ද අපි දකිමින් සිටිමු. සුවසේවා සහ අධ්‍යාපනය ද ඇතුලුව සිවිල් පරිපාලනයේ වැදගත් තනතුරු, නිසි පරිපාටීන් සහමුලින්ම නොසළකා හරිමින් දේශපාලනඥයෝ පාලනය කරමින් සහ අල්ලාගෙන සිටිත්.
රටෙහි අනෙක් පෙදෙස්හි මෙන්ම දේශපාලන අනුග්‍රහකත්වයේ සංස්කෘතිය මන්නාරම ද ගිලගෙන තිබේ. බහුතර දෙමළ ප්‍රජාව අතර මේ විසින් ද, ආණ්ඩුවේ දේශපාලනඥයින්ගේ ගජමිතුරන්ට වාසි සලසමින් තමන් කොන්කර දැමෙනු ලැබෙන්නේ යැයි ද භීතිය සහ ආතතිය ඇතිකර තිබේ.

පශ්චාත් යුද සමයෙහි උතුරු නැගෙනහිර දෙපළාතේ ම ආණ්ඩුකාරවරුන් ලෙස හිටපු හමුදා සෙන්පතියන් පත්කර සිටීම ද කනස්සල්ල ඇති කරව යි. මෙම යුද නිලධාරීන් කටයුතු කරනු ඇත්තේ සිවිල් දැක්මකට වඩා මිලිටරි දැක්මක් මත පදනම්ව ය.

යෝජනා:

10.1 හමුදාව රඳවා තැබීම අවම කළ යුතු අතර පවත්වා ගත යුත්තේ අවශ්‍ය ප්‍රමාණයට පමණි.

10.2 ආරක්ෂක හේතූන් මත අවශ්‍ය වන්නේ නම් විනා යුද හමුදාව පොදු ස්ථානයන්හි නොව බැරුක්ක සහ කඳවුරු තුළ රැදී සිටිය යුතු ය.

10.3 ආණ්ඩුකාරවරයා සහ ආණ්ඩුවේ ඇමැතිවරු නීතියෙන් ඉඩ සළසා ඇති බලය ඉක්මවා නොයා යුතු අතර විශේෂයෙන් ම සිවිල් පරිපාලනයට අයත් කාර්‍යයන්ට මැදිහත් නොවිය යුතු ය.

10.4 සිවිල් සේවාවේ මාරු කිරීම් සහ පත්වීම් කළ යුත්තේ දේශපාලනඥයින්ගේ කිසිදු මැදිහත්වීමකින් තොරව ය.

10.5 සිවිල් පරිපාලනය ශක්තිමත් කොට පරිපාලන, සංවර්ධන සහ පුනරුත්ථාපන කටයුතු අදාළ නිපුණතා සහ අත්දැකීම් ඇති සිවිල් බලධාරීන්ට බාර දිය යුතු ය.

11. ආගම ඇදහීමේ, ප්‍රකාශනයේ සහ ගමනාගමනයේ නිදහස

යුද්ධාවසානයෙන් විසිමසකට පසුත් රටෙහි අනෙක් පළාත්හි සහ ප්‍රජාවන් මත පනවා නොමැති ප්‍රකාශනයේ, සංවිධානය වීමේ සහ ගමනාගමනයේ සීමා යළි පදිංචි කරන ලද දෙමළ ජනයා මත පනවා තිබීම තැවුල් ඇති කරයි. අවස්ථා ගණනාවකදී ම හමුදාව ඝාතනය කරන ලද සිවිල් ජනයා අනුස්මරණය කිරීමේ සහ ඔව්න් වෙනුවෙන් යාඥා කිරීමේ ආගමික පුජාවන් තහනම් කරන ලදී. යුද කාලයේ ද මරා දමන ලද ජනයා අනස්මරණය කිරීමට දරන ලද ප්‍රයත්න නිසා අපේ පූජකවරුන්ට පවා තර්ජනය කොට බිය ගන්වන ලදී.

ආණ්ඩුවේ අනුග්‍රහයෙන් යුද ජයග්‍රහණය උදෙසා උත්සව පැවැත්වෙන නමුදු ජාතික ශෝක දිනයක් පිළිපැදීම මගින්, යුද්ධයෙහි දී ඝාතනය වූ, අතුරුදහන් වූ සහ තුවාල ලැබූ පුද්ගලයින්ගේ පවුල් සමඟ එකමුතුබව පෙන්වීම සඳහා කිසිදු ප්‍රයත්නයක් දරා නැත.

ඉඩම් අත්පත්කර ගැනීම සහ මූලික පහසුකම් ලබා නොදීමට එරෙහිව සාමකාමීව විරෝධය පළකිරීමට දරන ලද ප්‍රයත්නයන්ට ද තර්ජන සහ බිය ගැන්වීම් එල්ල විය.

වව්නියාවේ දිසා ලේකම්වරයා සහ මන්නාරමේ යුද හමුදාව ලිඛිතව සහ වාචිකව යුද හමුදාවට ආරාධනා නොකර කිසිදු අවස්ථාවක්/ රුස්වීමක් සංවිධානය නොකළ යුතු බව දේවස්ථාන සංවිධානයන්ට සහ රාජ්‍ය නොවන සංවිධානයන්ට දන්වනු ලැබ තිබේ.

ගමනා ගමනයේ සීමා තවමත් පවතින අතර පසුගිය මාසයේ දී ද විදේශ අමුත්තන් පිරිසකට මන්තායි බරහිර කලාපයට යෑමට ඉඩ නොදෙන ලදී.
මෙවැනි සීමා කිරීම් විසින් තමන් හමුදා පාලනයක් යටතේ ජීවත්වන්නේ යැයි ද ශ්‍රී ලංකාවේ අනෙක් පළාත්හි ජීවත්වන ජනයා භුක්ති විදින අයිතීන් සහ නිදහස තමන්ට භුක්තිවිදීමට නොලැබෙන්නේ යැයි ද සිතීමට දෙමළ ජනයා පොළඹවයි.

සාමකාමී සහ මානුශීය ක්‍රියාකාරිත්වයන්ට පනවනු ලබන සීමාවන් විසින් ද ආණ්ඩුව සහ දෙමළ ජනයා අතර ආතතීන් සහ දුරස්වීම් ඇති කරයි. ප්‍රති සංධානය කරා ගමන් කිරිමට නම් මෙවැනි සීමාකිරීම් වලින් වැළකිය යුතු ය. යළි පදිංචි කරන ලද ජනයාට උදව් කිරීමට කැමැති විදේශිකයිනට පැණවෙන සීමාවන් විසින් යම් සහායක් ලබා ගැනීමට මෙම ජනයාට ඇති අවස්ථා මඟ හැරෙයි.

යෝජනා:

11.1 තහනම්වලින් තොරව සාමකාමී අවස්ථා සහ රුස්වීම් සංවිධානය කිරීමට මහාජනයාට, ප්‍රජා නායකයිනට සහ ආගමික නායකයිනට අවස්ථාව තිබිය යුතු ය.

11.2 යුද්ධයේ දී මියගිය සිවිල් ජනයා අනුස්මරණය කිරීම පිණිස ආණ්ඩුව විසින් ජාතික ශෝක දිනයක් ප්‍රකාශයට පත්කළ යුතු ය.

11.3 ආරක්ෂ අමාත්‍යාංශයෙන් පූර්ව අවසරයක් නොමැතිව යළි පදිංචි කරන ලද ප්‍රදේශයන්හි සිය මිතුරන් සහ ඥාතීන් බැහැ දැකීමට දිසාවෙන් පිටත සහ එතෙර පුද්ගලයින්ට අවස්ථාව තිබිය යුතු ය.

12. සිංහල – බෞද්ධ සංස්කෘතික ආධිපත්‍ය පිළිබද භීතිය

මන්තායි බටහිර පෙදෙසේ සංඥානාම පුවරු සිංහල බසින් පමණක් පිහිටුවීම සම්බන්ධයෙන් අපි බරපතල ලෙස කණස්සල්ලට පත්වෙමු. මේවා පෙනෙන්නේ සම්ප්‍රදායික දෙමළ ප්‍රදේශ ‛සිංහලකරණයේ’ දර්ශක ලෙස ය. ප්‍රති සංධානයක් ඇති වීමට නම් මෙවැනි ක්‍රියාවන්ගෙන් වැළකිය යුතු ය.

හින්දු කෝවිලක් තිබූ කිසිදු බෞද්ධ ජනගහණයක් නැති මුරුක්කන්හි බෞද්ධ පන්සලක් ගොඩ නැගීම විසින් බොහෝ නෙසන්සුන්තා ඇති කොට තිබේ. හින්දු, ක්‍රිස්තියානි සහ මුස්ලිම් ජනයා බහුතරය වන උතුරෙහි ප්‍රසිද්ධ ස්ථානයන්හි බෞද්ධ ප්‍රතිමා ඉදි කිරීම විසින් දෙමළ ජනයා තුළ ඇති කර ඇත්තේ බෞද්ධ ආධිපත්‍යයක් පිළිබඳ භීතියකි.

බුදුසමය කෙරෙහි මහත් භක්තියකින් යුතුව සහ රට පුරා සියළු ප්‍රජාවන්හි ආගම ඇදහීමේ නිදහස විශ්වාස කරමින් අප කියා සිටින්නේ උතුරෙහි පොදු ස්ථානයන්හි බෞද්ධ ප්‍රතිමා සහ පූජා ස්ථාන ඉදිකිරීම විසින් ප්‍රති සංධාන ප්‍රයත්නයන්ට සෙතක් නොවනු ඇති අතර ඇත්ත වශයෙන්ම නම් විවිධ ප්‍රජාවන් අතර නොසන්සුන්තාවයන්ට සහ ධ්‍රුවීකරණයන්ට ඉඩ සැළසනු ඇති බව ය.

නිගමනය:

අප විසින් ඉදිරිපත් කරන ලද කරුණු සම්බන්ධයෙන් නිසි සැළකිල්ල යොමුවනු ඇතැයි අපි අපේක්ෂා කරමු. ප්‍රති සංධානය කරා වු ප්‍රධාන කරුණු තුන අපේ ඉදිරිපත් කිරිමට අනුව මෙසේ ය:

1. ගැටුම සහ යුද්ධය පැවැති කාලය පුරා, විශේෂයෙන්ම යුද්ධයේ අවසන් අදියරේ දී, සිදුවූ සිදුවීම් සම්බන්ධයෙන් විශයමූලිකවුත් සම්පූර්ණවූත් සත්‍ය පිළිගැනීම

2. යහ පාලනය සහ නීතියේ පාලනය පිහිටුවෙනු ඇති පරිදි දේශපාලන විසදුමක් නිශ්චිත කාල සීමාවක් තුළ සහභාගිත්ව ක්‍රමවේදයන් මත ඇති කිරීම

3. හදිසි, එනම් යුද්ධයෙන් විපතට පත් ජනයාගේ උවමනාඑපාකම් වැනි, අවශ්‍යතාවයන් ආමණ්ත්‍රනය කිරීම