සුනන්ද දේශප්‍රිය
හිටපු පොලිස්පති වික්ටර් පෙරේරා උතුරු පළාතේ ආණ්ඩුකාරවරයා ලෙස පත් කරන ලද්දේ ඔහු විශ්‍රාම ගිය විගසම ය. පොලිස්පතිවරයා ලෙස කටයුතු කළ අවධියේ දී ඔහු මෙරට දෙමළ ජනයාගේ සිත දිනා ගැනමට සමත් වුයේ ද? නැත්නම් සිත් බිඳවීමට සමත් වූයේ ද?
තමන්ගේ අරමුණ දෙමළ ජනයා දිනා ගැනීම බව මහින්ද රාජපක්ෂ ආණ්ඩුව ප්‍රසිද්ධියේ කියා සිටින පිළිවෙත ය. දෙමළ ජනයා දිනා ගැනීමට නම් අද කළ යුතු ප්‍රධානතම කාරණය කුමක් ද? ඔව්න්ගේ මානව හිමිකම් සුරැකීම ය. පසුගිය කාලය පුරා සිදු කෙරුණු සියළු සමීක්ෂන පෙන්නුම් කරන්නේ දෙමළ ජනයා මුහුණ දි සිටින ප්‍රධාන තම ප්‍රශ්නය ජීවිතාරක්ෂාව බව යි. එනම් ජීවිතයට ඇති අයිතිය යි. රටක ජනයාගේ ජීවිතයට ඇති අයිතිය සුරැකෙන්නේ නීතිය පාලනය රටක පවතින විට ය. නීතියේ පාලනය පවත්වාගෙන යෑම බාරව සිටින ප්‍රධාන ආතනය වන්නේ පොලීසිය යි.
පොලිස්පති වික්ටර් පෙරේරා යටතේ දෙමළ ජනයාගේ ජීවිත ආරක්ෂාවට අවශ්‍ය පියවර ගැනුනි ද? අඩුම වශයෙන් අප දන්නා කාරණා කිහිපයක් තිබේ.
පසුගිය කාලය පුරාම දෙමළ ජනයා නාදුනන තුවක්කුකරුවන් විසින් ඝාතනය කිරීම්, පැහැරගෙන ගොස් මරා දැමීම්, බලහත්කාර පිටුවාහල් කිරීම් යනාදියට මුහුණ දුන්නේ ය. ඒ හිටපු පොලිස්පති වික්ටර් පෙරේරා යටතේ ය. කොළඹින් දෙමළ ජනයා බලහත්කාරයෙන් පිටමං කිරීම සිදුවූයේ ද ඒ මහතා යටතේ ය. ශ්‍රේෂ්ඨාධිකරණය විසින් වරදක් ලෙස තීන්දු කරන ලද එම ක්‍රියාවට වගකිවයුතු එක් නිලධාරියකු වනුයේ ඔහු ය. එනයින් මෙරට දෙමළ ජනයා ඔහුගේ පාලන කාලය දෙස කෙළෙස බලනු ඇත් ද?
එවැනි නිලධාරියකු දෙමළ ජනයා අති බහුතරය වන උතුරු පළාතෙ හි ආණ්ඩුකාරවරයා ලෙස පත් කිරීමෙන් ආණ්ඩුව එම ජනයාට දෙන පණිවිඩය කුමක්ද? ආණ්ඩුව ඔවුන්ගේ මානව හිමිකම් සළකන බව ද? නොසළකන බව ද? මේ වනාහි තුවාලයකට ලුනු දියර දැමීම කිරිම වැනි අමනෝඥ පියවරක් නොවන්නේ ද? මෙමගින් ආණ්ඩුව දෙමළ ජනයාට දෙන පණිවිඩය නම් තොපගේ මානව හිමිකම් අපගේ ආණ්ඩුව නොසලකන බව පමණක් නොව අඩුම වශයෙන් මානවහිමිකම් සලකන බව පෙන්වීමට වත් අවශ්‍යතාවයක් නැති බව යි.
කිසිම ජනවර්ගයක් බලයෙන් යටපත් කර සාමයක් උදා කළ නොහැකි ය. ජනවර්ගයක සිත් පෑරීම ලෙහෙසි ය. සුව කිරීම දුෂ්කර ය. සිංහළ ජනයාට මෙන්ම දෙමළ ජනයාටද සාමුහික ජන විඥානයක් තිබේ. වික්ටර් පෙරේරා මහතා උතුරට ආණ්ඩුකාරවරයා ලෙස පත් කිරීමන් ආණ්ඩුව රිදවන්නේ එම සාමූහික විඥානය යි. යටපත් කළ නොහැකි සාමූහික ජනවිඥානයන් නිර්මාණය වන්නේ මෙවැනි අගතිගාමී විශම සැළකිම් නිසා ය. මෙරට ඉතිහාසය පුරාම සිදු වුයේ එය යි. යුද්ධයෙන් ජය ගත නොහැකි බලවත්ම සාධකය මෙම සාමූහික ජනවිඥානය යි. සිංහළ බහුතර ආණ්ඩු ආණ්ඩු තේරුම් නොගත්තේ ද නොගන්නේ ද මෙම කාරණය යි.
සමහර විට යුද්ධය දිනා වන්නිය අල්ලා ගත්ත ද ත්‍රස්තවාදය පවතිනු ඇතැයි හමුදාපති සරත් පොන්සේකා කියන්නේ එම අවබෝධය නිසා විය හැකිය. මෙරට යුද්ධයේ නායකත්වය ගත් සෙන්පතීන්ගෙන් බොහෝ දෙනෙක් මෙරට දේශපාලනඥයින්ට වඩා හොදින් මෙම ප්‍රශ්නය තේරුම් ගත්තේ ය. ඊට හේතුව නම් යුද්ධය නිසා දෙමළ ජනයා මුහුණ දෙන දුෂ්කරතාවයන් මෙන්ම එම ජනයා තමන් කෙරෙහි දිනා ගැනීමට ඇති දුෂ්කරතාවය ද ඔවුන් අන් සියල්ලන්ටම වඩා හොදින් තේරුමි ගන්නා නිසා ය.
දැනට වසර 17ක් පුරා යාපනයේ සිටින 40,000 පමණ වන ආණ්ඩුවේ හමුදාවට ( එය සහමුලින්ම වාගේ සිංහල හමුදාවක් බව මතකයේ තියා ගන්න) තවමත් එහි දෙමළ ජනයා සළකන්නේ අඩුම වශයෙන් ආගන්තුක හමුදාවක් ලෙසට ය. මෙම කාල පරිච්ජේදය පුරාම යාපනය පැවැති ඇත්තේ නිල නොවන හමුදා පාලනයක් යටතේ ය. සොදිසි මුර කපොලු, මාර්ග වසා දැමීම්, මහ පරිමාණ සෝදිසි මෙහෙයුම්, සහ අනේකාකාර තහංචි එහි සාමන්‍ය ජන ජීවිතය බවට පත්ව තිබේ. අද යාපනයේ වැසියකු කොළඹට පැමිණීමට නම් රුපියල් 20,000 ක ගුවන් ටිකට් පතක් මිලදී ගත යුතු ය. ඒ සඳහා දින ගනනාවක් සමහර විට මාසයක් තරම් රස්තියාදු වී අවසර පත්‍රයක් ලබා ගත යුතු ය. යාපනයේ ජන ජීවිතය පිලිබඳව කවර සාකච්ජාවක් හෝ එහි ජනමාධ්‍යයේ ඇති නොවන පරිදි සහමුලින්ම එහි නිදහස් ජනමාධ්‍යයන්ට අගුලු දමා තිබේ.
යුද්ධයකට මැදිව සිටින පන්ලක්ෂයක පමණ ජනතාවක් ජීවත්වන එමෙන්ම ආගන්තුක හමුදාවක් විසින් පාලනය කරන එනමුත් අන්තර් ජාතික හෝ ජාතික ජනමාධ්‍යන්ට ස්වාධීනව වාර්තා කිරීමට ඉඩ නැති ලෝකයේ එකම නගරය යාපනය විය හැකි ය. යාපනය වනාහි මෙරට දෙමළ ජනයාගේ සමාජ සංස්කෘතික සහ දේශපාලන මධ්‍යස්ථානය බව ද අප මතක තබා ගත යුතු ය. ඉන් අදහස් කෙරන්නේ යටපත් කළ නොහැකි ශක්තිමත් ජාතික ආත්මයක් යාපනය තුළ පවත්නා බව යි.
මෙම පසුගිය වසර 17 තුළ යාපනයේ හැදී වැඩුනු දෙමළ නව යෞවන පරම්පරාව අනාගත දෙමළ පුරවැසියන් බවට පත් වනු ඇත. ඔවුන් පුරවැසියන් බවට පත් වනු අත්තේ මෙම හමුදාව විසින් නියෝජනය කරන සිංහළ බහුතර ආණ්ඩුව කෙරෙහි ආදරයක් සහ පැහැදීමක් ඇතිව ද? දුරස්වීමක් සහ වෛරයක් ඇතිව ද?
1995 දී යාපනය ආණ්ඩුවේ හමුදා විසින් අල්ලා ගැනිමෙන් පසු යාපනයට ගිය අපට එහි හමුදා ප්‍රධානීන් කි කතාවක් විය. “ අප අපගේ කාර්යය කළා. දැන් දෙමළ ජනයා ගේ ප්‍රශ්න විසඳිම ආණ්ඩුවේ අභියෝගය යි.” මෑත මඩකළපුවට ගොස් එහි යුද නායකයන් හමු වු අවස්ථාවේ දී ත් ඔවුන් පිළිසඳර මැද කියා සිටි කතාව එය යි.
වන්නිය අල්ලා ගැනිම හෝ නොගැනීම හමුදාපති සරත් පොන්සේකා සහ ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ ට ඉඩ තියා දේශපාලනඥයන් විමසිය යුතු ප්‍රශ්නය වන්නේ යාපනයේ සිදුවුයේ කුමක් ද යන්න ය. සමහර විට නැගෙනහිර සිදු වන්නට ඇත්තේ කුමක් ද යන්න ය. මන්ද යත් යුද්ධය මගින් සහ මුලින්ම මෙම ප්‍රශ්නය විසඳිය නොහැකි බව හමුදාපති සරත් පොන්සේකාම කියා සිටින බැවිනි.