“සිරියහන් ගබඩාව
(යහනේ යසලාලක තිස්ස රජු සහ බිසව සැතපෙති – පසුපසින් ප්‍රශස්තියක් ඇසේ – ප්‍රශස්තිය රජුට හිරිහැරයකි – ක්‍රමයෙන් ගායනය ලංව ඇසේ. – රජු කතා කරන අතර ගායනය හෙමින් ඇසේ.)
ප්‍රශස්තිය –
අංග මංගජ මංගලෙන් වැඩි බිංගමෙන් මුනි පාකමල් වට
අංග තුංගම තංග ඡන්දෙන ඉංගකින් කව් බන්දනන් හට
අංග වංග කලිංග හිංගුල තොංගනෙත් පැවසූ යසින් තුට
අංග සංග වලංග මෙන් යසලාල කිස් මහ විරු රජුන් හට
රජු ඃ මොන කරච්චලයක් ද දෙයියනේ. රජ කෙනෙකුටවත් මුන් බුදියගන්ට දෙන්නෙ නැහැනේ එක හිත් දරාගෙන
මං රජවෙච්ච දා ඉඳලා ඇහෙන්නෙ ඔච්චරයි. අපේ කිරි කිත්තලගෙ කාලෙත් කිව්වෙ ඔය සිංදුවමයි. අඩුගානෙ මුන්ට අලුත් කවියක් වත් හදාගෙන කියන්ට බැරි ද?මොකද යකෝ බෙරිහන් දෙන්නෙ. නවත්තපල්ලා උඹලගෙ ඔය හැකර සිංදුව. තුංග මංග ප්‍රතාප රනසූර. මෙහෙම ගියොත් ඉතුරුවෙයි හොඳ රණසූරයෙක්.
වන්දිභට්ට නායකයා ඃ පස්වාන් දහසක් බුදුවන්ඩ දේවයන් වහන්ස අපි කරන්නේ හත් මුතු පරම්පරාවක් තිස්සෙ අපට පැවරිලා තියෙන රාජකාරියක්. සූර්ය දිව්‍ය රාජයාගේ පළමු වන රැස් මාලාවෙන් රාජමාලිගාවේ චන්ද ප්‍රසාදය මුදුනේ මාණික්‍ය බැබළෙන්ට පටන් ගත්තාම අපට අපේ ස්තෝත්‍ර ගායනාව ආරම්භ කරන්නට කියල ඉර්ෂි භාෂිතයේ හෙවත් පොතේ නියම කරල තියෙනව.රජු ඃ තොපි වැඩ කරන්නේ මගේ අණ හැටියට ද පොතේ හැටියටද?
වන්දිභට්ට ඃ කමාවුව මැනව දේවයන් වහන්ස. අප කරන්නේ පරම්පරාවෙන් නිය ම කොට ඇති රාජ ධර්මය රැකීමයි. රාජ ධර්මය ආරක්ෂා කිරීමෙන් ලෝක පාලනය කරන දෙවිදේවතාවුන් වහන්සේලා ඔබ වහන්සේ ආරක්ෂා කරන වදාරනවා.
රජුඃ ලෝක පාලනය කරන දෙවියනි. ඔබගේ රජතුමා මේ වන්දිභට්ටයින්ගෙන් ආරක්ෂා කර වදාරනු මැනවි. දුවපියව් යන්න. මං හිතන්නේ හෙළ රාජ පරම්පරාවක්ම පිරිහිලා ගියේ මේ වන්දිභට්ටයෝ හින්ද. රජ කෙනෙක් වුණා ම හොඳ නින්දක් අවශ්‍යයි. හොඳට නිදාගත්ත ම රාජ ශරීරයයි රාජ සිතයි නිරෝගී වෙනවා. රජ්ජුරුවො නිරෝගි නම් මුළු රට ම නිරෝගි වෙනවා. නිදිමතේ පුළුවන් ද රටක් පාලනය කරන්න.
වන්දිභට්ට ඃ අවසර පස්වාන් දහසක් බුදුවන්ට. අපේ නින්දගම් භුක්ති විඳින්ට පුළුවන් වන්දි භට්ටකම් රාජකාරි කරනතාක් කල් පමණයි.
රජු ඃ ඔව්. ඔව්. තොපිත් ලොකු අමාරුවක වැටිල තමයි ඉන්නෙ. එසේය. මං ඒකට අද රාජ සභාවෙදි වැඩක් දෙන්නම්. යහපති. දැං පලයව් යන්ඩ. ගොහින් බුදියගනියව්.”
( සුබ සහ යස වේදිකා නාට්‍යය – සයිමන් නවගත්තේගම)
ඉහත දෙබස් ටික බැලුවහම ශ්‍රී ලංකාවේ රජයට අයිති යැයි කියන ජනමාධ්‍ය ඔක්කොම අද කරන කියන දේවල් ගැන පැහැදිලි අදහසක් එනවා. සමහර අය මේ ආයතන වලට වොෂින් මැෂින් කියලත් කියනවා. කොහොමහරි සයිමන් කියන විදිහට මේක ඉතිහාසයේ ඉඳලම තිබුණ විදිහ වෙන්නැති. ලංකාවට මුලින්ම ගුවන්විදුලිය, රූපවාහිනිය ආපු දවස්වල ඒ ආයතන සාපේක්ෂව ස්වාධීන තැනක තිබුණා. නමුත් එන්න එන්නම තත්වය නරක අතට හැරුණා. ප්‍රේමදාස ජනාධිපතිගෙ කාලයට වඩා චන්ද්‍රිකා ජනාධිපතිවරියගෙ කාලෙ දි ජනමාධ්‍ය වල ආණ්ඩු පක්ෂපාතිත්වය දරුණු වුණා. දැන් ජනමාධ්‍ය වල තත්ත්වය බලපුවහම චන්ද්‍රිකා ජනාධිපතිවරියගෙ කාලෙ හොඳයි කියලත් හිතෙනවා.
මුල් කාලයේ වැඩේ පටන් ගත්තේ නායකයාව වර්ණනා කිරීම්, නායකයාගේ ගුණ ගැයෙන ගීත විකාශනය කිරීම, ආණ්ඩුවට විරුද්ධ ප්‍රවෘත්ති සැඟවීම වගේ දේවල් වලින්. හැබැයි ඒ කාලෙ මේවට අමතරව ස්වාධීන දේවල් මුද්‍රිත හා ශ්‍රව්‍ය දෘෂ්‍ය මාධ්‍ය වල තිබුණා. දැන් නම් රජයේ යැයි කියන කිසිදු ජනමාධ්‍ය ආයතනයක ස්වාධීන යමක් ගන්න ඇත්තෙම නැහැ. සෑම වැඩසටහනක්ම වගේ ඉවර වුණාම වෙලාව මතක් කරනවා වගේ නායකයාව මතක් කරන එක දැන් ගුවන්විදුලිය සහ රූපවාහිනියට සාමාන්‍ය දෙයක් වෙලා. පත්තර වල නායකයා සම්බන්ධ නැති කිසිදු ප්‍රවෘත්තියක් නැති තරම්.
දැන් මේ තත්වය කොච්චර උග්‍ර වෙලාද කියලා තේරුණේ පසුගිය දවස්වල සිළුමිණ පත්තරේ බැලුවහම. ලඟකදි ඉඳලා සිළුමිණ පත්තරේ අළුත් වැඩක් පටන් අරගෙන. සුපුරුදු වන්දිභට්ටකමට අමතරව ඒ අය උසස් වීමක් ලබාගෙන තියෙනවා. ඇත්තටම මේක දීපු උසස් වීමකට වඩා තමන් විසින්ම ගත්ත උසස් වීමක් ලෙස සලකන්න පුළුවන්. ඒකට කියන්නේ ඔත්තු සැපයීම කියලා. අනාරාධනාවකින් කරන ඔත්තු සැපයීම හින්දා ඒකට කේලම් කීම කියලා කිව්වත් වැරැද්දක් නැහැ. මේ කේලම නැත්නම් ඔත්තු සැපයීම කරන්නෙ තමන්ගෙම රැකියාව හරියට කරන අයට විරුද්ධව. ඒකයි මෙතන තියෙන ලොකුම ඛේදවාචකය.
ඇතැම් වෙබ් අඩවි වල පුවත්, රට අස්ථාවර කරනවලු….
සිළුමිණ පුවත්පත කියන විදිහට ලංකාවෙ තියෙන සමහර වෙබ් අඩවි රට අස්ථාවර කරනවලු, වාර්ගික ගැටුම් ඇති කිරීමට උත්සහ කරනවලු. උතුරෙ මිනිසුන් අතුරුදහන් වෙනව, ඝාතනය කරනව වගේ බොරු කියනවලු. අසත්‍ය තොරතුරු ප්‍රකාශ කරන මේ දේශද්‍රෝහී වෙබි අඩවි තහනම් කරන්න කියලා සිළුමිණ කියනවා.
ශ්‍රී ලංකාවේ මොකක් හරි තොරතුරක් සත්‍ය ද අසත්‍ය ද කියලා තීරණය වෙන්නෙ අමුතු ආකාරයකට. ඒ තොරතුරට අදාල සිදු වීම සිදුවෙනව ද නැද්ද කියන එකට වඩා ඒ තොරතුර මගින් පවතින ආණ්ඩුවට සෘණාත්මක බලපෑමක් වෙනවද නැද්ද කියන එක අනුව තමයි සත්‍යභාවය තහවුරු වෙන්නෙ. මේ වැඩේ මුලින්ම පටන් ගත්තෙ ආණ්ඩුවෙ ඇමතිවරු කට්ටිය. ඒ ඒ අමාත්‍යාංශ වලට අදාලව මොනව හරි විවේචනයක් ආවම ඕවා අසත්‍ය තොරතුරු නැත්නම් කුමන්ත්‍රණ කියලා හඳුන්වන්න ඇමති වරු පුරුදු වුණා. ඒ දවස්වල සිළුමිණ පත්තරේ කළේ ඒ ප්‍රකාශ උපුටා දක්වන එක විතරයි. නමුත් දැන් ඇමතිගෙ වැඩේ නැත්නම් ආණ්ඩුවෙ වැඩේ සිළුමිණ භාර අරගෙන.
වර්තමානයේ දී ලංකවේ රාජ්‍ය මෙන්ම පෞද්ගලික සියළුම ජනමාධ්‍ය ආයතන වගේ (කිහිපයක් හැරුණුකොට) සත්‍ය තොරතුරු ඉදිරිපත් කරන්න මැලිවෙලා තියෙනවා. නමුත් මෙවන් තත්ත්වයක් යටතේ ලංකාවේ වෙබ් අඩවි ඉදිරිගාමී ලෙස කටයුතු කරනවා. පසුගිය දිනවල උතුරු ප්‍රදේශයේ සිදු වුණු පැහැරගැනීම්, ඝාතන බොහෝමයක් අනාවරණය කලේ මේ වෙබ් අඩවි. ඊට පස්සෙ තමයි අනෙක් මාධ්‍ය ඒවා අනාවරණය කළේ. ඒත් සම්පූර්ණ විස්තර පල කළේ නැහැ. සිළුමිණ පත්තරේ මේ සිද්ධි දන්නෙ නැති ගානට හිටියා. සමහර විට සිළුමිණට අනුව ඒ සිදුවීම් සියල්ලම අසත්‍ය වෙන්න ඇති. නමුත් වෙබ් අඩවි විසින් අනාවරණය කළ සිදුවීම් සත්‍ය බවට අද වන විට තහවුරු වෙලා තියෙනවා.
උතුරු ප්‍රදේශයේ සිදුවන පැහැරගැනීම්, ඝාතන වගේ දේවල් හෙලි කළා කියලා රට එහෙම නැත්නම් ආණ්ඩුව අස්ථාවර වෙන්නෙ කොහොමද කියලා ප්‍රශ්නයක් එනවා. සිළුමිණ එහෙම කියන එකෙනුයි, ඒවාගෙ පුවත් තමන්ගේ පත්තරේ නොදාන එකෙනුයි වක්‍රාකාරව කියන්නේ ඒ දේවල් වලට ආණ්ඩුව සම්බන්ධයි කියලද?
නමුත් ආණ්ඩුවට අනුව උතුරු ප්‍රදේශයේ සිදුවන දේවල් සාමාන්‍ය ජනසමාජයක සිදුවෙන්න පුළුවන් දේවල්. පසුගිය දිනක පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවක දි ජනාධිපතිවරයා “බොරැල්ලෙත් කාන්තාවක් මරලා දාලා තියෙනවා. ඕවා විසඳන්න තමයි පොලීසිය ඉන්නෙ.” කියලා ප්‍රකාශයක් උතුරේ සිදුවීම් සම්බන්ධයෙන් කළා. ඉතින් මෙවැනි සාමාන්‍ය ජනසමාජයක සිදුවන සිදුවීම් විසඳන්නේ පොලීසියෙන් විසින් වගේම එම තොරතුරු වාර්තා කරන්නේ ජනමාධ්‍ය විසින් බව සිළුමිණ පුවත් පතට කල්පනා නොවන්නේ ඇයි? ජනසමාජයක සිදුවන සිදුවීම් වාර්තා කිරීම ජනමාධ්‍යයේ ඓතිහාසික කාර්යභාරය බව සිළුමිණට අමතක වෙලා කියලා පේනවා. මෙලෙස ආණ්ඩුවේ අර්ථයෙන් සාමාන්‍ය සිදුවීම් ලෙස පේන පුවත් පළ කිරීමෙන් රට අස්ථාවර වෙනවා කියලා සිළුමිණ කියනකොට, ඒකෙ අදහස ඉදිරියෙදි රිය අනතුරක් පිළිබඳ පුවතක් පවා, රට අස්ථාවර වෙයි කියලා බයට සිළුමිණේ දාන්නේ නැහැ කියන එකද? නැතිනම් අපි ඉන්නෙ අසාමාන්‍ය සමාජයක කියන එකද?
නියෝජන ප්‍රජාතන්ත්‍රවාදය සහ ජනමාධ්‍ය නිදහස
ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදයේ ප්‍රධාන ලක්ෂණයක් තමයි බහුවිධ භාවය. ඒ කියන්නේ විවිධ මත දැරීමේ නිදහස. යම් සමාජයක බහුවිධ භාවයේ ස්වරූපය පෙන්වන එක කාරණයක් තමයි ඒ රටේ ජනමාධ්‍ය නිදහස. එමෙන්ම ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලනයට ජනමාධ්‍ය නිදහස එන්නේ නියෝජන ප්‍රජාතන්ත්‍ර වාදයත් එක්ක. මොකද නියෝජිත ප්‍රජාතන්ත්‍රවාදයෙ දි මහජන ස්වාධිපත්‍ය පෙන්නුම් කරන්නේ නියෝජනය හරහා. ඒ කියන්නෙ ජනතාව තම නියෝජිතයෙක් තමයි තමන් වෙනුවෙන් රට පාලනය කරන්න යවන්නෙ. මේකෙදි තමන් යවන නියෝජිතයා වැඩේ හරියට කරන්නෙ නැති වෙන්න පුළුවන්. එතකොට ප්‍රජාතන්ත්‍රවාදයෙන් බලාපොරොත්තු වුණු දේ වෙන්නෙ නැති වෙන්න පුළුවන්. ඉතින් මේ ප්‍රජාතන්ත්‍රවාදී යාන්ත්‍රණය හරියට ක්‍රියාත්මක වෙන්න නම් නියෝජිතයගෙ කාර්යයන් මහ ජනතාවට අනාවරණය වෙන්න ඕනෙ. ඒකට තිබෙන ප්‍රධාන ආයතනයක් තමයි ජනමාධ්‍ය.
ඉතින් ප්‍රජාතන්ත්‍රවාදය තුළ ජනමාධ්‍යයෙන් බලාපොරොත්තු වෙන කාර්යය වෙනුවට වන්දිභට්ටකම් කිරීම, ඔත්තු සැපයීම වගේ දේවල් කරාම ප්‍රජාතන්ත්‍රවාදය අවුල් වෙනවා. තවදුරටත් විස්තර කරනව නම් ජනමාධ්‍ය ඉන්නෙ ජනතාවගේ සේවයට මිසක් ආණ්ඩුවෙ සේවයට නෙමෙයි කියන එක සිළුමිණ ඇතුළු ලංකාවේ බොහෝ ජනමාධ්‍ය පටලවගෙන තියෙනවා. ඒ හින්දා ඒ අය එදා ඉඳලම කළේ ප්‍රශස්ති ගී ගායනා කරපු එක. ප්‍රශස්ති ගායනාවෙන් නැවතෙන්නෙ නැතුව විකල්ප අදහස් තියෙන ජනමාධ්‍ය ආයතන ගැන කේලමුත් කියනවා. තමන් පැසිස්ට්වාදය වපුරනවා කියලා එක්කො මේ අයට තේරෙන්නෙ නැහැ. නැත්නම් තේරුණත් අවස්ථාවාදී කමට ඒක අමතක කරනවා.
ඒ හින්දා සමහර පත්තර, රේඩියෝ, ටී.වී වල ඇහෙන දකින ප්‍රශස්ති ගායනා, ඔත්තු සැපයීම කිසිම ගාණක් නැතුව දිරවන්න දෙන්න එපා.