දෙමළ ඔලු ගෙඩි වලට
සෙල්ලමට වෙඩි තියන
සොල්දාදුවෝ තරුණ
සියුමැලි ද ඔය අවිය.
සූදුවට ඉඩ විවර
කෲර යුද බිම් අගල
බූරු කුට්ටම අසල
බූරු ගසනා නිබඳ.
බැඳ දැමූවට දෙ ඇස
විවර කෙරෙනා දෙ ඇස්
දස දහස් ගණනෙකි ය.
බැඳ දැමුවට දෙ අත
මිටි මෙළවෙනා දෙ අත්
දස දහස් ගණනෙකි ය.
නිරුවතින් වෙඩි වදින
වැදී මව් බිම සිඹින
මිනිස් මුවෙකින් නැගෙන
අවසාන පැතුම තුළ
නිරුවතිනි යුධ ඇඳුම.
දෙමළ ඔලු ගෙඩිවලට
සෙල්ලමට වෙඩි තියන
සොල්දාදුවෝ තරුණ
සියුමැලි ද ඔය අවිය.”
( මංජුලගෙ කවි පොතෙන්)
මංජුල වෙඩිවර්ධනගේ “මාතෘකාවක් නැති මාතෘ භූමිය හෙවත් දෙමළ කවි” පොත ජනවාරි 30 වෙනි දා කොළඹ දි එළි දැක්වුවා. වැඩේ සංවිධානය කරලා තිබුණෙ බූන්දි වෙබ් අඩවිය. සැලකිය යුතු පිරිසක් වැඩේට ඇවිත් හිටිය එක අගය කළ යුතුයි. මෙහිදි “ප්‍රවණතාමය කලාකරුවගේ දිශානතිය” ගැන දර්ශන මෙදිස් අදහස් දක්වද්දි සුමිත් චාමින්ද “කවියේ දේශපාලන නිමේෂය” පිළිබඳව කතා කළා.
කොහෙන් හරි පොත කියවන්න පටන් ගන්න කියලා මංජුල අපිට ආරාධනා කරනවා. හැබැයි මේ කොහෙන් කියෙව්වත් ඒ හැම තැනම දකින්න හම්බ වෙන්නෙ දෙමළ සමාජය ගැන පශ්චාත්තාප වෙන මංජුලව. ඇත්තටම ඒ කෑගහන්නෙ මංජුලගෙ හෘදය සාක්ෂියද නැත්නම් අපේ හෘදය සාක්ෂියද කියලා අනන්තවත් අපට හිතෙන්න ගන්නවා.
පොත එළි දක්වන දවසේ නදීක ගුරුගේත්, නයෝමි ගුණසිරිත්, චින්තක ගීතදේවත් මාතෘකාවක් නැති මාතෘ භූමියෙ දෙමළ කවි වලට ගෙනාපු ගීතවත් බව නිසා ඒ කවි තව තවත් තදින් හදවතේ මුද්‍රණය වුණා.
තුවක්කුවට පුළුවන්
හීනයක් වුණත් හිනස්සන්ට
හීනයකට පුළුවන්
උණ්ඩයක් වුණත් නවත්තන්ට…..
(මංජුලගෙ කවි පොතෙන්)