Pic by – Sampath Samarakoon
‛‛සුභ නිදහසක් වේවා…’’ අද උදේ ඊ මේල් එකකින් මට සුභ පතලා තිබුණා. ඒ මගේ පාසල් මිතුරෙක් විසින්. ඔව්. පෙබරවාරි 4 ජාතික නිදහස් දිනය කියලා අපිට උගන්නලා තිබුණා. ඒ මතකයෙන් වෙන්න ඇති මගේ මිතුරා මට සුභ පතලා තිබුණේ. ඒත් නිදහස කියන්නේ ඊට එහායින් ගිය දේශපාලනික කාරණාවක් කියලා ඒ මිතුරාට කවදාවත් තේරෙන්නේ නෑ.
ඒ අන් කිසිවක් නිසා නොවෙයි. පහුගිය කාලේ උතුරේ ජනයා වෙත බොම්බ වරුසාවකින් මිල්ටරි රාජ්‍ය සංග්‍රහ කරනකොට කිසිදු හිරිකිතයකින් තොරව රූපවාහිනියේ මිනී කඳු දිහා බල බල කිරිබත් රස බැලු නිසා ද කියලා මට හිතෙනවා. ඒ විතරක්මත් නොවෙයි ඒ තුවක්කුවම දකුණට හරවලා වෙනස් මත දරන්නන් දඩයම් කරනකොට ඔහු ඒකටත් හිනා වුනා.
ඒ හිනාවේ තිබුණේ යටත්වැසි බාවයක් සහිත දේශප්‍රේමී සුවඳ තවරාගත් ස්වරූපයක් බව මට වැටහුණේ ඔහුත් සමඟ කතා බහ කරනකොටයි.
දැන් මේ රටේ බොහොමයක් මිනිසුන්, මා මිතුරා වගේ අද නිදහස සමරනවා. කඩේකින් සිංහ කොඩියක් අරගෙන ගෙදර හරි වාහනේ හරි එල්ල ගත්තහම ඔවුන් හිතන්නේ අපි නිදහස් කියලා. ඒත් ඔවුන් දන්නේ නෑ ඔවුන්ගේ නිදහස(තිබේ නම්) ගැන අද තීරණය කරන්නේ ඔවුන් නෙමේ කියලා. ඔවුන් හිතන්නේ කොඩියක් එල්ලා මේ දැන් මෙය ලියන මොහොත වන විට රූපවාහිනියේ සෑම නාලිකාවකම රජුගේ අධිපතිවාදි නිදහස් දින කතාව බල බල හිටියම නිදහස් කියලා. නිදහස කියන්නේ එහෙම කාරණාවක් නොවේ කියලා මේ යටත් වැසියන්ට තේරෙන්නේ තමන්ගේ නිදහස කවදා හරි දවසක අභියෝගයකට ලක් වී, තිබෙනවායි කියන නිදහස ඝාතනයට ලක් වූ මොහොතකයි. එතකන් ‛‛ආතල් නිදහසක්’’ ගන්න කිසිවෙකු ඔබට බාධා නොකරාවි.
නිදහස ගැන හිතනකොට මට අද මතක් උනේ රුසියානු විප්ලවය සමයේ රෝසා ලක්ෂම් බර්ග් ගේ අදහසක්..
ආණ්ඩු පක්ෂයේ ආධාරකරුවන් සඳහා පමණක් වන නිදහස, එක පක්ෂයක සාමාජිකයන් සඳහා පමණක් වන නිදහස, ඔවුන් සංඛ්‍යාවෙන් කොතරම් විශාල පිරිසක් වුව ද, එය කිසිසේත්ම ‛නිදහස’ නොවේ. නිදහස යනු වෙනස් මත දරන්නන් සඳහා හැම විටම සහ සම්පූර්ණයෙන් ම වූ නිදහසක් විය යුතුය.’’ – රෝසා ලක්ෂම් බර්ග්
ආදරණිය මිතුර, ඔබේ නිදහස අභියෝගයට ලක්කිරීම ගැන මට සමා(නොවන්න). ඒ මගේ නිදහසයි.