සුනන්ද දේශප්‍රිය
මහින්ද රාජපක්ෂ ආණ්ඩුව මාධ්‍ය මර්ධනයෙහි ලා තවත් වාර්තාවක් තැබුවේ ය. ඒ තිස් වසරක් තරම් කාලයක් පුරා ජනමාධ්‍යට සහ ජනමාධ්‍යවේදීන්ට එරෙහිව යොදා නොගැනුනු ත්‍රස්තවාදය වැළැක්විමේ පනත යටතේ ජනමාධ්‍යවේ දි තිස්සෙයිනායගම්ට එරෙහිව නඩු පැවරීම මගිනි.
1979 දී මෙම ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත ගෙන එන ලද අවස්ථාවේ දි මෙරට ප්‍රධාන පෙළේ වෘත්තිය සමිති සහ සිවිල් සංවිධාන එයට විරුද්ධත්වය පළ කලේ එය මෙරට ප්‍රජාතන්ත්‍රවාදි අයිතින්ට දරුණු පහරක් එල්ල වන බවට පූරෝකථනය කරමිනි.
මෙම දුෂ්ඨ පනත මෙරට ත්‍රස්තවාදය නැති කරනු වෙනුවට පසුගිය වසර 27 පුරාම යොදා ගැනුනේ මෙරට ජනයාගේ මූලික අයිතීන් කෙළෙසීම පිණිස ය. එය නිතිගත කළ 1979- 1981 වර්ෂයන්හි දී අප බොහෝ දෙනෙකු එක්ව සිටි මර්ජ් ව්‍යාපාරය ත්‍රස්තවාදය වැළැක්වීමේ පනතට එරෙහිව රට පුරා සම්මන්ත්‍රන මාලාවක් සංවිධානය කලේ ය. එම සියළු රුස්වීම් හි කතා කළ ප්‍රධාන කතිකයා වූයේ අධිනීතිඥ ප්‍රින්ස් රාජසුරිය මහතා ය. මෙම ව්‍යාපාරය දිව වූයේ ජෝ. සෙනවිරන්න ය. ප්‍රින්ස් මර්ජ් ව්‍යාපාරයේ ලේකම්වරයා වූ අතර ජෝ ජාතික සංවිධායකවරයා විය. ඔහු සමඟ මෙම රැස්වීම් බොහොමයකට සහභාගි වීමේ වාසනාව මට තිබුණි. කවදා හෝ දිනෙක මෙම පනත ජනමාධ්‍ය මර්ධනයට ද යොදා ගැනෙනු ඇති බවට ප්‍රින්ස් රාජසූරිය මහතා කළ අනාවැකිය ඇත්ත බවට පත් කිරීමට දැන් මහින්ද රාජපක්ෂ ආණ්ඩුව සමත් වී තිබේ.
මාස පහක් රඳවා ගෙන සිටීමෙන් පසු ජනමාධ්‍යවේදී තිසෙයිනායගම්ට එරෙහිව චෝදනා තුනක් යටතේ නඩු පවරා ඇත.
පළමුවැන්න නම් 2006 ජුනි 01 වැනිදා සිට 2007 ජුනි 01 වැනි දක්වා වූ කාලය තුළ “නෝර්ත් ඊස්ටර්න් මන්ත්ලි” නම් වූ සඟරාව මුද්‍රණය කිරීම, ප්‍රකාශයට පත් කිරීම සහ බෙදාහැරීම හේතුවෙන් ත්‍රස්තවාදී කටයුතු වැළැක්වීමේ පනතෙහි (ඡඕ) සඳහන් නීති විරෝධී ක්‍රියාවන් සිදු කිරීම ය. දෙවැන්න නම් නෝර්ත් ඊස්ටර්න් මන්ත්ලි සඟරාවේ පළකරනු ලැබු ලිපි මඟින් රජය අප කීර්තියට පත් කිරීම සම්බන්ධයෙන් යට කී පනතෙහි දක්වා ඇති නීති විරෝධී ක්‍රියාවන් සිදුකිරීම ය. තෙවැන්න නම් එම සඟරාව සඳහා අරමුදල් එක්රැස් කිරීම ඔස්සේ ත්‍රස්තවාදී සංවිධානවලට උපකාර කිරීම සහ අනුබල දීමෙන් 2006 දෙසැම්බර් මාසයේදී ප්‍රකාශයට පත්කරන ලද අංක 1475/5 නම් වූ අතිවිශේෂ ගැසට් නිවේදනයෙහි සඳහන් හදිසි නීති රෙගුලාසි උල්ලංඝනය කිරීම යන චෝදනා ය.
ඔහු අත් අඩංගුවට ගත්තේ ඔහු විසින් පවත්වා ගෙන ගිය අවුට් රීච් නම් වෙබ් අඩවිය පිළිබඳව ය. නමුත් දැන් නඩු පවරා ඇත්තේ සහමුලින්ම වෙනත් කරුණක් සම්බන්ධයෙනි.
ඔහු වෙත නඟා ඇති රජය අපකීර්තියට පත්කිරීම පිළිබඳව වූ චෝදනාව අපරාධකාරී ක්‍රියාවක් ලෙස ශ්‍රී ලංකාවේ නීතියෙහි හඳුන්වා දී නොමැත. එබැවින්ම මෙම චෝදනා ප්‍රකාශනයේ නිදහස, ස්වාධීනත්වය සහ මාධ්‍යයෙහි ගෞරවය පිළිබඳව ඇතිකරනු ලබන ප්‍රශ්න ඉතා බරපතල ය.
මෙම චෝදනා මත කවරකු හෝ් සිරගත කළ යුතු යැයි මහින්ද රාජපක්ෂ ආණ්ඩුව කල්පනා කරන්නේ නම් පසුගිය කාලය පුරා යුද්ධය, ඊට හේතු වූ කරුණු, මිනිස් ඝාතන සහ දෙමළ ජනයාගේ අයිතින් පිළිබදව පුවත්පත්හි ලියූ අප බොහෝ දෙනෙක් සිර ගත කිරිමට ආණ්ඩුවට හැකි වනවා සහ සිදුවනවා ඇත.
තිස්සනායගම් මහතාට චෝදනා එල්ල කිරීම සඳහා යොදාගෙන ඇති ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත බලය අයුතු ලෙස භාවිතා කිරීමට, වාර්ගික අසම සැලකීමට සහ නිදහස මර්ධනය කිරීමට ඉඩ සලසන්නා වූත් මානව හිමිකම් ආරක්‍ෂා කිරීමේ ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුකූල නොවන්නා වූත් භයංකර නීතියකි. පසුගිය මහා මැතිවරණය දක්වාම ජනතා විමුක්ති පෙරමුණ පවා මෙම පනත අහෝසි කළ යුතු බව සිය දේශපාලන වැඩ සටහන්හි ඇතුළත් කර තිබුණි. ශ්‍රීලනිප ය පවා කළෙක මෙම පනත අහෝසි කිරිම වෙනුවෙන් පෙනි සිටියේ ය.
ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත විධිමත් අධිකරණමය ක්‍රියාමාර්ග පිළිබඳ ජාත්‍යන්තර මූලධර්ම වලට පටහැනි ය. එමගින් විධායකය වෙත අසීමිත බලයක් ප්‍රදානය කරයි. එය දඬුවම් පැමිණවීමේ බලතල දිරිගන්වමින් මාධ්‍ය ප්‍රකාශන වල අන්තර්ගත වන කරුණු පාලනය කිරීමට විධායකයට ඉඩ සලසයි. මෙම පනත සහමුලින්ම ක්‍රියාවට නගන්නේ නම් ජනමාධ්‍ය වාරණය කිරිමට ඉන් භයානක අවකාශයක් සැලසෙයි.
2006 දෙසැම්බරයේදී බලාත්මක කරන ලද හදිසි නීති රෙගුලාසි සිවිල් සමාජයේත් මාධ්‍යවලත් ප්‍රජාතන්ත්‍රවාදී නීත්‍යනුකූල ක්‍රියාවන් රාශියක් අපරාධමය ක්‍රියාවන් සේ හැඳින්වීමට ඉඩ ලැබේ. ඒ අනුව ප්‍රකාශනයේ සහ විසම්මුතියේ නිදහස කප්පාදු කිරීමට ඉඩ සැලසෙන බව ජනමාධ්‍ය සංවිධාන ඒ අවස්ථාවේ දීම පෙන්වා දුන්නෝ ය.
ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත මෙන්ම හදිසි නීති රෙගුලාසි ප්‍රජාතන්ත්‍රවාදී සමාජයකට නොගැලපෙන ඒවා ය. මෙම නීති දෙකම ගෙන එවන ලද්දේ යුද්ධය අවසන් කිරිමට සහ එල්ටීටීඊ සංවිධානය සමඟ සටන් කිරීමට අවශ්‍ය බව කියමිනි. නමුත් ඉතිහාසය පුරාම සිදු වී ඇති පරිදි අද ද සිදුවන්නේ එවැනි නීති පාලකයින්ගේ ඒකාධිපති බලතල ඉහළ නංවා ගැනීමටත් පුරවැසියන්ගේ මූලික මානව සහ ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් කප්පාදු කිරීමටත් ය.
1990 ගණන්හි දී මහින්ද රාජපක්ෂ මහතා යක්ෂයා සමඟ හෝ එක්ව සටන් කරන බවට පොරොන්දු දුන්නේ ද ජීනිවා මානව හිමිකම් කොමිසමට ගොස් උද්ඝෝ්ෂනය කලේ ද මෙම නීති මගින් දකුණේ ඇති කරන ලද භීෂණයට එරෙහිව ය. ඉතිහාසයේ සරදම නම් ඔහුට සිය පාලනය පවත්වා ගෙන යෑම පිණිස අද එම බියකරු නීති මත රඳා පැවැතීමට සිදුවීම යි. වැඩ කරන ජනයාගේ සටන් මැඩලීම පිණිසත් ශිෂ්‍ය අරගල පාගා දැමිම පිණිසත් ඔහු අද රඳා පවතින්නේ මෙම මර්ධනකාරී නීති මත ය. ඉන් පෙන්වන්නේ ඔහුගේ ශක්තියක් නොව දුර්වල කමයි.
ජනමාධ්‍යවේ දී තිස්සනායගම්ට එරෙහිව මෙම නීති දෙක යටතේ චෝදනා ඉදිරිපත් කිරීම මඟින් පැහැදිලිව පෙන්වා දෙන්නේ මහින්ද රාජපක්ෂ ආණ්ඩුව ප්‍රකාශනයේ නිදහසට සහ මාධ්‍යයේ නිදහසට එරෙහිව සෘජු ප්‍රහාරයක නිරතව සිටින බව යි. එමඟින් තවදුරටත් පැහැදිලි වන්නේ ප්‍රජාතන්ත්‍රවාදී ජීවිතයක මූලික වටිනාකම් වූ විකල්ප මත සහ විසම්මුතියත්, විවෘත සංවාදය සහ අදහස් ප්‍රකාශ කිරීමත් යන කරුණුවලට ප්‍රහාර එල්ල කිරීමට ආණ්ඩුව දරනු ලබන උත්සාහය යි. තව දුරටත් තමන් මූලික ප්‍රජාතන්ත්‍රවාදී නිදහස අගයන බවටත් මාධ්‍ය නිදහස සුරකින බවටත් ලෝකයාට කියා සිටිමට දැන් ආණ්ඩුවට නොහැකි ය.
මෙම නඩුව ශ්‍රී ලංකාවේ මාධ්‍ය නිදහස පිලිබඳ තිරණාත්මක කඩ ඉමක් විමට දැන් ඉරණම් ලබා තිබේ. මේ වනාහී තිසෙයිනායගම්ගේ නඩුවක් නොවේ. අප හැමට එරෙහිව ගොතන ලද භයානක දේශපාලන සහ නීතිමය නඩුවකි.