‛‛කොහොමද යාපනයේ තත්ත්වය? දැන්නම් නරකම නැහැ.
ඒ කිව්වේ? දැන් කලින්ට වඩා හොදයි.මීට මාස දෙක තුනකට කලින් දවසකට අඩුම තරමේ මිනිස්සු පහක්, හයක් මරනව දැන්නම් සතියකට දෙකක් තුනක් තමයි මැරෙන්නෙ.’’ යාපනයේදී මුණගැසුන විද්වතෙක් එහි තත්ත්වය විග්‍රහා කිරිම ආරම්භ කළේ එසේයි. දකුණේ මාධ්‍යට අනුව නම් යාපනයේ තත්ත්වය දැන් හොඳය. ඒත් ඝාතන ප්‍රමානයේ අඩුවෙන් පමණක් තත්ත්වය හොඳවන්නේ කෙසේද කියා මා නම් දන්නේ නැහැ. මොකද යාපනයෙ අද වෙන කොට සම්පූර්ණයෙන් මිලිටරි පාලනයක් තියෙන්නෙ. දිසාපති හෝ කිසිදු රජයේ නිළධාරියෙක් මෙහේ බලවත් නැහැ. පරිපාලනය බෝඩ් ලෑල්ලකට සිමා වෙලයි තියෙන්නේ. ඒකට හෙඳම උදාහරණය තමයි 1990 පිහිට වූ පලාලි හා කන්කසන්තුරෛයි අධි ආරක්ෂක කලාපය. මෙම අධි ආක්ෂක කලාපය නිසා පවුල් 19000 ක් පමණ අවතැන් වෙලා තියෙනව. මේ සම්බන්ධයෙන් පවරපු නඩුවක තීන්දුව ප්‍රකාශ කරමින් යාපනය මහාධිකරණය මෙම ජනතාවට තමන් ගේ බිමේ පදිංචිවිමට අවසර ලබා දුන්න නමුත් අද වෙනකම් එය ක්‍රියාත්මක වෙලා නැහැ. ඒත් මිනිස්සු කට අරින්නේ නෑ කට අරින්නේ කෑම කන්නයි වතුර බොන්නයි විතරයි. 2008 ජනවාරි සිට මේ දක්වා 29 දෙනෙක් ඝාතනයට ලක්වෙලා තිබෙනව තවත් 74 දෙනෙක් අතුරුදන්. එහෙත් තවමත් මේ කිසිදු සිද්ධියක් සම්බන්ධයෙන් කිසිවෙකුත් අත්අඩංගුවට ගෙන හො නඩු පවරල නැහැ. තවත් 45 දෙනෙකු ජීවිතයට බියෙන් මානව හිමිකම් කොමිසමට හා උසාවියට භාරවෙල හිරගත වෙලා ඉන්නව. ඒ කිසිම චෝදනාවක් නොමැතිවයි. උසාවියේ සඳහන් කරල තියෙන්නෙ ‛‛ බිය සහ තර්ජන නිසා (Due to fear or threats) සිරගත කරන ලද බවයි කියලයි.’’ ඕක තමයි යාපනයේ තත්ත්වය
යාපනයේ දිනපතා රාත්‍රී 9 යේ සිට උදෑසන 4 දක්වා ඇඳිරි නීතිය පැනවෙයි. එහෙත් සවස 5 පමන වන විට මුළු නගරයම පාළුවට යන්නේය. නගරයේ සිට අනෙක් සියළු ප්‍රදේශවලට ධාවනය වන බස්රථ සවස 4.30 පමණ වන විට පිටත් වි අවසානවේ. මේ හේතුව නිසා සියළු කඩ සාප්පු හා කාර්යාල සවස 3 පමණ වන විට වසා දැමෙයි. ඇඳිරි වැටෙන විට පාරේ ගමන් කරන්නෙකු දැක ගත හැකි නොවන තරම්ය. නගරය නැවත ජනාකීර්ණ වන්නේ උදෑසන 9ට පමණ පසුවයි.
’‛ අපේ දරුවො දෙන්නා බලන්න යන්න අපිට අවසර ඉල්ලල දෙන්න මහත්තයො. අවුරුදු ගනනකින් අපි අපේ දරුවො දැකල නැහැ. අපේ මුනුපුරෝ දැකල නැහැ.අපිට අපේ දරුවො ලඟට යන්නත් බැහැ ඒඅ යට මේහේ එන්නත් බැහැ.’’ තමන්ට යාපනයෙන් පිටවීමට අවසර නොලැබුන අවුරුදු 60 ඉක්ම වු වයෝවෘද්ධ යුවලක් යාපනයේ මානව හිමිකම් කාර්‍යාලය අසලදී අපට පැවසුවා. ඔවුන් මාස ගනනාවක් තිස්සෙ බලා ඉන්නෙ තමන්ගෙ දරුවන් බලන්න යන්න අවසර ලැබෙනතෙක්. ඒත් ඒ අවසරය නොලැබුන නිසා තමන්ගේ අවනඩුව කියන්නයි ඔවුන් මානව හිමිකම් කාර්යාලයට පැමින තිබෙන්නේ. ‛‛ ඒකට මොකුත් කරන්න අපට අවසර නැහැ’’ මානව හිමිකම් කාර්යාලයෙන් ඔවුන්ට ලැබුන පිළිතුර එයයි. ඒත් ඒ අම්මයි තාත්තයි බලාන ඉන්නව ඒ ඔවුන්ට ඔවුන්ගේ අවනඩුව කියන්න යන්න වෙන තැනක් නොදන්න හින්ද. මේ වගේම තවත් විශාල පිරිසක් බලාන ඉන්නව තමන්ට අවසර ලැබෙනතුරු. කලින් නම් අවුරුදු 55 ට වැඩි අයට යාපනයෙන් පිටවෙන්න අවසර ඕන වුනේ නැහැ නමුත් දැන් සියලු දෙනාම යාපනයෙන් පිට විමට අවසර ලබාගත යුතුයි. එම අවසරය ලබා ගැනිම ඉතා අසිරුය. එය ලබාගත්තද කොළඹ බලා යන ගමන ඊට වඩා අසීරුය පැයක ගුවන් ගමනක් සඳහා ඔවුන් පැය හතක් පමන ටකරන් මඩු වලට වි කාලය ගත කළ යුතුය. ඒ දැඩි පරික්ෂා කිරීම් හා දැඩි නීතිරීති වලින් යුතු ක්‍රියාවලියකින් පසුවයි. කොළඹ සිට යාපනයට යාමේදී ද එලෙසම සිදුවේ.
එල්ටීටීඊ ය විසින් හමුදාවේ බෝට්ටුවක් පැහැර ගැනිමෙන් පසු හමුදාව විසින් යාපනය කලපුවට ධීවර කර්මාන්තයට යාම සතිදෙකක් පමණ සම්පූර්ණයෙන් නවතා දමනු ලැබිණි. මේ හේතුවෙන් ධීවර පවුල් 5000 පමණ අසිරුවට පත්ව සිටී. දැනට සතියකට පමණ පෙර සිට කිලෝමිටර පහක ප්‍රදේශයක ධීවර කර්මාන්තයේ යෙදිමට අවසර ලැබුනද ඒ දිනකට බෝට්ටු 250 කට පමණි. දැන් එක් පවුලකට සිය ජීවිකා වෘත්තිය කිරිමට ලැබෙනුයේ සති දෙකකට එක් දවසකි. ඔවුන් ජීවත් වන්නේ කෙසේද යන්න වැදගත් නැත. වැදගත් වන්නේ ආරක්ෂාව පමණකි. පලාලි හා කන්කසන්තුරෛයි මෙන්ම 2000 වසරේදී පිහිටවූ මුහමාලෙයි,නාගර්කෝවිල් හා කිලාලි අධි ආරක්ෂිත කලාප හේතුවෙන් අවතැන්වූ පවුල් සංඛ්‍යාව 1200 කි. පලාලි අධි ආරක්ෂක කලාපයට අයිති ප්‍රදේශය යනු ඉතා සරුසාර ගොවි බිම්වේ. කලින් ඉතා හොදින් ජීවත් වූ එහි වැසියන් අද සිඟමනට ඇද වැටී ඇත. රජයෙන් ඔවුන්ට මාසිකව ලබාදෙන්නේ 5 දෙනෙකුගෙන් යුතු පවුලකට රුපියල් 1240 කි. ඒ 1990 ලාබාදුන් මුදලමය.
‛‛ යාපනයෙ බඩු මිල මීට මාස හතර පහකට පමණ පෙර තිබුන තත්ත්වයට වඩා අඩු බව ඇත්තයි. ඒත් යාපනයේ ජීවන වියදම ගැන ගනන් හදනකොට බඩු මිල පමණක් නොවේ යාපනයේ වැසියන්ගේ වගාවන් විකුණන මිළද ගනන් ද බැලිය යුතුයි. මොකද මේහේ ගොවියන්ට තමන් ගේ අස්වැන්න විකුණ ගන්න බැරිකම බරපතල ප්‍රශ්ණයක්. සමහර වෙලාවට කිලෝ එකක් වගාකරන්න යන මිලෙන් භාගයකටයි අස්වැන්න විකුන ගන්න ලැබෙන්නෙ. එතකොට මිළ අඩුවුනත් මිළදි ගැනිමේ හැකියාව නැති වෙනව’’ රජයේ ජේ්‍යෂ්ඨ නිළධාරියෙක් බඩු මිල පිලිබඳව පැවසුවේ එවැනි අදහසක්.
ලක්ෂ අටක් දහයක් පමණ වුන යාපනයේ ජනගහනය අද ලක්ෂ හතරකට වඩා අඩු වෙලා දැන් මෙහේ ජීවත් වෙන්නෙ කිසි දෙයක් කර කියාගන්න නොහැකි මිනිස්සු ටික විතරයි.
යාපනයේ උදයන්, වාලම්පූරි හා යාල් තිනක්කුරල් නමින් පුවත් පත් තුනක් පළවේ. එහෙත් එායේ රාජකාරි කරන්නේ මාධ්‍යවේදීන් දෙදෙනෙක් හෝ තුන්දෙනෙකි. අලුතින් කිසිවෙකු රැකියාවට නෙඑන්නේය. අද යාපනයේ තිබෙන භයානකම රැකියාව මධ්‍ය රැකියාවයි ලෙසයි සැලකෙන්නෙ. පසුගිය වසර දෙක තුළදී පමණක් අඩුම තරමෙන් මාධ්‍යවේදින් හා මාධ්‍ය සේවකයන් 14 දෙනෙකු පමණ ඝාතනය වීම මෙ සඳහා හොදම උදාහරණයයි.
යාපනයේ අහිංසක ජනතාව මේ තත්ත්වයට මුහුණ දෙන්නේ මීට වසර 30 පමණ සිටය. රජයේ හමුදාව යටතේ මෙන්ම එල්ටීටීඊ ය යටතේද ඔවුන් මෙම තත්ත්වයම ඇත් දැක තිබේ. පවතින හමුදා පලනයට මෙන්ම රජයටද මෙහි ජනතාවගේ ආත්මය ස්පර්ශ කල නොහැකි වි ඇත්තේ ඔවුන් උපක්‍රමික හමුදා ක්‍රමවේදයන් මත මිස දේශපාලනිකව දෙමළ ජනතාවගේ ගැටලුවට ප්‍රවිශ්ඨ වි නොමැති නිසාය.එම නිසා ආක්‍රමිණික හමුදාවක් මිස ලෙස ගලවාගැනිමේ හමුදාවක් ලෙස ඔවුන්ට රජයේ හමුදා නෙපෙනෙනු ඇත. එල්ටීටීඊ පිළිබඳවද බහුතර ජනයාට ඇත්තේ මේ හා සමානම හැඟීමකි ඔවුන්ගේ පාලනය යටතේද ඔවුන්ට අඩු වැඩි වශයෙන් අත්විදීමට සිදුවූයේ මෙවැනිම දුෂ්කරතාවයන්ටය. අතීතයේදී මෙන්ම අනාගතයේදී ද එහි වෙනසක් නොවනු ඇති බව ඔවුන්ගේ අදහසයි. ඔවුන්ට අවශ්‍ය නිදහසේ ජීවත් වීමටයි. වේලක් ඇර වේලක් පිරිමසා ගෙන තමන්ගේ පාඩුවේ ජීවත් වීමටයි.
‛‛ රාමන් ආණ්ඩාලම් පරවා ඉල්ලෛයි, රාවනන් ආණ්ඩිලම් පරවා ඉල්ලෛයි, රාමනින් තුදුවර් අනුමාන් ආණ්ඩාලම් පරවා ඉල්ලෛයි නාංගල් නිම්මදියාන වාල වේන්ඩාම්’’යාපනයේ ජනයා අතර භාවිත වන මෙම ආත්තෝපදේශයේ සිංහල තේරුම නම් ‛‛ රාම ආණ්ඩුකලත් කමක් නැහැ,රාවනා ආණ්ඩුකලත් කමක් නැහැ, එහෙම නැතිනම් රාමගේ දූතයා වන හනුමාන් ආණ්ඩු කලත් කමක් නැහැ අපිට අපේ පාඩුවේ ඉන්න ඉඩදෙන්න’’ යාපනයේ ජනයා අද මුහුණදී සිටින තත්ත්වය සම්බන්ධයෙන් මීට වැඩිය හොද උදාහරණයක් තවත් තිබේද?
රසික පෙරේරා